ගතවන කාලසීමාව විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගන්නා සමයයි. ‘නවක’ යන්න සඳහන් කළ සැණින් ‘නවක වදය’ යන්න එක් වරම මතකයට නැඟේ. මේ තවත් එ් ආකාරයේ සිදුවීම් පෙළක් පිළිබඳ විමසුමකි.   
පෙරකී පරිදි ජාතික විශ්වවිද්‍යාලවල මේ දිනවල සිදුවන ශිෂ්‍ය බඳවා ගැනීම්වලට අදාළව රජරට විශ්වවිද්‍යාලයට ද එහි පීඨ හයක් සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් බඳවා ගැනීම සිදුවිණ.   
අධ්‍යයන වර්ෂය ආරම්භ වී නොබෝ දිනකින් ශිෂ්‍ය නේවාසිකාගාර හා ආපනශාලා ඇතුළත නවකවද ක්‍රියා සිදුවන බවට විශ්‍වවිද්‍යාල පරිපාලනයට පැමිණිලි ලැබී ඇත. ඒ අනුව විශ්‍වවිද්‍යාලයේ විනය පාලක අංශය, පරිපාලනයේ ඉහළ නිලධාරීන්ගේ හා පොලිසියේ අනුමැතිය මත එම නේවාසිකාගාර වැටලීමක් සිදුකොට තිබේ.   


අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජරට විශ්‍වවිද්‍යාල විනය පාලක අංශයේ ඉහළ නිලධාරියෙක් අප සමඟ මෙසේ කරුණු පැහැදිලි කළේය.   


‘‘රාත්‍රී දොළහත් උදේ පහත් අතර කාලසීමාවේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර කාමර තුළ නවක වද ක්‍රියා සිදුවන බවට අපට පැමිණිලි කිහිපයක් ලැබුණා. එය ඔවුන් හඳුන්වන්නේ ‘‘ප්‍රෝග්‍රෑම්’’ එක කියලා. නිලධාරීන් හයදෙනෙක්ගේ කණ්ඩායමක් වශයෙන් අප නවක සිසුන් රැඳී සිටින නේවාසිකාගාරය වෙත රාත්‍රියේම ගියා.   


එ් යනවිට ජ්‍යෙෂ්ඨ සිසුන් නේවාසිකාගාර පිවිසුම අභියස රැකවල් දමාගෙන සිටින නිසා ප්‍රධාන පිවිසුම වෙනුවට වෙනත් මාර්ගයකින් නේවාසිකාගාරයට ඇතුළු වුණා. එහිදී කාමර ඇතුළත නවක සිසුන්ට විවිධ ආකාරයේ ශාරීරික, මානසික ආකාරයේ විවිධ නවක වද සිදුවන බව අපට දක්නට ලැබුණා. අප ඒවා ඡායාරූප ගතකර ගැනීම් සිදු කළ අතර සිසුන් කලබලයට පත්වූ ආකාරය අප දුටුවා. පසුව අප එම නේවාසිකාගාරයෙන් බැහැර වී නවක වද සිදුවන බවට තොරතුරු ලද තවත් එවැනිම නේවාසිකාගාරයක් නිරීක්ෂණය කිරීමට යෑමට උත්සහ කළා.   


එහිදී ශිෂ්‍යයන් අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වී අපේ නිලධාරීන්ට පහර දුන්නා. ශිෂ්‍යයෝ පන්සීයක් හයසීයක් විතර කෑගහමින් හූ කියමින් අපේ ගමන වැළැක්වූවා. සිසුන්ගේ පහරදීම් නිසා විනය පාලක අංශයේ නිලධාරීන් රෝහල්ගත කිරීමට පවා සිදුවුණා. ඔවුන් නවක වද ක්‍රියාකාරකම්වල නිරතවන අවස්ථා ඡායාරූපගත කළ නිසා ශිෂ්‍යයෝ විසින්ම අපේ ජංගම දුරකථන උදුරා ගනු ලැබුවා.   


එ් අවස්ථාවේ අප බීමතින් සිටි බවට අසත්‍ය ප්‍රචාරයක් කරමින් සිසුන් නොමඟ යැවීමට මෙම සිදුවීමට අදාළ ශිෂ්‍ය කණ්ඩායම මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.   


අප කිසිවෙක් ඒ වනවිට මත්පැන් පානය කර සිටියේ නැහැ. කෙසේ නමුත් මෙම සිදුවීමට සම්බන්ධ සිසුන් දොළොස් දෙනෙක්ගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය මේ වනවිට කටයුතුකොට තිබෙනවා.   
එමෙන්ම අභ්‍යන්තර විනය පරීක්ෂණ මේ වනවිටත් සිදුවෙනවා. නවක වදයට ලක්වීම මෙන්ම නවක වද පැමිණවීමත් නීතියට අනුව වරදක් වෙනවා. විශ්‍වවිද්‍යාලය කියන්නේ සිර කඳවුරක් නෙවෙයි.   


නවක වද සිදුවීම් නිසා අපහසුතාවට පත්වන සිසුන්ට රාත්‍රී නින්ද අහිමිවීම නිසා දහවල දේශන පැවැත්වෙන කාලසීමාවේ දේශන ශාලා තුළ නින්දේ යෙදෙන අවස්ථා බොහෝමයක් දක්නට ලැබෙනවා.   

එමෙන්ම දහවල් කාලයේ ශිෂ්‍ය ප්‍රජාව ගැවසෙන ශිෂ්‍ය ආපනශාලා තුළට කඩාවැදී නවක ශිෂ්‍යයන්ට දැඩි මානසික පීඩාවට පත්වන ආකාරයට බැන වැදීම් සිදුකරන අවස්ථා ද බොහෝමයක් තිබෙනවා.   

පසුගිය දිනෙක කළමනාකරණ පීඨයේ නවක සිසුන්ව හිතුමනාපෙට හෝටන් තැන්නට රැගෙන ගොස් තිබෙනවා. ජ්‍යෙෂ්ඨ සිසුන් කරන මෙබඳු ක්‍රියා පිළිබඳව ඇතැම් ප්‍රථම වසර සිසුන් මුනිවත රකිනවා.   

තම තමන්ගේ දෙමාපියන්ට පවා නොපවසන රහසක් ලෙස ඔවුන් එය රකිනවා. රහස් රකිමින් මෙවැනි ආකාරයට නවක වදයට අනුබල සැපයීම නවක සිසුන් සිදුකරන වරදක් ලෙස හැඳින්විය හැකියි.   


උදේ පහයි තිහට විශ්‍වවිද්‍යාලයෙන් සිසුන් රැගෙන ගොස් නැවත රාත්‍රියේ නේවාසිකාගාරවලට ගෙනැවිත් තිබෙනවා. මේ තත්ත්වයට විරුද්ධව විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරද්දී එම නිලධාරීන්ට පහරදීම, ජංගම දුරකථන පැහැර ගැනීම වැනි දෑ ශිෂ්‍යයන් අතින් සිදුවීම අප හෙළා දකිනවා. නීතියට අනුව අප අවශ්‍ය කටයුතු කරනවා.   


ශිෂ්‍යයා ගුරුවරයා සියලු දෙනාටම නීතිය සමානව සලකනවා. වැරදි කළ අයට දඬුවම් හිමිවිය යුතුයි.   


පවතින පන්ති තහනම් ඉවත් කරන්න කියලා ශිෂ්‍යයෝ උද්ඝෝෂණ කරනවා කළු පටි ව්‍යාපාර කරනවා ඒ කිසිවක් සිදුවුණත් වැරදිකරුවන් නම් නීතියට අනුව ඔවුන්ට දඬුවම් හිමිවිය යුතුයි.   


විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ කලහකාරයෙක් නෙවෙයි. ඔවුන් බුද්ධිමත් සාරගර්භ අය විය යුතුයි. නවකවදයට විරුද්ධත්වය තිබුණත් ඇතැම් සිසුන් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් සංවිධානකාරී පිරිසක් එකතුවෙලා ශිෂ්‍යයන් මේ සඳහා පොළඹවා ගැනීම සිදු කරනවා.   


විශ්‍වවිද්‍යාල පරිපාලනයේ ඉන්නේ අමුතු මිනිස්සු කොටසක් නොවෙයි. අපි නිතර ශිෂ්‍යයන්ගේ අධ්‍යයන සුබසාධන ගැටලු පිළිබඳව ඔවුන් මැදිහත් වෙනවා. අපි ආහාර කමිටුවක් රැස් කරලා සතිපතා අපේ ශිෂ්‍යයන්ගේ ආහාරවල ගුණාත්මක බව පිළිබඳව පරීක්ෂා කිරීම් සිදු කරනවා. විශ්‍වවිද්‍යාලය තුළ ගැටලු අඩුපාඩු තිබෙනවා.   


ඇතැම් අවස්ථාවල ලැබෙන ප්‍රතිපාදන සියයට සියයක් ප්‍රමාණවත් නැහැ. නමුත් හැකි උපරිමයෙන් අපි ශිෂ්‍ය සුබසාධන ගැටලු පිළිබඳව මැදිහත් වෙනවා. නේවාසිකාගාර හිඟය සම්පූර්ණයෙන්ම විසඳා දී තිබෙනවා. ශිෂ්‍ය ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න බැහැ.   


වසරකට එක් පීඨයකට හාරසිය පනහක් ඉල්ලා සිටින අවස්ථාවක ශිෂ්‍යයන් පන්සිය පනහක් ප්‍රතිපාදන කොමිසමෙන් විශ්‍වවිද්‍යාලයට මුදා හරිනවා. එවැනි අවස්ථාවක අතිරේක එකසිය පනහක ශිෂ්‍ය පිරිසට කඩිනමින් සියලු පහසුකම් සැපයීමේ හැකියාව විශ්වවිද්‍යාලයට නැහැ. අපි ඉදිරියටත් ශිෂ්‍යයන්ගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වෙනවා. කලහකාරී ලෙස නොහැසිරෙන ලෙස ශිෂ්‍ය ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටිනවා.   


විශ්‍වවිද්‍යාලයට එන දක්ෂතා සහිත දරුවන්ගේ ගමන අවහිර කිරීමට කටයුතු කරන නවක වද ක්‍රියාවලියට විරුද්ධවීමට ශිෂ්‍යයාට ශක්තියක් තිබිය යුතුයි. අපි ජීවත් වෙන්නේ ග්‍රෝතික සමාජයක නොවෙයි. එක් අයෙක් පීඩාවට පත් කරලා සතුටට පත්වීම මිනිස්කමට ගැලපෙන්නේ නැහැ. තමන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.   


නේවාසිකාගාර ඇතුළත සිදුවන බව කියන පිරිමි සිසුන්ගේ පුරුෂ ශක්තිය මැන බැලෙන පරීක්ෂණ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ගරු කරන ලෙස බල කරන තර්ජන, ලිංගික හැසිරීම් සම්බන්ධ අවවාද ලබාදීම්, අඩු පහසුකම් ප්‍රමාණයකින් ජීවත්වීමට හුරු කරවීම, ස්ත්‍රීන් සමඟ හැසිරීම පිළිබඳව තිබෙන කුතුහලය වැළැක්වීමට උපදෙස් ලබා දීම ආදිය කලක සිට විශ්‍වවිද්‍යාල පද්ධතිය තුළ දක්නට ලැබෙන ඒවාය.   


ඒවායේදී පරුෂ වචන භාවිත කිරීම, දණ ගෑම්, බඩගෑම් ආදී අසීරු ශාරීරික ක්‍රියාවල නිරතවීමට ද සිදුවේ. තොරතුරු විමසීමේදී අප ලත් කරුණු අනුව බහුතරයක් විශ්වවිද්‍යාලවල මෙවැනි නවක වද ලබාදීම් දැනට සිදුවන්නේ පිරිමි ශිෂ්‍යයන්ට අදාළව පමණි. නමුත් 1970-1980 වැනි කාල සීමාවේ සිසුවියන් ද මේ ආකාරයේ වද බන්ධනවලට ලක් වූ අවස්ථා ඇත. ඇතැම් අවස්ථාවල සිසු සිසුවියන්ගේ ජීවිත විනාශ වන තරමේ සිදුවීම් වූ බවට සාක්ෂි ද ඉතිහාසයේ සටහන්ව ඇත.   


මෑත කාලීනව විශ්‍වවිද්‍යාල සිසුවියන්ට අදාළව සිදුවන නවකවද යැයි හඳුන්වන්නේ පිරිස මැදදී ගීතයක් ගායනා කිරීම, පිරිමි ශිෂ්‍යයකුගේ අතින් අල්ලාගෙන යෑම, පාවහන් හිස මත තබාගෙන යෑම, පළමු අධ්‍යයන වර්ෂයේ පළමු අධ්‍යයන වාරය තුළ චීත්ත ගවුම, දිග සාය වැනි ඔවුන්ට අනන්‍ය යැයි ජ්‍යෙෂ්ඨයන් නිර්දේශ කරන ඇඳුම් ඇදීම වැනි කරුණුය.   


ඊට අමතරව කාසි කැට හෙළවීමට විවිධ නගරවලට යෑම, ස්ටිකර් විකිණීම් ව්‍යාපාර කිරීම මගින් ශිෂ්‍ය අරමුදල් සඳහා මුදල් එකතු කිරීමට බොහෝවිට යෙදවෙන්නේ ප්‍රථම වසර සිසුන්ය. උද්ඝෝෂණ සඳහා සහභාගිවීම විරෝධතා ව්‍යාපාර මෙහෙයවීම ආදියට ද ඔවුන් බහුලව යොදාගැනේ.   


රජරට විශ්‍වවිද්‍යාලයේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් අප සමඟ මෙසේ කරුණු දැක්වීය.   


‘‘ශිෂ්‍යයන්ට නවක වදය දීමක් සිදුවෙන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය අපට නවක වදයක් දෙනවා. රජරට විශ්‍වවිද්‍යාලයේ හාරදහස් පන්සියයක් පමණ වන ශිෂ්‍ය ප්‍රජාවට පානීය ජලය ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ. නේවාසිකාගාර ප්‍රමාණවත් නැහැ. විශ්‍වවිද්‍යාලයේ ඒ ඒ පීඨවල ආචාර්යවරු මහාචාර්යවරු ප්‍රමාණවත් නැහැ. අලුතින් ආරම්භ කළ තාක්ෂණ පීඨයට අවශ්‍ය පහසුකම් නැහැ. දේශන ශාලා ප්‍රමාණවත් නැහැ.   
ජල හිඟය නිසා සිසුන් නිවාඩු දමා නිවෙස්වලට පවා ගොස් තිබෙනවා. මේ සියලු පීඩාවන් මැද ආචාර්යවරු දවසේ පැය අටක්, දහයක් වැනි කාලසීමාවක් එකදිගට දේශන පවත්වාගෙන යාම සිදු කරනවා.   


ශිෂ්‍යයෝ අටක් පමණ සිටිය යුතු නේවාසිකාගාර කාමරයක ශිෂ්‍යයන් දොළහක පහළොවක පමණ පිරිසක් සිටිනවා. පාඩම් කටයුතු කරගෙන යෑමේ හැකියාවක් නැහැ. මේ පිළිබඳව විශ්‍වවිද්‍යාල පරිපාලනය මැදිහත් විය යුතුයි. ඔහු අප සමඟ සඳහන් කළේය.   


උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා අප සමඟ මෙසේ සඳහන් කළේය.   


‘‘නවක සිසුන්ට නවක වද ලබාදෙන බවට පැමිණිලි කිහිපයක් අප වෙත ලැබුණා. ඒ අනුව පරිපාලන අංශයේ නිලධාරීන් නේවාසිකාගාර පරීක්ෂා කරනු ලැබුවා. එහිදී ශිෂ්‍යයන් එම අදාළ නිලධාරීන්ට පහරදීම් ද සිදුකර තිබෙනවා. මේ තත්ත්වය නිසා සිසුන් දොළොස් දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සිදුවී තිබෙනවා.   


අදාළ සියල්ල පිළිබඳව ඉදිරියේ දී විශ්‍වවිද්‍යාල පරිපාලනය ලෙස අප කටයුතු කරනවා. උපකුලපතිවරයා අප සමඟ සඳහන් කළේය.   


බොහෝවිට සමාජයට අනාවරණය නොවන විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ සිදුවන නවක වද සිදුවීම් බොහෝමයක් ඇත. ඒ ඒ විශ්‍වවිද්‍යාල පරිපාලනයන් ඒවා වැළැක්වීමට කටයුතු කළත් නැවතත් එළඹෙන අධ්‍යයන වර්ෂයේ නවක සිසුන් පිළිගැනීම ජ්‍යෙෂ්ඨයන් විසින් සිදුවන්නේ පෙර පරිදිමය.

 

 

 

සටහන 
සමන්තිකා මාධවී