‘යථින්දඛීලෝ පඨවිංසිතො සියා - චතුබ්භි වාතේභි අසම්ප කම්පියෝ’ - යම් සේ පොළොවෙහි පිහිටා සිටි ඉන්ද්‍රකීලය, සිවු දිගින් හමන මාරුතයෙන් සෙලවිය හැකි නොවේ ද, එලෙස ම අර්ථාන්විත සමාජ - ව්‍යවසාය පදනමක පිහිටවනු ලබන කෘෂිකර්මය, ඉන්ද්‍රකීලයක් ලෙස නොසැලී සිටිමින් ජාතික ආර්ථිකය ආරක්‍ෂා කරයි, ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් සාගත බියෙන් හා රෝග බියෙන් රට ගලවා ගනී, ගොවීන්ගේ ආදායම ඉහළ නංවමින් ම පාරිභෝගිකයාට හොඳ මිලක් ලබා දෙයි, ණය ගැති භාවයේ වියගසින් ග්‍රාමීය ජනයා මුදවා ගනී, කෘෂි-පාදක කර්මාන්තවලට මුල පුරයි, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක පවුරු පදනම් ශක්තිමත් කරයි, ආර්ථික විශේෂඥයන්ගේ සියයට 3-5ක න්‍යායික සීමා කඩා බිඳ දමමින් වාර්ෂික වර්ධන වේගය සිතා ගත නොහැකි තරමට ඉහළ නංවයි. ඒ සඳහා, පීලි පැන තිබෙන සංවර්ධන-ආර්ථික චින්තාව නිසි තැන පිහිටුවීම, “එක යායක් - එක කළමනාකරණයක්” යන සංවිධාන ආකෘතිය හා ගොවි සමාගම් පදනම කරගත් නව කෘෂිකාර්මික ආර්ථික බලයක් ස්ථාපිත කිරීම හා ණය ගැති භාවයේ වියගසින් ග්‍රාමීය ජනයා මුදා ගැනීම අවශ්‍ය වේ.
ආර්ථික මිසයිලයක් සේ පෙනෙන, ට්‍රම්ප්ගේ තීරු බදු නැංවීමට ඇමෙරිකානු පන්නයේ ම පිළිතුරක් වෙමින්, අපේ ආර්ථික පදනම ශක්තිමත් කරගත යුතු ය. නොඑසේ ව, පෙත්සම් ඔප්පු කිරීමෙන් හෝ දුක් ගැනවිලි කියා හඬා වැළපීමෙන් හෝ ගෝලීය මාරුතයන්ට මුහුණ දීමට හැකි වන්නේ නැත.
වී ගොවිතැන හා සහල් නිෂ්පාදනය අපේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන හා තීරණාත්මක කොටසකි. වර්ෂ දෙදහස් ගණනාවක් තුළ ඒකරාශී කරගත් ජලාශ, වැව්, අමුණු, ඇළ-වේලි යනාදියෙන් සමන්විත ඓතිහාසික ප්‍රාග්ධනයත් අපේ කෘෂි විද්‍යාඥයන්ගේ පර්යේෂණ හා පරිශ්‍රමයත් කෘෂිකර්මයෙහි කරනු ලැබූ ආයෝජනත් සහනාධාරත් නිසා අපි සහලින් ස්වයංපෝෂිත වීමේ මානයට පැමිණ සිටින්නෙමු. එය ජාතික න්‍යාය පත්‍රයේ එක් ජය කණුවකට ළඟා වීමකි. එසේ වුව ද, එම කාර්යයේ පෙරමුණු බලඇණිය වූ ගොවීන් බොහෝ දෙනකුට ගොවිතැන සරුසාර ආදායම් මාර්ගයක් වී නොමැත. අනෙක් අතට, පාරිභෝගිකයන් බොහෝ දෙනකුට ඉහළ නගින හාල් මිල දරාගත නොහැකිය.
පීලි පැන්න සංවර්ධන - ආර්ථික චින්තාව
අද සිදුවන්නේ කුමක් ද? ‘නිදහසින්’ පසු ඉතිහාසය පුරාම නැඟුණු හඬ, එනම් ‘පාරිභෝගිකයාට හාල් මිල වැඩි ය, ගොවියාට වී සඳහා ලැබෙන මිල අඩු ය’ යන දෝෂාරෝපිත පැමිණිල්ල යළි යළිත් ප්‍රතිරාව නැංවීම යි. පාරිභෝගිකයාට හාල් මිල වැඩි ලෙසක් දැනෙන්නේ ඔහුගේ ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ගොවියාට වී සඳහා ලැබෙන මිල අඩු ලෙසක් දැනෙන්නේ ඔහුගේ නිෂ්පාදන වියදම් වැඩි නිසා ය, ලැබෙන මිල ණය බර විසින් ඔහුගේ අතේ දී අවප්‍රමාණය කරනු ලබන නිසා ය. මෙම උභතෝකෝටිකය විසඳන්නේ කෙලෙස ද? එළවළු ඇතුළු බොහෝ කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන්ද දිගින් දිගට ම මෙවැනි දෝෂාරෝපිත පැමිණිලි අසන්නට ලැබේ. බත සපයන ගොවියා සම්බන්ධයෙන් අප ගොඩ නගන මෙම කතිකාව හා විසඳුම් මාර්ගය, අනෙකුත් කෘෂිකාර්මික අංශවලට ද එළියක් සපයනු ඇත.
අපේ පළමුවැනි කාර්යය විය යුත්තේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන, එනම් සෑම කෙනකුටම අවශ්‍ය තරමට පෝෂ්‍යදායී ආහාර ලබා ගත හැකි වනු පිණිස, කෑම-බීම සුලබ හා සුමිල (සාපේක්ෂ ලෙස මිල අඩු) කළ හැකි නවීන කෘෂිකර්මයක් ස්ථාපනය කිරීමය. නොඑසේ ව, හාමතින් හෝ අඩ-හාමතින් හෝ පෙළෙන කායික-මානසික ශක්තියෙන් පිරිහුණ ජනතාවක් සමඟ සංවර්ධන සමීකරණය තුලනය කරගත නොහැකි ය. දරිද්‍රතාවේ ගිලී ඇති සියයට 45ක පිරිස විශේෂයෙනුත්, මුළු ජනගහනය ම පොදුවේත් ආරක්ෂා කරගත හැක්කේ එමගිනි. අපනයනය හා ඩොලර් ඉපැයීම ගැන කථා කරන බොහෝ දෙනා, එදා වේල සපයා ගත නොහැකි තරමට ම පහළට වැටී ඇති දේශීය පරිභෝජනය ඉහළ නැංවීමේ අරමුණ ඇති ව, දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමක් ගැන කථා නොකරති. ඔවුන්ගේ චින්තනය යොමු වී ඇත්තේ සියලු දෙනා එක් ව යන ගමනක් වෙත නොවේ, සියලු දෙනා පංගුකරුවන් වන සංවර්ධනයක් ගැන නොවේ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය පීලි පැන ඇති බවත්, ප්‍රමුඛතා හඳුනාගැනීමේදී අඩුපාඩු හා අතපසු වීම් සිදු වී ඇති බවත් දැන් පෙනීයයි.
එක යායක් - එක කළමනාකරණයක්
නවීන කෘෂිකර්මයක් ස්ථාපනය කිරීම යන්නට කාර්යක්‍ෂම හා අර්ථ ලාබය අරමුණු කරගත් සංවිධාන ව්‍යුහයක් ස්ථාපනය කිරීමද ඇතුළත් ය. අපි පළමුවෙන් ම සී සෑමේ සිට අස්වැන්න නෙළා ගැනීම හා විකිණීම සඳහා සකස් කිරීම තෙක් වූ ක්‍රියාවලිය සලකා බලමු. ගොවිබිම් කුඩා ඉඩම් කැබලි ලෙස විසිරී ඉහළ පලදායකත්වයකින් තොරව පැවතීම, පමණට වඩා විශාල පිරිසක් ගොවි බිමට සම්බන්ධ වී සිටීම හා යල-මහ ශ්‍රම සැපයුම, බීජ, පොහොර හා අනෙකුත් යෙදවුම්වල මිල, ට්‍රැක්ටර් හා අනෙකුත් යන්ත්‍රෝපකරණ කුලිය, වගාව නඩත්තු කිරීම, අස්වනු නෙළීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම හා වියළීම, ගබඩා කිරීම හා අස්වනු ආරක්ෂණය යන කටයුතු වලින් සමන්විත එම ක්‍රියාවලිය ආර්ථික වශයෙන් පලදායි ලෙස හැඩගස්වා ගැනීමට තිබෙන කාලීන හා ප්‍රායෝගික විසඳුම් මාර්ගය ‘එක යායක් - එක පාලනයක්’ සංවිධාන ආකෘතියයි. ඉතිහාසය විසින් නියම කර තිබෙන ඊළඟ උසස් අවදියට අපේ කෘෂිකර්මය ගෙන යා හැකි වාහකය එයයි. පීලි පැන තිබෙන සංවර්ධන-ආර්ථික චින්තාව නිසි තැන පිහිටුවා, ආර්ථික වර්ධන වේගය කීප ගුණයකින් වැඩි කිරීමට මුල පුරන සංවිධාන ශෛලීය එයයි.
‘එක යායක් - එක කළමනාකරණයක්’ යනු, එකිනෙකට ආසන්න ව පිහිටා ඇති ගොවිබිම් (කුඹුරු ඉඩම්) සමූහයක් ඒවායේ අයිතිකරුවන්ගේ කැමැත්තෙන්, පෞද්ගලික ඉඩම් අයිතියට කිසිදු අගතියක් නොවන පරිදී, තනි විශාල ගොවිබිමක් ලෙසට ඒකාබද්ධ කර, එක කළමනාකරණයක් යටතේ වගා කටයුතු කරගෙන යාමට පිහිටුවා ගන්නා සමාජ - ව්‍යවසායක සංවිධාන ආකෘතියකි. අත්හදා බැලීමේ පළමු පියවරේදී එම සංවිධානය ලිහිල් බැදීම් සහිත ගොවි සාමූහිකයක් වේ. එය සීමිත කාර්යයන් සහ අරමුණු වෙනුවෙන් පිහිටුවා ගන්නා හවුල් ව්‍යාපාරයකට සමානය.
ගොවි සාමූහිකයක් ලෙසට සංවිධානය වීි එක යායක් - එක කළමනාකරණයක්’ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් මුදුන්පත් කරගත හැකි අරමුණු බොහෝය:
බිම සකස් කිරීම, බීජ/පැළ රෝපණය, පොහොර යෙදීම, ජල කළමනාකරණය, වල්පැළ හා පලිබෝධ නාශනය, අස්වනු නෙළීම, පසු අස්වනු ආරක්ෂණය, ගබඩා කිරීම හා අලෙවිය යන කාර්යයන් එක් එක් ගොවියා විසින් වෙන වෙන ම කරනු ලබනවාට වඩා අඩු පිරිවැයකින් කරගත හැකි වීම, එනම්, මහා පරිමාණයේ වාසි ලබා ගත හැකි වීම.
උචිත තාක්‍ෂණය හා නව භාවිතාවන් යොදා ගැනීමට හැකි වීම මගින් පලදාව වැඩි කරගත හැකි වීම.
යායක වපසරිය අක්කර 75-100ක් වන අවස්ථාවක ස්ථිර කාර්ය මණ්ඩලය ලෙස දෙදෙනකු ප්‍රමාණවත් විය හැකි නිසා ගොවිබිම් හිමි වැඩි පිරිසකට එදිනෙදා ගොවිතැන් කටයුතුවලින් නිදහස් වී වෙනත් ආර්ථික කටයුතුවල යෙදීමට අවස්ථාව ලැබීම. එමගින් කෘෂිකාර්මික නොවන ආදායම් මාර්ග විවෘත කර ගැනීම.
ස්ථිර කාර්ය මණ්ඩලයක් සිටින නිසා, “කිලෝ මීටර්වලින් නොව මිලි මීටර්වලින් මැනීමේ” උපදේශය ක්‍රියාවට නගමින් හැම බිම් අගලක් ම හා හැම දිය බිඳුවක් ම උපරිම ලෙස භාවිත කීරීමටත්, යාය තුළ පිහිටි වගා නොකර අතහැර දමා ඇති ගොවිබිම් වගා කිරීමටත්, ප්‍රධාන කන්න දෙක අතරතුර කාලයේ වෙනත් කෙටි කාලීන වගා කටයුතු සඳහා ඉඩම් උපයෝගී කර ගැනීමටත් හැකි වීම.
කුඹුරු යායක වගා කටයුතු එක ම කාල සටහනකට කිරීම නිසා කෘමි උවදුරු අවම කර ගත හැකි වීම (ඒකාබද්ධ පලිබෝධ පාලනය) හා ජල කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක තබා ගත හැකි වීම.
පාංශු සංරක්ෂණය හා පාංශු පුනරුත්ථාපන කටයුතු මුළු යාය තුළ ම එකවර ක්‍රීයාත්මක කළ හැකි වීම මඟින් කුඹුරු පසේ භෞතික හා රසායනික ගුණාංග ඉහළ නැංවිය හැකිවීම
එක් එක් ගොවියා වෙන වෙනම කටයුතු කිරීමේ දී බොහෝ විට නිර්දේශිත ප්‍රමාණ ඉක්මවා රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආදිය භාවිත කරනු දක්නට ලැබේ. ගොවි සාමූහිකයක්/ ගොවි සමාගමක් ලෙස නිර්දේශිත ප්‍රමාණය පමණක් භාවිත කිරීමෙන්, එවැනි ගැටලු ජය ගත හැකි වීම.
කන්න රැස්වීම් කටයුතු සරල හා වඩාත් ඵලදායී වීම. රැස්වීම් හා පුහුණු වැඩසටහන් සඳහා පිරිස් වශයෙන් එක් විය යුතු අවස්ථා අවම වන බැවින්, වැය කළ යුතු කාලය, ශ්‍රමය හා වියදම් අවම වීම.
කුඹුරුවල ඇළ වේලි ඇතුළු වාරිමාර්ග නඩත්තුව හා ප්‍රතිසංස්කරණ, ක්‍රමානුකූල ව හා කලට වේලාවට කර ගත හැකි වීම
ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි, කෘ.ප.නි.ස., කෘෂිකර්ම උපදේශක, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි ඇතුළු තාක්‍ෂණික වශයෙන් හෝ පරිපාලනමය වශයෙන් හෝ වී වගාවට සම්බන්ධ නිලධාරීන්ට සංවිධානය වූ කණ්ඩායමක් සමඟ කටයුතු කළ හැකි වන නිසා ඔවුන්ගේ හා ඒ ආයතනවල සහභාගීත්වය පහසු කරවීම.
උපදේශනය ද ඇතුළු රාජ්‍ය හා අවශේෂ අංශවලින් සැපයෙන සම්පත් දායකත්වය කාර්යක්‍ෂම වීම.
ගොවිබිම්හි අයිතිකරුවන්ට ගොවි සාමූහිකයේ සාමාජිකයන් ලෙස තම තමන්ගේ පෞද්ගලික ගොවිබිම් අධීක්ෂණය කළ හැකි වීම.
ගොවි සමාගමේ යුග මෙහෙවර
ගොවි සාමූහිකයේ විෂයපථය පුළුල් කර ඉදිරියට යාමට ගොවීහු එකඟ වෙත් නම් ඊළඟ පියවර ගොවි සමාගමක් පිහිටුවා ගැනීම යි . ඒ සඳහා එකඟ වන එක් එක් ගොවියාට, තම ඉඩමේ ප්‍රමාණයට සමානුපාතික ව සමාගමේ කොටස් නිකුත් කළ යුතුය . ඉඩමේ අයිතිය සමාගමට පැවරීමක් සිදු කරන්නේ නැත. එහෙත් ගොවියා සමාගමේ සාමාජිකත්වය දරන තාක් හා ඔහුගේ මනාපය පවතින තාක් ඔහුගේ ඉඩම ද ඇතුළත් ඉඩම් යාය වගා කරන්නේ සමාගම මගිනි. ඉඩමේ පෞද්ගලික අයිතිය එලෙසම පවතිද්දී එහි වටිනාකමට සමාගමේ කොටස් නිකුත් කිරීම ඇතුළු අනෙකුත් විශේෂිත ප්‍රතිපාදන පැනවෙන නව ගොවි සමාගම් පනතක් සම්මත කළයුතු වේ.
ගොවි සමාගමක් ලෙසට සංවිධානය වීමෙන් මුදුන්පත් කරගත හැකි අරමුණු පහත දක්වා ඇත.
පර් යේෂණ දිරි ගැන්වීම, නව තාක්‍ෂණික භාවිතයන් උපයෝගී කර ගැනීම හා ආකර්ෂණීය සමාගම් ධුරාවලිය මඟින් උගත් තරුණ තරුණියන් කෘෂිකර්මයට සම්බන්ධ කරගත හැකි වීම.
ඉදිරි වර්ෂ කීපයක දී ඉපයිය හැකි බවට පුරෝකථනය කරන ආදායම ඇපයට තබා බැංකු ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් රාජ්‍ය අනුග්‍රහයෙන් සම්පාදනය කර ගැනීම. (තනි තනි ව ගොවීන්ට මෙවැනි අවස්ථාවක් ලබා ගැනීම අසීරු ය).
සමාගම මඟින් ගොඩනගා ගන්නා මූල්‍ය සංචිත සහ බැංකු පහසුකම් මාර්ගයෙන් සාමාජිකයන් අධි පොලී ණයගැති භාවයෙන් මුදා ගැනීම පිණිස සහන පොලී ණය ක්‍රමයක් ඇති කර ගැනීම.
වෙළෙඳපොළෙන් නිශ්චය කරනු ලබන මිල ගණන්වලින් ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙදෙනා ම සෑහීමට පත් වන ආර්ථික පරිසරයක් ඇති වීම.
වර්ෂ දෙකක හෝ තුනක හෝ සාර්ථක ක්‍රියාකාරීත්වයකින් පසු ව රජයේ සහනාධාර අනවශ්‍ය වන තත්වයක් උදා කරගත හැකි වීම. මේ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ කෘෂිකර්මාන්තය බද්දට යටත් නොකිරීම යි. ට්‍රැක්ටර් හා කෘෂි යන්ත්‍රෝපකරණ ආනයනයේදී හා නිෂ්පාදනයේදී පනවන බදු, ට්‍රැක්ටර් හා යන්ත්‍රෝපකරණ කුලියට එකතු වන බැවින්, එය ගොවියා අනියමින් ගෙවන බද්දකි.
අහිතකර හෝ ආක්‍රමණකාරී හෝ වෙළෙදපොළ තත්වය ඇති වන අවස්ථාවල දී රජයේ මැදිහත් වීම පහසු කරන ආයතන ව්‍යුහයක් ලෙස ක්‍රියා කිරීම
වගා රක්‍ෂණය හා ඉදිරි ගිවිසුම් (forward contracts) වැනි වාණිජමය රැකවරණ ලබා ගැනීමට අවශ්‍ය සංවිධානාත්මක පසුතලය ඇති වීම.
ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සම්පූර්ණයෙන් ම බදුවලින් නිදහස් කිරීම කළ නොහැකි නම් එම පහසුකම ගොවි සමාගම්වලට දිය යුතු ය. උදාහරණයක් ලෙස තමන් යටතේ ඇති ගොවිබිම්වල වපසරිය (ප්‍රමාණය) අනුව නිශ්චය කරනු ලබන ට්‍රැක්ටර් සංඛ්‍යාවක් බදු රහිතව මිලදී ගැනීමට සමාගම්වලට අවසර දීම.
ප්‍රාථමික/ප්‍රාදේශීය කුඩා සමාගම්වල එකතුවෙන් ජාතික ගොවි සම්මේලනයක් දක්වා ගමන් කළ හැකිය. එවිට ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් මහා පරිමාණයේ වාසි සලසා ගත හැකි ය. බීජ හා රෝපණ ද්‍රව්‍යත් අලෙවිකරණයත් ගොවියාගේ පූර්ණ පාලනය යටතට ගැනීමට හැකි වන්නේ එවිට ය.
ජාතික මට්ටමේ සංඛ්‍යා ලේඛන සකස් කිරීම පහසු වීම හා ඒවායේ නිරවද්‍යතාව ඉහළ යාම.
සූර්ය බල ශක්ති නිෂ්පාදනය වැනි ක්‍රියා මාර්ගවලට පිවිසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි වීම.
කෘෂි - පාදක සැකසුම් කර්මාන්ත වලට පිවිසීමට හැකි වීම.
රට පුරා පිහිටුවා ගත යුතුව තිබෙන දහස් ගණනක් ගොවි සමාගම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක පවුරු පදනම් ශක්තිමත් කරයි. “සංවර්ධනය” යනුවෙන් අප දකින්නට බලාපොරොත්තු වන්නේ, දේශීය හෝ විදේශීය හෝ ප්‍රාග්ධන හිමියන්ට ගොවින්ගේ ඉඩම් පවරා දී, අක්කර දහස් ගණන් විශාල වූ වගාවන් ඇති කර, ඒවාට හෙලිකොප්ටර් යානාවලින් බෙහෙත් හා පොහොර ඉසිනවා වැනි, මහා පරිමාණ කෘෂිකර්මයේ මනස්කාන්ත චිත්‍ර නොව, අපේ ගොවීන් විසින් ම මහා පරිමාණයේ වාසි බුක්ති විඳිනු ලැබීමය.
(වැඩිමනත් තොරතුරු හා ආශ්‍රිත ලියවිලි [email protected])
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෘෂිකර්මය : ආර්ථිකයේ අපේ බල පවුර
H A Ajith Priyantha Wednesday, 21 May 2025 02:34 PM
ප්‍රායෝගික විසඳුමක් විතරයි.