කවුරුත් අසා තිබෙන කතාවක් තමයි, ඉක්මන් කොටයි කියන එක. මේක මුදල් හම්බ කිරීම කියන එකටත් අතිශයින්ම අදාළ වෙන කතාවක්. හොඳට මතක තියාගන්න කිසිදු නීත්‍යනුකූල මාර්ගයකින් හදිසියේ පොහොත් වෙන්න බෑ. ධනවත් වීම, පොහොසත් වීම කියල කියන්නේ ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ වෙන මහන්සියකින් හා කැපවීමකින් තමයි පොහොසතෙක් වෙන්න පුළුවන්. එහෙත් මෑත කාලෙ පිරමීඩාකාරයේ යෝජනා ක්‍රම මගින් ඉක්මනට පොහොසතෙක් වෙන හැටි කියා දෙන්න උත්සාහ කරනවා. කෙටියෙන් ම කිව්වොත් මේක වක්කඩේ හකුරු හංගනවටත් වඩා මෝඩ වැඩක්. ඒ කියන්නෙ, වක්කඬේ හකුරු හැංගුවාම හකුරු ටික නැතිවෙනවා තමයි. ඒත් වක්කඬේ හරි පේන්න තියෙනවා. හැබැයි පිරමීඩාකාරයේ යෝජනා ක්‍රමවල සල්ලි ආයෝජනය කළොත්, අන්තිමට සල්ලි ටිකත් නැති වෙලා ඒ ව්‍යාපාර කර ගෙන ගිය අයත් අතුරුදන් වෙලා පිරමීඩ යෝජනා ක්‍රමයත් අතුරුදහන් වෙලා තමයි වැඩේ අවසන් වෙන්නෙ. ඒක නිසා ඔබ මහන්සියෙන් උපය ගත්ත මුදල් ආරක්ෂා කර ගන්න, අවදානමක නොවැටී ඉන්න, පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් කියන්නේ මොකක්ද? ඒවාට ඔබ යොමු කරගන්න යොදා ගන්න උපාය මාර්ග මොනවාද? පිරමීඩාකාර යෝජනා ක්‍රමයකට සම්බන්ධ වුණොත් අත් විය හැකි භයානක ප්‍රතිඵල මොනවාද? මේ වගේ දේවල්වලින් ගැලවෙන්න කළ යුතු දේ මොනවාද? යන්න පහදාදීම මේ ලිපියේ අරමුණයි.
මොකක්ද මේ පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් කියන්නේ?
බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් කියලා කියන්නෙ සාමාජිකයන් බඳවා ගැනීම මත හෝ සාමාජිකයන් විසින් ගෙවන ලද මුදල වැඩිවීම මත ප්‍රතිලාභ ගෙවනු ලබන යෝජනා ක්‍රමයකටයි. මේක තව ටිකක් සරල කරලා අවබෝධ කර ගනිමු. පවුල් 50ක් තියෙන ගමක් තියෙනවා කියලා හිතන්න. ඒ ගමට අලුතෙන් එන පුද්ගලයෙක් ගමේ තුන් (3) දෙනෙක්ට කතා කරලා නව ව්‍යාපාර අවස්ථාවක් ගැන මේ විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
“ඕගොල්ලෝ රුපියල් 1000ක් බැඳලා මේ ව්‍යාපාරයට එකතු වෙන්න. ඕගොල්ලන්ට මාසිකව රුපියල් 500ක මුදලක් ගෙවනවා. හැබැයි, ඒ මුදල ලබා ගන්න නම්, ඔය තුන්දෙනා, එක්කෙනෙක් තව තුන් දෙනා බැගින් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරන්න ඕනේ.”
මේ ආකාරයට ව්‍යාපාරය හඳුන්වා දෙන පුද්ගලයා, අලුත් සාමාජිකයකුට ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ප්‍රතිලාභ ලබා ගන්න නම්, තව සාමාජිකයන් බඳව ගන්න කියලා කියනවා. ඒ වගේම තව සමහර අවස්ථාවල ඔබ ගෙවන මුදලත් වරින් වර වැඩි කරන්න කියනවා. එතකොට අවබෝධ කර ගන්න අවශ්‍ය දේ තමයි, ඔබේ ප්‍රතිලාභය තීරණය වෙන්නේ නව සාමාජිකයන් බඳවා ගැනීම මත හෝ ඔබෙන් අය කර ගන්න මුදල වැඩි වීම මත. මෙවැනි ලක්ෂණ සහිත යෝජනා ක්‍රමයක් තමයි පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් කියලා කියන්නේ. අපි මේ සරල කතන්දරය පටන් ගද්දි කිව්වා මේ ගම පවුල් පනහක් (50) විතරක් සිටින ගමක් කියලා. අපි උපකල්පනය කළොත් මේ ගම හුදෙකලා ගමක්, ඒ අයට වෙන පිටස්තර සම්බන්ධතා නෑ කියලා, මේ ගමේ සියල්ලන්ම පිරමීඩාකාර යෝජනා ක්‍රමයට බැඳුණු දවසට ඒ ව්‍යාපාරයට ලැබෙන ආදායම අහිමි වෙනවා. මොකද, එක අතකින්, අලුතෙන් සාමාජිකයන් බඳව ගන්න ක්‍රමයකුත් නෑ. අනිත් අතට, ගමේ අයට මුදල් ගෙවන්න පුළුවන් සීමාවත් ඉවර වෙනවා. එහෙම වෙලාවක මේ ව්‍යාපාරය ආරම්භ කරපු පුද්ගලයා මුදල් ටිකත් අරන් පලා යනවා. ව්‍යාපාරයත් බිඳ වැටෙනවා. ඔබේ මුදලුත් ඔබට අහිමි වෙනවා. ඒක නිසා තේරුම් ගන්න, පිරමීඩ යෝජනා ක්‍රමයක මුදල් ආයෝජනය කරනවා කියන්නේ වක්කඩේ හකුරු හංගනවටත් වැඩිය අනුවණ වැඩක් කියලා. ඒ කියන්නේ, සාමාජිකයන් බඳවා ගැනීම මත හෝ සාමාජිකයන් විසින් ගෙවනු ලබන මුදල වැඩි කිරීම මත ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපාර, පිරමීඩාකාර යෝජනා ක්‍රම විදියට හඳුනා ගත යුතු වෙනවා වගේ ම ඒවාට සම්බන්ධ වීමෙනුත් වැළකිලා සිටීමට වග බලා ගත යුතුයි.
දඬුවම් ලැබිය හැකියි: නිකරුණේ අත පුච්චා ගන්න එපා!
කෙටියෙන්ම කිව්වොත් පිරමීඩාකාර යෝජනා ක්‍රම කියලා කියන්නේ ලංකාවේ නීතියට අනුව තහනම් දෙයක්. නීතියෙන් තහනම් කියන්නෙ පිරමිඩ යෝජනා ක්‍රමවලට මුදල් යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක්. බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව, මෙවැනි තහනම් යෝජනා ක්‍රම ආරම්භ කිරීම, පවත්වා ගෙනයාම, ප්‍රවර්ධනය කිරීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම සහ ඒවා ප්‍රචාරය කිරීම ආදී සියල්ලම දඬුවම් ලැබිය හැකි වැරදි. නීතියේ සඳහන් මේ කරුණට අනුව පැහැදිලි වෙන දේ තමයි පිරමීඩාකාර යෝජනා ක්‍රමයකට ඔබ කොයි විදියට දායක වුණත්, ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක. මේ වගේ වරදක් නොදැන සිදු කළොත් ලක්ෂ දහයක (10) දඩ මුදලක් නියම කරන්න හරි, අවුරුදු තුනක් (3) දක්වා සිර දඬුවම් හරි එහෙමත් නැතිනම් සිරගත කිරීම සහ දඩය යන දෙකම නියම කිරීමටද අධිකරණයට බලය තියෙනවා. ඔබ මේ වරද දැනුවත්ව අන් අයකුට හානි වන විදියට කළොත්, වසර තුනකට නොඅඩු සහ වසර පහකට නොවැඩි කාලයක් සඳහා බරපතළ සිර දඬුවම් හරි, ලක්ෂ විස්සක (20) දඩ මුදලක් නියම කරන්න හරි, එහෙමත් නැතිනම් සම්බන්ධ වුණ පුද්ගලයන්ගෙන් ලැබුණ මුළු මුදල් ප්‍රමාණය වගේ දෙගුණයක් ගෙවන්න යන ආකාර දෙකෙන් වැඩිම දඩුවමකට ඔබට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා පිරමීඩාකාර යෝජනා ක්‍රමවලට මොනම ආකාරයකින්වත් දායක නොවීමට ඔබ වග බලා ගත යුතුයි. එසේ කිරීමෙන් ඔබේ වත්කම්වලට විතරක් නෙවෙයි ඔබටත් ලැබෙන්නේ රැකවරණයක්. මේ වගේ කොච්චර නීති තිබුණත්, දඬුවම් ක්‍රියාත්මක වුණත්, සමහර සමාජ කණ්ඩායම් පිරමීඩාකාර යෝජනා ක්‍රමවලට සම්බන්ධ වෙන බව දැක ගන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි, මේ පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ගෙන යන පුද්ගලයන් ඔබ මුළා කරන්න නොයෙක් විදියේ උපාය උපක්‍රම භාවිත කිරීම. ඒ නිසා ඔබ එවැනි උපාය උපක්‍රමවලින් ගැලවීමට දැනුවත් වීම වැදගත්.
අන්දන්න හැදුවට අහුවෙන්න එපා
කොයි තරම් නීති රීති තිබුණත්, දඬුවම් තිබුණත්, පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වා ගෙන යන පුද්ගලයන් ඒවා පිරමීඩ යෝජනා ක්‍රම නෙමෙයි කියලා ඔබට පෙන්නන්න, නැත්නම් ඒ ව්‍යාපාරවලට සුදු හුණු ගාන්න විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරනවා. ප්‍රසිද්ධ කතාවක් තියෙනවනෙ ‘‘උපාය දන්නෝ අපායේ නොවැටෙති” කියලා. ඒක හින්දා අනතුරකට ලක් නොවී ජීවත් වෙන්න පිරමීඩ පවත්වාගෙනයන හෝ ප්‍රවර්ධනය කරන පුද්ගලයන් භාවිත කරන පහත උපක්‍රම ගැන කල්පනාවෙන් කියවලා අවබෝධයක් ලබා ගන්න.
1. පිරමීඩාකාර යෝජනා ක්‍රම බහු ජාලඅලෙවිකරණ ව්‍යාපාර ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම.
බහු ජාල අලෙවිකරණ ක්‍රම පවත්වා ගෙන යාම ලංකාවේ නීතියෙන් තහනම් දෙයක් නෙමෙයි. අපි හිතමු පිට රටින් දුරකථන ගෙන්වන නියෝජිතයෝ ඉන්නවා කියලා. ඒගොල්ලන්ගෙන් දුරකථන තොග වශයෙන් අරන් විකුණන තොග වෙළෙන්දෝ ඉන්නවා. ඒ තොග වෙළෙන්දන්ගෙන් ඔබේ ගම දක්වා දුරකථනයක් එන්නෙ සිල්ලර වෙළෙන්දෝ හරහා. මෙවැනි ව්‍යාපාරයක දුරකථන නිෂ්පාදනය කරන සමාගම, ගෙන්වන නියෝජිතයන්, තොග වෙළෙන්ඳන්, සිල්ලර වෙළෙන්ඳන් ආදී විවිධ ස්ථරවලට අයත් පිරිස් ඉන්නවා. පිරමීඩ ප්‍රවර්ධකයන් විවිධ ස්ථරවලට සාමාජිකයන්ව බඳව ගන්න එක ඔබට ඉහත උදාහරණයට සමාන ලෙස බහුස්තර ජාල අලෙවිකරණය විදිහට මවා පාන්න උත්සාහ කරනවා. ඒත් මේ දෙක වෙනස්. ඉහත උදාහරණයෙන් ව්‍යාපාරිකයෝ ලාභ ලබන්නේ දුරකථන පාරිභෝගිකයන්ට විකුණලා. ඒ වගේ ම තමයි ඔබට දුරකථනයක් ලබා ගත්තාට පස්සේ විවිධ සේවා ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේ ම රටේ විවිධ ස්ථානවල විකුණන දුරකථනවල මිල සමග ඔබ ගත්තු දුරකථනයේ මිල සංසන්දනය කර ගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. මැද සිටින වෙළෙන්දෝ ලාබයක් ලබන්නේ දුරකථන මිල දී ගැනීමෙන් නෙවෙයි. ඔවුන් දුරකථනයක් විකිණීම මගින් තමයි ලාබයක් ලබන්නේ. ඒත් පිරමීඩ යෝජනා ක්‍රමයක ඔබට මෙවැනි ලක්ෂණ දකින්න ලැබෙන්නේ නෑ. ඒ පුද්ගලයෝ ඔබට යම් භාණ්ඩයක් විකුණනවා නම් ඒක වෙළෙඳපොළ මිලට වඩා ඉහළ මිලකට තමයි විකුණන්නේ. ඒ කියන්නේ ඔබට භාණ්ඩයක් විකිණීම මුවාවෙන් විශාල මුදල් එකතු කිරීමක් තමයි ඔවුන් කරන්නේ. ඒ ඇරුණාම මේ වගේ අධික මිලකටම ඒ භාණ්ඩය තවත් පුද්ගලයන්ට අලෙවි කරන්න කියලා ඔබට උපදෙස් දෙනවා. එතකොට ඔබේ ලාබය වැඩි වෙනවා කියලා, එහෙමත් නැත්නම් ඔබට කොමිස් මුදල් ලැබෙන්නේ ඒ විදියට කියලා මේ අය ඔබට පැහැදිලි කරනවා.
මෙතනදි ඔබ දැන ගන්න ඕනේ සාමාජිකයන් බඳවා ගැනීම භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලියක් ඇතුළේ සඟවා සිදු කර ගෙන යන්න මොවුන් කටයුතු කරන බව. මේ විදියට භාණ්ඩ විකිණීමේදී අලෙවිකරණයෙන් පස්සේ සේවාවක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම මේ භාණ්ඩ වෙළෙඳපොළ මිලට වඩා අධික මිලකටයි විකුණන්නේ. ඒ වගේම තමයි භාණ්ඩ අවසාන පාරිභෝගිකයකුට විකිණීමෙන් තොරව සාමාජිකයන් බඳවා ගැනීමෙන් තමයි මෙම ව්‍යාපාරවල ලාබය තීරණය වෙන්නේ. ඒ කියන්නේ, ඔබ භාණ්ඩයක් වෙන අයකුට විකුණන්න කලින් ඔබත් භාණ්ඩයක් මිලදී ගත යුතු වෙනවා වගේම ව්‍යාපාරයට සම්බන්ධ වෙන හැමෝමත් මේ විදියට කරන්න ඕන. ඒ වගේම තමයි මේ වගේ ව්‍යාපාරවලට යොදා ගන්නෙ එතරම් ජනප්‍රිය නැති, වෙළඳපොළේ දකින්න නොලැබෙන භාණ්ඩ. උදාහරණයක් විදිහට මීට කලකට ඉහත පිරමීඩ ප්‍රවර්ධකයන් සූර්ය පැනල විකිණීම පිරමීඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන්න භාවිත කළා. පසු කාලීනව සෞඛ්‍ය උපකරණ, විදුලි උපකරණ විතරක් නෙවෙයි, බයෝ ඩිස්ක් වගේ වෙනස් විදියේ භාණ්ඩත් මේ වගේ දේවල්වලට යොදාගත් බව දැන ගන්න තියෙනවා. මේ සියලු ලක්ෂණ හොඳ කල්පනාවෙන් සැලකිල්ලට ගන්නවා නම්, ඔබට බහු ජාල අලෙවිකරණ ව්‍යාපාරයකින් පිරමීඩ යෝජනා ක්‍රමයක් වෙන් කරලා අඳුන ගන්න නොහැකි වෙන්න බැහැ.
2. ව්‍යාපාරය පිළිබඳ මුළා කරනසුළු ලියකියවිලි ඉදිරිපත් කිරීම.
පිරමීඩ යෝජනා ක්‍රම සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාල යටතේ වෙනත් ව්‍යාපාර විදියට ලියාපදිංචි කරන්න පිරමීඩ ප්‍රවර්ධකයන් කටයුතු කරනවා. උදාහරණයක් විදියට කිසියම් භාණ්ඩයක් විකිණීමට සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය හරහා සමාගමක් ලියාපදිංචි කරනවා කියලා හිතමු. භාණ්ඩ විකිණීම තහනම් ක්‍රියාවලියක් නෙවෙයි. ඒ නිසා මේ පුද්ගලයෝ ව්‍යාපාරයේ අරමුණ විදියට භාණ්ඩ විකිණීම සහ ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කරලා ලියාපදිංචි සහතික ලබා ගන්නවා. ගැටලුව තියෙන්නේ මෙතන යි. මේ වගේ සහතික පෙන්නලා මේ පුද්ගලයන් ඔබ මුළාකරමින් පිරමීඩාකාර යෝජනා ක්‍රමවලට ඔබව බඳවා ගන්න කටයුතු කරනවා. ඒ නිසා නිරන්තරයෙන්ම එවැනි සමාගම්වල ලියාපදිංචි කරන ලද ලේඛන සහ පවත්වා ගෙන යන ව්‍යාපාර කටයුතු අතර සම්බන්ධතාව පිළිබඳ නිතර අවධානයෙන් පසු වන්න.
3. ඉක්මනින් පොහොසත් විය හැකි බව මවා පෑම
ඔබට ඉක්මනින් ලාබ ලැබිය හැකි බවත් පහසුවෙන් පොහොසත් විය හැකි බවත් පෙන්නන්න පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන යන පුද්ගලයෝ නොයෙක් විදියේ උපක්‍රම භාවිත කරනවා. මේ වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා මාසෙන් දෙකෙන් පොහොසත් වෙච්ච, කාර් ගත්ත, විදේශ සංචාර ගිය ආදී අයගේ කතා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම එවැනි කතා කියන පුද්ගලයෝ බොහෝ දුරට මෙවැනි යෝජනා ක්‍රමවල ප්‍රවර්ධන කටයුතු කරන අය. ඉක්මනින් පෝසත් වීමට මිනිසුන්ගේ තියෙන කැමැත්ත මෙවැනි ව්‍යාපාරවලට සම්බන්ධ කරවා ගන්න උපක්‍රමශීලීව භාවිත කරන්න තමයි මෙවැනි කතන්දර ඉදිරිපත් කරන්නෙ. මෙතනදි ඔබ මතක තබා ගන්න ඕන දේ තමයි මහන්සි නොවී ඉක්මනින් ලාබ උපයන්න නීත්‍යනුකූල ක්‍රමයක් ලෝකෙ නැති බව. එක ලේඛකයෙක් ලියලා තියනවා නොමිලේ චීස් කොහේවත් නෑ. තියෙන එකම තැන තමයි මී කතුර කියලා. ඒක හින්දා ඔබ මතක තබා ගත යුතුයි, ඔබට පහසුවෙන් ලාබ උපයන්න උගන්වන මේ උදවිය ඔබේ මුදලුත් ඔබේ හිතවතුන්ගේ මුදලුත් රැගෙන ඔබව මගහරින බව.
4.මුළා කරවනසුළු වෙළෙඳ ප්‍රවර්ධන උපක්‍රම භාවිත කිරීම
ඔබ නිතර පරිභෝජනය කරන හැම භාණ්ඩයක්ම විකිණීම ප්‍රවර්ධනය කරන්න ප්‍රධාන ජනමාධ්‍යවල වෙළෙඳ දැන්වීම් භාවිත කරනවා ඔබ ඕනතරම් දැකලා ඇති. ඒත් පිරමීඩ යෝජනා ක්‍රම බොහෝ දුරට කට කතා මගින් තමයි මේවා ව්‍යාප්ත කරන්න ඔවුන් උත්සාහ කරන්නේ. මෙතනදී ඔබ හරහා ඔබගේ මිතුරු සමූහය යොදා ගැනීමට උත්සාහ කිරීම, අසල්වැසියන්ට, රැකියා ස්ථානයේ අනෙකුත් සේවකයන්ට මේ පිළිබඳව තොරතුරු කටින් කට පැතිරවීමට උත්සාහ කිරීම වගේ ක්‍රම තමයි ඔවුන් භාවිත කරන්නේ. ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේ තමයි, ඔබ විශ්වාස කරන ඔබේ සමාජ සම්බන්ධතා ජාලය මෙවැනි තහනම් යෝජනා ක්‍රම සඳහා ඔබ මගින් සම්බන්ධ කර ගැනීමට ඔවුන් උනන්දු වන බව. එවැනි අවස්ථාවල ඔබ මෙය නිවැරදිව හඳුනා නොගත්තොත් සිද්ධ වෙන්නේ ඔබ වරදකට යොමු වීම විතරක් එහෙම නෙවෙයි. ඔබ නොදැනුවත්වම ඔබ අතින් තවත් පිරිසක් ඒ වරදටම පෙළඹෙන්නත් පුළුවන්. පිළිගත් ජනප්‍රිය පුරවැසියන් මෙවැනි ව්‍යාපාර ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීම, පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ගෙන යන පුද්ගලයන්ගේ තවත් එක උපක්‍රමයක්. විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය වෙච්ච, නැත්නම් පිළිගැනීමට ලක් වෙච්ච පුද්ගලයන් කැඳවලා ඔවුන් මේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීමෙන් දියුණු වුණ බව ඔබට පැවසීමට සැලැස්වීමෙන් තමයි ඔවුන් මෙතනදී ඔබේ විශ්වාසය දිනා ගන්න උත්සාහ කරන්නේ. අත්දැකීම් ඉදිරිපත් කිරීම් විදියට වගේම සිත් ගන්නාසුළු කතා ඉදිරිපත් කිරීම් විදියටත් මේ ඉදිරිපත් කිරීම් සිදු කරන්න ඔවුන් කටයුතු කරනවා. ඒත් මේවා හුදු කතා විතරක්ම බව වගේ ම පිරමීඩාකාර යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමෙන් අයහපතක් මිස යහපතක් අත් නොවන බවත් ඔබ මතක තබා ගත යුතුයි. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන පුද්ගලයන්, චතුර කථිකයන් වගේ අය යොදා ගෙන ඔබේ විශ්වාසය තහවුරු කර ගන්න උත්සාහ කිරීමත් තහනම් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන්නන්ගේ තවත් එක උපක්‍රමයක්. ඔය කොයි වෙස් මූණ දා ගෙන ආවත්, ඕවා ඔක්කෝ ම ඇස් බැන්දුම්! ඒ නිසා ඔබ මේ උගුල්වල නොවැටී පරෙස්සම් වෙන්න.
5. අන්තර්ජාල සේවා ඔස්සේ පිරමීඩාකාර යෝජනාක්‍රම පවත්වා ගෙන යාම
දැන් කාලේ හැමෝම වගේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරනවා වගේ ම සමාජ මාධ්‍යත් භාවිත කරනවා. මේ සමාජ මාධ්‍යවල තියෙන ඔබේ පෞද්ගලික ගිණුම්වලින් විවිධ තොරතුරු ලබා ගනිමින් වගේම සමාජ මාධ්‍ය සමූහ තුළ ක්‍රියාකාරී වෙමිනුත් අන්තර්ජාල සේවා මුවාවෙන් පිරමීඩාකාර යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන්න මේ ජාවාරම්කරුවෝ උත්සාහ කරනවා. ඔවුන් ඔබට ඔන්ලයින් ක්‍රමයට සල්ලි ගෙවලා ඔවුන්ගේ ව්‍යාපාර එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මෙතනදී ඔබට ඔවුන් කියන්නේ වෙළෙඳ දැන්වීම් ක්ලික් කරන්න වගේ සුළු දේවල් කරන්න කියලායි. එතකොට ඔබට මුදල් හම්බ කරන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒත් එක්කම ඔවුන් ඔබට ප්‍රතිලාභ ලබන්න නම් තවත් සාමාජිකයෝ මේ ව්‍යාපාරයට හඳුන්වලා දෙන්න කියලාත් කියනවා. ඔබ අවබෝධ කර ගන්න ඕන දේ තමයි, කවුරුවත් මේ නිශ්ඵල ක්‍රියාවලට සල්ලි ගෙවන්නේ නැති බව. නැත්නම් ඔවුන් ඔබට තාවකාලිකව ප්‍රතිලාභ ගෙවන්නේ අලුතෙන් සාමාජිකයන් බඳවා ගනිද්දී ලැබෙන මුදල්වලින් කියන එක. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඔබ මෙවැනි ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙන සිද්ධ වෙන්නේ ඔබේ මුදල්වලට හානි සිද්ධ වෙන එක විතරක් නෙවෙයි ඔබේ තොරතුරුත් ඔවුන් සොරා ගන්න එක.
එහෙම තොරතුරු ලබා ගත්තාම ඔබට වෙනත් අවදානම්වලට මූණ දෙන්න වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මේ පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන අය යොදා ගන්න තවත් උපක්‍රමයක් තමයි ඔබට ක්‍රිප්ටො මුදල්වල නැත්නම් ඩිජිටල් මුදල් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා ඔබේ මුදල් ලබා ගෙන පලා යෑම. හොඳට මතක තියා ගන්න ඩිජිටල් මුදල්වලට ලංකාවේ කිසිම නීත්‍යනුකූල පදනමක් නැති බව. ලංකාවේ මුදල් විදියට පිළිගැනෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන මුදල් පමණයි. මේ පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන යන අය ඔබව මුලා කරන්නේ ඇමෙරිකානු ඩොලරයේ(USD) ඩිජිටල් මුදල් ඒකකය “USDT” කියලා වගේ බොරු තොරතුරු ඉදිරිපත් කරලා. මේකෙදි ඔවුන් ඔබට මොබයිල් App එකක් බාගත කරගෙන ඒ හරහා විශාල මුදලක් ගෙවලා මේ ව්‍යාපාරයට එකතු වෙන්න කියනවා. ඊට පස්සේ ඩිජිටල් මුදලේ අගය වෙනස් වෙන විදියට මාසිකව ඔබට ප්‍රතිලාභ ලැබෙනවා කියලා කියනවා. ඇත්ත වශයෙන්ම ඔබට මෙහෙම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. අර මොබයිල් App එකෙන් පෙන්නන අගය ව්‍යාජ අගයක්. ඔවුන් සකස් කරපු මෘදුකාංග භාවිත කරලා ඔබට ව්‍යාජ අගයක් පෙනෙන්න සලස්වනවා. හැබැයි එහෙම සත්‍ය මුදලක් කොහෙවත් නෑ. ඉතිං නැවතත් කියන්න තියෙන්නේ, මේ වගේ අන්තර්ජාලය භාවිත කරලා සිදු කරන පිරමීඩාකාර යෝජනා ක්‍රමවලට අහුවෙන්න නම් එපා කියලායි.
6. පුහුණු පාඨමාලා හෝ රැකියා ලබා දෙන මුවාවෙන් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ගෙන යාම
පුහුණු පාඨමාලා පවත්වනවා කියලා පිරමීඩ ප්‍රවර්ධකයන් ඔබගෙන් මුදල් ලබා ගන්න උත්සාහ කරනවා. මේකෙදි කරන්නේ ඔබට දවසක දෙකක පුහුණු පාඨමාලාවකට සහභාගි වෙන්න කියලා ඒකේ බඳවා ගැනීමේ ගාස්තු විදිහට ලොකු ගාණක් අය කරන එකයි. ඒ වගේම තමයි ඔබට මේ පුහුණුවෙන් පස්සේ ප්‍රතිලාභ ලබන්න නම්, තවත් සාමාජිකයන් මේ පාඨමාලාවට හඳුන්වා දෙන්න කියනවා. ඇත්තටම ගත්තාම මේවා පුහුණු පාඨමාලා පවත්වන්න බලය ලත් ආයතන නෙවෙයි. ඒ වගේම ඔබට පිළිගත් සහතිකයක් ලබා දෙන්නෙත් නෑ. මේකෙදි ඔවුන් කරන්නේ රැකියා පුහුණු හෝ පාඨමාලා පවත්වන මුවාවෙන් අලුතෙන් එකතු වෙන සාමාජිකයන්ගෙන් අය කර ගන්න බඳවා ගැනීමේ මුදලින් මුල් අයට සල්ලි ගෙවන එක. වෙන විදියකට කිව්වොත්, ඔබට පුහුණුවක් සපයන මුවාවෙන් ඔබ අලුතෙන් හඳුන්වා දෙන සාමාජිකයන්ගෙන් අය කර ගත්තු මුදලින් ඔබට යම් කොමිස් මුදලක් ලබා දීමට කටයුතු කරන එක තමයි ඔවුන් කරන්නේ. මතක තියා ගන්න මේ කියන්නේත් පිරමීඩ යෝජනා ක්‍රමයක්ම තමයි. අලුත් බඳවා ගැනීම් ඉවර වුණාම මුදල් ගලා ඒම ඉබේම නතර වෙනවා. එමෙන්ම නීතිය ක්‍රියාත්මක වීම මගින්ම පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කලහොත් ඔබට මුදල් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මේ ව්‍යාපාරයත් බිඳවැටෙනවා. ඒක නිසා අහුවෙන්න එපා; මේවා පිරමීඩ යෝජනා ක්‍රම තමයි..
පිරමීඩ යෝජනා ක්‍රමයක මුදල් ආයෝජනය කළොත්
මේ ලිපිය කියවන ඔබ පිරමීඩ යෝජනා ක්‍රමවලට ඔබව බඳවා ගන්න යොදා ගන්න උපක්‍රම ගැන මේ වෙද්දී යම් අවබෝධයක් ලබා ගෙන තියෙනවා කියලා හිතනවා. වැරදිලාවත් ඔබ මේ පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන අයගේ කූට උපායවලට අහු වෙලා ඒ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළොත්, පළමුවෙන්ම සිද්ධ වෙන දේ තමයි, පිරමීඩාකාර යෝජනා ක්‍රමය කඩන් වැටෙන කොට ඔබ ආයෝජනය කරපු මුදල් අහිමි වෙන එක. ඊළඟට වත්කම් අහිමි වීම නිසා ඔබට ආර්ථික ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබව ව්‍යාපාරයට හඳුන්වා දෙන පුද්ගලයන් සමග ඔබට ගැටුම් ඇති කර ගන්න සිද්ධ වෙනවා. අනෙක් අතට ඔබ ව්‍යාපාරයට හඳුන්වා දුන්නු පුද්ගලයන් ඔබ සමඟ ගැටුම් ඇති කර ගන්න පෙළඹෙනවා. මෙවැනි සිදුවීම් නිසා ඔබ පිළිබඳව විශ්වාසය බිඳ වැටිලා ඔබේ සමාජ සම්බන්ධතා බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඔබ ආර්ථික වශයෙන් දුප්පත් වෙනවා වගේම ඔබේ හිතවතුන් අතරින් කොන් වෙන්නත් ඔබට සිද්ධ වෙනවා. ඊළඟට ඔබට නීතිමය ක්‍රියා මාර්ගවලටත් මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබට මෙවැනි යෝජනා ක්‍රමවල ආයෝජනය කරන එකේ බරපතළකම අවබෝධ වෙලා ඇති කියලා හිතනවා. ඇල්බේනියාව කියන රට පිරමීඩ යෝජනා ක්‍රම හින්දා 1996 අවුරුද්දේදී විශාල කඩා වැටීමකට ලක් වුණා. මනුෂ්‍ය ඝාතනවලට, ආර්ථික කඩාවැටීම්වලට, දුප්පත්කම වැඩි වීමට වගේම ආණ්ඩු පෙරළන්නටත් මේ තත්වය හේතු වුණා. ඒක නිසා ඔබත් ආරක්ෂා වෙලා රටත් ආරක්ෂා කර ගන්න, මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රම ගැන විමසිලිමත් වෙනවා වගේම ඒවායින් ඈත් වෙන්නත් කටයුතු කරන්න.
ඔබටත් තියෙනවා වගකීමක්
මෙතෙක් කතා කරපු පිරමීඩ යෝජනා ක්‍රම නීති රීතිවලින් විතරක් වළක්වන්න බෑ. ඒ කියන්නේ මේවා නවත්වන්න නම්, මේවාට මිනිස්සු යොමු වීම නැත්නම් ඉල්ලුම පාලනය කළ යුතුයි. මෙතනදී ඔබ ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔබේ දැනුවත්භාවය වැඩි දියුණු කර ගන්න එක. මහ බැංකුව සහ වෙනත් බලපත්‍රලාභී මූල්‍ය ආයතන මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රම ගැන සිදු කරන දැනුවත් කිරීම් ඔස්සේ මෙවැනි කූට ව්‍යාපාර ගැන ඔබේ දැනුම වැඩි දියුණු කර ගන්න. ඒ වගේම යහපත් නීත්‍යනුකූල ආයෝජන ක්‍රම ගැනත් ඔබේ අවබෝධය වැඩි දියුණු කර ගන්න. මේ විදියට ඔබේ අවබෝධය වැඩි දියුණු කර ගැනීමේදී මහ බැංකුව, වෙනත් බලපත්‍රලාභී මූල්‍ය ආයතන වැනි තහවුරු කරන ලද මූලාශ්‍රයවලින් තොරතුරු ලබා ගන්න කටයුතු කරන්න ඕන. ඔබට කිසියම් මූල්‍ය ව්‍යාපාරයක් පිළිබඳ ගැටලු තියෙනවා නම්, මහ බැංකුවේ 1935 ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා ඒ ගැන තොරතුරු විමසන්නත් පුළුවන්. මේ විදියට ඔබ දැනුවත් වෙනවා වගේම අනෙක් පිරිස් දැනුවත් කරන්න පියවර ගන්නත් ඔබට හැකියි. ඔබ ගුරුවරයෙක්, ජනමාධ්‍යවේදියෙක්, නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. ඒ කවර තරාතිරමක කෙනෙක් වුවත්, පිරමීඩ යෝජනා ක්‍රම සහිත ආයෝජනවලින් වැළකෙන විදිය ගැනත්, නීත්‍යනුකූල ආයෝජන ක්‍රම ගැනත් සමාජය දැනුවත් කිරීම ඔබේ වගකීමක්. ඒ වගේම ඔබට මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රමයක් ගැන තොරතුරු ලැබුණු වහාම ළඟම තියෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම එක්කෝ [email protected] කියන විද්‍යුත් තැපැල් ලිපිනය මගින්, නැත්නම්, ‘‘අධ්‍යක්ෂක, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව,අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01’’ කියන ලිපිනය මගින් මහ බැංකුවට පැමිණිලි කරන්නත් පුළුවන්. ඔබේ මෙන්ම රටේත් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම ඔබ අප සියලු දෙනාගේම වගකීමක්. ඒ නිසා පිරමීඩාකාර යෝජනා ක්‍රම ගැන දැනුවත් වෙන්න. ඒවා වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීම ඔබේ ද යුතුකමක් බව අවබෝධ කරගන්න.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වක්කඩේ හකුරු හංගන පිරමීඩ යෝජනා ක්‍රම