• දවස ගානේම ඉහළ නගින ඉන්දියාවේ කොරෝනා පොකුරු   
  • එංගලන්තය හැදූ කොරෝනා එන්නත වැරැදි බව හෙළිවෙයි.   

 

ලොව අංක එකේ ව්‍යාපාරික සඟරාව ලෙස පිළිගැනෙන්නේ, ඇමෙරිකාවේ ‘ෆෝබ්ස්’ සඟරාවය. ෆෝබ්ස් සමීක්ෂණ වාර්තා කුමක් කීවත්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතාමත් සාර්ථකව මර්දනය කළ රට ශ්‍රී ලංකාවය. අද වනවිට අප සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නැත. දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත්ව තිබේ. කොරෝනා ගෝලීය වසංගතය හමුවේ පාසල් සියල්ල සම්පූර්ණයෙන් ආරම්භ කළ රට වන්නේ ද ශ්‍රී ලංකාවය.   


අප රජය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එක් වී, කොරෝනා පාලනය කර ගැනීමට කළ මෙහෙවර අතිවිශිෂ්ටය. එසේ වුවත්, අප සිහියේ තබා ගත යුතු දෙයක් ඇත. කොරෝනා අවසන් නැත. කොරෝනා තර්ජනයේ ද අඩුවක් නැත. එහෙයින්, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, දෑත් පිරිසුදුව තබා ගැනීම, මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස්ක් පැලඳීම සහ හැකිතාක් සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීම කළ යුතුය.   


චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ලොව ආක්‍රමණය කර මේ වනවිට මාස 10 ක් ගත වී තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින් පසුගිය දා එරට වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට දායක වූ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඇගැයීමට ලක් කළේය. එම අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා පැවැසුවේ, ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් චීනය ලොවෙන් කිසිවක් වසං නොකළ බවත්, පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කළ බවත්ය. අද වනවිට චීන සමාජයේ කොරෝනා පැතිරීමක් සිදුවන්නේ ද නැත.   


මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 28,000,000 පසු කර අවසන්ය. මරණ වාර්තා වන්නේ 903,000 ක් ලෙසය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 20,000,000 කි. වැඩිම වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. මාස ගණනක් දෙවැනි ස්ථානයේ පසුවූයේ ලතින් ඇමෙරිකා කලාපයට අයත් බ්‍රසීලයයි. බ්‍රසීලයෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයන් ගණන 4,166,000 කි. මරණ 1,28,000 කි. කෙසේ නමුත් අද වනවිට, ඇමෙරිකාවට පසු බ්‍රසීලය අභිබවා දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට පත්වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවය.   


විදෙස් වාර්තා අනුව, ඉන්දියාවේ ආසාදිතයන් ගණන 4,375,000 කි. මරණ 74,000 කි. පසුගිය දින කීපයේ ඉන්දියාවෙන් එක් දිනකදී වාර්තා වූ ආසාදිතයන් ගණන 80,000 ඉක්මවිය. දිනපතා ආසාදිතයන් පොකුරු පිටින් හමුවුවත්, එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ, ඉන්දියාවේ කොරෝනා තවමත් උච්චත්වයට පත් වී නොමැති බවය. ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කරන ආකාරයට මෙම වසර අවසන් වීමට පෙර, ඉන්දියාව ආසාදිතයන් අතින් ඇමෙරිකාව පසුකර ඉදිරියට පැමිණෙනු ඇති බවය.   


මහමඟ, ප්‍රසිද්ධ ස්ථානවල, බස් රථ තුළ කුඩා දැරියන්, තරුණියන් සහ කාන්තාවන් අපයෝජනයට ලක්වීම අතින් ද ඉන්දියාව බොහෝ ඉදිරියෙන් සිටී. කොරෝනා ජරමර අතරතුරේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පසුගිය දිනෙක අප්‍රසන්න සිදුවීමක් වාර්තා විය. ඒ, 19 හැවිරිදි කොරෝනා ආසාදිත තරුණියක ගිලන් රථයක් තුළ දූෂණය කිරීමේ සිදුවීමය.   

 


මේ තරුණිය ඇගේ ඥාති නිවසක නිරෝධායනය වෙමින් සිටි තැනැත්තියකි. සිදු කළ වෛද්‍ය පර්​ෙ‌ය්ෂණයකින් ඇය ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ගිලන් රථය පැමිණ ඇත්තේ ඇය රෝහලට රැගෙන යෑමටය. ගිලන් රථයේ සිට ඇත්තේ රියැදුරා සහ තරුණිය පමණි. ගිලන් රථය පාළු ස්ථානයකට ගෙන ගිය ඒ නරුම රියදුරා ඇය අපයෝජනය කළේය. මෙම සිදුවීම මාධ්‍ය හරහා වාර්තා වෙද්දී ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක ඒ සම්බන්ධයෙන් විරෝධතා පවා හටගත්තේය.   


ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 3 වැනිදාය. රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහාය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂකයා ජෝ බයිඩන් ය. එසේ වුවත්, ට්‍රම්ප්ගේ ජය සහ පැරැදුම තීරණය කරන ‘ප්‍රතිවාදියා’ වී ඇත්තේ කොරෝනා වයිරසයයි.   
ට්‍රම්ප් පරිපාලනයේ ‘ඇල් මැරුණු’ ක්‍රියා කලාපය හේතුවෙන් ඇමෙරිකාව තුළ කොරෝනා උත්සන්න වූයේ යැයි චෝදනා එල්ල වී තිබේ. මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අනුගමනය කරන්නේ ලිහිල් ප්‍රතිපත්තියකි. ‘කැමති අය මාස්ක් දාන්න. මාස්ක් දාන්න කාටවත් බල කරන්නේ නෑ’ මේ ජනපති ට්‍රම්ප්ගේ වදන්ය.   
ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩන්ගේ ප්‍රතිපත්තිය ඊට ප්‍රතිවිරුද්ධ එකකි. ‘මා බලයට ආවොත්, හැමෝටම මාස්ක් අනිවාර්ය කරනවා. වසංගතය පලනය කරන්න, මා රට වසා දමනවා’ යැයි බයිඩන් ප්‍රතිඥා දී තිබේ. ඇමෙරිකාව කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් තවමත් ලොව අංක එකේ පසුවන්නේ, ඇමෙරිකානුවන් වයිරසය අවතක්සේරු කරන බැවින් බව පැහැදිලිය. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 6,500,000 පසු කර තිබේ. මරණ ගණන 1,95,000 කි.   
පසුගිය දා ට්‍රම්ප් මැතිවරණ රැලි කීපයකට සහභාගී විය. ඒ, මාස්ක් පලඳින්නේ නැතිවය. පසුගිය 7 වැනිදා ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ ‘මාස්ක් එක ගලවා ප්‍රශ්න අසන්න’ යැයි ට්‍රම්ප් රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදියාට පැවැසූ අවස්ථාවේ, එම මාධ්‍යවේදී ජෙෆ් මේසන් සහ ට්‍රම්ප් අතරේ වචන හුවමාරුවක් පවා සිදුවිය. එය පසුගිය සතියේ ඇමෙරිකාවෙන් වාර්තා වූ කැපී පෙනෙන සිදුවීමකි.   


ඇමෙරිකාවේ කොරෝනා වසංගතය ඉහවහා යද්දී, ට්‍රම්ප්ගේ උපදෙස් අනුව කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීමේ නව වැඩපිළිවෙළක් ඇරැඹිණි. එය ඉතා වේගයෙන් තවමත් සිදුවෙමින් පවතී. ඇමෙරිකන් රජයේ අනුග්‍රහය යටතේ, ඇමෙරිකාව තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් පමණක් නොව, විදෙස් ඖෂධ නිෂ්පාදන සමාගම් ද කොරෝනා මර්දන එන්නත් නිර්මාණය කරමින් පවතී. ඇමෙරිකාව ඉන්දියාව සමඟ හවුල් වෙමින් ද එන්නතක් නිපදවන බව පැවැසෙයි. එසේ නිපදවන ඇතැම් එන්නත්, අවසන් සායනික අත්හදා බැලීම් සඳහා යොදාගෙන තිබේ. ට්‍රම්ප් පවසන්නේ, නොවැම්බර් 1 වැනිදා වනවිට කොරෝනා මර්දන එන්නතක් ඇමෙරිකානුවන්ට දෙන බවය. ඒ, ඡන්ද වාසි ගැනීමේ අරමුණින් බව පැහැදිලිය. කෙසේ නමුත් ආරක්ෂිතව එන්නතක් කඩිමුඩියේ ලබා දීම කළ නොහැකි බව ඇමෙරිකන් වසංගත රෝග පිටුදැකීමේ ඒකකය අවධාරණය කර තිබේ. මෙය ඩිමොක්‍රටික් පක්ෂයේ සතුටට හේතුවක් වී තිබේ.   


කොරෝනා වයිරසයට එන්නත් නිපදවීම සම්බන්ධයෙන් ලොව රටවල් රැසක් අතරේ පවතින්නේ තියුණු තරගයකි. ඒ අතරින් ඉදිරියෙන් සිටින්නේ රුසියානු රජයේ, ආරක්ෂක අමත්‍යාංශයේ අනුග්‍රහය යටතේ නිර්මාණය කර තිබෙන කොරෝනා ආසාදනය වළක්වන එන්නතය. රුසියාව මෙම එන්නත ලියාපදිංචි කළේ පසුගිය අගෝස්තු 11 වැනිදාය. ඒ අනුව, ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා මර්දන එන්නත වන්නේ රුසියාවේ මෙම එන්නතය.   


සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් තරගය පවතිද්දී, එහි පළමු ජය හිමිවූයේ සෝවියට් දේශයටය. ඒ, සෝවියට් දේශය ලොව පළමු චන්ද්‍රිකාව වන ‘ස්පුට්නික් 1’ පෘථිවි කක්ෂයට යැවීමෙනි. එම ජයග්‍රහණය සිහි කරමින්, රුසියාව ඔවුන්ගේ කොරෝනා මර්දන එන්නත නම් කර ඇත්තේ ‘ස්පුට්නික් 5’ යන නමිනි. සියයට සියයක් සායනික අත්හදා බැලීම් සාර්ථක සම්පූර්ණ නොවූවත්, මූලික සායනික අත්හදාබැලීම් සාර්ථක බැවින් එන්නත රුසියානුවන්ට බෙදා දීම පසුගිය සතියේ සිට ආරම්භ විය.   


භූ ගෝලීය දේශපාලනික වශයෙන්, ලෝකය බල කඳවුරු දෙකකි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එක් බල කඳවුරකට ද රුසියාව සහාය දක්වන රටවල් අනෙක් බල කඳවුරට ද අයත් වෙයි. ‘ස්පුට්නික් 5’ අතුරු ආබාධ සහිත එන්නතක් බවත්, කඩිමුඩියේ එය ජනතාවට ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජය, රුසියානුවන්ගේ ජීවිත අනතුරේ දමනවා යැයි බටහිර රටවලින් චෝදනා එල්ල වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා රුසියන් එන්නතට තවමත් හිමි වී නැත.   


කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්විය හැකි ඉතා ආරක්ෂිත, අතුරු ආබාධ කිසිවක් නොමැති, එන්නතක් ලෙස ලොව කවුරුත් බලාපාරොත්තු තබාගෙන සිටියේ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ‘ඇන්ට්‍රා-සෙන්කා’ ඖෂධ සමාගම එක්වී නිපදවන එන්නත කෙරෙහිය. ‘ස්පුට්නික් 5’ සේම, කොරෝනා ආසාදනය වළක්වමින්, වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීම ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නතේ අරමුණ වී තිබේ. මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව, ඇමෙරිකාවේ, බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ ද ස්වේච්ඡාවෙන් එක්වුණු දහස් ගණනක් දෙනාට මෙම එන්නත ලබා දුන්නේ සායනික පර්​ෙ‌ය්ෂණ පවත්වමිනි. මූලික අත්හදාබැලීම් සාර්ථක විය.   


ඒ අනුව, ඔක්ස්ෆර්ඩ් ලබන වසරේ ජනවාරියේ ලොවට එළිදැක්වෙනු ඇති බව පැවැසිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා ඊට හිමි විය. ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන මෙසේ බලාපොරොත්තු දැල්වෙද්දී, එය හදිසියේ නවතා දැමීමට ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් සහ ‘ඇන්ට්‍රා-සෙන්කා’ සමාගම තීරණය කළේය. ඒ, එන්නත ලබා ගත් කිහිප දෙනකු අබිරහස් ලෙස හිටිහැටියේ රෝගාබාධ රැසකට මුහුණ පෑ බැවිනි.   

 


‘එන්නතක් අත්හදා බැලීමේ දී අප සායනික පර්​ෙ‌ය්ෂණ සිදු කරන්නේ එන්නත් ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පැය 24 පුරාවට විමසිලිමත් වෙමින්. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එන්නත ලබා ගන්නේ එහි ඇති අනතුරුදායක ස්වභාවය වටහා ගන්නා අයයි. වයිරසයක් ආසාදනය වීම වැළැක්වීමට එන්නතක් නිපදවන්නේ, එම වයිරසයේ සාම්පල යොදා ගනිමින්. එන්නත ලෙස සිරුරට වයිරසයේ හානිකර නොවන කොටස් ඇතුළු කෙරෙනවා. උණ, හිසරදය ආදිය සාමාන්‍යයෙන් ඇතිවන සංකූලතා. ඒත්, බරපතළ රෝගී තත්ත්වයන් වාර්තා වෙනවා නම්, එය අනතුරුදායකයි.   


අපගේ එන්නත සම්බන්ධයෙන් සිදු කළ අවසන් අදියරේ සායනික පර්​ෙ‌ය්ෂණවලදී එන්නත ලබා ගත් කිහිප දෙනකු රෝගී වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වනවා. එම විමර්ශනය අවසන් වෙනතුරු එන්නත අත්හදා බැලීම් සියල්ල නවත්වනවා’ යැයි ඇන්ට්‍රා-සෙන්කා සමාගම මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය. 

 

ලුසිත ජයමාන්න   
රොයිටර් ඇසුරිනි