2011 පෙබරවාරි 27 වෙනි ඉරිදා මා ඉරිදා ලංකාදීපයට ලියූ ලිපියේ සිරස්තලය වූයේ ජනතා කැළඹිල්ලට මැදිවූ ගඩාෆි යන්නයි. එම ලිපිය මා ඇරැඹුවේ බෝර දමාවත් කඩන්න බැරි දාර කළුගල් වැනි සිත් ඇති රාජ්‍ය පාලකයන්ගෙන් රටකට සෙතක් සිදුවේද යනුවෙනි. මෙම ලිපිය ලියා හරියටම දින 232කින් වසර 42ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆි ලොව මහා බලවතුන් විසින් පරලොව යැවීමේ සිද්ධියට ලෝක ජනමාධ්‍යයන් පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණි.ඇමෙරිකාවේ බොහෝ මාධ්‍යයන්හි මතය වී ඇත්තේ බලයට පත්වූ පසු තම පවුල් බලය තරකර ගනිමින් සදාකල්හිම බලයේ රැඳී සිටීමට වලිකන ලොව බොහෝ ඒකාධිපති පාලකයින්ට ලිබියාවේ බහුතර ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා ඇති බවයි. ප‍්‍රංශයේ විවිධ මාධ්‍ය ආයතන කීපයක්ම සඳහන් කර තිබුණේ පිලිපීනයේ මාකෝස්, ඉරාකයේ සදාම් හුසේන්, ලයිබේරියාවේ චාල්ස් ටේලර් ආදි ඒකාධිපති පාලකයින්ටද අත්වුයේ ගඩාපිට අත්වු ඉරණම බවයි.තමාගෙන් පසුව තම පුත‍්‍රයන්ට හා ඥාතීන්ට බලය පැවරීමට මාන බලමින් සිටි ගඩාෆි ලිබියාවේ ජනතා හඬට කන්දි ඉල්ලා අස්වුයේ නම් ඔහුට මෙම ඉරණම අත්නොවන බව බි‍්‍රතාන්‍යයේ විවිධ මාධ්‍යයන්හි මතය වී තිබුණි. ටියුනීසියාවෙන් ඇරඹුණ ජන කැළඹිල්ල ඊජිප්තුව හරහා බහරේනය, යේමනය, මොරොක්කෝව, ඉරානය, ජිබුටි හා ඇල්ජීරියාවේ සිට ලිබියාව දක්වා විහිදී ගිය බව සි.එන්.එන්. මාධ්‍ය ජලාය විග‍්‍රහ කරයි.ටියුනීසියාවේ හිටපු ජනපති බෙන් අලි සහ ඊජීප්තුවේ හිටපු ජනපති මුබාරක් දැන් අවලංගු කාසි තත්ත්වයට පත්ව සිටිති. ටියුනීසියාවට හා ඊජිප්තුවට මැදිව පිහිටි ලිබියාව පාලනය කළ ගඩාෆි දැන් ජීවතුන් අතර නැත. ගඩාබි තම මිතුරන් දෙදෙනා වූ බෙන් අලි සහ මුබාරක් රැක ගැනිමට ප‍්‍රබල සටනක නිරත විය. ගඩාෆිට මේ ඉරණම අත්වුයේ ඔහු ජන හඬට කන් නොදීම නිසාය. මෙසේ පවසන්නේ එන්.බී.සී. මාධ්‍ය ජාලයයි.ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය වැනි බලවත් රටවලට එරෙහි වූ පාලකයින් පළවා හැරීම සහ ඔවුන් ඝාතනය කිරීම සඳහා අරඹා ඇති තිරිසන් ක‍්‍රියාදාමයක තවත් ප‍්‍රතිඵලයක් වශයෙන් ගඩාෆිගේ මරණය හැඳින්විය හැකි යයි මැද පෙරදිග පුවත්පත් කීපයක්ම සඳහන් කර තිබුණි. ඉරානයේ මාධ්‍යයන් සඳහන් කරනුයේ ඇමෙරිකාවේ ඊළඟ බිල්ල ඉරානයේ පාලක අහමඞ් නෙජාඞ් බවය. මැද පෙරදිග පාලකයින් රැසකටද ළඟදීම ගෙදර යාමට සිදු වනු ඇතැයි ද මැදපෙරදිග ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කරන ලෙස එහි වසන ජනතාව නගන හඬ උග‍්‍ර වී ඇතැයිද අල් ජසීරා රූපවාහිනිය කියයි.