ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (Association of Accounting Technicians of Sri Lanka - AAT)  විසින් පවත්වනු ලැබූ 2026 විශිෂ්ටතා සම්මාන උළෙලේදී, 2025 දී පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේදී වාණිජ විෂය ධාරාවෙන් දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමින් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට උපහාර පිදීමක් සිදු විය. ඒ, වෘත්තීමය වශයෙන් ශක්තිමත් හා සූදානම්ව සිටින, දක්ෂතාවලින්යුත් පිරිසක් බිහි කිරීම සඳහා වන AAT හි අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි.
ජුලි 21 වැනිදා AAT ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ ගෞරවනීය විද්වතෙකු හා නායකත්ව විශේෂඥයකු වන මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා එම සිසු සිසුවියන්ගේ ජයග්‍රහණ පසසමින් අවධාරණය කළේ, ජාතික සංවර්ධනය වෙනුවෙන් ඔවුන් අර්ථවත් දායකත්වයක් ලබාදිය යුතු බවයි.
මෙම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් ආරාධිතයන් අතර ආචාර්ය චාමර බණ්ඩාර (සභාපති), තේජා ද සිල්වා (ලේකම්), ඉන්ද්‍රක ලියනගේ (හිටපු සභාපති) හා ජගත් පෙරේරා (සාමාජික) මෙන්ම, AAT හි කාර්ය මණ්ඩලය, මවුපියන් සහ අනුග්‍රාහකයෝ ද වූහ.  AAT හි විෂය නිර්දේශය හා අ.පො.ස. උසස් පෙළ වාණිජ විෂය නිර්දේශය අතර ඇති 80% - 85% මට්ටමක වන දැඩි ගැළපීම හේතුවෙන් මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකිවූ බව මෙහිදී අවධාරණය කෙරිණ. මෙම සහසම්බන්ධය නිසා සිසු සිසුවියන්ගේ විෂය ප්‍රවීණත්වය ඉහළ නංවා ගැනීම, විශ්ලේෂණාත්මක හැකියාව ශක්තිමත් කර ගැනීම හා තරගකාරී විභාගවලට මුහුණදීමේ හැකියාව වැඩිදියුණු වී ඇත.
2025 අ.පො.ස. උ/පෙළ විභාගයෙන් කුරුණෑගල, හම්බන්තොට, මාතලේ, බදුල්ල, යාපනය, නුවරඑළිය, පුත්තලම,  වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රථම ස්ථාන AAT සිසු සිසුවියන් විසින් ලබාගත්තේ, රටේ විවිධ ප්‍රදේශවල වෙසෙන සිසුසිසුවියන්ගේ කුසලතා ඉහළ නැවීම සඳහා AAT Sri Lanka ආයතනයට ඇති හැකියාව හා ඊට ඇති පිළිගැනීම පෙන්නුම් කරමිනි.
ක්ෂේත්‍රයේ ජයග්‍රහණ පිළිගැනීමට හා වැඩිදියුණුවට ලක්කිරීම මෙන්ම, සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික හා අනාගත වෘත්තීමය විශිෂ්ටතා කෙරෙහි පෙළඹවීමක් ලබාදීම සඳහා වන AAT හි නිරන්තර කැපවීම 2026 විශිෂ්ටතා සම්මාන උළෙල හරහා පිළිඹිඹු වෙයි.