බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඉකුත් සිකුරාදා (13) මියන්මාරයට පැමිණි එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවූ අවස්ථාවේදී කියා සිටියේ මියන්මාරයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට බි‍්‍රතාන්‍ය රජයේ අනුමැතිය හිමි වන බවය. හමුදා පාලනය අවසන් වී සිවිල් රජයක් පිහිටුවීමෙන් පසු බටහිර රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණි ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. එමෙන්ම බි‍්‍රතාන්‍ය අගමැතිවරයකු මියන්මාරයට පැමිණියේ 1948 වසරෙන් පසු වීම ද සුවිශේෂත්වයකි. මියන්මාරයේ හමුදා පාලනයක් ඇරැඹියේ 1962 වසරේදීය. ඇමෙරිකාව පමණක් නොව බි‍්‍රතාන්‍ය සහ යුරෝපා සංගමයට අයත් රටවල් එක් වී මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවූයේ මියන්මාරයේ එම හමුදා රජයට විරෝධය පළ කරමිනි.