හැත්තෑව දශකයේ දිනක කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ ඉගෙනුම ලබන නැගණිය පාසැල් නිවාඩුවට රත්නපුරේ තම පවුලේ නිවසට පැමිණියාය. සංගීත ලෝලියකුවූ තම අයියා හමුවීමට පැමිණෙන ඔහුගේ කලාකාමි මිතුරන් සමග කතා බස් ඇයට ද ඉඳහිට වටින් ගොඩින් ඇසෙන්නේය. එම කතා අනුව ලස්සනට සිංදු ගායනා හැකි ගැහැණු ළමයෙක් සොයා ගැනීමට අයියා සහා මිතුරු කැළ වෙහෙසෙන බව නැගණියට අවබෝධ කර ගැනීමට එතරම් හෝරාවක් ගත නොවීය.

සැමදා මෙන් එදාද සබරගමු තේ සහිත බිස්කට් කෙසෙල් ගෙඩි ඇතුළත් බන්දේසිය සාලයට ආවේය. අයියා සමග සිටි පිරිසට බෙදීමෙන් පසු එය කුඩා ටීපෝව මත තැබූ නංගී අයියාට යෝජනාවක් ගෙන ආවේය.

අයියලා හොඳට සිංදු කියන ගැහැණු ළමයෙක් හොයනවද ?

ඔව්, ඔයා දන්න කවුරු හරි ඉන්නවද? නංගි.

මගේ ඉස්කෝලේ ළමයෙක් ඉන්නවා එතරම් ලස්සන නම් නැහැ. හැබැයි කට හඬ නම් කියලා වැඩක් නැහැ අයියේ, ඒ තරමටම ලස්සනට සිංදු කියනවා.

ඇත්තද, අපිට එයාගේ ලස්සනෙන් වැඩක් නැහැ; ඔයාට එයා එක්කර ගෙන එන්න පුළුවන්ද?

මම ඒක කරන්නම් යැයි නංගී පොරොන්දු වූවාය.

පොරොන්දු වූ පරිදි දිනක නංගී විසින් මිතුරිය සමග එකල කොළඹ රීගල් සිනමා ශාලාව අසල පවත්වා ගෙන ගිය ‘සූර්ය රෙකෝඩ් බාර්‘ එකට පැමිණියාය. අයියාගේ මිතුරකු විසින් ලියා පදමලාව ද සකස් කොට සංගීතය එක් කළ ගීතයක් මිතුරියට දුන් අයියාගේ මිතුරු කැළ ඇය ගීතය ගයන අයුරු ඇස් පිල්ලන් නොගසා බලා සිටියහ.

නැවත දිනයක් ලබා දුන් ඔවුහු ‘එදාට අපි ගීතය පටි ගත කරමු‘යි පවසමින් නංගී සමග පැමිණි ඉන්ද්‍රාණි නම් මිතුරියට සමු දුන්හ.

ඔවුන්ගේ සමුගැනීමෙන් පසු සංගීත මිතුරු කැළ තීරණයකට පැමිනියාහ. දැන් ඉතින් කවුරුවත් හොයන්න ඕනෑ නැහැ. ඒ කෙල්ල නියමයි. අපි එයා ගනිමු. ඒ අනුව ප‍්‍රථම වරට දිල්හාණි දුවණී ගීතය ගයමින් ඉන්ද්‍රාණි පෙරේරා ගායිකාව ගේ සංගීත ලෝකය එළිපෙහෙළි වන්නට පටන් ගත්තේය.

මෙම සංගීත ලෝලී තරුණ කැළට උදව් උපකාර කළ කෙනෙක් එකල ගුවන් විදුලියේ සේවය කළේය. තරුණයන්ගේ හැකියාව දුටු ඔහු දෙවරක් නොසිතා ඔවුන්ට අත හිත දුන්නේය. එයට කෘතගුණ සැලකීමක් ලෙස ඔහුගේ දියණියට ගීයක් ද නිර්මාණය කළේය. එදා ජනප‍්‍රිය ගුවන් විදුලි ඉංග‍්‍රීසි සිංහල නිවේදක විජය කොරයාගේ දියණිය දිල්හාණී ය.

එදා එම ගීතය ලියා දුන්නේ අප අතරින් සමුගත් ශ්‍රී ලංකාවේ පොප් සංගීතයේ දැවැන්තයක වූ කැලැරන්ස් විජේවර්ධනයි. ඇය ඔවුන්ට මුණ ගැසීමට ඇනස්ලි මාලේවනගේ නංගී මුල් විය. ඉන්ද්‍රානි පෙරේරා සංගීත ලෝකයට පිවිසෙන්නේ එලෙසය. ඒ අනුව මුන්ස්ටෝන්ස් සංගීත කන්ඩායමට එකතුවු ඇය පසු කලකදී මුන්ස්ටෝන් විසිරෙන විට කැලැරන්ස් විසින් ගෝල්ඩන් චයිම්ස් ගොඩ නඟන අතර ඉන්ද්‍රානි ත‍්‍රී සිස්ටර් ගොඩ නැගීය. පසුකල කැලැරන්ස් සංගීතය සැපැයු ප‍්‍රථම චිත‍්‍රපටය වු සිකුරුලියා හී ”වසන්තයේ මල් කැකුළයි” ගීතය ගැයීමටද ඇය එක් වූවාය.

හැත්තෑව හා අසූව දශකයේ ශ්‍රීලංකාවේ ඉතාමත්ම ජනප‍්‍රිය පොප් සංගීත කණ්ඩායම් අතර ”ත‍්‍රී සිස්ටර්ස් ” සංගීත කණ්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම කණ්ඩායම එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ එකතුවෙන් බිහි වූවකි. ගායනයට උපන් හැකියාවක් තිබූ මෙම සහෝදරියන් අතරින් ඉන්ද්‍රානි පෙරේරා එකල ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම ගායිකාවක් වුවාය. ඇගේ ගීත තරුණ පරපුරේ සිත් බැඳ ගත් අතරම ඇය යුග ගී ගැයීමටද එක් වුවාය. ඇගේ සමකාලීන ගායකයෙක් වූ අනිල් භාරතීද යුග ගී ගැයීමට ඇය හා එක් වුයේය. එකල ඇය නොමැති සංගීත ප‍්‍රසංඟයක් නොමැති තරමට ඇය ප‍්‍රසංඟ වේදිකාවේද ජනප‍්‍රිය ගායිකාවක් වූවාය.

එකල ජනප‍්‍රිය වූ ඔවුන් දෙදෙනා මෙවර පැරීසියේ සංගීත ප‍්‍රසංඟයකට සහභාගි වන්නේය. ඉන්ද්‍රානි පෙරේරා සමග අනිල් භාරතී ගී ගයන ප‍්‍රනාම උපහාරාත්මක සංගීත සැඳෑව මාර්තු 06 වැනි ඉරු දින සවස 03ට පැවැත්වීමට යයි. පැරීසියේ මීගමු සංවිධානයේ ‘සන්රයිස්‘ සංචාරක ආයතනයේ ප‍්‍රචාර අනුග‍්‍රහයෙන් පැරීසියේ කලාකරුවන් සුරැුකීමේ එකමුතුව මෙම ප‍්‍රසංඟය සංවිධානය කර ඇති අතර එකල දක්ෂ ගිටාර් වාදක උපාලි කන්නන්ගර සමග පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ ඡායා වෛබ්‍රේෂන් සංගීත කණ්ඩායම සංගීතයෙන් සහාය වේ.  

ප‍්‍රසංගයේ ප‍්‍රතිලාභ ශ්‍රී ලංකාවේ අඩු ආදායම් කලාකරුවන් වෙනුවෙන් වෙන්වන බව ප‍්‍රසංඟයේ සංවිධායකවරු පැවසූහ.

indrani_201632pranama