ශ්‍රී ලංකාව සිදුකළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තියුණු මෙන්ම වේගවත්
ලංකාව තම ආර්ථිකය බොහෝ රටවල්වලට වඩා වේගවත්ව ස්ථාවර කරගෙන
රාජ්‍ය මූල්‍ය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධියට යොදාගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි
වක්‍ර බදු සහ අවම රාජ්‍ය අංශයේ වැටුප හේතුවෙන් මෙරට පවුල් පීඩනයට පත්වෙලා
අභියෝගය වී ඇත්තේ ශ්‍රී ලංකාව එකතු කරන සහ වියදම් කරන සෑම රැපියලකින්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම
විමුක්ති එස් රුද්‍රිගු
වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට අටකට ආසන්න ප්‍රමාණයකින් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව ලෝක බැංකුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව සිදුකළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තියුණු මෙන්ම වේගවත් බව ද ලෝක බැංකුව පැවසුවේය.
ශ්‍රී ලංකාව තමා ආර්ථිකය ගොඩ ගැනීමට ගත් උත්සාහය 1980 වසරේ සිට ඊට සමාන සිදුවීම්වලින් ආර්ථිකයන් ගොඩ ගැනීමට රටවල් 123 ක් ගත් උත්සාහය 330 ක් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාව තම ආර්ථිකය බොහෝ රටවල්වලට වඩා වේගවත්ව ස්ථාවර කරගෙන තිබෙන බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකයේ වැඩි ප්‍රමාණය ස්ථාවර වී ඇති බැවින් රාජ්‍ය මූල්‍ය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇතැයිද ලෝක බැංකුව පැවසුවේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සමාලෝචනය: සමබර මූල්‍ය ගැළපුමක් උදෙසා නැමැති ලෝක බැංකු වාර්තාවට අනුව ආර්ථිකය ස්ථාවර කිරීමට මෙරට රජය ගත් මූල්‍ය ක්‍රියාමාර්ග විශේෂයෙන් මෙරට දුප්පත් පවුල්වලට දැඩි පීඩනයක් එල්ල කර ඇති බවත්, ආර්ථිකය ස්ථාවර කිරීමට රජය පැනවූ වක්‍ර බදු සහ අවම රාජ්‍ය අංශයේ වැටුප හේතුවෙන් මෙරට පවුල් එලෙස පීඩනයට පත්ව ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කර සිටියේ, මෙරට ආර්ථිකයේ වැඩි කොටස මේ වන විට ස්ථාවර වී ඇති නිසා දැන් අභියෝගය වී ඇත්තේ ශ්‍රී ලංකාව එකතු කරන සහ වියදම් කරන සෑම රුපියලකින්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම බවයි.
මින් අදහස් වන්නේ සෘජු බදු පිළිබඳව අවධානය යොමු කරමින් බදු පරිපාලනය නවීකරණය කිරීමත්, රාජ්‍ය මූල්‍ය වඩාත් සාධාරණ හා කාර්යක්ෂම අයුරින් සිදු කිරීමත් යැයි ඔහු සඳහන් කළේය.
දීර්ඝ කාලීන ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනැගීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවල මීළඟ අදියර සැලසුම් කළ යුතු බවද ඔහු පැවසුවේය.
සැලසුම් කිරීම සහ ප්‍රතිපාදන වෙන් කිරීම අතර සම්බන්ධය ශක්තිමත් කිරීම, වග වීම වැඩිදියුණු කිරීම සහ මැනිය හැකි ප්‍රගතියක් ලබා දෙන ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු කිරීම හොඳ රාජ්‍ය සේවයක් ලබාදීමටත්, සියලුම අංශවලින් ආර්ථිකය වර්ධනය කර ගැනීමටත්, දැඩි අවදානමට ලක්වූවන් ආරක්‍ෂා කරගැනීමටත් සහායක් වනු ඇතැයි ද සිස්ලන් මහතා ප්‍රකාශ කළේය.
මෙරට ප්‍රාග්ධනයට හෝ ආර්ථික වර්ධනයට හානියක් නොවන අයුරින් 2029 වසර වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් එම ලෝක බැංකු වාර්තාවේ සඳහන් විණ.
එසේම වත්මන් වියදම් සීමාවේ සිට සිදු කරන ප්‍රාග්ධන වියදම්වල කාර්යක්ෂමතාව ඉහළ දමාගැනීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවද එම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් තවත් වියදම් කප්පාදු කිරීම හෝ ඉහළ දැමීම යෝග්‍ය නොවන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
රජය 2022 වසරේ සිට බදු ආදායම ඉහල නංවා ගැනීමට සැලකිය යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බවත්, පසුගිය වසර අවසාන වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.3 දක්වා රජයේ බදු ආදායම ඉහළ ගොස් තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.
එහෙත් ගෙන ඇති එම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව පටු බදු පදනමකට හිර කර තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
බදු ආදායමේ වැඩිවීම්වලින් සියයට 75ක් පැමිණ ඇත්තේ වක්‍ර බදුවලින් බවත්, එය දුප්පත් ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
තිරසාර සහ සමාන ආදායම් එකතු කිරීමක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තුනක් එම වාර්තාව පෙන්වා දෙයි.
පළමුවැන්න වන්නේ සෘජු බදු මත යැපීම ඉහළ නැංවීම වන අතර, දෙවැන්න වන්නේ බදු පරිපාලනය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමයි.
වාර්තා විසින් හඳුනාගනු ලැබ ඇති තෙවැනි ක්‍රියාමාර්ගය වන්නේ බදු ගෙවන ප්‍රමාණය ඉහල නැංවීම සඳහා බදු ගෙවන්නන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගැනීමයි.
වාර්තාව මඟින් බදු ආදායම ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කීපයක්ද ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාව සියයට පහළොවක ප්‍රතිශතයක අවම සමාගම් ආදායම් බද්දක් හඳුන්වා දිය යුතු බවත්, බදු ආදායම් පිරිවැය සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් එම නිර්දේශවලට ඇතුළත්වේ.
එසේම ශ්‍රී ලංකාව පුළුල් බදු දිරිගැන්වීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවත්, බදු ගෙවන ධනවතුන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කළ යුතු බව එම වාර්තාවේ ඇතුළත් වන එක් නිර්දේශයකි.
එය තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිපත්තියක් සකස් කිරීමෙන් ආරම්භ කළ යුතු බවද එහි දැක්වේ.
එසේම ශ්‍රී ලංකාව නා බඳු පරිපාලන හා ක්‍රියාමාර්ග නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවද එහි සඳහන්වේ. තවද ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය වසරක් තුළ සාදා අවසන් කළ නොහැකි බව සහතික කළ යුතු බවද ලෝක බැංකුව එම නිර්දේශ මඟින් පෙන්වා දුන්නේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආර්ථිකය ගොඩ ගැනීමට ලංකාව කටයුතු කළ ආකාරය ප්‍රසංශනියයි - ලෝක බැංකුව කියයි