IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


එතරම් සරුනැති අටමස්ථානේ මල් වෙළඳාම

 

රුවන්වැලි මහා සෑය


  • සමහර දවස්වලට ගේන මල් අහක  යනවා. එතකොට අතින් පාඩුයි
  • උදේ පහ වෙනකොට මල් කඩේට එනවා
  • පෝයටයි, සති අන්තෙටයි සෙනග එනවා. අනිත් දවස් වල මේ පැත්ත පාළු‍යි
  • දරුවන්ට උගන්නන්න මේ දුක විඳින්නේ
  • සමහර කාලවලට නෙලු‍ම් මල් හිඟවෙනවා
  • නෙලු‍ම් මල්වලට වඩා ඕලු‍ මල් මිල වැඩියි
  • දැන් තියෙන බඩු මිලත් එක්ක පොඩි  මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි
  • මුළු අටමස්ථානෙම තුන්හාරසීයක්  විතර මල් විකුණනවා

බුල්නෑව ප්‍රදීප් රණතුංග


සුදු නෙලු‍ම්, රතු නෙලු‍ම්, ඕලු‍, මානෙල් මෙන්ම සමහර තැනක පිච්ච, දාස්පෙතියා ආදි නේක මල් විකුණා දිවි සටනට උරදෙන ළඳුන් අනුරාධපුරය අටමස්ථානයේ ද දුලභ නොවෙති. අලු‍යම තුනට අවදි වී පෙර දවසේ සුදානම් කොට ගත් මල්, පහන් ආදිය රැගෙන ඔවුහු අටමස්ථානයට එති. හිරු නැගෙන්නට පෙරම මේ වෙළෙන්දෝ දවස අරඹති. මල් වෙළෙදාමේ නිරත ළඳුන්ගේ කතාව අනුවේදනීය එකකි. අත මිට හිග කාලේ මල් විකුණා කීයක් හෝ උපයා සපයා පවුලට සවියක් වීම ඔවුනගේ ඒකායන අභිලාෂයයි. 

අනුරාධපුරයේ පුජා නගරයේ සිට ඕලු‍, නෙලු‍ම් මල් ටිකක් සමග උඩමළුවේ මල් වෙළෙදාමට එන චන්දිමා ගුණරත්න තිදරු මවකි. දරුවන්ට හොඳ හෙට දවසක් උදාකොට දීමේ අදිටනින් වෙළෙඳාමේ යෙදෙන ඇය දැක්වූයේ මෙවන් අදහසකි.

 මහත්තයාට විතරක් තනියම පවුලේ වියදම හොයන්න බැරි හින්දා මේ විදිහට ඇවිල්ලා මල් ටිකක් විකුණලා කියක් හරි හොයාගන්න බලනවා. පෝය දවසටයි, සති අන්තේ ඇරුණාම අනිත් දවස්වලට මිනිස්සු එන්නේ අඩුවෙන්. වැව්වලට ගිහිල්ලා මල් කඩන් එන අයට සල්ලි දීලා අපි මල් ගන්නේ. සමහර දවස්වලට ගේන මල්වලින් කොටසක් අහක යනවා. එතකොට අතින් පාඩුයි. ඒත් කරන්න දෙයක් නෑ. මේක තමයි අපිට උරුම ජීවිතේ.

මල් තරම් සොඳුරු නැති මේ ළඳුන්ගේ ජීවිතවලට හරසර දැක්වීමට කිසිවකු නැති තරම්ය. මහමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ථුපාරාමය, ජේතවනාරාමය ආදි මෙහි යන හැම පාහේ දන්නා සිද්ධස්ථාන හැරුණු විට තවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අවශේෂ තැන් කිහිපයක් ද මුණගැසේ.

අභයගිරි චෛත්‍යය, බිසෝ මාලිගාවේ සඳකඩ පහණ, කුට්ටම් පොකුණ, මිරිසවැටිය චෛත්‍යය, ලංකාරාමය, ආදිය ඒ අතර වේ. සදහිරු සෑය ද දැන් මේ අතරට එක්ව තිබේ. මේ තැන්වලට විත් මල් විකුණමින් ගිනි ගහන අව්වට, විටෙක ඇද වැටෙන මහ වැස්සට මැදිවී ඔවුහු ජීවිතය සොයති. 

තිදරු මවක වන බී.ජී. ප්‍රියංගිකා උඩමළුවේ මල් කඩයකට වී මල්, පහන්, හදුන්කූරු ආදිය අලෙවි කරමින් දවසේ වියදම සෙවීමට වෙහෙසෙයි. අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ සිට පුජා නගරයට එන ඇය මෙසේ කීවාය. 

උදේ හය වෙනකොට උඩමළුවේ පුජාව පටන් ගන්නවා. ගොඩක් අය ඒ හින්දම උදේම එනවා. ඉතිං අපිත් උදේම එනවා. උදේ පහ විතර වෙනෙකොට මං මෙතැනට එනවා. සමහර දවස්වලට දරුවොත් අරගෙන එන්නේ. ඒ අයත් දුක් විඳිනවා. උදේම එන්නැතිව මල් විකුණන්න බෑ. සමහර කාලවලට  නෙලු‍ම් මල් හොයාගන්න නෑ. එතකොට ඕලු‍, මානෙල්, දාස් පෙතිය වගේ මල් තමයි අපි අරගෙන එන්නේ. දරුවන්ට හොදට උගන්නන්න ඕන හින්ද තමයි මේ දුක විදින්නේ.

පුජා නගරයේ මල් වෙළෙඳාම පිළිබද වසර හතළිහක පමණ අත්දැකීමෙන් යුතු ආර්.ඩබ්ලිව්.එම්.කේ. කුමාර  මහතා කුඩා අවධියේ සිය මව සමග මල් වෙළෙදාමේ පැමිණි අයෙකි. මෙහි ලාබ, අලාබ පිළිබදව ඔහුට ඇත්තේ මනා අවබෝධයකි. ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.

දැන් මේ තියෙන බඩු මිලත් එක්ක අපි වගේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. අපි යුද්දේ තිබ්බ කාලෙත් අපි බෝධිය ළඟ මල් වික්කා. ඉස්සර මෙහෙම කඩ තිබුණේ නෑ. මේසයක් ගෙනත් ඒක උඩ තියාගෙන තමයි මල් වික්කේ. එතකොට කීපදෙනයි මල් විකුණන්න හිටියේ.  දැන් සෑහෙන පිරිසක් ඉන්නවා. මුළු අටමස්ථානෙම ගත්තොත් එක තුන්හාරසීයක් විතර මල් විකුණන අය ඉන්නවා.  මෙතැනත් කඩ විසිතුනක් තියෙනවා. එතකොට වෙළෙඳාම බෙදිලා යනවා. හම්බ කරපු හැමදෙයක්ම වගේ අපි වියදන් කෙරුවේ දරුවන්ට උගන්නන්න. ඉස්සරහටවත් මේ වෙළෙඳාම කරගෙන ජීවත් වෙනවා.

අටමස්ථානේ සිද්ධස්ථාන අභිමුව ස්ථිරව හෝ තාවකාලිකව ඉදිවු මඩු තුළට වී දිවි ගැටගහන්නවුන් මෙන්ම ඉන් බැහැරව තැන තැන මහ මග රැදෙමින් වෙළෙදාමේ යෙදෙන මෙවැනි වෙළෙඳුන් බොහෝ වෙති. සමහරෙකුගේ එකම ආදායම් මාර්ගය ද මෙය වෙයි. දරු පවුලක ජීවිත අපේක්ෂා ඔවුනගේ දෙවුර මත රැදී ඇත්තේය. 

කේ.දේවිකා ද හිරු එන්නට පෙරම පුජා නගරයට එන්නීය. මවක වන ඇය සිනහ වියැකුණු මුහුණින් මෙසේ පැවසුවාය.

අපි කීයක් හරි හොයන් එනකන් දරුවෝ මග බලන් ඉන්නවා. අපිට ගොවිතැන් කරන්න කියලා ඉඩම් ඇත්තෙත් නෑ. මේ වෙළෙදාමෙන් තමයි හැමදේම කරගන්නේ. මොනදේ කරල හරි දරුවන්ට කන්න දෙන්ඩ ඕනනේ. හොදට හිතලා බැලු‍වොත් අපේ ජීවිතත් හරියට අපි විකුණන මල් වගේ. පිපෙනවා. පරවෙනවා. සමහරු හිතනවා අපි හොඳට හම්බ කරනවා කියලා. ඒත් අපි විතරයි දන්නේ අපි විදින දුක ගැන. හැමදාම මිනිස්සු එන්නේ නෑ. මිනිස්සු එන දවසටත් මල් විකුණගන්න ලොකු තරගයක් තියෙන්නේ වෙළෙදාම් කරන කට්ටිය වැඩි නිසා. සමහරුන්ට වෙළෙදාම් තියෙනවා. සමහරුන්ට නෑ. සමහර කඩ තියෙන තැන් අනුවත් වෙළෙඳාම වෙනස් වෙනවා. ඒ හින්දම දැන් සති දෙකකට සැරයක් කඩ මාරු කරන වැඩපිළිවෙළක් නායක හාමුදුරුවෝ හදලා තියෙන්නේ. 

 

 ශ්‍රී මහා බෝධිය ළඟ පිහිටි මල් කඩ

අටමස්ථානේ විකිණෙන ඕලු‍, මානෙල්

 



අදහස් (0)

එතරම් සරුනැති අටමස්ථානේ මල් වෙළඳාම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site