ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.
සතුන් දඩයම් කළ පව පල දුන් හැටි.
දකුණු ලක ගමක ජීවත් වූ ඔහු පස් දරු පියෙකි. එනම් දූවරුන් දෙදෙනෙක් හා පුතුන් තිදෙනෙකි. ඔහු කඩවසම්ය. ශක්තිමත්ය. උසය. උසේ තරමට මහතය. බිරිඳ ගෘහණියකි.
ඔහුගේ ජීවන වෘත්තිය වූයේ හේන් කුඹුරු වගාවයි. මීට අමතරව සතුන් දඩයම් කිරීම ද පුරුද්දක් ලෙස කළේය.
හේන් වගා කිරීමට ඔහුට කිසිදු තහංචියක් නොවීය. ගමට යාබද ඇති කැලය කපා පුළුස්සා නව දැළි හේන් හදයි. එළවළු, ධාන්‍ය වගාව යහමින් වගා කරයි. කුරහන් වගාව අනිවාර්යය. ඒ ඔහුගේ ප්‍රියතම ආහාරය දඩමස් සමග කුරහන් තලපය. හේනේ බෝග කෑමට එන හාවන් වල් මීයන් (මී මින්නන්) ඌරන් වැනි සතුන්ට උගුල් අටවා මරා දඩ මස් කර ගනී.
ඔහුට තමන්ටම කියා කුඹුරු නැතත් කුඹුරු බදුගෙන වගා කරයි. සතුන් දඩයම් කිරීම විනෝදාංශයක් ලෙසින් ද මෙන්ම මසට ඇති ගිජු කම නිසා ද සිදුකරයි. උගුල් අටවා ද සතුන් මැරීමට අමතරව තමා සතු ලැයිසන් නැති (බලපත්‍ර නැති) හොර තුවක්කුවෙන් ද ගම යාබද කැලයට ගොස් සතුන් දඩයම් කර ගෙනවිත් පවුලේ අය සමග ආහාරයට ගනී. මස් අතිරික්තයක් වෙතොත් අසල්වැසි ඥාති හිතමිත්‍රාදීන්ට ද බෙදා දෙයි. එසේ නොමැතිව අලෙවියක් නොකරයි.
මොහුගේ දඩයමට අසුවන්නේ හාවන්, වල් මීයන් හා වල් ඌරන්ය. අද මෙන් මීට දශකයකට පෙර සතුන් දඩයම් කිරීමට බලපත් නැති තුවක්කු පිළිබඳ අදාළ නිලධාරි සොයා බැලුවේ නැත. සමහර නිලධාරීන් මොහුට කියා ද සතුන් දඩයම් කරගෙන රැගෙන යයි. ඒ නිසා මුදලිනුත් අඩුපාඩු නැත.
දිනක් ඔහු ගමේ ඥාතියකුගේ මළ ගෙදර ගොස් රැය පහන් කළේය. මළ ගෙදර සූදුවක්ද විය. සූදු ක්‍රීඩාවේ යෙදීම ද දඩයමේ යාම තරම්ම ප්‍රියජනකය. එදින ද පාන්දරින්ම ගියේ නිවසට නොව ඔහු වගා කරන බදු කුඹුරටය.
හේනට කුඹුරට පාන්දරින්ම යාම ඔහුගේ පුරුද්දය. එදින කුඹුරට ගියත් ඔහු දහවල් වන තෙක් නිවසට පැමිණියේ නැත. නිවැසියෝ ඔහු සොයන්නට වූහ.
කුඹුරේ සිටී දැයි විපරම් කර බැලූහ. එහි නොවීය. හේනට ද ගොස් බැලුවෝය. එහිත් නැත. ඒවාට යන එන මග තොට බැලුවෝය. ෙහා්ඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය.
දහවල් වන විට නිවසට තරුණයකු පැමිණ ‘‘අන්න මාමා වැවට වතුර යන ඇළේ වැටිල මැරිල ඉන්නව. මං එතන ඉඳලයි ආවේ’’ කියමින් හති අරින්නට විය.
බිරිඳ හා දරුවෝ විලාප නඟා හඬමින් එතනට දුවන්නට වූහ.
‘‘ගොයම් කෑමට එන වල් ඌරන් මැරීමට අදින ලද විදුලි වයර් එකක මාමා පැටලිලා මැරිලා. ඇළට වැටෙන්න ඇති. විදුලි වයර් ඇද්ද කෙනාට වයර් අකුළන්න අමතක වෙලා’’ සෙනඟ අතර සිටි තරුණෙයක් කීෙව්ය.
‘‘ඉන්නකම් කළේ සතුන් දඩයම් කරමින් පවුකාර වැඩයි. සතුන් වගේම අකාලයේ මියගියා. කළ පව් පලදෙනවයි කියන්නේ ඕකම තමා’’ මිනිය බැලීමට පැමිණි අයකු තව කෙනෙකුට කියනු ඇසිණි.
කොටපොළ ජිනදාස ආරියගේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.
මුදල් තණ්හාවෙන් මිතුරන්ගේ දිවි වැනසේ.
ජේමිස් සහ තේමිස් ගජ මිතුරෝය. ඕනෑම හොරකමක් ජඩ වැඩක් කළේ ලජ්ජාවකින් තොරව එකටමය. කුඩු සඳහා වැය කිරීමට මුදල් නැතිවූ විට කවුරුන් ෙහා් ගසා කා අවශ්‍යතාව ඉටු කර ගැනීමට ඔවුහු පසුබට නොවූහ.
රුපියලක්වත් අතේ නොමැති වූ එක් දිනයක දෙදෙනා එක් වී මුදල් සොයන මගක් ගැන කල්පනා කරමින් සිටියදී අපූරු නුවණක් ජේමිස්ට පහළ විය.
‘‘මචං වැඩක් නම් තියෙනව කරන්න’’ කියමින් ජේමිස් එක්වරම නැගී සිටියේය. ‘‘මොකක්ද කියපන් බලන්න’’ තේමිස් ද මිතුරාට අනුව නැගිට්ටේ ඉහිලුම් නැතිවය.
‘‘මචං හෙට පොල දවස පොළෙන් බඩු අරගෙන කොළඹ පටවන මුදලාලි පොරක් එනව. ඌ ළඟ සල්ලි වකාරෙට. ලොරියක විතර බඩු පටවන එකෙක්. ඌ අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉඳල රෑ 12ට විතර තමයි පොළට එන්නෙ. අදත් මම දැක්ක ඌ ඒ ගෙදර ඉඳගෙන ඉන්නව. ඌ එන්නෙ තනියම. තවත් වැඩි වෙලාවක් යන එකක් නෑ මේ පාරෙන් තමයි යන්න එන්නෙ. ඌ අල්ල ගත්තොත් කල්ල මරේ.’’ නියමයි. උෟ එන වෙලාවට මේ පාරෙ මනුස්ස පුළුටක් නෑ. අපි ඉඳිමු අර උණ පඳුර හරියෙ.’’ ජේමිස්ගේ යෝජනාවට තේමිස් එක පයින් කැමැති විය.
වේලාව එනතුරු සැඟවී බලා සිට ඈතින් එන ඡායාවක් දැක විමසිල්ලෙන් ළං වූහ. ජේමිස් දෑස් පිසදා හොඳින් බැලුවේය. මුදලාලි බව සැක හැර දැනගත්තේය. ‘‘හරි ඌ තමයි’’ ජේමිස් තේමිස්ගේ කනට කට තැබුවේය. මුදලාලි නිහඬව ඔවුන් පසුකර යනවාත් සමගම තේමිස් අතේ සූදානමින් තිබුණු තඩි පොල්ල මුදලාලිගේ හිස මත පතිත විය. මුදලාලිගේ මුවින් පිට වූයේ ‘‘අම්මෝ’’ යන්න පමණයි. ඔහු සිහිසුන් වී බිම වැටුණේය.
මද වේලාවක් බලා සිට මුදලාලි මියගිය බව සැකහැර දැනගත් ඔවුහු මුදලාලි ඉණේ සඟවාගෙන සිටි මුදල් පොදිය ද රැගෙන පලා ගියහ.
ප්‍රදේශයේ කවුරුත් පාහේ හඳුනන මුදලාලි මහ මග වැටී මැරී සිටින බව කටින් කට පැතිර ගියේ හිරු උදාවටත් පෙරය. මේ පිළිබඳව කිසිවක් නොදන්නා ලෙසින් සෙනඟ අතරේම ගැවසුණු ජේමිස් සහ තේමිස් එදා රාත්‍රියේ මුදල බෙදා ගැනීමට සැලසුම් කොට තිබුණේ රහසිගත ස්ථානයකදීය.
ඒත් සමගියෙන් එම කාර්යය සිදු කර ගැනීමට ඔවුනට හැකි වූයේ නැත. බහින්බස්වීම ඇරඹුණි. අවසානයේ බහින්බස්වීම කෙළවර වූයේ තේමිස්ගේ දරුණු පිහි පහරින් ජේමිස්ට ද පරලොව යාමට සිදුවෙන්නටය. කඩි මුඩියේ මුදල් ටික අතට ගත් තේමිස් වහ වහා පලා ගියේය. මේ සිදුවීම ඇසින් දුටු කිසිවකු නොසිටිත් සැකයට ලක් වූයේ තේමිස්ය. ඔහුගේ අතුරුදන්වීමත් සමග ඒ සැකය තහවුරු විය.
ජේමිස්ගේ අවසන් කටයුතු කර දින කීපයකට පසු තේමිස් රහසින් ගමට පැමිණියේය. කිසිවකු සමග කතා බහකින් තොරව ජේමිස්ගේ සොහොන අසලට ගියේය. සොහොන ළඟ වැඳ වැටුණු තේමිස් ඉනේ සඟවාගෙන තිබුණු වස බෝතලය මූඩියහැර කටට හලා ගිල දැමුවේය. මද වේලාවක් සෙම පිට කරමින් දඟල දඟලා සිටි ඔහුට ද සිදුවූයේ සිය මිතුරා වූ ජේමිස් ගිය ලෝකයටම යාමටය.
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.
රිදී පිළිම සොරාට ලැබුණු දේව දඬුවම
පූජනීය ස්ථානවල ඇති වටිනා දේපොළ සොරාගන්නා අවස්ථා පිළිබඳ විවිධ තොරතුරු විටින් විට වාර්තා වෙයි. නීතියේ රැහැනට හසුවී හෝ අසු නොවී සිටින එම හොරුන්ට ඇතැම් විට දේව දඬුවම් ලැබුණු අවස්ථා ද දැන ගන්නට ඇත. එම දඬුවම් දීම ඉක්මනින් හෝ පමා වී සිදු විය හැක. එහෙත් එම දඬුවම සියලු දෙනාගේම ඇස් අැරවන දඬුවමක් වීම ද පුදුමසහගතය. මේ කියන්නට යන්නේ ද පන්සලක රිදී පිළිම වහන්සේ නමක් සොරකම් කර එය මකවා රිදී හවඩියක් සාදවා ගත් පුද්ගලයකු පිළිබඳ කතාවකි.
ඔහු ජේමිස් නමින් හඳුන්වමු. රජරට පළාතේ හාස්කම් ඇතැයි සැලකෙන සිද්ධස්ථාසයකට එක්තරා ව්‍යාපාරිකයකු බාර වූයේ ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරය සාර්ථක වුවහොත් රිදී බුදු පිළිම වහන්සේ නමක් සිද්ධස්ථානයට පූජා කිරීමටය. ඔහු සිතූ ආකාරයෙන්ම බලාසිටිද්දීම වෙළෙඳ ව්‍යාපාරය දියුණු විය. පොරොන්දු වූ පරිදි එම ව්‍යාපාරිකයා අඟල් නවයක් උස රිදී බුදු පිළිම වහන්සේ නමක් පූජා කළේය.
මෙය සිදුවන අවස්ථාවේ ජේමිස් ද නායක හාමුදුරුවන්ගේ කුඹුරේ කිසියම් කටයුත්තක් පිළිබඳ සාකච්ඡා කර ගැනීමට පැමිණ සිටියේය. ජේමිස් ලොකු හාමුදුරුවන්ට ඉතා හිතවත්ව සිටි අයෙකි. පන්සලට අයත් කුඹුරු බලා කියා ගත්තේ ද වැඩ කළේ ද ජේමිස් විසිනි. පිළිම වහන්සේ දුටු හැටියේම ජේමිස්ට ඒ පිළිබඳ ආශාවක් ඇති විය. එම පිළිමය මකවා හොඳ රිදී හවඩියක් ද රිදී මාලයක්ද සාදවා ගැනීමට ඔහුට සිතක් පහළ විය. නායක හාමුදුරුවන් ද ජේමිස් ගැන සැකයක් නොසිතා ආවාස ගෙයි අල්මාරියක පිළිම වහන්සේ තැන්පත් කළහ. එදා රෑ තිස්සේ ජේමිස් කල්පනා කළේ පිළිම වහන්සේ සොරා ගන්නා ආකාරය පිළිබඳවයි.
ඊළඟ බදාදා දිනයේ ලොකු හාමුදුරුවන් වහන්සේ තවත් ස්වාමින් වහන්සේ නමක් සමග අනුරාධපුර රෝහලේ සායනයට යන බවත්, ඉතිරි ස්වාමින් වහන්සේලා අධ්‍යාපන කටයුතු සඳහා පිරිවෙනට යන බවත් ජේමිස් දැන සිටියේය.
පන්සලේ කිසිවකු නැති අවස්ථාවක ජේමිස් ආවාසගෙයි දොර කඩා ඇතුළු වී පිළිම වහන්සේ සොරකම් කර ගත්තේය. එය එදාම රහසිගතව සඟවා තැබුවේය. සායනයට ගොස් පැමිණි නායක හිමියෝ ආවාස ගෙයි දොර කඩා ඇති බවත්, රිදී පිළිම වහන්සේ සොරකම් කර ඇති බවත් දැනගෙන පොලිසියට දැන්වූහ. පොලිස් නිලධාරීන් විසින් සැක පිට ජේමිස් අත්අඩංගුට ගත්තේ හාමුදුරුවන්ගේ කටඋත්තරය පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසුවයි.
පසු දින ඇප ලබා පැමිණි ජේමිස් රිදී පිළිම වහන්සේ රැගෙන ස්වර්ණාභරණ වෙලෙඳසලකට ගියේය. අවශ්‍ය දේවල් සෑදිය හැකි බවත්, පිළිම වහන්සේ මකවා දීම කළ නොහැකි බවත් වෙළෙඳසල් හිමියා දැන්වීය. කෙසේ හෝ තමාගේ අතින්ම පිළිම වහන්සේ කෝවක දමා උණු කර රිදී ගුලියක් ජේමිස් විසින්ම සාදා ගත්තේ වෙළෙඳසල් සේවකයකු මුදල් දී හිතවත්කර ගැනීමෙනි. සතියකින් පමණ පසු රිදී හවඩියත්, මාලයත් ලබාදිය හැකි බව වෙළෙඳසල් හිමියා දැන්වීය. ෙජ්මිස් සතුටින් නිවසට පැමිණියේය.
පසුදින පන්සලේ කුඹුරේ ගොයම් කපා අස්වැන්න පන්සලට ගෙන ඒමට ද පැවරුණේ් ජේමිස්ටය. ඔහු කිහිපදෙනකු යොදවා ගොයම් කප්පවා කොළ මඩින යන්ත්‍රය ද (සුනාමිය) ගෙන්වා ගත්තේය. යන්ත්‍රය ක්‍රියාකර වූ පසු ගොයම් එය තුළට ඇතුළු කළේ ද ජේමිස් විසිනි.
හදිසියේම ඔහුගේ අත් දෙකම යන්ත්‍රය තුළට ඇතුළු වී බරපතළ ලෙස තුවාල විය. ප්‍රධාන රෝහල වෙත ගෙන ගිය ජේමිස්ගේ අත් දෙකම වැලමිටට පහලින් කපා දැමීමට වෛද්‍යවරුන්ට සිදුවිය.
අත් දෙක අහිමි නිවසට පැමිණි ජේමිස්ට මුහුණදීමට සිදු වූයේ විශාල ගැටලුවකටය. තනිකඩයකුව සිටි නිසා ඔහුට එදිනෙදා කටයුතුවලදී උදව් කිරීමටවත් කිසිවකු නොවීය.
නීතියෙන් බේරුණත් දෙවියන්ගෙන් බේරිය නොහැකි බව ගම්මු නිතර කතා වූහ. ගමේ සිටිය නොහැකි වූ ජේමිස් ගමෙන් අතුරුදන් විය. ඔහු දිවි නසා ගත්තා ද වෙනත් ප්‍රදේශයක ඉන්නවාද යන්නවත් ඉන්පසු ගම්මුන්ට ප්‍රශ්නයක් ඉතිරි විය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මුදල් තණ්හාවෙන් මිතුරන්ගේ දිවි වැනසේ