වතිකානු කතෝලික දෙව්මැඳුරේ තෙවැනි ඉහළතම තනතුර දරන ජෝර්ජ් පෙල් කාදිනල්වරයාට ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන කාදිනල්වරයා තම චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බව ද කියයි.

දෙවසරක් තිස්සේ පැවැති පරීක්ෂණයකින් අනතුරුව මෙලෙස ජෝර්ජ් පෙල් කාදිනල්වරයාට ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා පාප්වහන්සේ තමාට නිවාඩු දුන් බව ද  පෙල් කාදිනල්වරයා කීවේය.

“මම අධිකරණයේ පෙනීසිටීමට බලාපොරොත්තු වෙනවා. මේ චෝදනා වැරැදියි. මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා” යැයි 76 හැවිරිදි ජෝර්ජ් පෙල් කාදිනල්වරයා පැවැසීය.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කාදිනල්වරයාට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබෙන අතර මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවේ අධිකරණ පද්ධතියට වතිකානය ගරු කරන බවත් පෙල් කාදිනල් මීට පෙරත් පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ වී තිබෙන බවත් වතිකානයේ ප්‍රකාශක ග්‍රෙග් බර්ක් පැවැසීය.

පෙල් කාදිනල්වරයා 2014 සිට වතිකානයේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කරයි. වතිකානයේ මෙතරම් ඉහළ තනතුරක් දරන අයකුට ලිංගික අපහරණ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.
මූල්‍ය පාලකවරයා එසේත් නැතිනම් භාණ්ඩාගාරික පදවිය වතිකානු කතෝලික දෙව්මැඳුරේ තෙවැනි ඉහළතම තනතුර ද වෙයි.

රොයිටර් 055