ඉරාන ඉස්ලාමීය ජනරජයේ 11 වැනි ජනපතිවරණයේ පළමු වටය අද (14) පැවැත්වීමට නියමිතය.

අපේක්ෂකයන්ගෙන් කිසිවකු හෝ සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වුවහොත් ජනපතිවරණයේ දෙවැනි වටය ලබන 21 වැනිදා පැවැත්වෙයි.

දෙවැනි වටය පැවැත්වෙනේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේය.

ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයකි.
උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.

ඉරානයේ ජනපති ධුරය සඳහා තරග වැදීමට නම්, අපේක්ෂකයන්ට එම උත්තරීතර පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය යුතු වේ.
දහසකට වැඩි අපේක්ෂකයන් පිරිසක් නාම යෝජනා ඉදිරිපත් කළ නමුත්, අවසානයේ දී උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ අපේක්ෂකයන් අට දෙනකුට පමණි. පසුව එය සය දෙනකු තෙක් අඩු විය.

මොහොමඞ් බගේර් ගලීබාෆ්, මොහොමඞ් ඝරාසී, සයීඞ් ජලීල්, මොහ්සෙන් රෙසා අරේෆ්, හසන් රොහානී සහ අලී අක්බාර් වෙලයාටි අවසන් සය දෙනාය.
ඔවුන් අතරින්ද ඉදිරියෙන් සිටින්නේ අපේක්ෂකයන් තිදෙනෙකි. සහීඞ් ජලීල්, හසන් රොහානී සහ මොහොමඞ් බගේර් ගලීබාෆ්ය.
47 හැවිරිදි සහීඞ් ජලීල්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ බටහිර රටවල් අතර මැදහත්කරු ලෙස කටයුතු කළේය. මොහු දැඩිමතධාරියෙකි.

54 හැවිරිදි හසන් රොහානී, මධ්‍යස්ථමතධාරියෙකි. ආගමික නායකයකු ද වන රොහානී පවසා ඇත්තේ, ජනපති ධුරයට පත්වුවහොත් ඔහු ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් සමඟ වඩාත් සමීප වී කටයුතු කරන බවය. 2005 වසර තෙක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ බටහිර රටවල් අතර මැදහත්කරු ලෙස කටයුතු කළේ මොහුය.

මොහොමඞ් බගේර් ගලීබාෆ්, ටෙහෙරාන් නුවර පුරපතිවරයාය. 51 හැවිරිදි මොහු හිටපු පොලිස්පතිවරයාද වෙයි. වත්මන් ජනපති අහමදිනෙජාද්ගේ සමීපතම මිතුරාය.

ඉරානයේ දේශපාලනය මෙන්ම මැතිවරණ ද ප‍්‍රධාන වශයෙන් පවතින්නේ ප‍්‍රතිසංස්කරණවාදීන් හා දැඩි මතධාරීන් අතර සටනක් ලෙසය.
ජනපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අභ්‍යන්තර කටයුතු සහ විදේශීය ප‍්‍රතිපත්ති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රධාන සාධක වෙයි.
ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ධුර කාල දෙකක් එනම් වසර 8 ක් ජනපති ධුරය හෙබැවූ හෙයින්, මෙම ජනපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබේ.

ඔහුට මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇත.