IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මහවැලියේ මැටි ගඩොල් කර්මාන්තයේ අභියෝග

  • ග්‍රාමීය සුළු කර්මාන්තකරුවාගේ ජීවනෝපාය ද අනතුරට වැටිලා
  • අවුරුද්දක් හමාරක් තිස්සේ ගඩොල්වලට ලොකු ඉල්ලු‍‍මක් නෑ
  • ගඩොලක් විකුණන්නේ රුපියල් විසිපහකට. ඔක්කොම ගණන් හදලා බලනකොට එක ගඩොලකට වියදම රුපියල් විසි දෙකක් විතර යනවා
  • අනිත් බඩු මුට්ටුවල මිල ඉහළ යන ගානට අපිට ගඩොල් කැටේක මිලත් ඉහළ දාන්න බෑ
  • අඩුම තරමින් අපිට බැංකුවකින් ණයක්වත් දෙන්නේ නෑ

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග 

අනාදිමත් කලක පටන් මෙරට පැවැති ඇති මැටි ගඩොල් කර්මාන්තය වර්තමානයේ අභියෝග රැසකට මුහුණ පා තිබේ. මේ හේතුවෙන් එමගින් යැපුණු ග්‍රාමීය සුළු කර්මාන්තකරුවාගේ ජීවනෝපාය ද අනතුරට වැටී තිබේ. මේ අන්දමින් අනුරාධපුරයේ, ගල්නෑවත්, කුරුණෑගල ගල්ගමුවත් එකිනෙක යා කරවන දිස්ත්‍රික් සීමාවෙහි පිහිටි ගම් පොකුර කලක් තිස්සේ “මැටි ගඩොල් නිෂ්පාදනය” සදහා ප්‍රසිද්ධියක් උසුලයි. මේ ගම් අතුරින් වීරගොල්ල ගම්මානය වඩාත් සුවිශේෂි වේ. තඹුත්තේගම නගරයේ සිට ගල්නෑව මාර්ගයේ මකුලෑව හන්දිය තෙක් පැමිණ එතැන් සිට දකුණත දෙසට ඇති මාර්ගයේ තවත් කිලෝ මීටර් තුනක් පමණ ගිය විට වීරගොල්ල ගම්මානය මුණගැසේ. මෙහි වසර ගණනාවක් තිස්සේ ගඩොල් කර්මාන්තයෙන් ජීවනෝපාය සරි කරන වැඩි පිරිසක් දිවි ගෙවති. 

එහි පවුල් හතළිහක පමණ සියයකට වැඩි පිරිසක් පිච්චී පදම් වන ගඩොලෙන් දිවි සරි කරති. එහෙත් අද වන විට ඒ බොහෝ දෙනකුට මතුව ඇති විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය කර්මාන්තයේ නියැලීමට සිදුව තිබේ. ඉදිකිරීම් කේෂත්‍රයේ සිදුවු බිඳවැටීම ඔවුන්ගේ ජීවනෝපායට ද කණ කොකා හැඩවීමට හේතුවී තිබේ. 

වසර තිහකට වැඩි කලක් තිස්සේ ගඩොල් කැට සමග දිවි සටන ගෙන යන වීරගොල්ල ගම්මානයේ ආර්.පී. ජිනදාස මෙසේ පැවසුවේය. 

මේක ලේසි පහසු රස්සාවක් නෙමෙයි. ගඩොල් කැටේ පුච්චලා එළියට ගන්නකන් ලොකු යුද්ධයක් කරන්න ඕන. පස් කපලා, ගල් මුල් බේරලා මැටි පාගලා, ගිනි අව්වේ තියාගෙන ගඩොල් කපලා සති දෙකක් විතර වේළලා අවසානේ තමයි පෝරනේ ගහන්නේ. මේ ඔක්කොම කරලා ගඩොල් පුච්චනකන් මාසයක් විතර කාලයක් යනවා. ඊට පස්සේ කාටහරි ගඩොල් ටික විකුණ ගන්න ඔට්ටු වෙන්න ඕන. ඉස්සර වගේ නෙමෙයි දැන් අවුරුද්දක් හමාරක් තිස්සේ ගඩොල්වලට ලොකු ඉල්ලු‍‍මක් නෑ. මිනිස්සුන්ට අලු‍‍තින් ගෙවල් හදන්න තරම් ආර්ථික මට්ටමක් නෑ. 

මේ අන්දමින් මෙරට ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලබන ගඩොල් දෙවර්ගයකි. තරමක් විශාල ප්‍රමාණයෙන් යුතු ගැමියන් මෝඩ ගඩොල් ලෙස හඳුන්වන ගඩොල් විශේෂය ඉන් ප්‍රධානය. ඊට සාපේක්ෂව කුඩා ප්‍රමාණයෙන් යුතු ඉංජිනේරු ගඩොල් අනෙක් විශේෂයයි. මින් මෝඩ ගඩොල් නිෂ්පාදනය වැඩි වශයෙන් මෙම ගැමියන් අතින් සිදුවේ. එවැනි ගඩොලක ප්‍රමාණය දිග අගල් අට හමාරක්. පළල අගල් හයක් සහ උස අගල් තුනයි කාලක් පමණ වන සේ නිෂ්පාදනය වේ. 

ආර්.එම්. සරත් චන්දන ගඩොල් කර්මාන්තයේ ලාබ පාඩු පිළිබඳව පැවසුවේ මෙවැන්නකි. 

අපි ගඩොලක් විකුණන්නේ රුපියල් විසිපහකට. ඔක්කොම ගණන් හදලා බලනකොට එක ගඩොලකට වියදම රුපියල් විසිදෙකක් විතර යනවා. අතට ඉතුරු වෙන්නේ රුපියල් තුනයි. මාසයක් විතර රැයක් දවාලක් නැතිව මහන්සි වෙලා අපිට තියෙන ලාබය ඔච්චරයි. එහෙමයි කියලා මේ කර්මාන්තේ දැන් අපිට අතහරින්න බෑ. කොයිතරම් දුකක් වුණත් දැන් අපි මේකට හුරුවෙලා ඉන්නේ. අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන් හොයාගන්න කීයෙන් හරි. දරුවන්ට උගන්නන්නේ, එදිනෙදා කන්නේ බොන්නේ මේකෙන් හොයා ගන්න සල්ලිවලින්. කොච්චර කෙරුවත් ඉතුරුවක් නෑ. ඒත් හැමදාම වැඩ.

හොඳ තත්වයේ පස් සොයාගැනීම, මැටි පෑගීමට අවැසි ජලය ප්‍රවාහනය කිරීමේ දී සහ අමු ගඩොල් පිළිස්සීමට දර සපයා ගැනීමේ දී මෙම ගැමියන්ට අපමණ දුෂ්කරතා විදීමට සිදුවේ. ඒ සදහා විශාල පිරිවැයක් දරන්නට සිදුවීම ද මෙහි ලාබය අවම වීමට හේතුවී තිබේ. එනයින් මන්දිර තැනීමට ගඩොල් නිපදවන මේ මිනිසුන්ගේ දිවිය දුකසේ පැල්පත් තුළ ගෙවීයන බව සැඟවිය නොහැකි සත්‍යයයි. ගිනි ගහන අව්වේ දහදිය මුගුරු මැද නිෂ්පාදනය වන ගඩොල් එක මොහොතකදී වැස්සෙන් සේදී යා හැකිය. එවැනි අත්දැකීම් කොතෙකුත් මේ ගැමියන් සතුව පවතී. ගඩොල් වැසීමට පොල් අතු සොයාගැනීම ද මේ ගැමියන්ට ඇති තවත් අභියෝගයකි. පොල් අත්තක මිලද රුපියල් හැටක් දක්වා ඉහළ නැග තිබේ. 

හැල්මේ නිවසට වී කාලය ගත කිරීමට මේ ගම්මැදිවල ළියන්ට ද කාලයක් නැත. ඔවුනට ද මේ ජීවිත සටනේ කොටස්කරුවන් වීමට නිතැතින්ම සිදුව තිබේ. 

කේ.ඩබ්ලිව්. ජයන්ති පුනාන්දු පැවසුවේ මෙවැනි කරුණුය. 

උදේ මෙතනට ආවම ආයේ ගෙදර යන්නේ හවස හයත් පහුවෙලා. ඒ ගිහිල්ලත් ඉවරයක් නෑ. ආයෙත් උදේට එන්න ඕන. දැන් අපි මේ ජීවිතේට හුරුවෙලා ඉන්නේ. අපි මෙහෙම දුක් වින්දට දරුවන්ට දුක් විදින්න දෙන්න බෑනේ. දැන් වෙලා තියෙන්නේ කීයක් හොයා ගත්තත් ඇති වැඩක් නෑ. කන්න බොන්න ඕනම දේවල් ටික අරගත්තහම අසනීපෙකට බෙහෙත් ටිකක් ගන්නවත් කීයක්වත් ඉතුරු වෙන් නෑ. 

මේ ගම්මැදිවල ජනයාට විඳීමට සිදුව ඇති දුෂ්කරතා බොහෝමයකි. ඔවුනට වගාවක් කළ හැක්කේ හේන් වගාව පමණකි. කුඹුරු ඉඩම්වල හිමිකමක් ඔවුනට ඇත්තේ නැත. වන අලි කරදර හේන් වගාවට ලබා ඇති ලොකුම සෙනසුරු දශාව වේ. ඉන් ගැලවීමක් මෙහි ගැමියන්ට ඇත්තේ නැත. එහෙයින්ම හේන්වල වගාවක් ලෙස කළ හැක්කේ තල ඉසීම පමණකි. ඒ තල වගාවට සිදුවන හානිය ඉතා අවම වන බැවිනි. එහෙත් නිසි කලට වැස්සක් නොවැටුණොත් තල මල් ගිනි අව්වේ වියළී යයි. මහන්සිය උඩු සුළගේ ගසා යයි. එහෙයින්ම එදිනෙදා වියදම හෝ සොයාගත හැකි බැවින් ස්වයං රැකියාවක් ලෙස ගඩොල් කැපීම මේ ගැමියන්ට යම් සහනයකි. එහෙත් ජීවනෝපායක් ලෙස මෙහි ඇති අවිනිශ්චිතතාව පිළිබදව දන්නේ ඔවුන්ම පමණකි. 

එම්.එස්. විජේසුරිය මෙසේ කරුණු කීවේය. 

මෙහේ වත්තක පොල් ගහක්වත් තියාගන්න දෙන්නෑ වල් අලින්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. අපේ ජීවිත බේරගෙන ඉන්නෙත් පුදුම අමාරුවකින්. උදේ, සවස මූණට මූණ අලි හම්බ වෙනවා. කීපදෙනෙක්ම අලි ගහලා මැරුවා. ඉතිං කොහොමද ගොවිතැන් කරන්නේ. මේ කර්මාන්තේ හරි නොතිබ්බ නම් දරුවෝ බඩගින්නේ. ඒත් දැන් වෙලා තියෙන්නේ මහන්සියට හරි යන ආදායමක් නැති එක. අනිත් බඩු මුට්ටුවල මිල ඉහළ යන ගානට අපිට ගඩොල් කැටේක මිලත් ඉහළ දාන්න බෑනේ. එහෙම කරන්න ගියොත් වෙන්නේ මේ තියෙන ආදායමත් නැතිවෙන එක. අපි වගේ මිනිස්සු /ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් නෑ. අඩුම තරමින් අපිට බැංකුවකින් ණයක්වත් දෙන්නෑනේ. ඇගේ හයිය තියෙනකන් වැඩ කරයි. 

වීරගොල්ලේ සමහරෙකු පවුලේ සියල්ලෝ එකතුව ගඩොල් කපා, පුළුස්සා යම් ආදායමක් උපයා ගනිති. තවත් සමහරෙක් කවරෙකුට හෝ කුලියට ගඩොල් කපා දී දවසේ වියදම සරි කරති. එවැන්නකුට මැටි පාගා ගඩොල් කපා දුනහොත් ගඩොලකට රුපියල් හතක ආදායමක් ලැබිය හැකිය. පාගා පදම් කර ඇති මැටි මගින් ගඩොල් කපාදුනහොත් ගඩොලකට ලැබෙන ආදායම රුපියල් තුනයි පනහක් දක්වා අඩුවේ. එවැනි ගඩොල් දෙතුන් දහක් එකතු කොට පිළිස්සීමට පෝරණුවක් සකසයි. එය එක්තරා අන්දමක කලාවකි. 

ගඩොල් පුච්චන විට රැයක් නිදිවර්ජිතව ගෙවීමට ඔවුනට සිදුවේ. දවස් දෙකකට කිට්ටු කාලයක් දර දමමින් නොනැවතී පෝරණුව අවුළුවන්න ඔවුනට සිදුවේ. එහෙත් වගකිව යුතු කිසිවකු නොදකින මේ ජීවිතවල දුක් කරදර ඒ ගිනි දලු‍‍ත් සමග ඇවිළී නොයන බව නම් නොඅනුමානය.



අදහස් (0)

මහවැලියේ මැටි ගඩොල් කර්මාන්තයේ අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site