IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉඟුරු අස්වැන්න වැඩිවී මිල පහත වැටේද?

මිල ආරක්ෂා කරගන්න රජය මැදිහත් වෙන්න ඕනෑ

  • 2024 වසරේදී හෙක්ටයාර් 2110 ක ඉඟු‍රු වගා කරලා
  • ටොන් 58.08 ක් අපනයනය කිරීමෙන් උපයා ඇති විදේශ විනිමය රුපියල් මිලියන 236.76 ක්
  • මෙම කන්නයේ වැඩි වශයෙන් ඉඟු‍රු වගා කර ඇති අතර එය ගිය කන්නයට වඩා තුන් ගුණයකට වඩා වැඩියි
  • කුරුණෑගල,මහනුවර, ගම්පහ, නුවරඑළිය, කෑගල්ල ආදී දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඉඟු‍රු වගා කරයි
  • අක්කරයක ඉඟු‍රු වගාවක් කරන්න ලක්ෂ 10 ක පමණ වියදමක්
  • පර්චස් එකක් වගා කළොත් ලක්ෂයක විතර ආදායමක්
  • පසුගිය කාලයේ ඉඟු‍රු කිලෝව රුපියල් 4000 ටත් ගියා

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

දේශීයව මෙන්ම විදේශීයවද ආහාර රස කර ගැනීම සඳහාත් රස කැවිලි මෙන්ම සිසිල් බීම, දේශීය ඖෂධ කර්මාන්තය සඳහාද බහුල වශයෙන් භාවිත කරන ඉඟු‍රු සඳහා මේ වන විට වැඩි මිලක් ලැබෙමින් තිබුණද මෙවර වගා කර ඇති ප්‍රමාණය අනුව මෙම කන්නයේ විශාල අස්වැන්නක් ලැබීම නිසා ඉදිරියේදී ඉඟු‍රු මිල අඩු වී ගොවීන්ට දැඩි පීඩාවක් ඇති විය හැකි බව ක්ෂේත්‍රයේ නිරතව සිටින පිරිස් සඳහන් කරති. 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වගා කරනු ලබන විශේෂිත වූ කුළුබඩුවක් ලෙස ඉඟු‍රු සඳහන් වන අතර ඉඟු‍රු දේශීයව සහ විදේශීය වෙළෙඳපොළ සඳහාද යොමු කරනු ලැබේ. මේ වන විට ඉඟු‍රු මිල සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බැවින් ගොවීහු විශාල වශයෙන් ඉඟු‍රු වගා කිරීමට මේ වන විට පෙළඹී සිටිති.

ඉඟු‍රු වගා කළ ගොවීන්ගේ හෙට දවස කෙබඳුද මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමකි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී හෙක්ටයාර් 2110 ක ඉඟු‍රු වගා කර ඇති අතර අස්වැන්න මෙට්‍රික් ටොන් 58.08 ක් අපනයනය කර තිබේ. එමගින් ලබා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 236.76 කි. 

මෙම තත්වය තුළ ගොවීන් සඳහන් කරන ආකාරයට මෙම කන්නයේ ඉඟු‍රු වැඩි වශයෙන් වගා කර ඇති අතර එය ගිය කන්නයට වඩා තුන් ගුණයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් බවත් ඔවුහු සඳහන් කරති. 

කුරුණෑගල, මහනුවර, ගම්පහ, නුවරඑළිය, කෑගල්ල ආදී දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඉඟු‍රු වගා කරනු ලබයි. එසේ වුවත් මෙම කන්නයේ වෙනත් දිස්ත්‍රික්කවලද ඉඟු‍රු වගා කර ඇති බව එහි නිරතවූවෝ අප සමඟ කීහ.

මහා පරිමාණ බීජ ඉඟු‍රු නිෂ්පාදකයකු වන කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි ගාමිණි පත්තම්පෙරුම මහතා මෙසේ කීය.

“මම වසර ගණනාවක් තිස්සේ ඉඟු‍රු වගා කරනවා. මම ඉඟු‍රු වගා කරලා වෙළෙඳ පොළට වැඩි වශයෙන් නිකුත් කරන්නේ බීජ වශයෙන්. මගේ අස්වනුවලින් සියයට 80 ක්ම බීජ සඳහා ගොවීන්ට ලබා දෙනවා. මේ වන විට මාත් සමග සම්බන්ධ ඉඟු‍රු ගොවි මහතුන් විශාල පිරිසක් රට පුරා ඉන්නවා. ඔවුන් මගෙන් උපදෙස් ලබා ගන්නවා. මම නම් මේ වගාව කර ගෙන යන්නේ කාබනික සහ රසායන යන පොහොර වර්ග දෙකම භාවිත කරලයි. බීජ සඳහා ඉඟු‍රු ලබා දීමේදී සාමාන්‍ය ගණනට වඩා වැඩි මිලක් ලැබෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ එකට තුනකටත් වැඩියෙන් ඉඟු‍රු ගොවීන් වගා කරල තියෙනවා. අලු‍තින් වගා කරන වගාකරුවන් තමන්ගේ නිෂ්පාදනය වෙළෙඳ පොළට ගෙන එන කොට මිල ශීඝ්‍ර ලෙස පහත බැස තියෙන්න පුළුවන්. ඒ නිසා මම රජයෙන් ඉල්ලන්න කැමැතියි මේ ගොවීන්ගේ අස්වනු වෙළෙඳ පොළට එද්දී මිල අඩු වෙන්නේ නැතිව පාලනයක් ඇති කර දෙන ලෙස යැයිද කීය.

මෙහිදී අප සමඟ අදහස් දැක්වූ කෘෂි විශේඥයෙකු වූ ජගත් රත්නායක මහතා මෙසේ කීය.

“පසුගිය කාලය සමඟ සැසඳීමේදී ගොවීන් විශාල වශයෙන් ඉඟු‍රු වගාවට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ඉඟු‍රු වගාවේ තියෙන ලාබ පරතරය. අක්කරයක ඉඟු‍රු වගාවක් කරන්න ලක්ෂ 10 ක විතර වියදමක් යනවා. හැබැයි. ඒකෙන් රුපියල් ලක්ෂ 70 ක විතර ආදායමක් ගන්න පුළුවන්. පර්චස් එකක් වගා කළොත් ලක්ෂයක විතර ආදායමක් ගන්න පුළුවන්. මේ කන්නයේදී පසුගිය කන්නයට වඩා විශාල ඉඩම්  ප්‍රමාණයක මෙවර ඉඟු‍රු වගා කරල තියෙනවා. පසුගිය කාලයේ ඉඟු‍රු කිලෝව රුපියල් 4000 ක් දක්වා ගියා. එහෙත් ඉඟු‍රු කිලෝව රුපියල් 700 ට වික්කත් හොඳ ලාභයක් ගන්න පුළුවන්. මේ කන්නයේ විශාල ඉඩම් ප්‍රමාණයක ඉඟු‍රු වගා කරල තියෙන නිසා අනිවාර්යෙන්ම වැඩි අස්වැන්නක් ලැබෙනවා. අස්වැන්න වැඩි විම නිසා සමහර විට මිල පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉඟු‍රු වගාව මේ කන්නයෙන් පසුව කඩා වැටෙන්නත් පුළුවන්කම තියෙනවා. මිල පහත වැටුණොත් ගොවීන් අධෛර්යවත් වෙනවා.

ව්‍යාපාරික මට්ටමින් ඉඟු‍රු වගා කරන ව්‍යාපාරිකයකු වන සුනිල් දේවසුරේන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය.

“මම මෑතක ආරම්භ කළා ආර්ථික වටිනාකමක් ඇති ඉඟු‍රු වගාව. අපි එක කන්නයක දී විශාල මුදලක් ලබා ගත්තා. නැවතත් අපි මේ වගාව ආරම්භ කරල තියෙනවා. හොඳ ආර්ථික වටිනාකමක් ඇති බෝගයක් තමයි මේ ඉඟු‍රු කියන්නේ. මම සෑම තරුණයකුගෙන්ම ඉල්ලනවා තමන් සතුව තියෙන ඉඩම්වල මේ ඉඟු‍රු වගා කරල විශාල ආදායමක් ලබා ගන්න කියලා.

විශ්‍රාම යාමෙන් පසුව ඉඟු‍රු වගාවට වැඩි බරක් දී සිටින කුලතුංග බණ්ඩාර මහතා මෙසේ කීය.

“මම ඉඟු‍රු වගාවට අවතීර්ණ වුණේ විශ්‍රාම යාමෙන් පසුව. මට මේ වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නෑ. එහෙත් මම මට පුළුවන් ආකාරයට වගාව ගොඩ නඟා ගත්තා. අපට රජය මැතිහත් වෙලා වෙ​ෙළඳ පොළ දේශීය වශයෙන් හා විදේශිය වශයෙන් සකස් කරල දෙනවනම් විශාල පිරිසක් ඉඟු‍රු වගාවට යොමු වෙලා රටට ආර්ථික වශයෙන් විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වේවි යැයිද කීය. 

පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරතුංග මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

අපේ ආයතනයෙන් කරන්නේ ඉඟු‍රු අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරිමයි. රස කැවිලි කර්මානත්වලට ඖෂධ කර්මාන්තයටක් අමුද්‍රව්‍යක් ලෙසත් අපි මේ ඉඟු‍රු නිෂ්පාදන ලබා දෙනවා. මේ කර්මාන්තය කර ගෙන යාමේදී අමුද්‍රව්‍ය වන ඉඟු‍රුවල මිල නිතරම උච්චාවචනය වීම නිසා අපට දැඩි ගැටලු‍වක් මතු වෙනවා. මොකද අපි මේ කර්මාන්තය කරන්නේ ගිවිසුම් ගතවයි. වරින් වර මිල ඉහළ ගියොත් අපට ගැටලු‍ මතු වෙනවා. 

මෙම ගැටලු‍වලට පිළිතුරු ලබා දෙමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ආර්.කේ.ඩබ්ලිව්. රන්කෙත්කුඹුර මහතා මෙසේ කීය. 

ඉඟු‍රු අස්වැන්න වෙළෙඳපොළේ හිඟවන විට එහි මිල ඉහළයාම මෙන්ම බීජ ඉඟු‍රුවල මිලද ශීඝ්‍රයෙන් ඉහළයාම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් ඉඟු‍රු අස්වැන්න වැඩිවන කාලවලදී එහි මිල අඩුවන බැවින් වගාකරුවන් එම කාලවලදී ඉඟු‍රු වගාවට යොමුවීම ශීඝ්‍රයෙන් අඩු වන බව ගොවීන්ද දන්නා දෙයක්. රට තුළ වාර්ෂිකව ඉඟු‍රු හෙක්ටයාර් 2200 ක පමණ වූ ඉඟු‍රු වගා වපසරියක් පවත්වා ගෙන යන්නේ නම් ගොවියන්ට, පාරිභෝගිකයන්ට සහ කර්මාන්තකරුවන්ට සාධාරණ මිලක් යටතේ තම කර්මාන්ත පවත්වා ගෙන යාමට හැකිවෙනවා. ඉඟු‍රු වගාව දිරි ගැන්වීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පසු අස්වනු තාක්ෂණ වැඩසටහන් හා අගය එකතු කළ නිෂ්පාදන සඳහා ආයෝජන ආධාර වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙම තත්වය ලබන වගා කන්නය වන විට පහව යනු ඇති.



අදහස් (0)

ඉඟුරු අස්වැන්න වැඩිවී මිල පහත වැටේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site