IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රැකියා හිඟය ඉලක්කම්වලින් ඔබ්බට

සාරා කන්දෙගොඩ


ශ්‍රී ලංකාවේ රැකියා හිඟය අඩු බව 2025 පළමු කාර්තුවේ අලුත්ම දත්ත වාර්තා කරයි. අවුරුදු හතරකට පසු ඉතාම අඩු ප්‍රතිශතයක් බව ද දැක්වේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්තා අනුව රැකියා හිඟය අඩු කරන අභ්‍යන්තරික පරිවර්තනයක් තිබේ ද යන්න පැහැදිලි කරගත යුතුය. රුකියා බිහිකිරීම සඳහා ක්‍රමවේද දෙකක් ප්‍රධානය. එකක් රජයේ රැකියා සැපයීම වේ. අය වැය යෝජනා මගින් එන ව්‍යාපෘති ඔස්සේ අලුත් අවස්ථා බිහිකළ යුතුවේ. අනෙක් පැත්තකට පුද්ගලික අංශය තුළ ප්‍රසාරණයකි. අලුත් කර්මාන්ත හා ව්‍යාපාර දියුණුව තුළ රැකියාවල නියුක්තිය ඉහළ යනු ඇත. 2024 මැද භාගයේ සිට මෙම වසරේ මැද භාගය දක්වා අලුත් පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබේ ද යන්න සලකා බැලීම වැදගත්ය.
තරුණ පිරිස් රැකියා හිඟය ප්‍රශ්නයක් කරගෙන ඇත. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඒකාබද්ධ සංගමය (අගෝ 11) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. දහසක පමණ පිරිසක් එයට සහභාගී වී සිටියහ. දස දහස් ගණනක් උපාධිධාරීහු විරැකියාවෙන් පෙළෙන බව සංගමය කියා සිටී. නිදහස් අධ්‍යාපනය අවසානයේ දී නිදහසේ ජීවත්වීම සඳහා රැකියාවක් ද වහාම ලබාදීම ආණ්ඩුවක වගකීමක් නොවේ. එහෙත් රැකියා අවස්ථා ලබාගත හැකි පරිදි යහපත් සමාජ ආර්ථික පරිසරයක් නිර්මාණය කළ යුතුය. වසර පහකට බලයට පත් කරන ආණ්ඩුවක් සිය දෙවැනි අය වැය ලේඛනය සකස්කිරීමට අදහස් හා යෝජනා එකතු කරන මෙම අවස්ථාවේ දී ආර්ථික ප්‍රසාරණය ගැන ගැඹුරු අවධානයක් අවශ්‍යය.


අලුත් සිතුම් පැතුම් සහිත තරුණ කොටසක්
අලුතින් හිතන තරුණ කොට්ඨාසයක් රට තුළ සිටී. අලුත් අදහස් අනුව රාමුවට එපිටින් තීරණ ගැනීමට උත්සාහ කරති. යෞවන සමාජවලට දේශපාලනය එපා කියන මෙම පිරිස ස්වාධීන, මධ්‍යස්ථ ආකෘතියක් සඳහා බලකරමින් සිටී. කෙසේ වෙතත් මෙම පසුබිම තුළ පවා තරුණ ප්‍රජාව නවතම අවස්ථා සොයමින් සිටිති. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංකෝචනය විය. ලෝකයේ සෑම රටකම පාහේ දැක ගත හැකි වූ ස්වභාවයකි. ආර්ථිකයක් හැකිළෙනවිට අවස්ථා සීමා වෙයි. ආර්ථික ප්‍රශ්නවලින් ගැලවීම සඳහා තාක්ෂණය යහමින් භාවිත කළේය. අන්තර්ජාල ක්‍රම, ඩිජිටල් ආර්ථික ක්‍රමවේද මගින් කාර්ය වේගවත් කරන ලද අතර, ඒ සඳහා යන්ත්‍ර භාවිත කිරීම බහුල වී තිබේ. ලෝකයේ රැකියා අවස්ථා අඩු කරන්නට තාක්ෂණ දියුණුව ද බලපා ඇත. ශ්‍රී ලංකාව ද ඩිජිටල් යුගයකට තිරණ ගනිමින් සිටී. ඩිජිටල් ක්‍රම වේගවත්වීම ද විරැකියාව පෙන්වන දර්ශකයකි. නවීනත්වය සමග මතුවන අලුත් පැතිකඩ ද සලකා බැලිය යුතුව තිබේ. 
අවස්ථා රහිත යුග ගණනාවක සැකිලි මෑත අතීතයේ දී හමුවෙයි. ප්‍රශ්නවලින් හෙම්බත් වූ තරුණ පිරිස් ආණ්ඩුවලට එරෙහි වුහ. කැරළි කෝලාහල කළ අතර, ත්‍රස්තවාදී අරගල කළහ. ත්‍රස්තවාදී ක්‍රියා දෙවතාවක් දකුණෙන් හට ගැනිණ. උතුරේ විරෝධය දශක තුනක කාලයක් ආර්ථික හා සමාජ ව්‍යසනයක් ඇති කළේය. තරුණ පිරිස් සමාජ සාධාරණත්වය ඉල්ලා සිටියේය. මෙම පැතිකඩවලින් අත්දැකීම් ලැබූ සමාජයක් වශයෙන් සමාජ සමානාත්මතාව, රැකියා හිඟය හා අවසානයේ තරුණ පිරිස් අතට ආදායමක් ලැබෙන ක්‍රම සංවිධානය කිරීම අවශ්‍යය. 


උපාධිධාරීන්ට අඩු ආදායම් අවස්ථා 
පසුගිය කාලයේ පැවැති ආණ්ඩු අඩු ආදායමක් ලබන පවුල්වලින් තෝරා ගත් ලක්ෂයක පිරිසකට කළමනාකාර සහකාර අවස්ථා සැපයීය. එම පිරිසට සුදුසු වෘත්තීය පුහුණුවක් දෙන බව මුල් අවස්ථාවේ දී ප්‍රකාශ කෙරිණ. එහෙත් එය සිදු වී නැත. 
අලුත් වාර්තා අනුව රජයේ සේවය කරන පිරිස එකොළොස් ලක්ෂ පනස් දහස ඉක්මවයි. මෙම ප්‍රමාණයෙන් සියයට පනස් නවයක් මධ්‍යම රජයේ සේවය කරති. මෙරට රජයේ ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාය. 2025 වසරේ දී කොටස් වශයෙන් වැඩිකරන ලද වැටුප් හේතු කරගෙන අතිරේකව රුපියල් බිලියන 325 ක මුදලක් අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇති අතර, මෙම වසරේ පමණක් රජයේ වියදම්වලට රුපියල් බිලියන 110 ක් එකතු වේ. මහජනතාවට පනවන බදුවලින් රුපියලක් උපයන විට ශත හතළිස් ගණනක් වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරන බව දැක්වේ. රජයේ රැකියා සඳහා බඳවාගැනීම් එය තවත් වැඩි කරන්නට හේතුවේ.
පෞද්ගලික අංශයේ ප්‍රසාරණයකින් අවස්ථා ලබාගත හැකිය. තරුණ ව්‍යවසායකත්වයට ඉඩ දීම හොඳ විකල්පයකි. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය වර්ධනය වෙමින් තිබේ. ජුනි මාසයේ දී පෞද්ගලික අංශය ණය ගැනීම් රු. බිලියන 133 කි. එයට කලින් මාසයේ තිබුණ රු. බිලියන 71 ක ණය ගැනීම් ඉක්මවන ස්වභාවයක් බව දැක්විය හැකිය. මෙම මුදල්වලින් පෞද්ගලික අංශයේ පිරිස් අලුත් කර්මාන්ත හෝ ව්‍යවසාය ඇති කරන අතර, එමගින් රැකියා බිහිවේ. තාක්ෂණය සඳහා යෙදවෙන ධනය පවා වෙනත් පැතිවල පුහුණ ශ්‍රම අවස්ථා ඇති කරන බව සඳහන් කළ යුතුය. ආණ්ඩුව මෙහි දී ව්‍යවසාය වර්ධනයට සහ අලුත් කර්මාන්ත හා ව්‍යාපාර වර්ධනයට පහසු නම්‍යශීලී ප්‍රතිපත්ති ඇති කළ යුතුවේ. සංචාරක හා තොරතුරු තාක්ෂණ අංශයේ පිබිදීමක් තිබේ. මෙම පියවර තවත් ඉදිරියට ගෙන යන ප්‍රතිපත්ති අවශ්‍යය. එමගින් තරුණ පිරිස බලකරන රැකියා හිඟයට උත්තර ලැබේ.


පිටතට ගමන් කරන ශ්‍රම බලකායක්
තරුණ පිරිස රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන නමුත් රට තුළ රැකියා හිඟය පහත වැටී තිබීම තුළ අ්‍යන්තරයක් තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම සඳහන් කරන ඉලක්කම්වලට ස්ථිර රැකියා පමණක් අදාළ වෙන්නේ නැත. කිසියම් ආර්ථික කටයුත්තක දිනකට පැය ගණනක් නිරත වී සිටින එනම් නිවසේ හෝ වැඩ කරන පුද්ගලයකු රැකියා කරන බවක් සේ සලකා ගණන් බැලේ. මෙම ආර්ථික කර්තව්‍යයෙහි නිරත පිරිස ස්ථිර රැකියා ඉල්ලන බව මතක තබා ගත යුතුවේ. රට තුළ රැකියා හිඟයක් නැති අවුරුදු හතරකට මෙපිට අඩුම විරැකියා අනුපාතය බව ඉලක්කම්වලින් දක්වන නමුත්, ස්ථිර රැකියා සොයන පිරිසක් එම අනුපාතය තුළ සිටින බව සඳහන් කළ හැකිය. 
රට තුළ අවස්ථා සොයාගත නොහැකිවීම පදනම් කරගෙන විදේශ රැකියාවලට යන පිරිසක් ද සිටී. මෙම වසරේ මුල් භාගය තුළ එක්ලක්ෂ හතළිස් හතර දහසක් විදේශ රැකියාවලට පිටත්ව ගොස් තිබේ. පසුගිය කාලය තුළ තිබුණ තොරතුරු අනුව ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතය. මේ අතර ලෝකයේ සිදුවන වෙනස්කම් හේතුකොටගෙන එම රටවල ද අවස්ථා අඩුවෙමින් තිබේ. මැද පෙරදිග ඉදිකිරීම් සීමා සහිත වී ඇති අතර, බලශක්ති අංශයේ රැකියා ද අඩු බව දැක්වේ. විදේශගත රැකියාවලට ඉඩ අඩුවිය හැකි අවදානමක් තිබේ. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ තුන හතරක් ආපසු පැමිණීම පවා රටට සැලකියයුතු බරක් විය හැකිය. පුහුණු හා හොඳ ආදායමක් ලබාගනිමින් සිටි පිරිසක් ආපසු පැමිණි පසු ඔවුහු තමන්ගේ පසුබිමට ගැළපෙන අවස්ථා කෙරෙහි අවධානය යොමු කරන්නට ඉඩ ඇත. උපාධිධරයන් පවා පාරට බැස ඇති අවස්ථාවක ආපසු රටට එන ශ්‍රමික පිරිසට රස්සා සෙවීම පහසු නැත. 
විදේශ රටවල සේවය කරන පිරිස මෙරටට එවන විනිමය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල කොටසකි. රටට වැඩිම විනිමය ප්‍රමාණයක් විගමනික ප්‍රේෂණවලින් ලැබේ. අලුතින් ශ්‍රම බලකායට එකතුවන තරුණ පිරිස පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල සේවය කර ආපසු එන පිරිස ද මෙරට විරැකියාවක් සහිත පිරිසට එකතු වන බව අමතක කළ යුතු නැත. අනාගතයේ දී මතුවන ස්වභාවය ගැන අවධානය යොමු කිරීම ද ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.


ජාත්‍යන්තර සහාය ඉක්මන් ආයෝජනයකට 
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනය අරමුණු කරගෙන ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් නිකුත් කරන්නට තීරණය කර තිබේ. එය ඉදිරි වසර තුනක සැලැස්මක් අනුවය. බලශක්ති, කෘෂිකර්මය, සංචාරක හා ප්‍රාදේශීය සංවර්ධනය යන ආර්ථික ශක්තිය ඇති කරන හා පෞද්ගලික ආයෝජන වැඩිකර දීර්ඝ කාලීන සංවර්ධනයකට මෙමගින් ඉලක්ක කරන බව දැක්වේ. ලෝක බැංකුවේ ඉලක්කම්වලට අනුව ඉදිරි වසර දහය තුළ ලක්ෂ දහයක ශ්‍රමික පිරිසක් මෙරට ශ්‍රම බලකායට ඇතුළුවේ. කෙසේ වෙතත් දැනට පවතින ක්‍රියාකාරකම් අනුව බිහිකළ හැකි රැකියා ප්‍රමාණය ලක්ෂ තුනක් පමණක් බව එම සටහන් තව දුරටත් දක්වයි. ඉතිරි ලක්ෂ හතක පිරිස සඳහා අඩුම වශයෙන් වසරකට ලක්ෂයක් බැගින් හෝ අලුත් රැකියා අවශ්‍ය කෙරේ.
ලෝක බැංකුවේ ණය ආධාරය අනුව බලශක්ති අංශයේ සූර්ය විදුලිය හා සුලං බලාගාර ආශ්‍රිත ආයෝජනට ඇමරිකානු ඩොලර් මිලියන 185 ක් වන අතර, එයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක පෞද්ගලික අංශයේ ආයෝජන එකතු වනු ඇතැයි සැලකේ. එහි දී පුහුණ ශ්‍රම බලකායකට අවස්ථා ඇති කෙරෙනු ඇත. කෘෂි කර්මය දියුණු කරන සැලසුම් සඳහා ලෝක බැංකු ණය ආධාරය ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. ගොවියන්ට උපකාර කිරීම, කෘෂි බිස්නස් සහ වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා මෙම ණය සැපැයිය හැකිය. එය අඩුම තරමින් තුන් ලකෂ අසූ දහසකට වෘත්තීය අවස්ථා සපයනු ඇතැයි පළවේ. සංචාරක හා ප්‍රාදේශීය සංවර්ධන යන අංශ දෙක සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 200 බැගින් වෙන් කර ඇත. මෙහි දී ප්‍රාදේශීය වශයෙන් සැපැයිය හැකි අවකාශ පුළුල් කෙරෙන අංශ කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුවේ. උතුර හා නැගෙනහිර ඇතුළු වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති කලාප හා අඩුම සංවර්ධනයක් සිදු වී ඇති ප්‍රදේශ ඉලක්ක කළ හැකි බව ලෝක බැංකුවේ නිර්දේශය වී තිබේ.
ශ්‍රී ලංකාවව හා ලෝක බැංකුව අතර ඇති මෙම එකඟතා ඉක්මනින් ක්‍රියාවට යෙදවීම වැදගත්වේ. රජයේ හෝ පුද්ගලික අංශයේ වාණිජ බැංකු ජාලා ප්‍රයෝජනයට ගැනීම සුදුසුය. සුළු පන්නයේ ස්වයං රැකියා වෙනුවට ධනය ඉපැයිය හැකි සහ තවත් දෙතුන් දෙනකුට වෘත්තීය අවස්ථා දෙන අංශ කෙරෙහි අවධානය ඉතා වැදගත්ය. ඉතිහාසය සාක්ෂි දරන පරිදි ස්වයං රැකියා හෝ ව්‍යවසායකත්ව ණය ලබාගන්නා පිරිස් ස්ථිර රැකියාවක් ලැබුණ වහා තමන්ගේ ව්‍යවසායකත්වය අවසන් කරති. රැකියා ඉල්ලා පාරට බැස විරෝධතා කරන උපාධිධරයන් වෙනුවෙන් සැලැස්මක් සකස් කළහොත් තරුණ සටන්කාමීත්වය පාලනය කර ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාගත හැකි වනු ඇත. 



අදහස් (0)

රැකියා හිඟය ඉලක්කම්වලින් ඔබ්බට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site