IMG-LOGO

බලධාරීන්ට නොපෙනෙන වී ගොවියාගේ අර්බුදය

මේ වගා කන්නයේ බිත්තර වී බුසලක් රුපියල් 3500 ක් දක්වා ඉහළ නැගලා
නියර සැහීම, බැදීම, වැපිරීම ඇතුළු‍ කාර්යයන් සඳහා දිනක කම්කරු කුලියත් රුපියල් 2500 ක්
අක්කරයක වී වගාවට ආසන්න වශයෙන් රුපියල් 120,400 ක පමණ වියදමක්
අක්කරයක දළ වී අස්වැන්න කිලෝ ග්‍රෑම් 1750 ත් 2000 ත් අතර අගයක්

මෙරට වාර්තාගත වී අස්වැන්නක් ලබා ඇත්තේ 2015 වසරේදී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව එම වර්ෂයේ යල කන්නයේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,942,000 ක්


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග 


මෙවර “යල” කන්නයේ වී වගා කටයුතු ආරම්භ වුයේ දුෂ්කරතා රැසකට ගොවියා මැදි කරමිනි. සත්‍ය ලෙසම හාල් මිල පිළිබඳව මැසිවිලි නගන සමහරෙකුට වී ගොවිතැනෙන් ගොවියාට හිමි ලාබ, අලාභ පිළිබදව නිසි අවබෝධයක් නැති තරම්ය. මේ ගතව යන වගා කන්නයේ බිත්තර වී බුසලක් රුපියල් 3500 ක් දක්වා ඉහළ නැග තිබිණි. සී සෑමේ වියදම අක්කරකට රුපියල් විසිදහසක් දක්වා ඉහළ ගියේය. නියර සැහීම, බැදීම, වැපිරීම ඇතුළු කාර්යන් සදහා අවැසි දිනක කම්කරු කුලිය ද රුපියල් 2500 ක් දක්වා ඉහල නැග ඇත. මුලික පොහොර ලෙස වී වපුරන මොහොතේ මඩ පොහොර කුඹුරට යෙදිය යුතු වේ. වර්ධක අවධියේ යුරියා පොහොර අවස්ථා තුනකදී ගොයමට යෙදීමට ගොවීන්ට සිදුවේ. කරුණු එසේ වන විට හිටිහැටියේ පොහොර මිල ද ඉහළ ගියේය. 
මේ අතර කාලයේ වල් මර්ධනය සදහා අවස්ථා දෙකකදී වල් නාශක යෙදිය යුතුය. අක්කරයක් සඳහා බිත්තර වී බුසල් 02 ක් පමණ අවශ්‍ය වේ. යම් පළිබෝධ හානියක් පැමිණියහොත් පළිබෝධ නාශක යෙදිය යුතුව ඇත. අස්වැන්න නෙළා, වියළා ගැනීම වෙනුවෙන් ද විශාල වැය බරක් දැරීමට ගොවීන්ට සිදුවේ. වත්මන් තත්වය අනුව “අක්කරයක වී වගාව සදහා” ඒ ඒ කාර්යන් වෙනුවෙන් යම් සංශෝධනවලට යටත්ව පහත පරිදි වියදම් ගණනය කළ හැකිය.


• සී සෑම සදහා - රු. 20000
• බිත්තර වී බුසල් 02 ක් සදහා - රු. 7000
• මඩ පොහොර කිලෝ ග්‍රෑම් 50 - රු. 11900
• යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 100 - රු. 19000
• වල් නාශක සහ පළිබෝධ නාශක සදහා - රු. 12000
• අස්වැන්න නෙළීමට - රු. 20000
• ප්‍රවාහන වියදම් - රු. 3000
• කම්කරු කුලිය ද සහිතව ශ්‍රමය සදහා - රු. 20000
• බත්, බුලත් ආදිය සදහා - රු. 7500

මේ අනුව අක්කරය වී වගාව සදහා ආසන්න වශයෙන් රුපියල් 120,400 ක පමණ වියදමක් දැරීමට ගොවීන්ට සිදුවේ. මෙහි සමහරක් වියදම් ඉකුත් කන්නයට සාපේක්ෂව ගණනය වී ඇති බැවින් වැය බර තවදුරටත් ඉහළ යෑමක් සිදුවිය හැකිය. අක්කරයක දළ වී අස්වැන්න කිලෝ ග්‍රෑම් 1750 ත් 2000 ත් අතර අගයක පවතී. රුපියල් 130 ක මිලකට වී කිලෝ 1800 ක් අලෙවි කළද ගොවියාට උපයා ගත හැකි වන්නේ රුපියල් දෙලක්ෂ තිස්දහසක පමණ මුදලකි. 

එළැඹෙන කන්නයේ නැවත ආදායමක් ලැබෙන තෙක් එදිනෙදා වියදම් පියවාගැනීමට, දෛනික පාරිභෝජනය ආදිය සඳහා ගොවීන්ට ඇත්තේ මේ වී අස්වැන්න පමණක්මය. අවම වශයෙන් මාස 05 ක පමණ කාලයක් මේ චක්‍රය තුළ කල් ගෙවිමට ගොවීන්ට සිදුවේ. 
ව්‍යාපාරික මට්ටමින් කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නවුන්, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවෙහි නියැලෙන අතරවාරයෙහි අමතර වශයෙන් ගොවිතැනෙහි නියැලෙන්නවුන් හැරුණු විට පුර්ණ ලෙසම වී ගොවිතැනින් යැපෙන ගොවි පවුල් මේ පසුබිම තුළ දරුණු ලෙස අසරණභාවයට පත්වීම වැළැක්විය නොහැකිය. ගොවීන්ගේ චවනයෙන්ම පවසතොත් මෙය “අතේ පාඩුවට කුඹුරු කෙටීමකි”. රටම කළඹා වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමට ඉකුත් කන්නයේ දී රජය දැරූ වෑයම ලත් තැනම ලොප් වී ගියේය. ඒ අනුව රට ආර්ථික අර්බුදයකටද මැදිව ඇති පසුබිමක සත්‍ය ලෙසම මේ ඇරඹී ඇත්තේ “රටේ කෘෂිකාර්මික දිශානතිය තීරණය වන වගා කන්නයක්”. යැයි හැදින්වීමේ වරදක් නැත. 
ඉකුත් දස වසරක කාලය පිළිබදව අවධානය යොමු කරන විට මෙරට වාර්තාගත වී අස්වැන්නක් ලබා ඇත්තේ 2015 වෂරේදී ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව එම වර්ෂයේ “යල” කන්නයේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,942,000 (දහනව ලක්ෂ හතළිස් දෙදහසකි) කි. එහිදී “මාස්” කන්නයේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,877,000 (විසිඅට ලක්ෂ හැත්තෑහත්දහසකි) ක් දක්වා ඉහළට පැමිණියේය. මේ අනුව වසරේ සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4,819,000 කි. (හතලිස් අට ලක්ෂ දහනව දහසකි) එය 2014 වර්ෂයේ මෙරට වී නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 42.6 ක පැහැදිලි වර්ධනයකි. 2014 වර්ෂයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,381,000 පමණක් විය. 
මෙපරිද්දෙන් සමහර වර්ෂවලදී ඉහළ වී අස්වැන්නක් ලබාගත් නමුත් ප්‍රධාන පෙළේ වී නිෂ්පාදන රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට මෙතෙක් නොහැකිවීම ගැටලු‍ සහගතය. තවමත් මේ ගෙවීයන මොහොතේත් රට හාල් කෑමේ අරුමයට අපි මැදිව සිටුමු. ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 107 ක් පමණ වන බවට ගණන් බලා තිබේ. එවැනි පසුබිමක මෙරට වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දසලක්ෂ 05 කට ආසන්නව පවතින බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගණනය කොට තිබේ. 
ලොව ප්‍රමුඛතම වී නිෂ්පාදකයා වන චීනයේ වාර්ෂික නිෂ්පාදනය වී මෙට්‍රික් ටොන් දසලක්ෂ 205 කි. දෙවැනි ස්ථානය ගන්නා ඉන්දියාවේ නිෂ්පාදනය වී මෙට්‍රික් ටොන් දසලක්ෂ 155 කි. ලෝක වී නිෂ්පාදනයේ තෙවන්නා බවට ඉන්දුනිසියාව පත්වනුයේ මෙට්‍රික් ටොන් දසලක්ෂ 70 ක වාර්ෂික වී අස්වැන්නක් ලබමිනි. අනතුරුව වියට්නාමය මෙට්‍රික් ටොන් දසලක්ෂ 44 ක්ද, තායිලන්තය මෙට්‍රික් ටොන් දසලක්ෂ 37 ක්ද, මියන්මාරය මෙට්‍රික් ටොන් දසලක්ෂ 34 ක්ද, බංගලිදේශය මෙට්‍රික් ටොන් දසලක්ෂ 34 ක්ද, පිලිපීනය මෙට්‍රික් ටොන් දසලක්ෂ 19 ක්ද, බ්‍රසීලය මෙට්‍රික් ටොන් දසලක්ෂ 14 ක්ද, ජපානය මෙ.ටොන් දසලක්ෂ 11 ක් වශයෙන් වාර්ෂික අස්වැන්නක් ලබමින් ලොව ප්‍රමුඛ වී නිෂ්පාදකයන් දසදෙනා අතර රැදෙයි. 
පාකිස්ථානයට ලෝක වී නිෂ්පාදනයේ එකොළොස් වැනි ස්ථානය හිමිව ඇත්තේ මෙට්‍රික් ටොන් දසලක්ෂ 09 ක වාර්ෂික අස්වැන්නක් ලැබීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය පාකිස්ථානයේ නිෂ්පාදනයෙන් හරි අඩකි. එහෙයින් ලෝක වී නිෂ්පාදනයේ 11 වැනි ස්ථානයට පැමිණීමට වුවද ශ්‍රී ලංකාව සිය නිෂ්පාදනය සියයට සියයකින් ඉහළ දැමිය යුතුව පවතී. 
ආසන්න වශයෙන් හෙක්ටයාර් 750, 000 (හත්ලක්ෂ පනස්දහසක්) ක පමණ වාරි බිම් වපසරියක් මෙරට තුළ පවතී. මහ කන්නයේ වැඩි බිම් ප්‍රමාණයක් වී වැපිරීම සිදුවුවද යල කන්නයේ ද එය හෙක්ටයාර් ලක්ෂ පහකට පමණ අඩුවේ. පෑවිල්ලකදී එය තවත් සීමාවේ. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වගා රටාවයි. යල කන්නයේ එළවළු, අතිරේක බෝග ආදි වගාවලට වැඩි නැඹුරුවක් තිබීම ද යල් කන්නයේ වී වගා බිම් ප්‍රමාණය අඩුවීමට හේතුවී තිබේ. ප්‍රමාණාත්මකව වැස්ස අඩුවීම සහ ජල සම්පාදන ක්‍රියාවලියේ පසුගාමී තත්වය ද ඊට හේතුවේ. 
මෙරට ගොවි පවුල් ලක්ෂ 18 ක් පමණ වී ගොවිතැන ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යනු ලබති. සමස්තයක් ලෙස රටේ වී වගාව සදහා මනා විභවයක් සහිත සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්ෂිකව සැලකිය යුතු අස්වැන්නක් ජාතික අවශ්‍යතාවට එක් කරයි. අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, කුරුණෑගල, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, වව්නියාව, මන්නාරම, මොණරාගල, මහනුවර, හම්බන්තොට, මාතර, ගාල්ල ආදි දිස්ත්‍රික්ක ආශ්‍රිතව තවමත් විවිධ උපද්‍රව හමුවේ වුවද වී ගොවිතැනින් දවස ගෙන යන ගොවි පවුල් ගණන සුළුපටු නොවේ. 
වර්තමානය වන විට මෙරට ගොවිතැන හා සම්බන්ධ රාජ්‍ය ආයතන බොහෝමයක් කාර්යභාරයක් නැති තැනට වැටී තිබේ. අවසන කෘෂිකර්මය නාමයෙන් ආයතන ගණනාවක්, නිලධාරින් දහස් ගණනක්, මැති ඇමතිවරුන් නඩත්තු කරනු හැරෙන්නට ලක්ෂ ගණනක් වු මෙරට ගොවි ප්‍රජාවට අත්ව ඇති යහපත ඉතා අල්පය. ආණ්ඩු පෙරළියක් සිදුවුවද මෙතෙක් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් නිසි වේලාවට ගෙවීමට නොහැකිවී ඇති බව නොරහසකි. 
2050 වර්ෂය වනවිට ලෝක ජනගහනය බිලියන 10.5 ක් පමණ වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ. ‍මේසා විශාල ජනකායකට ආහාර සැපයීමේ දී පසු අස්වනු හානිය වැළැක්වීමට මුල්තැන දිය යුතු යැයි ලෝක ආහාර සංවිධානය ද කියයි. පශ්චාත් අස්වනු හානිය විවිධ මට්ටමින් සිදුවන බව කෘෂි විද්‍යාඥයෝ පවසති. ගොවිපොළේදී, ප්‍රවාහනයේදී, ඇසුරුම් කිරීමේ දී, ගබඩා කිරීමේ දී මෙන්ම පරිභෝජන අවස්ථාවේදී ද කෘෂි නිෂ්පාදන හානිය සිදුවේ. එසේම විවිධ සතුන්ගෙන් සිදුවන හානිය ද සුළුපටු නොවේ. 
රටට බත සරි කිරීමට වෙහෙසෙන ගොවියන් පිළිබඳව නව මානයකින් සිතීමට මේ එළැඹ ඇත්තේ මහගු අවස්ථාවකි. එවිට අස්වැන්නට සහතික මිලක් ඉල්ලා, වගාවට වතුර, පොහොර ඉල්ලා මහ මග අරගල කිරීමට ගොවීන්ට සිදු නොවනු ඇත. කැඩුණු වැව් අමුණු, ඇළ වේලි අලු‍ත්වැඩියා කොට දෙන ලෙස ඉල්ලා දේශපාලඥයන්, නිලධාරින් පසුපස වැටීමට ගොවියන්ට සිදු නොවනු ඇත. මහ මෝල් වැටලීමට නිලධාරින්ගේ කාලය සහ රටේ මුදල් වැය නොවනු ඇත. බතට සහල් සොයා සතොස පෝලිම්වල ලැගීමට පොඩි මිනිසුන්ට සිදු නොවනු ඇත. වී ගොවිතැනේ ලාබ, අලාභ විමසීමේදී වත්මන් පාලනය හමුවේ ඇත්තේ අභියෝග ගොන්නකි. 

 

 



අදහස් (0)

බලධාරීන්ට නොපෙනෙන වී ගොවියාගේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1735 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 661 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site