ජිනීවා සමුළුව අවසන් වීමත් සමග උතුරේ  දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ ඉහමොළ රත්වීම දැන් මඳකට නිවීගොස් තිබේ. ජිනිවා සමුළුව ළංවීමත් සමග ඉහමොළ  මෙන්ම තම පුටුද රත්වූ උතුරේ දේශපාලනඥයන් දැන් සීතල යුද්ධයක් නිර්මාණය කිරීමට යන බවට උතුරේ ආරංචි මාර්ග පවසයි. 


දැනට උතුරේ දේශපාලනඥයන්ගේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ හමුදාව විසින් අත්පත් කරගනු ලැබ ඇති ඉඩම් නැවත ඔවුනට ලබාදෙන ලෙස කරන ඉල්ලීමයි. 


මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කරවීය. එහිදී ජනාධිපතිවරයා හමුදාපතිවරයාට කථාකොට විමසා  ඇත්තේ දැනට හමුදාව අත්පත් කරගෙන ඇති උතුරේ ජනතාවගේ ඉඩකඩම්  නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි. මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ එම ඉඩකඩම් මුල් අයිතිකරුවන්ට ලබාදීමට හැකි ඉක්මනින්  කටයුතු කරන බවයි.  එහෙත් ඒ සඳහා තවත් කාලයක් ගත වන  බව හමුදාපතිවරයා දන්වා ඇත. 


උතුරේ මුලතිව්, කෝපාවුලව්, වලිකාමම් උතුර කොටසේ ඉඩම් ඇතුළු ආරක්ෂක හමුදාව භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙසට විපක්ෂ නායකවරයා හා ජනාධිපතිවරයා අතර දීර්ඝ ලෙස සාකච්ජා වී තිබේ. 


ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව හමුදාපතිවරයා  සමග සාකච්ඡා  කළ බවත් එහෙත් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කරන්නේ  කවදා ද යන්නට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්ය. එම ඉඩම් නිදහස් කරන්නේ කුමන කාල වකවානුවකද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව විපක්ෂනායකවරයාට ජනාධිපතිවරයා දැනුම් දීමත් සමග එම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්වී තිබේ. 


උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේද අවධානය යොමුවී ඇත. 


ඔහු ප්‍රකාශ කළේ මේ පිළිබඳව ආණ්ඩුව ගන්නා කාලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. දීර්ඝ කාලයක් පුරා උතුරේ ජනතාවගේ ඉඩකඩම්වල භුක්තිය  විඳින්නේ  ආරක්ෂක හමුදාවයි.  මේ පිළිබඳ අප අවස්ථා ගනණාවක ආණ්ඩුවේ අවධානය යොමුකළා. එහෙත් ආණ්ඩුව ඊට දක්වන ප්‍රතිචාරය පිළිබඳ අපිට සෑහීමකට පත්වෙන්න  බැහැ. ඒගොල්ලෝ දැන් ගොඩාක් කාලයක් ගත්තා. මේ නිසා පීඩාවට පත්වෙන්නේ උතුරේ ජනතාවයි. මේ නිසා තමයි අපි ජාත්‍යන්තරයට පවා යාමට තීරණය කළේ. අපි ඉල්ලන්නේ කඩිනමින් උතුරේ හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් කඩිනමින් නිදහස් කර දෙන ලෙසයි. ආණ්ඩුව ඒ සඳහා දින වකවානු නිශ්චිතවම ප්‍රකාශ කර නැහැ. එහෙම දිනයක් ලබාදී තිබෙනවා නම් ඒ ජනතාවට බලාපොරොත්තු තැබිය හැකියි. එහෙත් දැන් එවැනි තත්ත්වයක් නැති නිසා ඔවුන් දැඩි කනස්සල්ලෙන් සිටිනවා. 


මේ වගේම තමයි උතුරේ අවතැන් වූවන්ගේ ප්‍රශ්නය. අපි ඒ පිළිබඳව ආණ්ඩුවට අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නා. අපි උතුරේ සංචාරය කරන කොට අතුරුදන් වූවන්ගේ දෙමාපියෝ ඔවුන්ගේ දරුවන්ගේ ඡායාරූප රැගෙන අපි ළඟට එනවා විසඳුමක් ලබා දෙන්න කියලා. අපි හැම අවස්ථාවකදීම ඒ පිළිබඳව ආණ්ඩුවට දැනුම් දුන්නා. ඒත් දැන් ආණ්ඩුව ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරය පිළිබඳ අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. 


දැන් බලන්න උතුරේ අවතැන්වූවන් පිළිබඳ සොයා බලන්න අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ  කාර්යාලයක් (ඵගධගඡ) පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් වුණා. එහෙත් තවමත් ඒ පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු වෙලා නැහැ. මානව හිමිකම් කොමිසම මේ පිළිබඳව ආණ්ඩුවට වසර දෙකක කාලයක් ලබා දුන්නා. අපි කියන්නේ ඒ කාලය තුළ අඩුම තරමේ මාස දෙකකට වරක්වත් ඔවුන්ගේ අවධානය මේ සඳහා යොමුවිය යුතුයි කියලා.


ආණ්ඩුව බලයට පත් කිරීමට උතුරේ ජනතාව දැඩි දායකත්වයක් ලබා දුන්නා. ඒ ඔවුන්ගේ අතුරුදන්වූ දරුවන් පිළිබඳ ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි කියන බලාපොරොත්තුව මත. එහෙත් දැන් ආණ්ඩුව ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරය පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. මේ නිසා උතුරේ ජනතාව ආණ්ඩුව කෙරෙහි දැඩි කලකිරීමෙන් ඉන්නේ. දැන් ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකක් ගතවුණා. ඉතිරි කාලයත් ඉබේම ගෙවිලා යයි. ඒත් උතුරේ අතුරුදන්වූවන්ගේ ගැටලුව එසේම ඉතිරි වේවි. 


උතුරේ අතුරුදන්වූවන්ගේ ගැටලුව පිළිබඳ ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ල කරන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසයි. 


මේ පිළිබඳ ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අපි ආණ්ඩුවට බලපෑම් කරනවා ඉක්මනින් ඔවුන්ගේ ගැටලු විසඳන්න කියලා. එහෙම නොවුනහොත් අපි දැඩි පියවර ගන්නවා. අපි දැන් සෑහෙන කාලයක් ඉවසුවා. අපි ආණ්ඩුවට දැන් කල් දුන්නා ඇති. උතුරේ ජනතාවගේ විශේෂයෙන් උතුරේ අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය විසඳන්න හෝ ඒ අතුරුදන්වූවන්ට මොකද වුණේ කියන එක පිළිබඳ  පැහැදිලි ප්‍රකාශයක් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. එක්කො ඔවුන් මියගියා කියලා හරි දැනුම් දෙනව නම් ඒ ජනතාවට පිළිවන් ඔවුන්ගේ ආගමානුකූලව අදාල චාරිත්‍ර ඉටු කරගන්න. ඒත් දැන් ඔවුන් බලාගෙන ඉන්නවා කවදාහරි අතුරුදන් වූ තම දූ දරුවන් යළි හමුවෙයි කියලා. 


මම මේ මොහොතේ ආණ්ඩුවට බල කරනවා මේ පිළිබඳ පැහැදිලි තීරණයක් ලබා දෙන්න කියලා. එසේ නොකළහොත් අපි උතුරේ ජනතාව ඒකරාශී කරගෙන සිවිල් පරිපාලනයට බලපෑම් කරනවා. අපිට දැන් උතුරේ සිවිල් පරිපාලනය පිළිබඳ පැහැදීමක් නැහැ. ඒ නිසා අපිට ඒ පරිපාලනය පිළිබඳ විශ්වාස කරන්න බැහැ. අපි උතුරේ ජනතාවට වගකියන්න  ඕනෑ. මොකද ඔවුන්ගේ ඡන්දයෙන් අපි බලයට පත්වුණේ. ඔවුන්ගේ ගැටලු විසඳීමට අපිට වගකීමක් තිබෙනවා. ඒක තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ කඩිනමින් උතුරේ අවතැන්වූවන්ගේ ගැටලු විසඳන්න කියලා. 


දැන් බලන්න උතුරේ ජනතාවගේ ඉඩම් හමුදාව අත්පත් කරගෙන ඉන්නවා. දැන් යුද්ධය ඉවරවෙලා අවුරුදු 8 ක් අවසන්. ඒත් තවමත් ඔවුන්ගේ ඉඩකඩම් නිදහස් කරලා නැහැ. ඒ පිළිබඳවත් ආණ්ඩුව නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි තවදුරටත් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබන්නේ.


අපි ඉල්ලා සිටින්නේ මෙච්චරයි ආණ්ඩුවෙන්. උතුරේ ජනතාවගේ ඉඩම් හැකි ඉක්මනින් ඔවුන්ට ලබා දෙන්න. දෙවැනි කාරණය තමයි අතුරුදන්වූවන්  පිළිබඳ ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් හෝ ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන්න කියන එක. එසේ නොකළහොත් ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් එල්ලවන බලපෑම්වලට මුහුණ දෙන්න වෙවී. 


මේ අතර හිටපු කොටි නායකයකු වූ සින්නදුරෙයි ශෂිදරන් නොහොත් එලිලන් ඇතුළු කොටි සාමාජිකයන් 12 දෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට 58 වැනි සේනාංකය භාරව සිටි බි්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට (වත්මන් මේජර් ජෙනරාල්) එරෙහිව ඇති නඩුවට අදාළව සිතාසි යැවීම වව්නියා අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ. එලිලන්ගේ බිරිඳ වන වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් මේ පිළිබඳ නඩුවක් ගොනුකරේ පසුගිය කාලයකදියි. 


උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට ‘ඉලංගෙයි තමිල් අරසු කච්චි’  පක්ෂය ගන්නා ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවන බව ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. හා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ දෙක අතර කාලයක සිට විවිධ මත ගැටුම් ඇතිවන පක්ෂ දෙකකි. ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාට මන්ත්‍රීධුරයක් ලබා නොදීමට දෙමළ සන්ධානය ක්‍රියා නොකිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ නායක හා ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක ආර්. සම්පන්දන් මහතා දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නැතැයි ප්‍රේමචන්ද්‍රන් මහතා චෝදනා කරයි. දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාද මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව එතරම් ප්‍රමාණවත් නැතැයි ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර