IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අයවැය සහ ඉදිරි අපේක්ෂා: විද්වත් අදහස්


භානුක අමරසිංහ


Daily FT පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ  MBA  ආදිශිෂ්‍ය සංගමය එක්ව 15 වැනි වරටත් සංවිධානය කළ 2026 පසු අයවැය සංසදය පසුගියදා කොළඹදී සාර්ථක ලෙස පැවැත්වුණි. මෙම අවස්ථාවේ ප්‍රධාන දේශකයා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සම්බන්ධ වූ අතර, එම අවස්ථාවේදී ඔහු 2026 අයවැය හරහා රජය බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව අනාවරණය කළේය.
ඉන් අනතුරුව විද්වත් සංවාද මණ්ඩපයක් පැවැත් වුණු අතර, ඒ සඳහා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට අමතරව, කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදිශිෂ්‍ය සංගමයේ සභාපති අජිත් ද සිල්වා, ආර්ථික කටයුතු සහ මුදල් පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව, ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟු‍මාල් තෙවරතන්ත්‍රී, ආර්ථිකවිද්‍යාඥ ආචාර්ය රෝෂන් පෙරේරා සහ Selyn Sri Lanka  හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ සෙලිනා පීරිස් යන මහත්ම මහත්මීහු සම්බන්ධ වී සිටියහ. මෙම සංවාදය මෙහෙයවීම DailyFT  පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කසිම් විසින් සිදු කරන ලදි.
මෙහිදී පසුගිය වසරේ අයවැය යෝජනා මගින් ගෙන ආ අඩු පොලී ණය පහසුකම් පිළිබඳව සහ තවමත් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී පවතින අභියෝග පිළිබඳව බැංකු දරන ස්ථාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බිඟු‍මාල් තෙවරතන්ත්‍රි මහතා, “පෞද්ගලික අංශයට ලබා දෙන ණයෙහි දැනට සියයට 21ක පමණ වර්ධනයක් අපි දකිනවා එය තරමක් සැලකිය යුතු අගයක්. බැංකු මගින් දැන් සෑම මාසයකදීම රුපියල් බිලියන 200 කට වඩා ලබා දෙන අතර, මුළු ගෙවීම් රුපියල් ට්‍රිලියන 1.4 කට ආසන්න වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රවණතාව තරමක් ධනාත්මකයි. මෙම අදියරේදී, වර්ධන අනුපාතය සියයට 4.8 ක් පමණ වෙනවා. එය තවමත් කළමනාකරණය කළ හැකි මට්ටමේ පවතින නිසා ඒ පිළිබඳව වැඩි කලබලවිමක් සිදු විය යුතු නැහැ’ යනුවෙන් පැවසීය.
“මේ අනුව සැලකීමේදී 2015 සහ 2018 අතර කාලය තුළ ණය වර්ධනය ඉලක්කම් දෙකක අගයක් දක්වා ඉහළ ගියා. සමහර වසරවලදී එය සියයට  20 ඉක්මවූ නමුත් ආර්ථික වර්ධනය සියයයට 3.5 ක් පමණ වුණා. එය ඉතා මන්දගාමී වර්ධනයක්. ඒ වගේම ඒ කාලයේදී ගෝලීය ගැටලු‍වක්ද තිබුණේ නෑ. එහෙත් මෙම අසමතුලිතතාව 2018 දී අවදානම් ඇති කළ අතර, අක්‍රීය ණය (NPL)  ඉහළ යාමක් අපි දැක්කා. ඒ අනුව ණය සියයට 20 ක් පමණ වර්ධනය වෙනවා නම්, ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ආර්ථිකය අවම වශයෙන් සියයට  5 කින් වත් ප්‍රසාරණය විය යුතුයි. එසේ නොවුණොත් වසර කිහිපයකට පසු ගැටලු‍ මතු වීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත්, අද වනවිට අපි අර්බුදයකින් මතුවෙමින් සිටින අතර, ගනුදෙනුකරුවන්ගේ ණය ගැනීම්වල වැඩිවීම අලු‍ත් වූ ව්‍යාපාර විශ්වාසය පිළිබිඹු කරනවා. නිෂ්පාදන කළමනාකරුවන්ගේ දර්ශකයත් ඒකක 55 සහ 60 අතර පවතින නිසා, බොහෝ අංශ හරහා ප්‍රසාරණයක් පෙන්නුම් කරනවා.’
විශේෂයෙන්ම 2025 අයවැයෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය සඳහා රුපියල් බිලියන 80 ක් පමණ වෙන් කර ඇති අතර, එයට අඩු පොලී සහ ඇපකර යෝජනා ක්‍රම ඇතුළත් වන බවත් ඒ මහතා පැවසීය. ඒ අනුව ණය ඇපකර යෝජනා ක්‍රමය යටතේ පසුගිය වසරේ රුපියල් බිලියන 4 ක් පමණ ලබා දුන් අතර, මේ වසරේ රුපියල් බිලියන 9 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් සඳහන් කළේය. කෙසේ වෙතත්, එය තවමත් ප්‍රමාණවත් නොවන බව පිළිගත යුතුව ඇතැයිද ඔහුගේ අදහස විය.
මෙහිදී 2026 අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක් වූ අජිත් ද සිල්වා මහතා, “රජය තමන්ගේ ආදායම් සීමාව වැඩි කර තිබෙනවා. මේ හරහා ආදායම වැඩි කළ හැකි වුණත්, ව්‍යාපාර මත අමතර පීඩනයක්ද ඇති කරනවා. මේ හරහා මිල ඉහළ යාමේ හැකියාවක් පවතින අතර එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පාරිභෝගිකයන් යන දෙපිරිසටම බලපෑ හැකියි. මෙම කාණ්ඩයට ඇතුළු වන සියලු‍ම ව්‍යාපාර සඳහා ලියාපදිංචි කිරීම, අනුකූලතාව සහ අධීක්ෂණය කළමනාකරණය කිරීමට බලධාරීන්ට අවශ්‍ය නිසා, බදු පරිපාලන කාර්ය භාරය සැලකිය යුතු ලෙස ඉහළ යනු අතැයි අපි විශ්වාස කරනවා.’ යනුවෙන් සඳහන් කළේය.
ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙය ඔවුන්ගේ මෙහෙයුම් සඳහා තර්ජනයක් ලෙස දැකිය හැකි බවත්, මෙම වෙනස්කම් පිළිබඳව රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සමඟ පැහැදිලිව සන්නිවේදනය කිරිම වැදගත් බවත් ඔහු සඳහන් කරයි. එසේම බාධා අවම කිරීම සඳහා අනුකූලතාව පිළිබඳ මාර්ගෝපදේශ ලබා දීම ඉතා වැදගත් වන බවත් ඔහු පැවසුවේය.
මෙවර අයවැය හරහා අපනයන ක්‍රමෝපාය පිළිබඳව පවතින ගැටලු‍ වෙත පිළිතුරු ලබාදී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය රෝෂන් පෙරේරා, “පසුගිය කාලසීමාවේදී අප මුහුණ දුන් බාහිර අභියෝග මධ්‍යයේ වුවද, අපගේ අපනයන වර්ධනය වී තිබෙනවා. එසේම ලබන වසරේ ද එය අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. එහෙත් අයවැය ගෝලීය පරිසරය සැලකිල්ලට ගෙන තිබේද යන්න සහ නව ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්  (FTA)  පිළිබඳව පැහැදිලි සඳහනක් කර තිබේද යන්න ප්‍රධානම ගැටලු‍වයි. අයවැයේ ඒවා සඳහන් වුවද, පැහැදිලි කාලරාමු එහි සඳහන්ව නැහැ. එය පොරොන්දුවක් පමණයි. එය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්.’ යනුවෙන් පවසා සිටියාය.
“වෙළෙඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කළ රටවලට දැන් අපනයන-දළ දේශීය නිෂ්පාදිත අනුපාත අපගේ මෙන් තුන් ගුණයක සිට හතර ගුණයක් බවට පත් කරගෙන තිබනෙවා. ශ්‍රී ලංකාවේ එය තවමත් සියයට 20 ක් පමණයි. විශේෂයෙන් ගෝලීය පරිසරය ඉහළ යන ජාතිකවාදී, ආරක්ෂණවාදී කාර්මික ප්‍රතිපත්ති සහ අනෙකුත් රටවල වර්ධනය වන උපායමාර්ගික සහනාධාර සමඟ වඩාත් අභියෝගාත්මක වන බැවින්, අපි අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ වේගවත් කළ යුතුයි. වෙළෙපොළ ප්‍රවේශයත් වඩාත් දුෂ්කර වෙමින් පවතිනවා. තරගකාරීව සිටීමට අපට සැපයුම් දාමයන් හා හවුල්කරුවන් සමගින් ඵලදායී ලෙස ඒකාබද්ධ වීමට අවශ්‍යයි. එසේ නොමැති වුවහොත්, අපි මඟ හැරී යාමේ අවදානමක් පවතිනවා. තවත් කනස්සල්ලක් වන්නේ තීරුබදු සහ තීරුබදු නොවන බාධක ඉහළ යාමයි. විවිධාංගීකරණය වූ වෙළෙඳ ගිවිසුම් නොමැතිව, අපි පටු වෙළෙඳපොළවලට දැඩි ලෙස නිරාවරණය වෙමින් සිටිනවා.’ යනුවෙන්ද ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි හුලංගමුව මහතා, “මගේ අදහස නම්, අපනයන විවිධාංගීකරණය සහ අපනයන ඉහළ නැංවීම තරමක් සංකීර්ණ මාතෘකාවක්. පසුගිය වසර එකහමාරක සහ ඉන් ඔබ්බට මගේ අත්දැකීම නම්, මෙය රජයේ ගැටලු‍වක් පමණක් නොවන බවයි. එය පුළුල් ශ්‍රී ලාංකික ව්‍යුහාත්මක ගැටලු‍වක්. අපනයන හෝ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන්, ප්‍රශ්නය නම්: ආයෝජකයකු ශ්‍රී ලංකාව තෝරා ගත යුත්තේ ඇයි? අපට සැපයුම් දාම, අමුද්‍රව්‍ය සඳහා වන ප්‍රවේශය සහ වියට්නාමය වැනි විශාල ශ්‍රම වෙළෙඳපොළවල් සමඟ සම්බන්ධතා නැහැ.  වෙළෙඳ ගිවිසුම් ගැන බැලු‍වොත්, අපට ඒහරහා ප්‍රතිලාභ ලැබීමට යම් අරගලයක් කළ හැකියි. ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ගත්තහම, ඒ හරහා අපනයන තරමක් වැඩි වෙලා තිබෙනවා. එහෙත් තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම විවිධ හේතු මත ක්‍රියාත්මක කළ නොහැකි වෙලා තිබෙනවා. අපට ගිවිසුම් ඇති තැන පවා, අපගේ පිරිවැය පදනම ඉතා ඉහළයි.’
තෙවරතන්ත්‍රී මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාව මහා පරිමාණ නිෂ්පාදනයට වඩා නිකේතන නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි කියලා මම හිතනවා. අපට වියට්නාමය හෝ බංග්ලාදේශය වැනි මහා පරිමාණ නිෂ්පාදන සමඟ තරඟ කරන්න බැහැ. එහෙත් වික්ටෝරියා‘ස් සීක්‍රට් සඳහා සමීප ඇඟලු‍ම් හෝ ඝන-ටයර් නිෂ්පාදනය වැනි විශේෂිත නිෂ්පාදනවල විශිෂ්ටත්වයට පත්වීමට අපට හැකියි. මහා පරිමාණ නිෂ්පාදනයේ අපට කිසිදා සාර්ථක වෙන්න බැහැ. එහෙත් ඉන්දියාවේ පුළුල් වන සැපයුම් දාමයේ කොටසක් වීමට අපට අවස්ථාවක් තිබෙනවා. උදාහරණයක් විදියට ජපානය ඉන්දියාවෙන් ඔබ්බට විකල්ප නිෂ්පාදන කඳවුරු සොයමින් සිටිනවා. එම පසුබිම තුළ ශ්‍රී ලංකාවට ‘ඉන්දියා ප්ලස් වන්”‍ භූමිකාවක් ඉටු කළ හැකියි. සමහර විට ඉන්දියාවෙන් පිටත අපනයන වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කළ හැකියි. කෙසේ වෙතත් ඍජු විදේශ ආයෝජන කියන්නේ මූලිකවම ස්ථාවරත්වයේ ප්‍රතිඵලයක්‍්.’’ යනුවෙන් පැවසීය.
“2010-2011 පමණ කාලය තුළ ෂැන්ග්‍රි-ලා වැනි ව්‍යාපෘති සමගත්, 2017 පමණ වන විට හම්බන්තොට වරාය විකිණීමත් සමගත් අපගේ ඍජු විදේශ ආයෝජන ගලා ඒම් උපරිමයට පැමිණියා. ඉන් අනතුරුව එම ගලා ඒම් අඩු වුණා. ආර්ථිකය විවෘත කිරීමෙන් පසු, අපි සමස්තයක් වශයෙන් ඩොලර් බිලියන 23-24 ක් පමණ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගෙන තිබෙනවා. එහෙත් වියට්නාමය වසරකට ඩොලර් බිලියන 18-20 ක් ආකර්ෂණය කරගන්නවා. අනෙකුත් නැගී එන වෙළෙඳපොළවල් මෙන් අපි එකම ආයෝජක සංචිතයක් සඳහා තරග කරන බව අප හඳුනාගත යුතුයි.’ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙලිනා පීරිස් මහත්මිය, “මහාපරිමාණ නිෂ්පාදනය වෙත නොයා නිකේතන නිෂ්පාදනය වෙත යොමුවීමට මම එකඟවෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නියෝජනය කරන සහ සුවිශේෂී අපනයනකරුවකු ලෙස අපි සෙල්ලම් බඩු නිෂ්පාදනය කරනවා. නිකේතන නිෂ්පාදනවල හැකියාව මම සියැසින් දැක තිබෙනවා. ගෝලීය බාධක මධ්‍යයේ වුවත්, අපගේ ශිල්පීය හැකියාව සහ විශ්වසනීයත්වය නිසා එක්සත් ජනපද ගැනුම්කරුවන්ගෙන් ඇණවුම් වැඩි වීමක් අප දකිනවා. මෙවර අයවැය හරහා පර් යේෂණ සහ සංවර්ධන (R&D)  සහ වාණිජකරණය සඳහා අරමුදල් වෙන් කිරීම වෙනුවෙන් රජයට මම ප්‍රශංසා කරනවා.“ යනුවෙන් පවසා සිටියාය.
මෙවර අයවැය මගින් අපනයන පිළිබඳව කතා කළද, සේවා අපනයනය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමුව තිබෙන බවට නිස්තාර් කාසීම් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් හුලංගමුව මහතා, “අප අවධානය යොමු කළ යුතු නිශ්චිත නිකේතන නිෂ්පාදන පවතින බවට මම එකඟ වෙනවා. එහෙත් ඉලක්කය විදේශ සංචිත ගොඩනැගීම නම්, සේවා අපනයන නිෂ්පාදිත භාණ්ඩවලට වඩා ඉහළ විභවයක් පවතිනවා. අපි දේශීයව යමක් නිෂ්පාදනය කළත්, යෙදවුම් වලින් සියයට 70 ක් පමණ අපි ආනයනය කරනවා. ඒ නිසා ඛනිජ අපනයන හෝ ඒ හා සමාන අංශ කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම් දේශීය අගය එකතු කිරීම සීමිතයි. ගෝලීය වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් නිෂ්පාදිත භාණ්ඩ සඳහා, අපට තවමත් අමුද්‍රව්‍යවලින් සැලකිය යුතු කොටසක් ආනයනය කිරීමට සිදු වෙනවා, එමගින් විදේශීය සංචිතවලට ශුද්ධ ප්‍රතිලාභය අඩුයි.’
“ඊට පරිබාහිරව ගත්තොත්, ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ සේවා හෝ වෙනත් සේවා-නැඹුරු අපනයන, බොහෝ ඉහළ අගය එකතු කිරීමක් සපයනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයත් විදේශ සංචිත කෙරෙහිද ප්‍රබල බලපෑමක් ඇති කරනවා, මන්ද එය සැබෑ විදේශ මුදල් ජනනය කිරිමක් සිදු කරනවා. එබැවින්, උපාය මාර්ගය පැහැදිලියි. ඉහළ වටිනාකමක් ඇති සේවා අපනයන කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ශ්‍රී ලංකාවට සැබෑ ලෙසම විදේශ ප්‍රාග්ධනය ඉහළ නැංවීමට හැකියාව ලැබේවි.’’ යනුවෙන්ද හුලංගමුව මහතා සඳහන් කළේය. 
මෙහිදී අදහස් දක්වා සිටි ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා, මෙවර අයවැය මගින් අංශ කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම ඉලක්ක කෙරෙන බවත්, එම ඉලක්කගත කණ්ඩායම් සහ සුළු හා මධ්‍ය පරිමාණ අංශය මෙන්ම මහාපරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමට කටයුතු කරන බවත් සඳහන් කළේය. 
“අපි මෙවර අයවැය සකස් කිරිම සඳහා කර්මාන්තකරුවන්, පාර්ශ්වකරුවන්, ජනතාව ඇතුළු බොහෝ පාර්ශ්ව සමගින් සාකච්ඡා කළා. මේ උපදේශනය හරහා අදහස් නිර්මාණය කෙරුණා. ඒවා තමයි අයවැය බවට පත්වුණේ. ඒ සියල්ලම අතරේ වඩාත් වැදගත් වෙන්නේ ව්‍යාපාර වෙත ඉදිරියට ගමන් කිරිමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීමයි. මේ අයවැය ඒ වර්ධනය ඉලක්ක කරගත්තක්. ඔබලාට සහ ඔබලාගේ ව්‍යාපාර වෙත පවතින බලාපොරොත්තුව වඩාත් විශාල, හොඳ සහ වැඩි ලාභදායී තත්වයට එය පත් කරගැනීමයි. එමගින් ආර්ථිකය වර්ධනය වේවි. ඒ හරහා වැඩි රැකියා බිහි කරමින් ඇතැම් විට රටින් පිටටත් යාමට අවස්ථාව උදා වේවි.“
ඒ අනුව සියල්ල එක් වූ වර්ධනය, අපනයන විවිධාංගීකරණය, ණය තිරසාරත්වය, නිෂ්පාදන ආර්ථිකය, ග්‍රාමීය ආර්ථිකය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය ඩිජිටල්කරණය කිරිම යන කරුණු හයක් මත පිහිටා මෙම අයවැය සකස් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඡායාරූප - උපුල් අබේසේකර



අදහස් (0)

අයවැය සහ ඉදිරි අපේක්ෂා: විද්වත් අදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site