IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


හිසරදයට කොට්ට මාරු කරන චීනයේ දේශපාලනය

ලොව දෙවැනි විශාල ආර්ථිකය වන චීනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ සම්මේලනය දේශීය මෙන්ම විදේශීය නිරීක්‍ෂකයින්ගේ අවධානයට ලක් වෙන සංසිද්ධියකි. එහෙත් මෙවර නොවැම්බර් මාසයේ 8 වැනිදා සිට ඇරඹෙන පක්‍ෂ සම්මේලනය ගැන ජාත්‍යන්තර අවධානය වැඩියෙන් යොමුවන්නේ පසුගියදා රැස්වූ දේශපාලන මණ්ඩලය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන බෝ සිලායි පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ගත් තීරණය නිසාය. වරක් පක්‍ෂයේ නැගී එන තරුවක් වූ බෝ සිලායි කලකට පෙර චොන්ග් ක්වින්ග් ප‍්‍රදේශයේ පක්‍ෂ ලේකම් තනතුරෙන් ඉවත් කර තිබුණ අතර ඔහුගේ බිරිඳ වන ගු කයිලායි මීට සති කීපයකට පෙර බි‍්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකු වූ නීල් හේවුඞ් මරා දැමීම ගැන වරද පිළිගත් නිසා අත්හිටවූ සිරදඬුවමකට ලක් වූවාය. පක්‍ෂයෙන් නෙරපීමට අමතරව ඔහුට අපරාධ චෝදනා වලට මුහුණ දීමට සිදුවන බවද සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලය නිවේදනය කර ඇත. ඒ ඔහු චොන්ග් ක්වින්ග් පක්‍ෂ ලේකම්ව සිටියදී විශාල මුදල් ප‍්‍රමාණයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම, විශාල මූල්‍ය ප‍්‍රතිලාභ ලබා ගැනීම හා ස්ත‍්‍රීන් ගණනාවක් සමඟ අයථා සම්බන්ධතා පැවැත්වීම නිසාය. දේශපාලන මතවාදී වෙනස්කම් නිසා පක්‍ෂයෙන් නෙරපා හැරීම සාමාන්‍ය දෙයක් වන නමුත් මෙවැනි අල්ලස් හා දුෂණ චෝදනා මත කිසියම් පුද්ගලයෙකු පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම විශේෂ සිද්ධියකි. ඩෙන්ග් ෂියාවෝ පිංග් හඳුන්වා දුන් ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය යටතේ චීන ආර්ථිකයේ දැවැන්ත වර්ධනයක් වූ බව සැබවි. දශක තුනක කාලයක් තිස්සේ ඉලක්කම් දෙකක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත් චීනය ලොව ප‍්‍රධාන පෙලේ ආර්ථික පසුබෑමකට ලක්ව තිබියදී පසුගිය වසරේදී සියයට 10.7 ක කැපී පෙනෙන වර්ධන වේගයක් අත්කර ගත්තේය. ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දහයක දායකත්වය ලැබෙන්නේද චීනයෙනි. ඒ අනුව පසුගිය වසරේ ගෝලීය ආර්ථික වර්ධනයෙන් සියයට විස්සකට හිමිකම් කීවේද චීනයයි. මෙම කැපී පෙනෙන ආර්ථික වර්ධනය සමග පැතිරී ගිය තවත් සමාජ ව්‍යාධියක් වූයේ ඉහළ තනතුරුවල සිටි පක්‍ෂයේ නායකයින් හෝ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් නොයෙකුත් ආකාරයේ අයථා ගනුදෙනුවලින් විශාල වශයෙන් ධනය ඒකරාශී කර ගැනීමය. මෙය ප‍්‍රසිද්ධ කාරණයක් වුවද චීන කොමියුනිස්ට් පක්‍ෂය ඒ ගැන දැඩි පියවර ගත්තේ නැත. එහෙත් බෝ සිලායි සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගැනීම එක අතකින් මෙවැනි දුෂිත නායකයින්ට විරුද්ධව පක්‍ෂය තුළින්මත් සාමාන්‍ය ජනතාවගෙනුත් නැගෙන විරෝධයට හිස නැමීමකි. අනෙක් අතට සමහර නිරීක්‍ෂකයින් අවධාරණය කරන ආකාරයට දශක හතකට ආසන්න කාලයක් බලයේ සිටින චීන කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළේ පවතින බල අරගලයේ ප‍්‍රකාශනයකි. කෙසේවුවත් චීනයේ විසූ බි‍්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකු හා ආයෝජකයෙකු වන නීල් හේවුඞ්ගේ මරණය නිසා මතුපිටට පැමිණි දේශපාලන බලය අයථා ලෙස යෙදවීමේ උත්සාහය ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ප‍්‍රචාරයවීම චීන බලධාරීන්ට යටපත් කළ නොහැකි චෝදනාවක් විය. එම මරණය ප‍්‍රථමයෙන් සිය දිවිනසා ගැනීමක් බව පළ වුවද චොන්ග් ක්වින්ග් ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානියා හදිසියේම එක්සත් ජනපද කොන්සල් කාර්යාලයක දේශපාලන රැුකවරණය පැතීම සැඟව තිබූ කරුණු ගණනාවක් එළිදරවු වීමට හේතු විය. බෝ සිලායි ගේ බිරිඳ මෙම මිනීමැරුමට සම්බන්ධ බවත් එය යටපත් කිරීමට පොලිස් ප‍්‍රධානියා සහාය වූ බවත් ජනමාධ්‍යයෙන් වාර්තා විය. අනතුරුව ගු කයිලායිට එරෙහිව මිනීමැරුම් පිළිබඳ චෝදනාවක් ඉදිරිපත් වූ අතර නඩු විභාගයේදී ඇය වරද පිළිගත් නිසා අත්හිටවූ සිර දඬුවක් නියම විය. අපරාධය යටපත් කිරීමට සහායවීමේ චෝදනාව යටතේ පැවැති නඩු විභාගයෙන් හිටපු පොලිස් ප‍්‍රධානී වැන් ලිජුන්ට වසර විස්සක සිර දඬුවමක් නියම විය. පසුගිය සතියේ පක්‍ෂයේ විනය කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසම තීරණය කළ ආකාරයට මෙම අපරාධය සම්බන්ධයෙන් බෝ සිලායිට බරපතළ වගකීමක් පැවරේ. ඊට අමතරව ඔහු පක්‍ෂයේ නිල බලය යොදා ගෙන විශාල වශයෙන් මුදල් රැස්කර ගෙන ඇත. බෝ සිලායිගේ පුත‍්‍රයා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධියක් ලබාගෙන ඇති අතර පසුව එක්සත් ජනපදයේ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් සඳහා සුදුසුකම් ලබා සිටී. බොහෝ නිරීක්‍ෂකයින් විසින් ජලයෙන් වැසී ඇති මහා අයිස් පර්වතයක කුඩා මුදුනක් වශයෙන් හැඳින්වෙන මෙම දුෂණ හා අයථා ක‍්‍රියා චිනයේ මෑත කාලයේ වාර්තාවූ ආර්ථික වර්ධනයේම අනියම් ප‍්‍රතිඵලයකි. මෙය තවදුරටත් නොසලකා සිටිය නොහැකි තත්ත්වයක් වන්නේ ආර්ථික වර්ධන වේගයේ පසුබැසීමත් සමග සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහීමට හා අවදානම් තත්ත්වයට පත්වීම නිසාය. ඒ නිසා පසුගිය වසරේ ප‍්‍රධාන කාර්මික ප‍්‍රදේශ සියල්ලේම පාහේ වැඩ වර්ජන ව්‍යාපාර පැතිරිණ. ඊට අමතරව ගොවීන්ගේ ඉඩම් විශාල කම්හල් තැනීම සඳහා අත්පත් කරගැනීමට දැවැන්ත විරෝධතා ව්‍යාපාර පැන නැඟිණ. සාමාන්‍යයෙන් මෙවැනි විරෝධතා නොසලකා රජයේ තීරණ ක‍්‍රියාත්මක කරන නමුත් මෙවර එවැනි මර්දනකාරී පියවර මගින් විරෝධතා යටපත් කළ නොහැකි විය. සමහර ප‍්‍රදේශවල පක්‍ෂයේ තනතුරු සඳහා ඡන්ද විමසීම් පැවැත්වීමට බලකරන ලද අතර එවැනි ඡුන්ද විමසීම්වලින් ජයගත්තේ පක්‍ෂයේ නායකත්වයෙන් නම් කළ අපේක්‍ෂකයින් නොවේ. සමහර නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට පසුගිය සති කීපයක් මුළුල්ලේ බීජිං නගරයේ සහ අනෙකුත් ප‍්‍රධාන නගරවල පැවැති ජපන් විරෝධී උද්ඝෝෂණ රැල්ල යටින් පැවැතියේ පොදුවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වයට එරෙහිව පවතින විරෝධයයි. ජපන් විරෝධී රැලිවලදී මාවෝ සේතුංගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කළ බවද වාර්තා විය. මෙහිදී වැදගත් වන්නේ නොවැම්බර් 8 වැනිදා සිට පැවැත්වෙන පක්‍ෂයේ 18 වැනි සම්මේලනයේදී පක්‍ෂයට ඒ තුළ සිටින බෝ සිලායි වැනි නායකයින්ගේ ග‍්‍රහක ගලවා ගැනීම සඳහා සංස්කෘතික විප්ලවයක් දියත් වීමට අවස්ථාවක් තිබේද යන්නයි. මීට පෙරද පක්‍ෂය තුළ විනය පවත්වාගැනීම හා වංචා දුෂණ ඉවත් කිරීම ගැන ප‍්‍රකාශන නිකුත් වුවද එවායින් සැලකිය යුතු වෙනසක් සිදු වූ බවක් නොපෙනේ. පක්‍ෂයේ නායකයින්ගේ පවුලේ සාමාජිකයින් හා ඥාතීන් නොයෙකුත් ගනුදෙනු වලින් විශාල වශයෙන් මුදල් උපයන බව නිතර වාර්තාවිය. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කළ ආකාරයට චීනයේ අගමැති වෙන් ජියාබෝගේ පවුලේ අයගේ මුළු වත්කම් ප‍්‍රමාණය ඩොලර් දස ලක්‍ෂ 376 කි. මීට අමතරව නොයෙකුත් සමාගම්වල ඔවුන් සතු කොටස් ප‍්‍රමාණයද ඉමහත්ය. මෙවැනි තත්ත්වයක් යටතේ දුෂණ හා වංචා ක‍්‍රියාවලින් පක්‍ෂය මුදවාගැනීම එහි ඉහළම නායකත්වයෙන්ම ඇරඹිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවේද යන්න සැක සහිතය. කෙසේ වුවත් නොවැම්බරයේ පැවැත්වෙන පක්‍ෂ සමුළුවේදී දැනට සිටින උප ජනාධිපති සී ජින්පින්ග් ජනාධිපති තනතුරට පත්වෙනු ඇත. මෙම පත්වීමද බොහෝදෙනා අතර කතා බහට ලක්වුයේ සි. ජින්පින්ග් හදිසියේම අතුරුදහන්ව සිටීම නිසාය. පක්‍ෂය තුළ පවතින අර්බුදය නිසා ඔහු ජනාධිපති තනතුරට පත්වීමත් වැළැක්වීමේ උත්සාහයක් පවතින බව වාර්තා වුවත් ඔහු නැවත කරළියට පැමිණීමත් සමග එවැනි සැක සංකා යටපත් වූ බව පෙනේ. එමෙන්ම පක්‍ෂ සම්මේලනය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත්කිරීම ප‍්‍රමාදවීමද කතා බහට ලක්වූ තවත් මාතෘකාවක් විය. බෝසිලායි පක්‍ෂයෙන් ඉවත්කිරීමත් පක්‍ෂ සම්මේලනය පැවැත්වීමත් එකවර නිවේදනය කිරීම නිසා ඒ දෙක අතර සම්බන්ධතාවක් ඇතැයි සමහර නිරීක්‍ෂකයෝ අනුමාන කළහ. ඩෙන්ග් ෂියාවෝ පිංග් හඳුන්වා දුන් ආර්ථිකය ලිහිල්කිරීමේ ප‍්‍රතිපත්තිය යටතේ චීනය දැවැන්ත ආර්ථීක පිම්මක් පැන ඇති බවට සැකයක් නැත. එහෙත් ඒ තුළින් මතුවූ දැවැන්ත සමාජ දේශපාලන ගැටලූවලට එම ක‍්‍රියාමාර්ගය තුළින් විසඳුමක් ලබා ගත හැකිද යන්න තවමත් පිළිතුරක් නැති ප‍්‍රශ්නයකි. එක්සත් ජනපදයේත් බටහිර යුරෝපයේත් තවමත් බලපැවැත්වෙන ආර්ථික පසුබෑම චීනයටත් ඉක්මනින්ම දැනෙනු ඇත.  අපනයන පහත වැටීම, කාර්මික නිෂ්පාදන පහත වැටීම ජපන් විරෝධය නිසා චීනයේ ඇති ජපන් කර්මාන්තශාලා වසා දැම්මේ අවදානම, ඇති නැති පරතරය උත්සන්න වීම වැනි සංකීර්ණ ගැටලූවලට විසඳුම් නැතිව ආර්ථික හෝ දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම පහසුනොවේ. චීන අගමැති වෙන් ජියාබෝද ඇතුළත්වන ලෝක බැංකු අධ්‍යයන කමිටුවක නිර්දේශය වන්නේ චීනය තවත් නව ආයෝජන රැල්ලකට විවෘත කිරීමය. ආයෝජන අවස්ථා තවත් විවෘත කිරීම හා ලිහිල්කිරීම තුළින් ආර්ථිකයේ සමහර ප‍්‍රශ්නවලට විසඳුම් ලැබුණත් එම අර්ථ ක‍්‍රමයෙන් ජනිත කළ දේශපාලන හා සමාජයීය ගැටලූවට ඉන් විසඳුම් ලැබේයැයි කිව නොහැක. එවැනි තත්ත්වයක් යටතේ නව නායකයින් පත්කිරීම සම්ප‍්‍රදායික චාරිත‍්‍රයකට අමතරව හිසරදයට කොට්ට මාරු කිරීමක්ද විය හැකිය.

සටහන: මහින්ද හත්තක
මහජන චීනය පිහිටුවා 63 වැනි වසර සැමරුම ජපානයට විරෝධය පා චීනයේ බීජිං නුවරදී උද්ඝෝෂණ චීනයේ ජනාධිපති හූ ජින්තාවෝ බෝ සිලායි චීන විදේශ ඇමති ඩෙන්ග් ෂියාවෝ පිංග්



අදහස් (0)

හිසරදයට කොට්ට මාරු කරන චීනයේ දේශපාලනය

සිල්වා පීරිස් Saturday, 06 October 2012 02:37 AM

චීන ජාතිකයන් අපි හිතන තරම් මෝඩ නැහැ.. බටහිරයන් දණ ගැස්වීමට චීනයට ශක්තිය ලැබේවා.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32765 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15351 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9991 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 165 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 467 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1388 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site