ජීවිතය යහ මඟට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 

 

අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.



රෝගීන්ගේ ආහාරවලින් ගසා කෑ රෝහල් සුළු සේවකයකු රජරට පළාතේ විය. ආහාර ගසා කෑම නිසා ඔහුට නිතර නිතර මාරුවීම්ද ලැබුණ අතර හැත්තෑව දශකයේ මුල හරියේ ඔහුට රජරට ප්‍රධාන රෝහලකට දඬුවම් මාරුවක් ලැබුණි.


ආහාර ගෙන එන විට ඔහු වාට්ටුවේ සිටියහොත් කෙසේ හෝ ආහාර සොරකම් කරන නිසා ආහාර ට්‍රොලිය වාට්ටුවට ගෙන ඒමේදී හෙදියක් හෝ ජ්‍යෙෂ්ඨ හෙද සිසුවියක් ආහාර ට්‍රොලිය භාරව පැමිණීමට යොදවන ලෙස වාට්ටුභාර හෙදියන්ට උපදෙස් ලැබී තිබුණි. මුළුතැන්ගෙයි සේවකයින්ද ඔහු සිටි වාට්ටුවට මස් මාලු කරවල බිත්තර ආදිය බෙදුවේ හෙදියක් පැමිණි පසුවයි. ඒ හොරකම් වළක්වා ගැනීමටයි.


කිසියම් ශල්‍ය කර්මයකට භාජනය වීමෙන් පසුව ඔහුට සැහැල්ලු වැඩ නිර්දේශ කෙරුණි. ඒ අනුව ඔහුව භික්ෂු වාට්ටුවට සේවයේ යෙදවීමට අංශ ප්‍රධානීන්ට සිදුවිය. එහිදී ඔහු කළේ අමුතුම වැඩෙකි. සාමාන්‍යයෙන් භික්ෂු වාට්ටුවේ එවකට භික්ෂුන් වහන්සේලා දිනකට දහනමක් පමණ වැඩ සිටියහ. පාත්‍රයට හෝ පිඟානට ආහාර බෙදා පිළිගැන්වීම සාමාන්‍ය සිරිත විය. මොහු කළේ ආහාර පිඟාන පිළිගන්වා මස් මාලු බිත්තර ආදිය පසුව බෙදා දීමයි. ඒ සඳහා ඔහු කළේ අමුතුම ක්‍රියාවකි. ඒ කාලයේ අද මෙන් කුකුල් මස් සුලභ නොවූ නිසා රෝගීන්ට ලබාදුන්නේ හරක් මස්ය. සතියේ දින හය (ඉරිදා හැර) සඳහා අලුත්මාලු, බිත්තර, හරක් මස්, කරවල මාරුවෙන් මාරුවට දින වෙන්කොට ලබාදීම සිදු කෙරුණි.


බිත්තර තිබූදාට මොහු වාට්ටුව මැද සිට බිත්තර භාවිතය අතේ තබාගෙන බිත්තර වළඳන්නේ කවුද? බිත්තර වළඳන්නෙ කවුද යයි ශබ්ද නගා අසයි. මස් මාලු ඇති දාටත් “කවුද හරක් මස් වළඳන්නෙ, කවුද මුහුදු මාලු වළඳන්නෙ ආදී වශයෙන් ශබ්ද නගා අසයි. අවශ්‍යතාවය තිබුණත් ලජ්ජාව නිසා භික්ෂුන් වහන්සේලා ඉල්ලීම් නොකරති. එවිට ඔහු ඒ සියල්ල තමා සතු කර ගනියි. 


මේ සම්බන්ධව භික්ෂුන් වහන්සේලාද කිසිදු පැමිණිල්ලක් නොකළහ. මොහුගේ මෙම සත්භාවයේ වංචාව වසරක් පමණ කරගෙන ගියේය. අධික ධූමපානයත් බුලත් විට හැපීමත් නිසා ඔහුගේ කටේ පිළිකාවක් ඇතිවිය. ඉතා ඉක්මණින් වර්ධනය වූ එම පිළිකාව නිසා ඔහුගේ මුඛයෙන් කොටස් කපා දැමීමට පිළිකා රෝහලේ වෛද්‍යවරුන්ට සිදුවිය.


පිළිකා රෝහලේ සිට නිවසට පැමිණි පසු ඔහුට ආහාර ගැනීමටත් කතා කිරීමටත් තිබූ අපහසුව නිසා මානසිකවද මහත් වේදනාවක් විඳින්නට ඇත. හරි හැටි අහරක් නැතිව මාස කිහිපයක් ගතකොට ඔහු මිය ගියේ විශ්‍රාම ගැනීමටත් පෙරය.


ජීවත්වෙන සෑම අයෙකුටම ආහාර අත්‍යවශ්‍යවේ. රෝගී වූ විට එය වඩාත් අවශ්‍යවේ. රෝග තත්ත්ව අනුව විශේෂ ආහාරද වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන්නේ ඉක්මන් සුවය සඳහාය. එබඳු ආහාරවලින් ගසා කන අයට ලැබෙන විපාක අති බිහිසුණුය. මේ එක් කතාවක් පමණි.

 

මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය. 


හරක් හොරා අකුණු පහරින් නසී!
මෙයට දශක කීපයකට පෙර ගමේ ගොඬේ දැනට මෙන් දියුණුවක් දක්නට ලැබුණේ නැත. මුඩු බිම්, ළඳු කැලෑ වනපෙත් ඇළ දොළ හා සරුසාර කුඹුරුවලින් ගැමි සුන්දරත්වය වඩාත් කැපී පෙනුණි. ගමේ ජීවත්වූ ජනතාවට එදාවේල කෑමෙන් බීමෙන් කිසිදු අඩුපාඩුවක් සිදු නොවූ අතර තුන්වේලම බත් කෑ ගොවියන් නිරෝගිමත් ජීවිත ගත කළ බව නොරහසකි.


පැණි වරකා ගසටත් හෙණ ගහන්නාක් සේ ගමේ හොරුන් බේබද්දන් සූදුකාරයින් හා සල්ලාලයින්ද නොසිටියා නොවේ. 
“වැස්සකටවත් පාසලට නොගිය” ජෙමා ද ළමා කාලයේ පටන්ම හොරකමට පුරුදු පුහුණු වූ අසමජ්ජාතියෙකි. කුඩා අවධියේදී සුළු හොරකම්වලට ඇබ්බැහිවූ ඔහුට දෙමාපියන්ගෙන් කිසිදු තරවටුවක් නොලැබුණෙන් ගමේ හරක් හොරකම දක්වා ජෙමාගේ හොරකම් දුරදිග ගොස් තිබුණි.


ගමේ ගම්වැසියන්ගේ හරකෙක් දෙන්නෙක් මසකට වරක් දෙවරක් නැතිවීම සාමාන්‍ය දෙයක්ව තිබුණත් හරක් හොරා අල්ලා ගැනිමට මෙතෙක් කිසිවකුට හැකියාවක් ලැබුණේ නැත. මුළු දවස තිස්සේම නිකරුණේ ගමේ සූදු පිටිවල හා “රා පොළවල” ගැවසුන “ජෙමා” හරක් හොරකම් කරන බව පැහැදිලිව ගමේ කොයි කවුරුත් දන්නා නමුත් ඇහින් දුටු සාක්කි නැති නිසා කිසිවෙක් නීතියේ පිළිසරණ පැතුවේ නැත.


ගමේ හරකෙක් නැතිවූ විටකදී සොයා බලා හමුනොවුන විට ගමේ දේවාලයට ගොස් දෙවියන්ට පුද පූජා පවත්වා දෙවොලේ කපුවා ලවා කන්නලව් කර හරක් හොරාට දඬුවම් ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීම ගම්මුන් හුරු පුරුදු ලෙස නොකඩවා කරගෙන ගියත්  “ජෙමා ද” යහතින් ජීවිතය ගෙන ගියේය.


“අපරාධ වැඩිකල් කරන්න බැහැ! ඒවට දඬුවම් වෙලාවට ලැබේවි. දැන් හොරාගෙ වෙලාව හොඳ ඇති. පහුවුනාට වරදට දඬුවම නියමෙට ලැබේවි” යයි ගමේ වැඩිහිටියන් නිතරම පාහේ ගමේ කඩපිල අසළදී කතාබහේදී අසන්නට ලැබුණි.


කාලය ගෙවී ගියේය. මේ අතර දවස පුරා මහවැසි පැවතුන දිනක මහ රෑ යාමේ ජෙමා ගම්වැසියකුගේ හරකෙක් හොරෙන් දක්කාගෙන යන අතර සිදුවූයේ මහා විනාශයකි. 


මහ හඬ නංවා “හෙණ” පුපුරමින් මහවැසි වසින කට්ට කරුවලේ හරකා දක්කා දොළෙන් එගොඩවීමට ගිය ජෙමාගේ හිසමත පතිත වූ මහා අකුණු පහරින් ජෙමා කුඩුපට්ටම් වී දොළේ දිය පහරට ඇද වැටුණි.


“හෙණ” හඬට බියවූ හරකා පණ නළ බේරාගෙන දුවන්නට විය. පසුවදා උදේ කාලයේම ගම පාමුල දොළේ ගල් අතර හිරවී තිබුණ ජෙමාගේ මළ සිරුර ගම්මුන්ට දක්නට ලැබුණි.


“මේ ආත්මයේදිම තම තමන් කළකම් අනුව දඬුවම් ලැබෙන බව” ජෙමාගේ මරණයෙන් පැහැදිලිව පෙනෙන බව ගමේ වැඩිහිටියන් අතර තවමත් කතාබහ පවතී. ඉන්පසු ගමේ හරක් නැතිවුණේ නැත.

 

නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

මිනිස් ඝාතනයේ ආදීනව

 

මිනිසෙකු ඝාතනය කිරීම සතර අපායේ යන පාප කර්මයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත. අද මෙන් මිනිස් ඝාතන නරක දූෂිත වැඩ මෙයට වසර හතළිහකට පෙර නොතිබුණත් ඉඳහිට මේවා අසන්නට දකින්නට ලැබුණි. මේ සිද්ධියද ඒ කාලයේ සිදුවූ සත්‍ය සිදුවීමකි.


හේතුහාමි උස මහත පුද්ගලයෙකි. හැඩි දැඩි අයෙකි. ගොවි තැන කුලී වැඩ ජීවනෝපාය වුවත් අසල්වැසි අය සමඟ වැඩිය ඇයි හොඳයිකම් නොපෑවේය. මත්වතුර බීම මස් කෑම දිනපතා ඔහු කරන දෙයකි. සුදු බණ්ඩා මේ ගමේ සිටින කා අතරත් හොඳ හිත දිනා සිටි අයෙකි. ගොවිතැන වෙළෙඳාම මෙන්ම සමාජ සේවයට කැමැති අයෙකි. මොහු හේතු හාමිගේ ඥාතියෙකු වුවත් දෙදෙනා විරසකය. සුදු බණ්ඩාගේ දියුණුවට අකමැති හේතුහාමි, “උඹට මම වැඩක් දෙන්නම්” යැයි සිතාගත්තේය.


දිනක් රෑ බෝවන වෙලාවේ හොඳටම මත් වතුර බී නගරයේ සිට හේතුහාමි ගෙදර යන්නේ දුම්රිය මාර්ගයේය. මද දුරක් යන විට සුදු බණ්ඩාද ඉදිරියට එන්නට විය. ආගිය තොරතුරු දුක සැප ගැන කතා බහ කර හේතුහාමිට සමුදී යන සුදුබණ්ඩා දඩයම් කිරීමට සුදුසු වෙලාව මෙය බව වටහාගත් හේතුහාමි අයිනක තිබූ පොල්ලක් අතට ගෙන හෙමින් සීරුවේ පසුපසින් ගොස් ඔලුවට පහර දුන්නේය. පොලු පහරින් මිය ගිය සුදුබණ්ඩාගේ සිරුර දුම්රිය පාර මැදට දමා ගෙදර ගියේය.


මොහොතකින් දුම්රියක් ධාවනය වූ අතර සිරුර තැලී පොඩිවී ගියේය. වරදක් කොට සැඟවී සිටීමට නොහැකි බව ධම්ම පදයේ සඳහන්ව ඇති ලෙස හේතුහාමි නීතියේ රැහැනට අසුවිය. වසර කීපයක් සිර දඬුවම් විඳ නැවත ගෙදර ආවේය.


දිනක් පෙර ලෙසම දුම්රිය පාරේ යනවිට (ඇඳිරි වැටෙන වෙලාවේ) කැලය පැත්තෙන් අලියෙකු පැමිණියේ හේතු හාමිගේ අහේතුවටය. දැන් ඉතින් අලියා සමග සටන් කරන්නද? මරා දමන්නද? කිසිවක් බැරිය. බියට පත්වී වේගයෙන් දිව්වත් කකුල පැටලී ඔහු බිම වැටුණි.


මොහොතකින් අලියාට ගොදුරු වී සුදු බණ්ඩාට වූ දෙයම මොහුටද සිදුවිය. හොඳ හෝ නරක විපාක සෙවනැල්ල මෙන්ම තමා පසු පස එන බව ධම්ම පදයේ ඇති ලෙස සනාතන ධර්මයක් බව පැහැදිලිය.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදිපයට යොමු කරන්න

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්