IMG-LOGO

පරාජිතයාද? ජයග්‍රාහකයාද?

 

 කොන්සර්වෙටිව් පාක්ෂිකයන්ට  වාසි සහගතව තිබූ ජනමතය 
කැනඩාවේ පසුගිය වසර තුන පුරාම පැවති ජනමත විචාරණ සමීක්ෂණවලින් එක් කාරණයක් දිස් වූයේය. එය නම්, එකපිට තුන් වාරයක් බලයේ වැජඹුණු ලිබරල් පාක්ෂිකයන්ට පැවති පිළිගැනීම දැන් යල්පැන ගොස් ඇති බවත්, දැන් ඔවුන් අමතකව යන තරමට පසුබැස යා යුතු බවත්ය. විශේෂයෙන්ම ප්‍රහාර එල්ල වූයේ එහි නායක, අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට එරෙහිවය. පමණට වැඩි කාලයක් බලයේ රැහැන් පට අත දරා සිටි ඕනෑම නායකයකුට එරෙහිව එවැනි ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය තත්වයකි.
බීබීසී පුවත් සේවයේ ජැසිකා මර්ෆි පවසන ආකාරයට ඔහුගේ තරුණ වියේදී ඔහු සතුව තිබි ආකර්ෂණය විසින් හෙතෙම වසර 10 කට පෙර වේගයෙන් ඉහළ රැගෙන යන ලදුව, එවකට තුන්වැනි ස්ථානයේ සිටි ලිබරල් පක්ෂය මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන ගොස් ඔහු අග්‍රාමාත්‍ය පදවිය වෙත ඔසවා තබනු ලැබුවේය. පළමුව එය ලිබරල් පාක්ෂිකයන් අතර පැවති අභ්‍යන්තර අරගලයක් වූ අතර ටෲඩෝට තනතුරෙන් ඉවත යන්නට අඛණ්ඩව ඒ ඔස්සේ බලපෑම් එල්ල විය. පක්ෂය අභ්‍යන්තරයේ නිහඬව හටගෙන තිබුණු මෙම පිපිරීම ඉක්මනින්ම පිටතට විවර වී, සාමාන්‍ය කැනේඩියානුවන් අතර සිටි ලිබරල් පාක්ෂිකයන් වෙතට එය පැතිර ගොස් එය ද්වේෂය පුපුරා යෑමක් බවට නිර්මාණය වූයේය.
ටෲඩෝ බලයෙන් ඉවත් විය යුතු වේ යැයි සැමදෙනා බලාපොරොත්තු වුවත් මහජන මතයට සංවේදී නොවූ ඔහු බල දරාගෙනම සිටියේය. කැනේඩියානුවන් හට ඉතිරි වූ අනිවාර්ය විකල්පය වූයේ වසර දහයකට පෙර ශක්තිමත්ව නොතිබූ විරුද්ධ පක්ෂය වූ කොන්සර්වෙටිව් පක්ෂයයි. සෑම ජනමත විමසුම් සමීක්ෂණයකින්ම කොන්සර්වෙටිව් පක්ෂයේ ඉහළ නැග්මම දිස්වූ අතර ටෲඩෝගේ රජය වෙනුවට කොන්සර්වෙටිව් රජයක් පත් වේ යැයි කැනේඩියානුවෝ ප්‍රබල බලාපොරොත්තු තැබුවෝය.
2025 ජනවාරියේ දී පාක්ෂිකයන්ගෙන් එල්ල වන බලපෑමට ටෲඩෝ යටත්වෙද්දී, කැනේඩියානුවෝ, ලිබරල් පක්ෂයට වඩා සියයට 20 ක් ඉහළින් කොන්සර්වෙටිව් පක්ෂයට කැමති වී සිටියහ. එය යෝධ දක්ෂතාවකින් හෙබි නායකයකුට හෝ මාස කිහිපයක් තුළ අභිබවා ජය ගත හැකි (මහජන මතයේ) පරතරයක් නොවූයේය.
එම නිසා පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල නිවේදනය කරන්නට සමීපව තිබියදී කොන්සර්වෙටිව් පක්ෂ නායක පියරේ මාර්සෙල් පොලියේව්වා (Pierre Marcel Poilievve) ඉතා පහසු ජයක් ලබන සෙයක් පෙනෙන්නට තිබිණි.


 ට්‍රම්ප්ගේ කැනඩා විරෝධී ප්‍රතිපත්තිය 
එහෙත් 2025 පටන් සිදුවූ වාතාවරණය වෙනස්වීම් කිහිපයක් නිසා කැනඩාවේ මැතිවරණ රටාව ද මුළුමනින්ම වෙනස් වූයේය. ඉන් එකක් වනුයේ කැනඩාවේ දක්ෂින අසල්වැසි රාජ්‍යය වූ ඇ.එ. ජනපදයේ ජනාධිපති පදවියට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වූ මැතිවරණයයි. තමන්ගේ පූර්වගාමීන් දුකේදීත් සැපේදීත් අඛණ්ඩව පවත්වාගෙන පැමිණි යහපත් ලෙස අසල්වැසි සම්බන්ධතා පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියෙන් ඈත්ව ගොස් ආරම්භයේ පටන්ම ට්‍රම්ප් කැනඩා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 1998 ඇ.එ. ජනපදය තම අසල්වැසියන් දෙදෙනකු වූ උතුරින් කැනඩාව සමගත් දකුණේ මෙක්සිකෝව සමගත් අත්සන් කළ උතුරු අමෙරිකා නිදහස් වෙළෙඳ ගිවිසුම (North America Free Trade Agreement – NAFTA) යනුවෙන් හඳුන්වන නිදහස් වෙළෙඳ ගිවිසුම අවලංගු කරන බවට ට්‍රම්ප් නිවේදනය කළේය.
NAFTA ගිවිසුම වනාහි ගෝලීය ආර්ථිකයේ තුනෙන් එකකට මෑත කාලයේ දායක වූ ආර්ථික    කාර්යය කොටසකි. එම ගිවිසුමෙන් මෙම රටවල් තුනේම වෙළෙඳාම, ආර්ථික වර්ධනය, රැකියා නියුක්තිය ඉහළ නංවමින් ධනාත්මක ආර්ථික ප්‍රතිඵල එම රටවලට රැගෙන එනු ලැබූයේ එම රටවල ජනයාගේ ජීවන වියදම පහත හෙළමින් රටවල් තුනටම ඍජු විදේශ ආයෝජන ගෙන එමිනි.
මෙම සියලු වාසි තිබියදී ට්‍රම්ප්ට මෙම ගිවිසුම කඩිමුඩියේ නිමා කරන්නට අවශ්‍ය වූයේය. ඉන් අනතුරුව ඔහු මෙම දෙරටටම මත්ද්‍රව්‍ය මාෆියාවන්ට හා නීති විරෝධී සංක්‍රමණයන්ට උඩගෙඩි දෙන බවට චෝදනා කළේය. එයින් නොනැවතී තවත් පියවරක් ඉදිරියට තබමින් කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදවල 51 වැනි ජනපදය ලෙස ඊට ඈඳා ගැනීම තමන්ගේ අභිප්‍රාය යැයි ඔහු නිවේදනය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගනිමින් අමෙරිකාවේ සෞභාග්‍යය කොල්ලකන බවට ඔහු කැනේඩියානුවන්ට දැඩි උද්‍යෝගයෙන් යළි යළිත් දෝෂාරෝපණය කළේය. එම තත්වය නිවැරදි කිරීම උදෙසා කැනඩාවෙන් අමෙරිකාවට ආනයනය කරන සියලු භාණ්ඩ උදෙසා වූ තීරුබදු අත්තනෝමතිකව ඉහළ දමන බව ඔහු නිවේදනය කළේය.
මෙම අතාර්කික, උමතු සැලකීමෙන් කෝපයට පත් හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ජාතියක් ලෙස කැනඩාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා පෙරළා සටන් වදින බවට ප්‍රතිඥා දුන්නේය. කැනඩාවෙන්, අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන සියයට 25 ක තීරු බද්දකට මුහුණ දෙන්නට ඔහුට සිදුවූ අතර ඒ සමගම එම ප්‍රමාණයේම අනුපූරක තීරුබදු සහ රටේ පළාත්වල ක්‍රියාත්මක කරන තීරුබදු නොවන පියවරද ඒ සමග ක්‍රියාත්මක කිරීමට නියම කෙරිණි. ට්‍රම්ප්ගේ මෙම පියවර නිසා කැනඩාව තනි සමූහයක් ලෙස ඊට විරුද්ධව ඒකරාශි වූයේය. එසේම අමෙරිකානු භාණ්ඩ වර්ජනයක් කරා ට්‍රම්ප්ගේ පියවර ඔස්සේ “Buy Canada” ව්‍යාපාරය වෙත යොමුවන්නට කැනේඩියානුවන්ට සිදුවිය. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ට්‍රම්ප්ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමට හැකි ඕනෑම අයකුට සහයෝගය දෙන්නට කැනේඩියානුවෝ රිසි වූහ.


 කැනඩාවේත්, එක්සත් රාජධානියේත්  මහ බැංකුවල හිටපු බැංකුකරු,  මාර්ක් කාර්නේගේ ප්‍රවේශය 
දෙවැනියට සිදුවූ වර්ධනීය වෙනස්වීම වූයේ, කැනඩාවේත්, එංගලන්තයේත් මහ බැංකු අධිපති ධුරය දැරූ වෘත්තීය ප්‍රවීණයකු වූ මාර්ක් කාර්නේ, ටෲඩෝ වෙනුවට ලිබරල් පක්ෂයේ නායකත්වයටත්, අන්තර්කාලීන අගමැතිවරයා ලෙසත් (ඡන්දයෙන්) පත් කිරීමය. පක්ෂයේ නායකත්වයේ වැඩ ආරම්භ කරමින් තමා ට්‍රම්ප්ට කැනඩාව දුර්වල කරන්නට ඉඩ නොදෙන බවත් ට්‍රම්ප්ගේ අරමුණ මුදුන්පත් කරගන්නට ඉඩ නොදෙන බවත් කාර්නේ ප්‍රසිද්ධියේ කියා සිටියේ, කැනේඩියානුවන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. මෙම නිර්භය ප්‍රකාශය කළ සැණින්ම ජාතික වීරයකු බවට පත් කාර්නේ ට්‍රම්ප් සමග සටන් වදින්නට තෝරාගත යුතු නිවැරදි තැනැත්තා බවට කැනේඩියානුවෝ ඒත්තු ගත්හ. ට්‍රම්ප් පරදාලීම පිණිස තමාට සැලසුමකුත් ගෝලීය වශයෙන් සහයෝගයත් තිබෙනා බව සනාථ කිරීමට, මීට පෙර කැනේඩියානු නායකයන් කළ ආකාරයට ඔහු ගියේ අමෙරිකාවට නොව, යුරෝපයටයි. ප්‍රංශය එක්සත් රාජධානිය සහ යුරෝපා කොමිසම වෙත ඔහු එම ගමනේදී ප්‍රවිශ්ට වූයේය.
තමා දැඩි මතධාරියකු නොවන බව ප්‍රදර්ශනය කරමින් තමා ට්‍රම්ප් සමග අමෙරිකා එක්සත් ජනපදයේ බැලමෙහෙවර කරන රාජ්‍යයක් ලෙස නොව, ස්වෛරී ජාතියක් ලෙස සාකච්ඡා කිරීමට සූදානම් බව කාර්නේ නිවේදනය කළේය. ට්‍රම්ප්ගේ පත්වීමට පෙර, ශක්තියත්, සවි ඇති අදහසුත් සිඳී ගියා සේ දිස්වුණු ලිබරල් පාක්ෂිකයෝ කාර්නේගේ පත්වීමත් සමග අලුත් ජීවන හුස්මක් රැගෙන, නැවුම් උද්‍යෝගී හැඟීමකින්, ශක්තියකින්, ඕජෝ ගුණයකින් යළි ප්‍රතිචාර දක්වන්නට වූවෝය.


 කොන්සර්වෙටිව් පාක්ෂිකයන්ගේ  අන්තරායකාරී  පමණට වැඩි විශ්වාසය 
තුන්වැනි වර්ධනීය වෙනස්වීම වූයේ, තමන් නියත වශයෙන්ම ජයගන්නා බවට කොන්සර්වෙටිව් පාක්ෂිකයන් තුළ හටගත් ඔවුන්ටම විනාශය ගෙනදුන් පමණට වැඩි විශ්වාසයයි. ලිබරල්වරුන් දුර්වලව සිටි විට ඔවුහු හොඳ සටන්කරුවෝ වූහ. ටෲඩෝ පදවියෙන් ඉවත්ව ගොස් ඔවුනට එරෙහි මැතිවරණ සටනට නවකයකුට එළඹෙන්නට ඉඩ දෙතැයි ඔවුහු කිසිවිට බලාපොරොත්තු නොවූහ. ඒ නිසා ඔවුහු ඩොලර් මිලියන ගණන් ටෲඩෝට ප්‍රහාර එල්ල  කරන වෙළෙඳ දැන්වීම් උදෙසා වැය කළහ. කොතැන හෝ පෙනෙන්නට නොසිටි කාර්නේ දේශපාලන දර්ශනය තුළ දිස්වෙන්නට ගත් විට ඔවුන් කළ එම ආයෝජන සියල්ල මුළුමනින්ම නාස්තියක් බවට පත් වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණය සමීප වූ වැදගත්ම කාල පරිච්ඡේදය ගෙවී යන විට කොන්සර්වෙටිව් පක්ෂයේ කටයුතු සියල්ල අවුල්ව කැළඹී ගියේය.


 කාර්නේ ට්‍රම්ප්ට එරෙහි ප්‍රබල  ප්‍රතිවාදියකු වීම 
ඉහත කී සාධනීය වූ වෙනස්වීම් තුනම හේතු කොටගෙන කැනේඩියානුවෝ, වෘත්තීය දක්ෂතාවයෙනුත්, දේශපාලන හා ආර්ථික ක්‍රමෝපායන්ගෙනුත් ආශිර්වාදය ලද්දා වූ නව නායකත්වය යටතේ සිව් වැනි වාරයටත් රටේ පාලනය ගෙන යන්නට ලිබරල් පාක්ෂිකයන්ට තමන් තේරුම්ගත් ආකාරයෙන් බලය පැවරූහ. දැන් එකිනෙකාට එරෙහි එදිරිවාදියෝ දෙදෙනෙකි. වොෂින්ටනයේ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, තමා එක්සත් ජනපද ආර්ථිකයත්, ලෝක ආර්ථිකයත් යන දෙකම හසුරුවන බව කියා සිටී. ඔටාවා හි සිටින මාර්ක් කාර්නේ, කැනඩාව බිඳ දැමීමට යත්න දරන ට්‍රම්ප්ගේ උත්සාහය පරදවමින් කැනඩාව භූ දේශපාලන හා ආර්ථික භූමි දර්ශනයේ ප්‍රබල රටක් බවට කැනඩාව පත් කරන්නට ප්‍රතිඥා දෙයි. වොෂින්ටනයේ ඉන්නා තමාගේ එදිරිවාදියා මෙන් නොව කාර්නේ කියා සිටින්නේ තමාගේ අග්‍රාමාත්‍ය කාර්යභාරය මානුෂීය හරයන් (වටිනාකම්) සමග ආරම්භ කරන බවයි. වැරදි තීරණ ගෙන තිබුණද නිතරම ඒවායින් යමක් ඉගෙනගත් බැංකුකරුවකු ලෙස ඔහු සිය දීර්ඝ වෘත්තිය ජීවිතය ගෙවා තිබුණේ කැබිනට් මණ්ඩල, පළාත් හා විවිධ ප්‍රදේශවල ජනතාව සමග සමූහගත වෙමින් රට පාලනය කරමිනි.
කාර්නේ තමා කතාවෙන් කී ආකාරයට වැඩ කටයුතු කළහොත් එය ප්‍රජාතන්ත්‍රීය වාතාවරණයක් තුළ අද්විතීය නායකත්ව ගුණාංග ප්‍රදර්ශනය කිරීමක් වනු ඇත. කැනේඩියානු ජනතාව විසින් තමා අග්‍රාමාත්‍ය පදවියට පත් කළ සැණෙකින් ට්‍රම්ප්ගෙන් වඩාත් සාධනීය ඇමතුමක් ඔහුට ලැබුණු බව කියා සිටි ඔහු, 2025 මැයි 6 වැනිදා එක්සත් ජනපද පරිපාලනය හා ට්‍රම්ප් මුණගැසී ගැටලු විසඳා ගන්නා බවද පැවසුවේය.


 රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ  සතුරන් මිතුරන් බවට පත්වීම 
ට්‍රම්ප් හා කාර්නේ එකිනෙකාට එරෙහි වූවෝද? නැතහොත් මිතුරෝද? රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ සදාතනික සතුරන් හෝ මිතුරන් නැත. රටක සැබෑ නායකයකු විනාශය වළකා තම රටේ දියුණුව පිණිස ඉදිරියට තැබූ පියවරක් පසුපසට ගැනීම හේතු වේ නම්, එසේ කරන්නට මැලි වන්නේ නැත. ට්‍රම්ප් සිය අසල්වැසියාගේ මතය නොසලකා, ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක කළ නියෝග හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම කැනඩාවටද අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිදුවිය. සැබවින්ම මිනිසා විසින්ම නිර්මාණය කළා වූ, බරපතළ බාහිර කම්පන ගෙන දෙන එම පියවර හේතුවෙන්, බලාපොරොත්තු නොවූ ආර්ථික උත්ථානයක් සිදු නොවුවහොත් ආර්ථික මන්දගාමී බවක් සිදුවනු ඇත. ඉහළ යන පාරිභෝගික භාණ්ඩ මිල ඔස්සේ අදාළ මහ බැංකුවල උද්ධමන ඉලක්ක පීලි පනිනු ඇත. අපනයන සම්බන්ධ කර්මාන්තවල දැවැන්ත රැකියා වියුක්තියක් ඇති වන්නේය. ඒවායින් ඔවුන් වෙත ගෙන එන අනාගත කම්පනයන්ට මුහුණ දීගත නොහැකි වනු ඇත.
මේ වන විට, 2025 මුල් කාර්තුවේ ඇමරිකානු ආර්ථිකය තුළ සියයට 0.3 ක සෘණාත්මක වර්ධනයක් සිදුවී තිබෙන අතර, ප්‍රධාන ධාරාවේ අර්ථශාස්ත්‍රඥයන් බලාපොරොත්තු වන ආකාරයට එම තත්වය ඉදිරි කාර්තුවලද අඛණ්ඩව පවතිනු ඇත. (Deloitte) ඩිලොයිට් ආයතනය, ප්‍රක්ෂේපණය (පුරෝකතනය) කරන පරිදි කැනඩාවේ ආර්ථිකයද 2025 දී පසුබෑමට ලක් වනු ඇත. ඒ අනුව ආර්ථික ව්‍යසනයේ චූදිතයා ලෙස, ට්‍රම්ප්, කාර්නේව මුණගැසෙන අතර, ට්‍රම්ප්ගේ ඒක පාර්ශ්වීය ක්‍රියාමාර්ගයට ගොදුරු වූ තැනැත්තා ලෙස කාර්නේ, ට්‍රම්ප් මුණගැසෙනු ඇත. එම නිසා මෙම නායකයන් දෙපොළටම පියවරක් පසු පසට තැබීම සඳහා උත්සුක වීමට හේතු ඇත. අවම වශයෙන් තාවකාලික මිතුදමක් පෙන්වමින් ගැටලුවට විසඳුමක් සෙවීමට යොමු වනු ඇත. කෙසේ වුව ඉතිහාසය විසින් පෙන්වා දී ඇති ආකාරයට දෙරටේම වැසියන්ට අතිශය පීඩා ගෙන දෙමින් මෙම සාකච්ඡා ඇදී ඇදී යනු ඇත.


 මානව දුක්පීඩා දෙස  වෙනත් දෘෂ්ටියකින් 
මෙම නොසැලකිලිමත් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව විඳින පීඩා සම්බන්ධව මෙම නායකයන් දෙදෙනා අතර පවතින මූලික වෙනස්කමක් පවතී. තමන්ගේ ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාවට පීඩා විඳින්නට සිදුවුවද එය දීර්ඝ කාලයේ දී රෝගියකුට සුවපත් බව ලබා දෙන ආකාරයේ තිත්ත බෙහෙතක් බව කියමින් ට්‍රම්ප් තම ප්‍රතිපත්තිවලට පක්ෂව කතා කරමින් සිටී. එම නිසා ඔහු මානව පීඩා සම්බන්ධයෙන් අසංවේදී අයෙකි. මා මින් පෙර ලිපිවල පෙන්වා දී ඇති අයුරු කාර්නේ යනු පුහුණුව ලත් මූල්‍ය ආර්ථික විශේෂඥයෙකි. ඔහු මේ වන විට සිය නව ලිබරල්වාදී මූල්‍යවාදී ස්ථාවරය අතහැර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යනුවෙන් හඳුන්වන ස්ථාවරය වැළඳගෙන තිබේ. සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ස්ථාවරයෙන් වෙළෙඳපොළේ පවතින ව්‍යාධීන් නිවැරදි කරනු පිණිස ආණ්ඩු මැදිහත් වීමේ අවශ්‍යතාව පිළිගැනේ. Values (s) Building a Better World For All නමින් 2021 දී (සියල්ලන් උදෙසා වූ යහපත් ලෝකයක වටිනාකම් ගොඩනැගීම) ඔහු ලියූ ග්‍රන්ථයේ තේමාව හා ප්‍රවාදය වූයේ එයයි.
ඔහු ප්‍රසිද්ධියට පත් කළ ප්‍රවාදයේ විවරණයක් පහත දැක්වේ.


 වෙළෙඳපොළ ආර්ථිකයන්  වෙළෙඳපොළ සමාජය බවට හැරීම 
වෙළෙඳපොළ මත විශ්වාසය තැබූ මූල්‍යවාදී ප්‍රතිපත්ති න්‍යාය පත්‍රවලින් මධ්‍යම බැංකු දෙකටම මග පෙන්වූ බැංකුකරුවකු වන කාර්නේගේ තර්කයේ මූලික හරය වන්නේ, වෙළෙඳපොළ ආර්ථිකයන් වෙළෙඳපොළ සමාජයන්ට පරිණාමය වී ඇති බවත්, එහිදී සෑම දෙයකම වටිනාකම් තීරණය වන්නේ ඒවායේ වැඩදායී බවෙන් නොව වෙළෙඳපොළේ තීරණය වන මිල ඔස්සේ බවයි. මිල ගණන් තීරණය වීමේදී සාධාරණත්වය, සෞඛ්‍යය, අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, දරිද්‍රතාවෙන් ආර්ථික ආරක්ෂාව, ස්වභාව සංරක්ෂණය, ස්වභාවධර්මයේ විවිධත්වය, සම්පත් හා සුන්දරත්වය යන ඉහළ මානුෂ්‍ය වටිනාකම් ගණන් බැලෙන්නේ නැත. ඉල්ලුම හා සැපයුම අතර අන්තර් ප්‍රතික්‍රියාව සිදුවෙද්දී මෙම වටිනාකම් නොවැදගත් තැනට විසිවෙයි. ඉල්ලුම හා සැපයුමේ අන්තර් ක්‍රියාව මත මිල තීරණය වන්නේ ආත්මාර්ථකාමී අවශ්‍යතාවල මගපෙන්වීම යටතේ හඳුන්වනු ලබන වෙළෙඳපොළ කාරකයන් විසිනි.


 වෙළෙඳපොළ මානව පීඩා  නොසලකා හැරීම 
එහි ප්‍රතිඵලයක් ලෙස මානුෂීය වශයෙන් වඩාත් දයාර්ද්‍ර වූ ගුණාංගයන් මල්ඵල දරනු වෙනුවට එහිදී සිදුවන්නේ ඒවා මියයාමය. උදාහරණයක් දක්වන්නේ නම් අප දේශගුණ විපර්යාසයන් පිළිබඳව සැලකිලිමත් වන අතර ඒවායේ විනාශකාරී බලපෑම අද ලෝකයට මෙන්ම අනාගතයට ද ඇතිවේ. 
එහෙත් අප කාබන් මුදා හරිමින් රථය පදවන විට අපි හරිතාගාර වායුව නිදහසේ සෑම අදියරක දීම පරිසරයට මුක්ත කරන්නෙමු. අපි එම සාධකය නොසලකා හරින්නෙමු. ඒ වෙනුවට නිෂ්පාදන මට්ටමේදී එහි යෙදවුම්වල මිල ගණන්වලින් වෙළඳපොළ, භාවිත මට්ටමත්, කාර් රථයේ මිලත්, මෙන්ම අප සැලකිලිමත් වන නඩත්තු පිරිවැයත්, ඉන්ධන පිරිවැයත් තීරණය වේ.
ගිණුම් පවත්වගෙන යන්නේ හරිත පිරිවැය යනුවෙන් හඳුන්වන මෙකී පිරිවැය ඊට ඇතුළත් කර නොගෙනයි. මිල තීරණය වන්නේ ඒවායින් ස්වාධීනවයි. එම නිසා මිල ගණන්වලින් පිළිබිඹු අපගේ පෞද්ගලික අවශ්‍යතාව විනා මානව අවශ්‍යතාවන් නොවේ. 
මෙය එක් උදාහරණයක් පමණක් වන අතර තවත් බොහෝ උදාහරණ ඇත. මේ ආකාරයට කාර්නේගේ උත්සාහය වන්නේ වඩාත් මානවීය වූ සමාජයක් වෙත ළඟා වීමට ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවක් යෝජනා කිරීමයි.


 මානව වටිනාකම් ප්‍රවර්ධනය 
එම නිසා සෑම ප්‍රතිපත්තියකම අරමුණ ජනතාව බොහෝ සෙයින් රැකබලා ගන්නා මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය වන ආකාරයෙන් සකස් විය යුතුවේ. ලෝකය මෙම කාර්යය කිරීමේ ලා අසමත් වන්නේ නම් එයින්, මානව වර්ගයම අසමත් වනු ඇත. BBC  ආයතනයේ පළමු සාමාන්‍යාධිකාරී, සර් ජෝන් රිත් හට බුහුමන් දක්වනු පිණිස BBC ය අනුග්‍රහයෙන් පැවැත්වූ රිත්, දේශන මාලාවේදී කොටස් 4 දී කාර්නේ වැඩිදුරටත් මෙය විස්තර කළේය. 
ඒ සඳහා ලැබුණු මහජන පිළිගැනීමෙන් දිරිමත් වූ කාර්නේ 2025 දී එළිදැක්වීමට නියමිත ඔහුගේ ග්‍රන්ථයේ මෙම ප්‍රවාදයට තවත් එකතුවක් කිරීමට සැලසුම් කරමින් සිටී. 
එම ග්‍රන්ථය The Hinge: Time to build an even Better Canada නමින් නිකුත් වීමට නියමිතය. මෙහි The Hinge හෙවත් (අසව්) සරනේරුව යන අර්ථය දෙන වදන උපුටාගෙන තිබෙන්නේ 1941 ඔටාවා සමුළුවේදී වින්ස්ටන් චර්චිල් විසින් කළ ප්‍රකාශයක් ඇසුරෙනි. 
නිදහස හා සමෘද්ධිමත්භාවය උදෙසා පවතින අභිලාෂයන්ට ඉතිහාසය විසින් තර්ජනය කරන අවස්ථාවේ ලෝකයේ අසව් ගැලවෙන්නට මාන බලන බව ඔහු කියා සිටියේය. පසුගිය වසර කිහිපයේ ඔහු දේශනා කළ දෑ ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්නට දැන් කාර්නේට සිය වාරය පැමිණ තිබේ.


 සාමුහික ඒකාධිකාරී  බලතල සීමාකිරීම 
 ට්‍රම්ප් සහ කාර්නේ යන දෙදෙනාම වෙළෙඳපොළ කෙරේ විශ්වාසය නොතබති. ට්‍රම්ප් එසේ කරනුයේ, සෙසු රටවල් දේශපාලන නායකයන්, වෙළෙඳපොළ ඇමෙරිකා එක්සත් ජනපදයම එරෙහිව හසුරුවන බැවිනි. කාර්නේ එසේ විශ්වාසය නොතබන්නේ වෙළඳපොළ සාමුහික ඒකාධිකාරිවාදී අංශයෙන් හසුරවන බැවිනි. ඔවුන් මෙම ගැටලුවට දෙන විසඳුම් එකිනෙකට සහමුලින්ම පරස්පරය.
ට්‍රම්ප් හට සෙසු ලෝකයට ආත්මාර්ථකාමී දේශපාලන නායකයන්ට විරුද්ධව සමාගම් අංශයේ ඒකාධිකාරි බලවේගයන්ගේ සහයෝගය ගොඩනැගීමට අවශ්‍යය. ඔහු සාමාන්‍ය ජනතාව පිට වක්‍රබදු පනවමින් සමාගම් මත පැනවුණු ආදායම් බදු ඉවත් කළේ ඒ නිසාය. කාර්නේ හට අදාළ ආණ්ඩුවල මැදිහත්වීම් ඔස්සේ සමාගම්වල සාමුහික බලය සීමා කිරීමට අවශ්‍යය.


 පරාජිතයාද? ජයග්‍රාහකයාද? 
දැනට පවතින විනාශදායක ගැටලු පිළිබඳව මෙම නායකයන් දෙදෙනා හමුවූ විට තමන්ගේ මත හුවමාරු කර ගනීවිද යන්න උනන්දුව දල්වන්නකි. ඒ අතර කවුරු දිනයිද, කවුරු කාගෙන් ඉගෙන ගනීද?
ට්‍රම්ට දිනන්නට අවශ්‍ය නම්, ඔහු ගෞරවනීය ආර්ථික විශේෂඥයකු වන කාර්නේ වෙතින් ඉගෙන ගැනීම වඩා හොඳය.


2025 Daily FT හි පළවූ Global spillover of Trump (dis) Order Who Will win ultimately  Trunp of Carney 
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

පරාජිතයාද? ජයග්‍රාහකයාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1784 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site