IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි

එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1ක්
ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට හෝ බලාපොරොත්තුවක් නෑ
රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක්ද ආර්ථික වශයෙන් අක්‍රීයයි
පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක්
2024 වසරේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 1.2 කින් පහළ ගිහින්
ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් වැඩිම පිරිසක් සිටින්නේ වවුනියා දිස්ත්‍රික්කයේ.  එය ප්‍රතිශතයක් ලෙස සියයට 39.99 ක්


විමුක්ති එස් රුද්‍රිගු


රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව”‍ අනාවරණය කළේය.
එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1ක් බවත් ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාව හෙළි කළේය. එසේම මෙරට රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බළකායට කිසිම සහභාගීත්වයක් නොලැබේ.
2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.89 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය 334,001 කින් ඉහළ ගොස් ඇත. එසේම 2023 වසරේදී මිලියන 6.37 ක කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට අයත්ව සිටි අතර පසුගිය වසරේදී එය 185,398 කින් මිලියන 6.56 දක්වා ඉහළ ගොස් තිබිණ. 2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයෙන් මිලියන 2.52 ක් පිරිමි පුද්ගලයන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 148,602 කින් ඉහළ ගොස් ඇත.
“2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවට”‍ අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 8.31 ක් වූ අතර ඔවුන් මෙරට ශ්‍රම බළකායට ලබාදී ඇති දායකත්වය සියයට 47.4 කි. 2023 වසරේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 48.6 ක් ලෙස සටහන් වී තිබූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 1.2 කින් පහළ ගොස් ඇත.
එම වාර්තාවට අනුව මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් වැඩිම පිරිස පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මෙරට ශ්‍රම බළකා සහභාගීත්වයට පසුගිය වසරේදී සියයට 67.4 ක දායකත්වයක් ලබාදී ඇත. මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් මිලියන 5.52 ක් පිරිමි පුද්ගලයන්ය. මෙරට ශ්‍රම බළකා සහාභාගීත්වයට අඩුම දායකත්වය ලබාදී ඇත්තේ කාන්තාවන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 29.8 කි. පසුගිය වසරේ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් මිලියන 2.79 ක් කාන්තාවන්ය.
මෙරට සෑම දිස්ත්‍රික්කයම ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය තුළ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් සිටීම විශේෂත්වයකි. ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් වැඩිම පිරිසක් සිටින්නේ වවුනියා දිස්ත්‍රික්කයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 39.99 කි. ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් අඩුම පිරිසක් සිටිනෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 16.8 ක ප්‍රතිශතයකි.
ශ්‍රී ලංකාවේ මිලියන 8.31 ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් සියයට 95.6 ප්‍රතිශතයක් එසේත් නැතිනම් මිලියන 7.94 ක් රැකියාවක නිරත වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එහිදී ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන්ගෙන් සියයට 92.9 ක් සහ ආර්ථික වශයෙන් සක්‍රීය පිරිමින්ගෙන් සියයයට 97 ක් රැකියා නියුක්තිකයන් බවද එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
මෙරට රැකියාවේ නියුතු සියයට 95.6 ක ප්‍රතිශතයෙන් සියයට 58.8 ක ප්‍රතිශතයක් සේවකයන් බවත් සියයට 2.9 ක් සේවා යෝජකයන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එසේම තවත් සියයට 33.1 ක ප්‍රතිශතයක් ස්වයං රැකියාවල නිරතවන්නන් බවත් ඉතිරි සියයට 5.2 පවුලේ ව්‍යාපාරවලට දායකවන්නන් බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඒ අනුව පසුගිය වසරේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.4 ක් බවත් ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 365,951ක් පිරිසක් රැකියා නොකරන බවත් ඉන් වැඩිම පිරිස සියයට 7.1 ක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මෙරට විරැකියා අනුපාතව වැඩිම පළාත දකුණු පළාත බවත් එම පළාතේ විරැකියා අනුපාතය සියයට 6 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය. මෙරට විරැකියාව වැඩිම දිස්ත්‍රික්කය මොණරාගල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එසේම නගරබද, ග්‍රාමීය සහ වතුකර අංශ සැලකිල්ලට ගත්විට ඉහළම විරැකියා අනුපාතයක් තිබෙන්නේද වතුකරයේ බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 5.4 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
මෙරට රැකියාවක් කිරීමට කැමති නමුත් රැකියාවක් නොකරන 171,238 ක්වූ වැඩිම පිරිසක් අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගය සමත්වූ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අයවලු‍න් බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.



අදහස් (0)

මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site