හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 5.3 % කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එම කාලයේදී යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 3.1 %කින් ද, එක්සත් රාජධානියේ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 2.2% කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 6.8% කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
එහෙත් ඉහත කාල සීමාවේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.5% කින් ශක්තිමත් වී ඇත.
ගෝලීය වෙළෙඳ ගැටුම් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වෙමින් තිබෙන අතර ඒ නිසා ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක දෛනිකව අවප්‍රමාණය වෙමින් තිබේ.
ඒ අනුව ඩොලරයේ ශක්තිමත් වීම නිසා දකුණු ආසියානු කලාපයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති මුදල් ඒකකය වනුයේ ඉන්දීය රුපියලයි.
පසුගිය සිකුරාදා (31) ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල වාර්තාගත ලෙසින් පහළ ගියේය. එදින වෙළෙඳපොළ කටයුතු අවසන් වනවිට ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 71.01 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය.
මේ වසරේ ගත වූ කාලයේදී ආසියානු කලාපයේ මුදල් ඒකක සැලකිල්ලට ගැනීමේදී දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත්තේ ද ඉන්දීය රුපියලයි.
ඇමෙරිකා එක්සත් ජනපදය, ගෝලීය වෙළෙඳ අර්බුද, දේශීය දේශපාලනයේ තිබෙන අස්ථාවර තත්ත්වයට අමතරව ඉන්දීය රුපියල දුර්වල වීම ද ශ්‍රී ලංකා මුදල් ඒකකය අවප්‍රමාණය වීමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වන්නේ ද ඉන්දියාවයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (3) නිකුත් කළ විදේශ විනිමය අනුපාතවලට අනුව රුපියල තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගියේය. එම අනුපාතවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 162.78ක් ලෙස දැක්විණි.
COMMENTS
කලින් අවුරුදු දෙකේදී මේ තරම් අවප්‍රමාණ නොවූනේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවෙලා තිබුණු නිසා. එහෙම නැතිව කටින් බතල හිටවන ආණ්ඩුවේ දක්ෂ කමකට නෙමෙයි. මේ තමා ලංකා ඉතිහාසේ වැඩියෙන්ම රුපියල අවප්‍රමාණ කරපු ආණ්ඩුව.
ඉතාම මෑතකදී අපගේ මුදල් අගය පහත වැටීම රටට හොදයයි පුරසාරම් දෙඩු අය දැන් උන්න තැනක්වත් සොයාගැනීමට අපහසුයි වගේ.?