IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ප්‍රතිසංස්කරණයද? ප්‍රතිවිරෝධතාද?

මේ රජය බලයට පත්වීමට බලපෑ ප්‍රධානතම කාරණය ආර්ථික ගැටලුවමය. ඕනෑම රජයක් පරාජයට පත්වීමට මුල්වන්නේද මේ ආර්ථික ගැටලුවමය. ජනතාව අතර එදිනෙදා අවධානයට යොමුවන ප්‍රධාන කාරණයද ආර්ථික ප්‍රශ්නයමය. එහෙත් වගකිව යුතු රජයක් ඉහත ආර්ථික ගැටලුවට පිළියම් සෙවීමට යාමේදී කිසිසේත් පැහැර හැරිය නොහැකි අත්‍යවශ්‍ය කලාපයක් වන්නේ රටේ අධ්‍යාපනයයි. අධ්‍යාපනයෙන් තොර ආර්ථිකයක් නැත. ඒ නිසා මේ අධ්‍යාපනය ගෝලීය අවශ්‍යතා අනුව වෙනස් නොවුවහොත් රටම හුදෙකලා වීම නොවැළැක්විය හැකිය. 

එහෙත් කොතරම් සාධනීය වුවත් මේ වෙනස් කිරීම හිතන තරම් සරල නැත. ඒ තරම්ම ප්‍රතිවිරෝධතා නොවැළැක්විය හැකි නිධන්ගත ව්‍යාධියකි. මේ රජයට දැන් මුහුණ දීමට සිදුවී ඇත්තේද මේ අභියෝගයටය. මේ මොහොත වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කලබැගෑනිය කරළියට පැමිණ ඇත්තේද මේ නිසාය. මේ සම්බන්ධයෙන් විවිධ මතවාද විචාර මේ වන විට මෝරමින් තිබෙන සන්දර්භයක් තුළ වුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගෙන ඇති පියවර පිළිබඳ අගය කළ යුතුව ඇත. හේතුව අධ්‍යාපනයේ යම් වෙනසක් කිරීම පිළිබඳව ඊට එකඟ වන හා විරුද්ධ පිරිස්ද එම අවශ්‍යතාව බැහැර කරන්නේද නැත. සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේ න්‍යාය පත්‍රවාදීන් පමණි.

ගැටලුව වන්නේ මේ වෙනස්කම් කිරීමට අති බහුතරයක් පිළිගත්තද එය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතිවන ප්‍රතිවිරෝධතාවයි. විරෝධතා මේ රටේ ජානගත පුරුද්දක්ද එසේ නැතිනම් කාලාන්තරයක් තිස්සේ ජනමනසට කාවැද්දීමේ ප්‍රතිඵලයක්ද, නැතහොත් ඒ දෙකේම මිශ්‍රණයක්ද යන්න තවමත් පැහැදිලි නැත. විරෝධතා හේතුවෙන් කිසියම් සාධනීය කරුණක් ආපස්සට ගන්නේ නම් එය රටේම අවාසනාවකි. ඒනිසා එවැනි යහපත් චේතනාවෙන් කරනු ලබන ඕනෑම කරුණක් විරෝධතා නොතකා කිරීමට පසුබට විය යුතු නැත්තේ දැනටමත් විරෝධතා නොතකා කරනු ලැබූ බොහෝ දේවල්වල සාධනීය ප්‍රතිඵල මේවනවිටත් අත්පත් කරගෙන ඇති නිසාය.හාස්‍යයකට කරුණ නම් විරෝධතාකරුවන්ම ඒවායේ ප්‍රතිඵල කිසිදු පැකිලීමක් නොමැතිව පසුකාලීනව රස විඳින නිසාය. එදා මහවැලි ව්‍යාපාරයේ අසාර්ථකභාවය පිළිබඳ විරෝධතා කොතරම් උත්කර්ෂයට පැමිණියේද කියතොත් විශ්වවිද්‍යාල පවා අසාර්ථක භාවය පිළිබඳ මහ ඉහළින් සාකච්ඡා කළහ. විරෝධය දැක්වූහ. මහා පරිමාණ කොමිස් ගැනීම්, විදේශ ණය උගුල්, විදේශිකයන් මෙහි පැල පදියම් වීම, ණය මුදලින් වැඩි කොටසක් යන්ත්‍ර තාක්‍ෂණයෙන් උපදේශන වැටුප් හරහා නැවත විදේශයට ගැනීමේ උගුලකට හසුවීම යන කාරණා නිසා බහුතරයක් ජනතාව භීතියට පත්වූහ. 

ආර්ථික කොමිසම හරහා ආයෝජන කලාපවලට විරෝධතා ආවේද එලෙසමය. ලංකාවේ ශ්‍රමය සූරාකන ලංකාවේ ධනය පිටරටට ඇදීයන වැඩපිළිවෙළක් හැටියටය. ධනේෂ්වර රටවල් මේ රට යටත් කරන උපක්‍රමයක් හැටියටය. විදේශ වලට ශ්‍රමිකයන් යැවීමට විරෝධතා දැක්වූයේ වැඩකාරකම්වලට රට පටවන බවය. කාන්තාවන් අනාථ වන බවය. ගෝනිවලින් නැව්වලින් ගොඩබාන, පටවන ක්‍රමය වෙනස් කර නව ලෝකයට සරිලන සේ කන්ටේනර් හඳුන්වාදීමේදී විරෝධතා වැඩ වර්ජන කරමින් උද්ඝෝෂණය කළේ ව්‍යාජ සංවර්ධනයක් පෙන්වා නැව් පිටින් අල්ලස් ගැනීමක් ලෙසය. එහෙත් ලංකාව ඉතාම ඉක්මනින් ලෝකයේ දියුණුම වරායන් අතර ප්‍රමුඛ ස්ථානයක් ලැබීමට වැඩි කලක් නොගියේය. ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ රටපුරා ඇඟලුම් කාර්මාන්තයටද විරෝධතාකරුවන් දිගට හරහට පහර දුන්නේ ඒවා හුදෙක්ම කම්කරුවන් සූරාකන ගණිකා ව්‍යාප්තිය වැඩි කරන විදේශිකයන්ට ජංගි මහන තුට්ටු දෙකේ වැඩසටහනක් හැටියටය. 

බලශක්තිය සම්බන්ධ සාම්පූර් නතර කිරීමද එවැනිම විරෝධතාවේ ප්‍රතිඵලයකි. මෙසේ විරෝධතා දැක්වූ ප්‍රතිවිපාකවල දිගු ලැයිස්තුවක් ඇත. මේ විරෝධතා නොතකා ආරම්භ කළ ප්‍රතිසංස්කරණ නිසා සමස්ත රටවැසියන් මේ වන විට යහපත් ප්‍රතිඵල බුක්ති විඳින අතර අත්හිටවන ලද ප්‍රතිසංස්කරණ නිසා අපමණ විපාක විඳීමටද සිදුවී ඇත. මේ නිසා විරෝධතාවල ගෝනිබර ඉවත් කර කටයුතු කිරීම ඕනෑම රජයක වගකීමක් වනු ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කාර්යයයේදී සලකා බැලිය යුත්තේද එම සන්දර්භය තුළය.

විවෘත ආර්ථිකය, මහවැලිය, ආයෝජන කලාප, ඇඟලුම් කර්මාන්තශාලාවලට, ධවල පත්‍රිකාවට, සාම්පූර්වලට, විදේශ ආයෝජනවලට, ශ්‍රමිකයන් පිටරට යෑමට, අධිවේගී මාවත් සෑදීමට, කණ්ඩලම හෝටලයට මහපාරට බැස තොග පිටින් විරෝධය දැක්වූ පිරිස කිසිවක් නොවූ පරිද්දෙන් පසුව නිහඩ වී ඒවායෙන්ම දිවි ගැටගහගත් පරිද්දෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටද විරුද්ධ වී පසුව නිහඬව ඒ ප්‍රතිඵල තලුමරා භුක්ති විඳිනු ඇත. 

 

එසේ නම් මේ වන විට මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ විරෝධතා පැන නැගී ඇත්තේ ඇයිද යන්නත් විමසිය යුතු කරුණකි. එයද බැහැර කළ නොහැකිය. විරෝධතාවල ප්‍රධාන විවේචනය නම් ඊට අනුෂාංගික වන පාර්ශවවලින් නොවිමසා තෝරාගත් කොටසක් සමග පමණක් කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටය. මෙයද සුළුවෙන් තැකිය නොහැකි අතර එහි සත්‍යාසත්‍ය භාවය පිළිබඳ ජනතාවටද පැහැදිලි බවක්ද නැත. කළ යුතුව තිබුණේ ප්‍රතිසංස්කරණ පිළිබඳ විවෘත සාකච්ඡාවට ගොස් ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමය. එසේ සියලු දෙනාගේම එකඟ වූ ප්‍රතිපත්තියකින් ක්‍රියාත්මක කළත් ඊටද විරෝධතාව සියයට සියයක් බැහැර වන්නේද නැත. එහෙත් මෙතනදී සිදුවූයේ ඇඬීමට සිටි කෙනාට ඇඟිල්ලෙන් ඇන්නාක් වැනි සිදුවීමකි. මේ නිසා පුළුල් සංවාදයකට භාජන කර පියවරක් ගැනීම වැදගත්ය. එහෙත් කිසිදු ලෙසකින් ආපස්සට පියවරක් ගත යුතු නැත. 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව එදා උගත් නූගත් සමස්තයම පාරට පැන උද්ඝෝෂණය කර එය අකුලා ගැන්මට පසුබිම සැකසීමේ විපාකය දශක කිහිපයකට පසු අද අත්විඳීමට සිදුවී ඇත. එදා එය ක්‍රියාත්මකවූවා නම් බොහෝ විට අද කළ යුතුව ඇත්තේ සුළු සුළු අලුත්වැඩියා පමණි. එහෙත් දශක ගණනකට පසුවත් එදා මෙන්ම අදත් විරෝධතාකරුවන් උත්සාහ කරන්නේ පරණ තැටියම වාදනය කිරීමය.

කන්නන්ගර යෝජනාව මගින් පත්කළ 1943 ඩොනමෝර් කමිටු වාර්තාව අනුව එදා කර ඇති නිර්දේශය නම් සෑම පාසලකම සම පහසුකම් නැති බවත් අනවශ්‍ය පරිදි විභාග බරක් ඇති බවත්, පාසල් අතර අසමාන ලෙස යටිතල පහසුකම් බෙදී ගොස් ඇති බවත්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පහසුකම් නැති බවත්ය. එදා මෙදා තෙක් අධ්‍යයන සංවර්ධනයක් ගැන කොතරම් පුරසාරම් දෙඩුවද ඩොනමෝර් නිර්දේශයේ නිදන්ගත රෝග එකක්වතක් නිට්ටාවට සුවකිරීමට තවමත් අසමත්ව ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජයේ මතුපිටින් ඇති කලබැගෑනිය නම් ඉතිහාසය හා ආගම අනිවාර්ය මට්ටමෙන් ඉවත් කිරීම පිළිබඳවය. එයින් අදහස් වන්නේ එම විෂයන් දෙක අනිවාර්ය කිරීමෙන් අධ්‍යාපනයේ සියලු රෝග නිට්ටාවටම සුවවන බවය. එසේනම් මේ දක්වා ඒවා ඇතුළත්ව අධ්‍යාපනයෙන් විශාල යහපතක් වී තිබිය යුතුය. ලැබී ඇති ප්‍රතිලාභය දිනපතා මාධ්‍ය මගින් ඕනාවටත් වඩා ප්‍රත්‍යක්ෂ වී ඇත. එනම් දිනකට වැඩිම මිනීමැරුම් අපරාධ වැඩිම සියදිවි නසා ගැනීම්වලින් ලෝකයේ වාර්තා තබා ඇත. එම නිසා කළ යුත්තේ ප්‍රතිසංස්කරණය වළිගයෙන් ඇල්ලීම නොව සමස්ත අධ්‍යයන ක්‍රමයම උඩු යටිකුරු කිරීමය. ලෝකයේ අධ්‍යාපනය කලින් කලට වෙනස් වේ. ගෝලීය වෙළෙඳපොළේ රැකියා ඉල්ලීම් අනුව රට රටවල අධ්‍යාපනයද ඒ අනුව වෙනස් වේ. ඉදිරි දශකයට අවශ්‍ය කුමන රැකියාවද යන්න පවා පුරෝකථනය කළ නොහැකිය. ඒ තරම්ම වෙනස්වන ලෝකයක අපි දශක පහ හයක සිට පැවත එන ක්‍රමයම ඉල්ලා කෑ මොර දෙමු. මීට කලකට පෙර ලෝකය සූදානම් වූයේ STEM අධ්‍යාපන ක්‍රමයටය. එනම් විද්‍යාව, තාක්ෂණ්‍ය, ඉංජිනේරු විද්‍යා, ගණිතය මුල් කරගත් මානව සම්පත නිර්මාණය කිරීමය. දැන් STEM අධ්‍යාපනයත් අවසන් වී වෙනත් අධ්‍යාපනයක් ලෝකයට අවතීර්ණ වී ඇත. එහෙත් STEM  වලටත් තවමත් අප අඳුරේ අතපත ගාන තත්වයකට පත් වී ඇත. කිසිම අධ්‍යාපන ප්‍රතිපත්තියක් ස්ථාවර නැත. නිරන්තරයෙන්ම වෙනස් වන ලෝකයට අප සූදානම් විය යුතුව ඇත. විෂය කාරණා මත පමණක් පදනම්ව ලබන අධ්‍යාපනයට අනාගතයේදී කිසිදු වලංගුතාවයක් නැත. දැනට දශක ගණනාවකට පෙර අත් අකුරු කෙරෙහි පවා දැඩි අවධානයක් යොමු කළ අතර අනාගතයේදී ලියන සමාජයකුත් නැත. දැනටමත් අඩුවැඩි වශයෙන් මේ තත්වය දැකිය හැකිය. මේ නිසා විෂයයන්ට එල්බ ගැනීමේ තාර්කික පදනමක් නැත. මෑතකදී පළවූ සඟරාවක සඳහන් වූයේ 2025 පසු ලෝකයට අවශ්‍ය වන මානව සම්පත දියුණු රටවල් දැනටමත් සූදානම් කර ඇති බවය. එනම් නිර්මාණශීලී බව, සංකීර්ණ ගැටලු විසඳීමට ඇති හැකියාව, හා විශ්ලේෂණාත්මක තීන්දු ගැනීමේ හැකියාව ඇති පිරිසක් සන්නද්ධ කර ඇති බවය. මේ නිසා ප්‍රතිසංස්කරණවලදී පටු මානසික මට්ටම්වලින් ඔබ්බට ගොස් ගෝලීය වශයෙන් කටයුතු කිරීමට හැකි පිරිසක් නිර්මාණය විය යුතුය.
යෝජිත ප්‍රතිසංස්කරණ සඳහා බලපාන අභියෝග සුළුපටු නැත. ඒවා සමනය කරන තුරු සාර්ථක ප්‍රතිඵල දැකිය නොහැකිය. එනම් අනාගත ශිෂ්‍යයා මෙහෙයවීම සඳහා සුදුසු මානව සම්පත් පවතින ගැටලුවය. අවශ්‍ය වන්නේ අනාගත ලෝකයේ අධ්‍යාපනය සඳහා සන්නද්ධ වූ ගුරු පිරිසකි. උද්ඝෝෂකයන්ට තොග පිටින් ගුරු පත්වීම් දීමෙන් මේ තත්වය ළඟා කරගත නොහැකිය. අනෙක් අතට ආකර්ෂණීය වැටුපක් නොමැතිව අනාත ලෝකයට සුදුසු මානව සම්පතක් නිර්මාණය කිරීමට එන වෘත්තිකයෙක්ද නැත. අනාගත ලෝකයට විෂය කරුණු මත කරන අධ්‍යාපනයද වලංගු නැත. මෑතකදී ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ පරිදි බහුතරයක් අවම තාක්‍ෂණික කාරණාවත් නොදන්නා සේවයක් තුළ වෘත්තිකයන්ගෙන් මේ අභියෝගය ජය ගත නොහැකිය. පරණ වන පොත් කටපාඩම් කළ ඔවුන්ගෙන් අති බහුතරයක් ලෝකයේ නව දැනුම සොයා හඹා යන බවක්ද නොපෙනේ. මේ නිසා මේ සුදුසු වෘත්තිකයන් සොයා සවිබල ගැන්වීම වැදගත් වන අතර එය සුළුපටු නොවේ. අනෙක් අතට පාසල්වල විෂමතාව හැකි තරම් අවම කිරීම වැදගත්ය.

උදාහරණ හැටියට 1972 පමණ හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රාග් වෘත්තීය විෂය අනිවාර්ය කළ අතර වරප්‍රසාද සහිත පාසල් ඒ සඳහා තාක්ෂණික අංශ ආරම්භ වූ නමුත් වරප්‍රසාද රහිත පාසල්වලට සිදුවූයේ මැටි වැඩ සහ ලණු ඇඹරීමය. එමෙන්ම දීර්ඝ පිළිතුරු වෙනුවට සුදුසු පිළිතුර කතිර ගැසීම ආරම්භ විය. එහෙත් සෞන්දර්ය විෂය සෞන්දර්ය රසය කතිරවලින් මැනිය නොහැකිය. පවතින ක්‍රමයෙහි මේ දක්වා බිහිවූයේ විෂයන් වනපොත් කර විභාගවලදී උත්තර පත්තර මත සියල්ල වමාරන පිරිසකි. මේ නිසා යටිතල පහසුකම් මෙන්ම පාසල් අතර විෂමතාව හැකි තරම් අවම කිරීම වැදගත්ය. මේ වන විට පාසල් 10000 පමණ ස්ථාපිත වී ඇති අතර සිසුන් 8000 සිට සිසුන් 10 ක් පමණ වන පාසල් ද ඇත. මේවා සමතාවට පත් විය යුතු අතර සියල්ලන්ටම පොදුවේ එකම තාක්‍ෂණික පහසුකම් සැපයීම වැදගත්ය. දැනට වසර කීපයකට පෙර සමස්ත පාසල්වල සිසුන්ටම ටැබ් පරිගණක බෙදීමට ගත් විශිෂ්ට උත්සහයට එරෙහිව විරෝධතා නොවන්නට මෙලහකටත් එම අංශයෙන් යම් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගත හැකිව තිබුණි.

මේ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය කරුණක් වන අතර එය හුදු ප්‍රතිසංස්කරණයට ලඝු නොවී සමස්ත ක්‍රමයම උඩුයටිකුරු කළ යුගයක්ය අපි මේ ගෙවමින් සිටින්නේ. සෑම ප්‍රතිසංස්කරණයක්ම සියයට සියයක් නිවැරදි නැති අතර පවතින ගෝලීය සන්දර්භය තුළ ස්ථාවරව තිබිය යුතුද නැත. යුගයේ අවශ්‍යතාවලට අනුව වෙනස් වීමය කළ යුත්තේ. එදා මෙදා තෙක් කිරීමට උත්සහ කළ ප්‍රතිසංස්කරණ කළානම් මේ වන විට ඒවායේ අඩුපාඩු සකස් කරගනිමින් දුර ගමනක් යෑමට තිබුණ අවස්ථාව විරෝධතාකරුවන් නිසා අහිමි කරගෙන ඇත. මේ නිසා විරෝධතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පසුපසට ගන්නා සෑම දිනයක්ම අනාගත පරපුරට විපාක විඳීමට සිදුවනු ඇත. ඇත්තට හෝ බොරුවට විරෝධතාකරුවන් පවා ප්‍රතිසංස්කරණවලට එකඟත්වයක් ඇති තත්වයක් තුළ කාගෙත් අදහස් විමසමින්ම ප්‍රතිසංස්කරණ ඉක්මනින්ම මහපොළොවේ පැළ කළ යුතුව ඇත. ලෝකය දැන් මානවයා සූදානම් කරන්නේ Top Ten රැකියා සඳහාය. ඒ සඳහා නිර්මාණශීල බව, ඉවසීම ප්‍රගූණ කරගත්, සහකම්පනය, අනෙකාට ගරු කරන, විනයගරුක සම්පතක් නිර්මාණය වන සේ විෂයමාලා මොඩියුල් මොන නමක් වුවද කම් නැත. කෑ මොර දෙන ඕනෑම විෂයක් අවශ්‍යතාව පරිදි අන්තර්ගත කළ හැක්කේ එවිටය. දැනට යෝජිත ප්‍රතිසංස්කරණවල මේවා අඩුවැඩි වශයෙන් ඇති බවද පෙනීයන නමුත් තවදුරටත් ප්‍රාමාණිකයන්ගේ සේවය නම් ලබා ගත යුතුමය. 

විවෘත ආර්ථිකය, මහවැලිය, ආයෝජන කලාප, ඇඟලුම් කර්මාන්තශාලාවලට, ධවල පත්‍රිකාවට, සාම්පූර්වලට, විදේශ ආයෝජනවලට, ශ්‍රමිකයන් පිටරට යෑමට, අධිවේගී මාවත් සෑදීමට, කන්ඩලම හෝටලයට මහපාරට බැස තොග පිටින් විරෝධය දැක්වූ පිරිස කිසිවක් නොවූ පරිද්දෙන් පසුව නිහඩ වී ඒවායෙන්ම දිවි ගැටගහගත් පරිද්දෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටද විරුද්ධ වී පසුව නිහඬව ඒ ප්‍රතිඵල තලුමරා භුක්ති විඳිනු ඇත. 

අනෙක් අතට ක්‍රියාත්මක නොකිරීමෙන් රටට වන පාඩුවට මොවුන්ගේ වගවීමක්ද නැත. ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති දශක හතරකට පෙර ආරම්භ කළද එම ප්‍රතිපත්ති ආපසු හැරවීම පිළිබඳ උදම් ඇනුවෙමු. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූයේ, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, වැනි රටවල් එම ප්‍රතිපත්ති හඳුන්වාදීමට බොහෝ කලකට පෙරය. එහෙත් ශ්‍රී ලංකාව අබිබවා යමින් එම රටවල් අපනයන අංශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. ඉන්දියාව 2024 ඩොලර් මිලියන 450, වියට්නාමය ඩොලර් මිලියන 400, සිංගප්පූරුව ඩොලර් බිලියන 500 වන විට ශ්‍රී ලංකාව අඩුම තරමින් ඩොලර් බිලියන 200 ක් වත් ඉක්මවිය යුතුව තිබියදී තවමත් වාර්ෂිකව උපයන්නේ ඩොලර් බිලියන 12-13 කි. බංකොලොත් වීම පිළිබඳ පුදුම විය යුතු නැත. මෙය ඉහත ප්‍රතිවිරෝධතාවල විපාකය මැනීමටද හොඳ ලිට්මස් පරික්ෂාවකි.

එසේ ප්‍රතිසංස්කරණ මොන විරෝධතා මැද හෝ ක්‍රියාත්මක කළහොත් රටට යහපතක් වනු ඇත. එමෙන්ම ප්‍රතිසංස්කරණවලට එරෙහිවන්නේ හුදු විරෝධතාකරුවෝ ලෙසටම ලඝු නොකොට විවෘත සංවාදයකින් පසුව වුවත් තෝරා බේරා ගත යුත්තේ වඩාත් සුදුසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමද නැතහොත් විරෝධතාකරුවන් ඉදිරියේ හකුලා ගැනීමද යන්නය.



අදහස් (0)

ප්‍රතිසංස්කරණයද? ප්‍රතිවිරෝධතාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site