පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ජනාධිපති ඔබාමා අරාබිකරයේ පැතිර යන උද්ඝෝෂණ රැල්ල, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් සඳහා කෙරෙන අරගලයක් ලෙස හඳුන්වමින් ඊට තම සහාය පළ කළේය. එහෙත් තරුණ උද්ඝෝෂණ රැල්ල අරාබිකරයට පමණක් සීමාවන්නේ නැත. දැනට තුන්වන සතියටත් පිවිස ඇති නිව්යෝර්ක් නගරයේ සුකොට් ප්ලාසා පිට්ටනියේ කඳවුරු බැඳ සිටින තරුණ විරෝධතාකරුවන්ද උද්ඝෝෂණය කරන්නේ යහපත් ජීවිතයක් පවත්වා ගැනීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමටය. පළමු සතියේ දහයකටත් වඩා අඩු සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ඇරඹුණු මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පසුගිය සතිය වනවිට දහස් ගණනක ජනතා සහභාගිත්වයක් ඇති ප‍්‍රබල හඬක් බවට පත්විය. මෙම විරෝධතා ව්‍යාපාරය ප‍්‍රමාණයෙන් හා ශක්තියෙන් වර්ධනය වීමට හොඳම නිදසුන වන්නේ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාවයි. දෙවන සතියේදී උද්ඝෝෂකයින් මර්දනය කිරීමට 70ක පිරිසක් අත්අඩංගුවට ගත් අතර පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 700කට අධිකය. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දිනක් පොලිස් භාරයේ රඳවාගෙන නිදහස් කළද ඉන් තහවුරු වන්නේ විරෝධතාකරුවන් මැඞීමට අරාබිකරයේ ඒකාධිපති පාලකයින් ගත් මඟ ගැනීමට එක්සත් ජනපද පාලනය පසුබට නොවන්නේය යන්නයි. කැපී පෙනෙන සංවිධානයක් හෝ නිශ්චිත නායකත්වයක් නොමැතිව හටගත් මෙම ව්‍යාපාරය සුපිරි බලවත් රාජ්‍යයේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට තරම් ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක් බවට ඉක්මනින්ම වර්ධනය වනු ඇතැයි කිව නොහැකි නමුත් ඇමරිකානු ජන සමාජයේ විවිධ ස්ථර, විශේෂයෙන්ම මධ්‍යම පංතික හා ඊට පහළ ජන කොටස් ආකර්ෂණීය වන මෙම විරෝධතා රැල්ල ඇමරිකානු ජන සමාජයේ පවතින ගැඹුරු විභේදනයේම ප‍්‍රතිබිම්බයක් බව පැහැදිලිය. රැකියා අහිමි වූවන්, ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවීම නිසා නිවාසවලින් දොට්ට දැමූවන්, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තුළින් සහන නොලබන්නන්, පසුගිය වසර තුනක පමණ කාලය තුළ මූල්‍ය වෙළෙඳපොළේ කඩා වැටීම නිසා තම ඉතුරුම් හා විශ‍්‍රාම වැටුප් අරමුදල් පිරිහීමට පත්වූවන් මෙවැනි විරෝධතාවක් අපේක්ෂාවෙන් සිටින බව පෙනේ. ඊට අමතරව චිත‍්‍රපට අධ්‍යක්ෂක මුවර්, ගත්කතුවර සල්මන් රුෂ්ඩි වැනි නිදහස් බුද්ධිමතුන්ද මූල්‍ය වෙළෙඳපොළේ පවතින ඒකාධිපති බලයට එරෙහිව විරෝධතාකරුවන්ට සහාය ලබාදීමට ඉදිරිපත්ව සිටී. ප‍්‍රධාන ප‍්‍රවාහයේ ජනමාධ්‍යවල අවධානය යොමු නොවන නමුත් මෙම විරෝධතාකරුවන් අනෙක් රටවල මෙන්ම මූලික වශයෙන් සමාජයේ බල ව්‍යුහයේ වෙනසක් අපේක්ෂා කරන පිරිසකි. සියයට 99 ව්‍යාපාරය ලෙස හඳුන්වා ගන්නා මෙම විරෝධතාකරුවන්ගේ ප‍්‍රධාන සටන් පාඨ වී ඇත්තේ ”වෝල් ස්ටී‍්‍රට් අල්ලා ගනිව්” යන්නයි. එක්සත් ජනපදයේ මූල්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රස්ථානය වන වෝල් ස්ටී‍්‍රට් අල්ලා ගැනීම යන්නෙන් අදහස් වන්නේ නව ලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය පරාජය කළ යුතුය යන්නයි. එක්සත් ජනපදයේ මූල්‍ය හා වෙළඳ ප‍්‍රතිපත්තිය මූලික වශයෙන් තීරණය කරන්නේ වෝල් ස්ටී‍්‍රට් පදනම් වූ මූල්‍ය සමාගම්ය. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් කුමන හෝ පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත්වන්නේ වෝල් ස්ටී‍්‍රට් මූල්‍ය සමාගම්වල කැමැත්ත අනුවය. එනම් මෙම සමාගම්වලින් ලැබෙන මූල්‍ය ආධාර නොමැතිව කිසිදු අපේක්ෂකයකුට සිය ඡුන්ද ව්‍යාපාරය සාර්ථකව ගෙන යෑමට නොහැකි නිසා ඡුන්දය දිනාගැනීමට තීරණාත්මක සාධකය වන්නේ එම මූල්‍ය සමාගම්වල සහායයි. ”වෝල් ස්ටී‍්‍රට් අල්ලා ගනිව්” යන සටන් පාඨයෙන් අදහස් වන්නේ ඇමරිකානු දේශපාලනයේ මෙම මූල්‍ය සමාගම් සතු නිෂේධ බලය තුරන් කොට ජනතාවාදී පාලකයින් පත්කර ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමය. ඇත්තෙන්ම රාජ්‍ය බලය අත්කර ගැනීමට සමාන වූ මෙම ඉල්ලීම සාක්ෂාත් කර ගැනීමට කොපමණ ඉඩ ප‍්‍රස්ථා පවතින්නේද යන්න ගැන බරපතළ සැක මතු කළ හැකි වුවද ඉන් අඩුම වශයෙන් ඇමෙරිකන් ජනතාවගෙන් සුළු කොටසකගේ හෝ දේශපාලන සවිඥානය පැහැදිලි කෙරේ. අනෙකුත් රටවල මෙන්ම අන්තර්ජාලය පදනම් වූ මෙම ව්‍යාපාරයේ ප‍්‍රකාශන අනුව ඔවුන් තම අරමුණ ලෙස දක්වන්නේ සාමාන්‍ය දැනුමට ගෝචර වන ආකාරයේ දේශපාලන ප‍්‍රතිශෝධන සඳහා ඇමරිකානු ජනතාව සංවිධානය කිරීම හා ඒ සඳහා ජනතාව වඩාත් ප‍්‍රවේගකාරීව යොමු කිරීමය. එහෙත් එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නව ලිබරල් ආර්ථික අධිරාජ්‍යවාදයට එරෙහි අහිංසාවාදී, විමධ්‍යගත ගෝලීය කැරැල්ලකි. එහි නායකයෙක්ද නැත. ඔවුන් තම උද්ඝෝෂණය සියයට 99 ව්‍යාපාරය ලෙස හඳුන්වන්නේ දැනට පවතින සමාජ ආර්ථික ව්‍යුහය අනුව ඇමරිකානු ජනතාවගෙන් සියයට 99ක්ම ඉන් බැහැර කරන නිසාය. රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සියල්ල තීරණය වන්නේ සංඛ්‍යාත්මකව සියයට 0.01ක් පමණ වූ අති සුළුතරයක් වන නමුත් දැවැන්ත ආර්ථික බලයක් සතු පුද්ගලයින්ගේ අවශ්‍යතාව අනුවය. පසුගිය වසර තුනක කාලය තුළ මධ්‍යම පංතික ජන කොටසේ ජීවන තත්ත්වය දිගින් දිගටම පිරිහුණ නමුත් සියයට 0.01ක් වන සුළුතරයේ ආදායම් තත්ත්වය මූල්‍ය අර්බුදය හට ගැනීමට පෙර පැවති තත්ත්වයටම ළඟා වී ඇත. නැතිනම් එය ඉක්මවා ගොසිනි. බහුතරයේ ජීවන තත්ත්වය ස්ථාවර කිරීමට නම් මෙම තත්ත්වය වෙනස් විය යුතුය. සමාජයේ සියයට 99ක් වන ඔවුන් පෙරමුණ ගත යුතුය. එක් ක‍්‍රියාකාරිකයකු මේ තත්ත්වය පැහැදිලි කරන්නේ මෙසේය. ”අපි නීතියේ ආධිපත්‍යය ප‍්‍රතිස්ථාපනය කිරීමට හා සංවිධානය වූ අපරාධකාරී පංතියට එරෙහිව සටන් කිරීමට විමධ්‍යගත වූ අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයක් වෙමු.” ඔවුන් සඳහන් කරන ආකාරයට ආසන්න තම ඉල්ලීම වන්නේ සමාජයේ සියයට 0.01ක් වන සුළුතරයේ වුවමනාවන් නියෝජනය කරන ෆෙඩරල් සංචිතයේ සභාපති බෙන් බර්නැන්කේ එම තනතුරෙන් ඉවත් කළ යුතුය යන්නයි. ලේමාන් බ‍්‍රදර්ස් මූල්‍ය ආයතනය බංකොලොත් වී මූල්‍ය අර්බුදය හටගත් අවස්ථාවේදී විපතට පත් දේපොල සහන වැඩසටහන (Troubled Annet Relief Programme)  යටතේ ඩොලර් බිලියන 750ක් මූල්‍ය සමාගම්වලට ලබාදීමට යෝජනා කෙළේ ඔහුය. ඔහුගේ එම වැඩපිළිවෙළ යටතේ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ප‍්‍රධාන පෙළේ මූල්‍ය ආයතන පහකට මහජන මුදල් ලබාදී ඒවා ගොඩගත් නමුත් එහි ප‍්‍රතිලාභ හිමිවූයේ සාමාන්‍ය ජනතාවට නොව සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු සුළු පිරිසකටය. එම නිසා බෙන් බර්නැන්කේ වැනි අයගෙන් මධ්‍යම පංතියට හිතකර ආර්ථික වැඩපිළිවෙළක් අපේක්ෂා කළ නොහැකි බව විරෝධතාකරුවෝ පවසති. ලොව එකම සුපිරි බලවත් රාජ්‍යය වන එක්සත් ජනපදයේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන යථාර්ථය අනුව ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් ප‍්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිත නමුත් එම සමාජය තුළ ගැඹුරු ආර්ථික දේශපාලන ව්‍යාධියක් පවතින බවත් මෙම විරෝධය එහි ප‍්‍රකාශනයක් පමණක් බවත් පැහැදිලිය. නිදසුනක් වශයෙන් එක්සත් ජනපදයේ දශ ලක්ෂ 50ක පමණ ජන කොටසක් සිය කුසගින්න නිවාගන්නේ ආහාර මුද්දරවලින් ලැබෙන සහනාධාරයෙනි. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට සෑම දිනකම 20,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගොඩට එක්වෙති. නිවාස ප‍්‍රශ්නයද එතරම්ම උග‍්‍ර වී ඇත. මූල්‍ය අර්බුදය හට ගැනීමෙන් පසුව පවුල් දශලක්ෂ පහකට සිය නිවාස අහිමි වූ අතර සෑම දිනකම නිවාස ණය ගෙවාගත නොහැකි වූ පවුල් 10,000ක් පමණ මහමගට බසිති. මෙම උකස්කර හිමි බැංකුවලට සිය ද්‍රවශීලතාව පවත්වා ගැනීමට ඉහත සඳහන් කළ වැඩසටහන යටතේ රජයෙන් ආධාර ලැබුණද එහි ප‍්‍රතිලාභයක් උකස්කරුවන්ට ලැබුණේ නැත. සමාජයේ පවතින ආර්ථික දුෂ්කරතාවල තවත් ප‍්‍රකාශනයක් වන්නේ අපරාධ රැල්ලේ ඉහළ යෑමය. ලොව ධනවත්ම රටක් වශයෙන් හැඳින්වෙන එක්සත් ජනපදයේ අපරාධ සංඛ්‍යාවද එතරම්ම ඉහළය. එම නිසා සිරගතව සිටින සංඛ්‍යාව දශ ලක්ෂ 2.3ක් වන අතර ඉන් කියවෙන්නේ පුද්ගලයන් 100,000කට 700ක් සිරගතව සිටීමය. අයිතිවාසිකම් අහිමි කර ඇති රටක් වශයෙන් හැඳින්වෙන චීනයේ මෙම අනුපාතය ලක්ෂයකට 110කි. තවත් වාර්තාවක සඳහන් වන ආකාරයට සෑම සතියකම එක්සත් ජනපදයේ නව සිර ගෙයක් විවෘත වේ. මේ ආකාරයටම විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව ද ඉතා ඉහළ මට්ටමක පවතී. රජයේ නිල සංඛ්‍යා අනුව විරැකියාව සියයට 9.1ක් වන නමුත් හය මාසයකට අධික කාලයක් තිස්සේ රැකියා අපේක්ෂාවෙන් සිටින අය හා නිසි වැටුපක් නොලබන සංඛ්‍යාව ද ඊට එකතු කළහොත් විරැකියාව සියයට 22ක් තරම් වන බව සමහර නිරීක්ෂකයෝ පෙන්වා දෙති. නිව්යෝර්ක් නගරයේ කලින් ලිබර්ටි උද්‍යානය නමින් හැඳින්වූ පිට්ටනියේ තාවකාලික ආවරණ තනාගෙන විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටින තරුණ තරුණියන් තව කොපමණ කලක් එහි රැඳී සිටීද යන්නත් ඊට ලැබිය හැකි ජනසහාය කෙතරම් විය හැකිද යන්නත් තක්සේරු කළ නොහැකි නමුත් මහා පුපුරායෑමකට අවශ්‍ය මූලද්‍රව්‍ය ඇමරිකන් ජන සමාජය තුළ පවතින බව පැහැදිලිය. මෙම ප‍්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබාදීමට දේශපාලන කැපවීමක් නොවන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්ප කෙතරම් ජනප‍්‍රිය වුවද මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රය වඩාත් ශක්තිමත් වනු ඇත.

......................................................................................

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළකළ ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) සඳහන් කරන ආකාරයට ලෝක ආර්ථිකය භයානක අවධියකට පිවිසෙමින් පවතී. 2009 දී එක්සත් ජනපදයේ ප‍්‍රධාන මූල්‍ය ආයතන කඩා වැටීමෙන් හටගත් ආර්ථික අර්බුදය පහ වී නැවතත් ශක්තිමත් වර්ධනයක් ආරම්භ වනු ඇතැයි කලින් බලාපොරොත්තු වුවද ඉදිරි වර්ෂයේදී හෝ එතරම් සුබදායක තත්ත්වයක් උදාවනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. ඊට මූලික හේතුව වශයෙන් දක්වන්නේ යුරෝපා සංගමයට අයත් සමහර රටවල රාජ්‍ය ණය ගෙවාගත නොහැකි තත්ත්වයක් පවතින්නේය යන විශ්වාසයයි. අයර්ලන්තයෙන් ඇරඹි මෙම අර්බුදය ග‍්‍රීසිය හා පෘතුගාලය යන රටවලටත් ඉන්පසුව ස්පාඤ්ඤයට හා ඉතාලියට ව්‍යාප්ත වන බවට දැන් පැහැදිලි සාක්ෂි දැකිය හැක. ප‍්‍රංශයේ හා ජර්මනියේ බැංකු සතුව ඇති මෙම භාණ්ඩාගාර බිල්පත්වලට මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් එහි ගොදුරු බවට පත්වන්නේ යුරෝපයේ විශාලතම බැංකු වශයෙන් හැඳින්වෙන එම මූල්‍ය ආයතනයි. එහි ප‍්‍රතිඵලය වන්නේ යුරෝ මුදල් ඒකකය මෙන්ම බැංකු ක‍්‍රමයද පවත්වා ගැනීමට නොහැකි වීමයි. සාමාන්‍යයෙන් මූල්‍ය වෙළෙඳපොළ ආර්ථිකයේ පිළිබිඹුවක් වන නමුත් පසුගිය දශකයක පමණ කාලයක් තුළ ක‍්‍රියාත්මක වූ මූල්‍ය ප‍්‍රතිපත්තිය අනුව වඩාත් වැදගත් වූයේ ආර්ථිකය නොව මූල්‍ය ප‍්‍රතිපත්තියයි. එනම් සමහර නිරීක්ෂකයින් විසින් පෙන්වා දෙන ආකාරයට නගුට විසින් බල්ලා නටවන තත්ත්වයක් ඇති වීමය. එසේ කළ හැකිවූයේ ක්ෂණික ලාබාපේක්ෂාවෙන් මූල්‍ය වෙළඳපොළේ සිදුවන සමහර ගනුදෙනු සීමා කිරීම සඳහා නමසිය තිස් ගණන්වල පැවති ආර්ථික අවපාතයේදී පනවා තිබූ සීමා කිරීම ඉවත් කිරීමය. මේ නිසා කොටස් වෙළෙඳපොළේ සැබෑවටම ගනුදෙනුවක් සිදු නොවී විද්‍යුත් මාර්ගයෙන් කෙරෙන ගනුදෙනුවලින් විශාල ලාබ ඉපයීමට තැරැව්කරුවන්ට අවස්ථාවක් ලැබිණ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ මිලද විශාල වශයෙන් උච්චාවචනවලට ලක් විය. පසුගිය වසරේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 144 තරම් ඉහළ ගියේ මෙවැනි සමාජගත ගනුදෙනු නිසාය. එවැනි පරිසරයක් තුළ රාජ්‍ය වියදම් පියවීම සඳහා බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ලබාගැනීමට රාජ්‍යයන්ට සිදුවිය. යුරෝ මුදල් කලාපය තුළ රාජ්‍යයකට ණය ගෙවීමට නොහැකි වුවහොත් එහි බලපැම සෙසු රටවලටද දැනෙන නිසා එය වැළැක්වීමට යුරෝපා මහ බැංකුව පියවර ගත යුතුය. එහෙත් එසේ කෙරෙන්නේ අර්බුදයට මුහුණ දී සිටින රට යුරෝපා මහ බැංකුව නිර්දේශ කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්නේ නම් පමණි. රාජ්‍ය වියදම් කපා හැරීම ඉලක්ක කරගත් මෙම ප‍්‍රතිපත්ති අනුව රජයෙන් ලබාදෙන සුබසාධන සීමා කළ යුතු අතර රජයෙන් සැපයෙන සේවා සීමාකිරීම හෝ පෞද්ගලික අංශයට පැවරීමද කළ යුතුය. එහෙත් ග‍්‍රීසිය මහජන විරෝධය නොතකා මෙම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළ නමුත් ආර්ථිකය තුළ අපේක්ෂා කළ ආකාරයේ වර්ධනයක් සිදු වූයේ නැත. එම නිසා නැවත වරක් රාජ්‍ය ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ දී සිටින අතර යුරෝපා මහ බැංකුව යළි යෝජනා කර ඇත්තේ රාජ්‍ය වියදම් තවත් කපා හැරීමය. දැනටමත් ඉතා ඉහළ විරැුකියා අනුපාතයක් පවතින ජීවන මට්ටම දරුණු පසුබෑමට ලක්ව ඇති රටක වියදම කපා හැරීම බරපතළ සමාජයීය හා දේශපාලන අර්බුදවලට හේතු විය හැක. ලොව විශාලතම ආර්ථික එකතුවක් වන යුරෝපා සංගමයේ ආර්ථික පසුබෑම එක්සත් ජනපදය, ජපානය හා චීනය වැනි රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලටද බලපාන්නේ මේ වෙළෙඳපොළ සියල්ල එකිනෙක සමග තදින් ගැටගැසී ඇති නිසාය. යුරෝපා සංගමයේ ආර්ථික පසුබෑම එක්සත් ජනපද අපනයනවලට බලපාන අතර  එය එක්සත් ජනපදයට ආර්ථික අවපාතයෙන් ගොඩඒමට ඇති හැකියාව සීමා කරයි. යුරෝපා සංගමය චීනයේද ප‍්‍රධාන වෙළෙඳ ගනුදෙනුකරුවා නිසා එය චීන ආර්ථිකයටද බලපායි. ලෝක ආර්ථිකය භයානක අවධියකට එළඹෙමින් පවතින්නේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මේ නිසාය. මෙම අර්බුදයෙන් මිදීමට දැනට යෝජනා වී ඇති එක් ක‍්‍රියාමාර්ගයක් වන්නේ ඩොලර් බිලියන 440ක යුරෝපීය මූල්‍ය ස්ථායිතා පහසුකමයි. මෙම පහසුකමට අරමුදල් ලබාදෙන ප‍්‍රධානම රට වන ජර්මනිය තුළින්ම ඊට විරෝධයක් මතුව තිබීම නිසා එය ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූ මතුවිය හැක. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ආර්ථික ස්ථායිකරණය යනුවෙන් විශාල බැංකු මුදා ගැනීමක් සිදු වුවද සැබෑ ආර්ථිකයට ඉන් කිසිදු බලපෑමක් නොවීමය. එනම් ජනතාවගේ මූලික ප‍්‍රශ්න වන විරැකියාව, මිල උද්ධමනය හා සමාජ සුරක්ෂිතතාවට ඉන් කිසිදු විසඳුමක් නොලැබීමය. එවැනි වාතාවරණයක් තුළ ආර්ථිකය භයානක අවධියකට පිවිසීමෙන් ලොව දේශපාලනයද භයානක අවධියකට පිවිසීම වැළැක්විය නොහැකි වනු ඇත.
සටහන මහින්ද හත්තක
  වෝල් ස්ටී‍්‍රට්හි පැවැති පෙළපාලිවල අවස්ථාවක් ගී‍්‍රසියේ පැවැති සේවක උද්ඝෝෂණයක් මර්දනය කළ අයුරු කැමරොන් මැන්චෙස්ටර්හිදී බි‍්‍රතාන්‍ය ආර්ථිකය පිළිබඳ අනතුරු ඇඟවූ අවස්ථාව