ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීම කාලය අපතේ හැරීමක් වනු ඇතැයි දේශගුණික විපර්යාස ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග් පවසයි.

එම මාතෘකාව සම්බන්ධව ඇමරිකානු ජනාධිපතිවරයා මෙතෙක් කිසිම අවධානයක් නොදැක්වීම හේතුවෙන් ඇය එසේ පවසා තිබේ.    

ග්‍රේටා මේ බව පවසා සිටියේ බීබීසී ගුවන්විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

තමාට එරෙහිව සිදුකරන පෞද්ගලික පහරදීම් විහිළුවක් ලෙස සලකන බවත් සාමාන්‍ය ජීවිතයක් කරා ආපසු යාමට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

"ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රවීණයන්ට සහ විද්‍යාඥයින්ට ඇහුම්කන් නොදෙන නිසා මම ඔහුට කිසිවක් නොකියන්න තීරණය කළා. ඉතින් මම බොහෝවිට කිසිවක් නොකියනු ඇති.

මගේ කාලය නාස්ති නොකරනු ඇති." ඇය පැවසුවාය.

බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සනාරෝ වරක් ඇයව හඳුන්වා තිබු‍ණේ "කොලු පැංචෙකු" ලෙසයි.

ඇමරිකානු ජනපතිවරයා ට්ටිටර් පණිවිඩයකින් පවසා තිබුණේ ග්‍රේටාගේ කෝපය පාලනය කිරීමේ ගැටලුව සම්බන්ධව අවධානය යොමු කළයුතු බවයි.

"මේ ප්‍රහාර විහිලු සහගතයි. මන්ද ඒවා පැහැදිලිවම කිසිවක් අදහස් නොකරන නිසා. තරුණයින් වෙනස් දෙයක් කිරීම ගැන ඔවුන් භීතියට පත්වෙලයි ඉන්නේ. නමුත් එය ඇත්ත වශයෙන්ම අප යමක් කරන බවටත් අප ඔවුන්ට යම් ආකාරයක තර්ජනයක් බවටත් සාක්ෂියක්." ග්‍රේටා පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)