2020 වර්ෂය සඳහා මේ වනවිටත් අයවැයක් සම්මත වී නැත. 2020 සඳහා වූ අයවැයේ වියදම් විස්තරයක් සමඟ 2021 සඳහා අයවැයක් වශයෙන් විසර්ජන කෙටුම්පත් දෙකක් 2020 නොවැම්බර් 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසේ. මේ අනුව වසර අග කාර්තුව වන විට අයවැය දෙකක් එකම රජයක් විසින් එකවිට ඉදිරිපත් කරනු ලබන වර්ෂයක් ලෙස 2020 ඉතිහාසගතවනු ඇත.

එසේම ජනපතිවරණය නිසා 2019 අගදී 2020 සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර ඒ නිසාම 2020 දී වියදම් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා 2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් (Vote on Account) පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේය.

අප්‍රේල් මාසය නිම වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා අයවැයක් සම්මත කරගැනීමට නොහැකි වූ අතර, අප්‍රේල් අග නිමාවට පත්වූ අතුරු සම්මත ගිණුම වෙනුවට අලුත් අතුරු සම්මත ගිණුමක් ද සම්මත කර ගැනීමට රජයට නොහැකි විය. ඒ නිසා පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු අයවැයක් හා අතුරු සම්මත ගිණුමක් නැතිව මැයි මස සිට අගෝස්තු මාසයේ නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් වියදම් කිරීමට ජනපතිට සිදුවූ අතර ඒ පිළිබඳව ද දැන් දැන් යම් යම් විරෝධතා මතුවෙමින් පවතී.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලතලවලට අනුව 2020 මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ ‘භාරකාර අරමුදලේ’ මුදල් මෙන්ම, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කොට මහ බැංකුව හරහා සල්ලි අච්චු ගසා රටේ අවශ්‍යතම වියදම් කිරීමට සිදුවිය. අගෝස්තු මාසයේ නව පාර්ලිමේන්තුව රැස් වූ අතර, ඒ හරහා 2020 සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම තවදුරටත් කල්දමා, දෙවැනි අතුරු සම්මත ගිණුමක් සම්මත කොට 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වියදම් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්තේය. ඒ අනුව එකම වසරක් තුළ එකම ආණ්ඩුවක් අතුරු සම්මත ගිණුම් දෙකක් ඉදිරිපත් කිරීම අතින් ද නව රජය වාර්තාවක් තැබීය.

රජයක් තම අරමුණු සඳහා අයවැයක් පවත්වාගෙන යන ආකාරය අප හඳුන්වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය (Fiscal Policy) කියාය. රටක මිල  ස්ථායිතාව සුරැකීමට රටේ මුදල් සැපයුම නිසි ලෙස කළමනාකරණය කිරීම අප හඳුන්වනුයේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetary Policy) කියාය. රටක මූල්‍ය ප්‍රතිපත්තිය කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට මහ බැංකුවට හැකියාව උදාවනුයේ මනා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ මෙබඳු තත්ත්වයක් බොහෝ විට ක්‍රියාත්මක වන බවක් 1950 සිටම වසර 70 ක කාලයක් තුළ අප දුටුවේ නැත. 1954 හා 1955 වර්ෂවල හැර 1956 සිට හැම වර්ෂයකම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමට වඩා වියදම් වැඩි වූ අතර ඒ නිසාම අයවැය හිඟයක් වාර්තා වී එම හිඟයත් පියවා ගැනීමට ණය ගැනීමට සිදුවී රාජ්‍ය ණයද වසරින් වසර වැඩි වන තත්ත්වයක් අපි දකින්නෙමු. (වගුව බලන්න)

 


ඉහත දත්ත දෙස බලන විට පෙනී යනුයේ රටේ සමස්ත සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කරගැනීමට අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය විනයක් ශ්‍රී ලංකාවේ බොහෝ විට දැකිය නොහැකි බවය. රාජ්‍ය මූල්‍ය විනයෙහි පවතින අඩුපාඩු නිසා ආර්ථිකය තුළ රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යයක් ඇතිවී තිබෙන අතර, එය නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණයක් කරා ගමන් කිරීමට එනම් උද්ධමනය අඩුම සියයට 4 ක් වැඩිම සියයට 6 ක් ලෙස පවත්වාගෙන යෑමට මහ බැංකුව දක්වන උත්සාහය දුර්වල කිරීමට ද හේතු වේ. ඒ නිසා ශ්‍රී ලංකාවට රාජ්‍ය මූල්‍ය මත පනවනු ලබන දිගුකාලීන සංරෝධක හෙවත් ‘රාජ්‍ය මූල්‍ය නීති’ (Fiscal Rules) පැනවීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක් ගැන කතා කරන මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. මේ වනවිට රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය මූල්‍ය නීති භාවිතයට ගෙන ඇත.

ශ්‍රී ලංකාව ද 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත නීතිගත කළත් එහි දැක්වුණු ඉලක්කවලට ළඟාවීමට රට සමත් වුණේ නැත. ඒ නිසාම 2013 දී මෙම පනත සංශෝධනය කොට 2013 දී සියයට 80 ක් වූ රාජ්‍ය ණය 2020 දී සියයට 60 කට අඩු කළ යුතුයයි කියා තිබුණත් 2019 වන විටත් එය සියයට 87 කට ඉහළ නැඟ තිබුණි. 2020 දී එය සියයට 100 කට ද ළඟාවනු ඇත. එසේ නම් 20 වැනි සංශෝධනය ගැන කතා කරන මේ මොහොතේ 2021 දී යළි රාජ්‍ය මූල්‍ය වගකීම් පනත සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බව අවසාන වශයෙන් දක්වමු.

(***)