තමන් ජනාධිපති වීමෙන් පසු අපරාධ වාර්තා සහිත අනවසර සංක්‍රමණිකයින් මිලියන තුනක් පමණ පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.අනවසරයෙන් ඇමෙරිකාවට පැමිණ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් මෙලෙස පිටුවහල් කරන බව ඔහු පැවසීය.

නිසි බලපත්‍ර නොමැතිව සිටින සංක්‍රමණිකයින්ගෙන් රටින් පිටුවහල් වන ලෙස ඉල්ලන බවත් ඔහු කීය.මෙම ක්‍රියාවලිය මානුෂික අයුරින් සිදු කිරීමට සිතා සිටින බවද පැවසීය.

එමෙන්ම මෙක්සිකා දේශසීමාවේ ආරක්ෂක වැටක් ඉදිකිරීමටත් ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසා ඇත.මෙලෙස රටින් පිටවීමට අකමැති බරපතල අපරාධකරුවන් සිරගත කිරීමට ද බලාපොරොත්තු වන බව හේ පැවසීය.ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ලෙසත් මෙය ඉදිරිපත් කර තිබිණි.

“හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගැටළුව ගැන සෙවීමට විමර්ශණයක් පැවත්වීම ගැන සිතා බලනවා.සුළු ජාතීන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් කනගාටු වෙනවා.ඒවා නවත්වන ලෙස මා රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.“යැයි ඔහු පැවසීය.

ඇමෙරිකාව තුළ බලපත්‍ර රහිත සංක්‍රමණිකයින් මිලියන 11ක් පමණ සිටින බවත් ඉන් බොහෝමයක් මෙක්සිකොවෙන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ඔහුට විරෝධය පළ කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ වලට බොහෝ සංක්‍රමණිකයෝ සහභාගී වෙති.

ජයග්‍රහණයෙන් පසු ඔහු ‘සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම‘ සම්බන්ධයෙන් මාධයට ප්‍රකාශයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.ඇමෙරිකා සීබීඑස් ආයතනයේ මාධ්‍ය  සාකාච්ඡාවකදී ඔහු මේ බව කීය.