ඇවිදගන්න බැරි බ්රිඳ නහවා කවා පොවා රැකබලාගන්නා ආදරණීය සැමියෙක්
බත් කවන අයුරු
විවාහ වී මාස 02න් බිරිඳ අසනීප වෙලා. වසර 17ක් තිස්සේ බිරිඳ බලාගන්නා අපූරු සැමියෙක්. බටහිර වෛද්‍යවරුන් සනීප කරන්න බෑ කිව්ව බිරිඳ සනීප කිරීමේ අභියෝගය දේශීය වෛද්‍යවරයෙක් බාරගෙන.
බටහිර වෛද්‍යවරුන් සනීප කළ නොහැකි බව කියද්දී ඒ පිළිබඳව විශ්වාස නොකර රෝගී තම බිරිඳ වසර 17ක් තිස්සේ මදුරුවෙකුටවත් වහන්න නොදී බිරිඳ සුවපත් කරගැනීමේ අටියෙන් තවමත් බලාපොරොත්තු දල්වා සිටින අපූරු සැමියෙකු පිළිබඳ කතාවක් පසුගිය දින අපට අසන්නට ලැබුණේ සූරියවැව ප්‍රදේශයෙනි.
මේ වනවිට 44 වැනි වියේ පසුවන ජගත් සුසන්ත අතපත්තු මහතා මෙලෙස සිය බිරිඳ රැක බලා ගන්නේ හරියට කුඩා දරුවෙකු බලාගන්නා මෙනි. ඒ තරමටම ඔහු බිරිඳ වෙනුවෙන් කැපවී සිටින්නේ වත්මන් සමාජයට ද මහත් ආදර්ශයක් සපයමිනි. මෙම දෙපළ ජීවත් වෙන්නේ නො. 10/1, දෙයියන්දරයාය, සූරියවැව ලිපිනයේය. සුසන්ත මහතාගේ නිවසට අප යන විටත් සුසන්ත මහතා සිටියේ බිරිඳ නාවමිනි. බිරිඳගේ ඇඟේ මස් දියවෙන රෝගයක් ඇති බවත් එය සනීප කළ නොහැකි බවත් බටහිර වෛද්‍යවරුන් පවසා ඇතත් එය පිළිගැනීමට මෙම සැමියා කොහෙත්ම කැමැති නැත. ඔහුගේ මතය වන්නේ මේ තරම් තාක්ෂණය දියුණු යුගයක වෛද්‍යවරු මගේ බිරිඳ සුවපත් කළ නොහැකියි කියන කතාව විශ්වාස කළ නොහැකි එකක් බවයි. අද වනවිට වසර 17ක් තිස්සේ මෙම සැමියා බිරිඳට කවා පොවා රැක බලා ගන්නේ බිරිඳ කෙසේ හෝ සුවපත් කරගත යුතුය යන අධිෂ්ඨානයෙන් යුතුවය.
තමන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව ජගත් සුසන්ත අතපත්තු මහතා පැවසුවේ මෙසේය.
“මගේ මුල් පදිංචිය සූරියවැවේමයි. මම මේසන් වැඩ තමයි කළේ. ඒ අනුව යාළුවෙක් එක්ක මං මාතර ප්‍රදේශයේ එක් ස්ථානයක වැඩට ගියා. ඒ ගිය වෙලාවේ තමයි චාන්දනි මට හමු වුණේ. ඒ හමු වුණාට පස්සේ අපි දෙන්නා යාළු වුණා. අවුරුදු 02ක් අපි දෙන්නා ආදරය කළා. මං මාතර වැඩ ඉවර වෙලා ගෙදර ආවත් ඒ කාලය තුළදී මාසෙකට ගමනක් මං චාන්දනි බලන්න මාතර ගියා. ඒ ගිහින් කතා බහ කරලා හමුවෙලා එනවා. මෙහෙම යනකොට චාන්දනීගේ ගෙදරින් අපිට විරුද්ධ වුණා. ඉතින් මං චාන්දනි විවාහ කරගන්න එයාලගේ අම්මලාගෙන් ඇහුවට කැමති වුණේම නෑ. එහෙත් කොහොම හරි අපි දෙන්නා ඒ අභියෝගයෙන් ජයගෙන විවාහ වුණා.
ඒ විවාහ වෙලා අපි පදිංචියට අාවේ දැන් අපි මේ ජීවත් වෙලා ඉන්න කාමර කෑලි දෙකක නිවසටමයි. ඒ ඇවිත් මාස 02ක් විතර අපි හරිම සතුටින් හිටියා. දවසක් චාන්දනි මට කිව්වා සුසන්ත මගේ කකුලක් රිදෙනවා කියලා. ඉතින් මං සූරියවැවෙන් බෙහෙත් අරන් දුන්නා. නමුත් සනීපයක් නෑ. ඒත් කකුල රිදෙනවා කිව්වා. පස්සේ මං චාන්දනිවත් අරන් කරාපිටිය මහ රෝහලට ගියා. ඒ ගියාම වෛද්‍යවරු චාන්දනිව රෝහලට ඇතුළත් කරන්න කිව්වා. ඒ ඇතුළත් කරලා මාසයක් එක දිගට චාන්දනි රෝහලේ තියාගෙන වෛද්‍යවරු විවිධ පරීක්ෂණ කරලා කිව්වා මෙයාගේ ඇඟේ මස් දියවෙන රෝගයක් හා මාංශ පේෂි තදවෙන රෝගයක් තියෙනවා කියලා. මේ ලෙඩේ සනීප කරන්න බෑ කියලා වෛද්‍යවරු කිව්වා. නමුත් මට ඒක විශ්වාස කරන්න බෑ. ඒ නිසා මං බිරිඳව නැවතත් කොළඹ ජාතික රෝහලට අරන් ගිහින් නැවැත්තුවා. එහිත් සතියක් එක හමාරක් විතර නේවාසිකව තියාගෙන පරීක්ෂණ කළා. එහෙනුත් කිව්වා බිරිඳ සනීප කරන්න බෑ කියලා. පස්සේ ජාතික රෝහලේ ඉඳලා ගෙදර එක්කගෙන ආව බිරිඳව මං ආයෙත් නැවත ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළා. එහිත් සතියක් නේවාසිකව පරීක්ෂණ සිදු කරලා එහි වෛද්‍යවරු කිව්වෙත් සනීප කරන්න බැ කියලයි. බිරිඳ රෝගී වෙලා අවුරුදු දෙකෙන් දෙකට වගේ තමයි මං මේ රෝහල්වලට බිරිඳව අරන් ගියේ. ඒත් බටහිර වෛද්‍යවරු කිව්වේ බිරිඳ සනීප කරන්න බෑ කියලයි. බිරිඳ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී බෙහෙත් වර්ග දුන්නේ නෑ. බිරිඳට රෝහලෙන් දුන්නේ විටමින් වර්ග විතරයි.
පදිංචි නිවස
උණු වතුරෙන් නාවන අයුරු
චාන්දනිගෙ අතින් වැටෙන්න නොදී ඇය රැකගෙන ඇති මංගල මුදුව
බටහිර වෛද්‍යවරු මොකක් කීවත් මට නම් ඒක විශ්වාස කරන්න බෑ. මං තාමත් විශ්වාස කරන්නේ බිරිඳ සනීප කරන්න පුළුවන් කියලයි. මට හිතෙන්නේ බටහිර වෛද්‍යවරු මීට වඩා අවධානයෙන් මගේ බිරිඳගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළා නම් බිරිඳ සනීප කරන්න තිබුණා කියලයි. මොකද බිරිඳට ඉස්සර වෙලාම තිබුණේ කකුලක් රිදෙන ලෙඩක් විතරයි. බිරිඳ රෝහලට ගියෙත් ඇවිදගෙනමයි. ඊට පස්සේ තමයි කකුල් තදවෙන්න ගත්තා කිව්වේ. පස්සේ ටික ටික බිරිඳට ඇවිදින්න බැරි වුණා. අන්තිමට කතා කරන්නත් බැරි වුණා. දැන් අවුරුදු 17ක් වෙනවා මේ විදියට බිරිඳ රෝගී වෙලා.
මං විවාහ වෙනකොට බිරිඳට වයස අවුරුදු 26. දැන් වයස අවුරුදු 43යි. වෛද්‍යවරු මොකක් කිව්වත් මට තවමත් බිරිඳ සනීප කරගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. විවාහ වෙලා මාස දෙකයි අපි දෙන්නට සතුටින් ඉන්න ලැබුණේ. ඊට පස්සේ බිරිඳ අසනීප වුණා. එදා ඉඳන් අද වෙනකම් බිරිඳ රෝගී තත්ත්වයෙනුයි පසුවෙන්නේ. ඇයට ඇවිදින්න, කන්න බොන්න හෝ කතා කරන්න බෑ. බිරිඳගේ අසනීපය නිසා මං මගේ රැකියාවත් අතහැරලා දැම්මා. බිරිඳ තනියම ගේ දමලා යන්න විදියක් නෑ. අද වෙනකොට බිරිඳ නාවන්න කවන්න පොවන්න වැසිකිළි කැසිකිළි යන්න ඔක්කොම මං කරන්න ඕනෑ. එයාට කිසි දෙයක් කරගන්න බෑ. අනික තමයි අසනීප බිරිඳ නිවසේ තනියම දමලා මට යන්න පුළුවන්කමක් නැ. ඒ නිසා අද මං නිවසේ වත්තේ පොඩියට වගාවක් දමාගෙන ඉන්නවා. බිරිඳට මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. දැන් සති තුනක් විතර වෙනවා ප්‍රතිකාර ආරම්භ කරලා. ඒ ප්‍රතිකාරවලින් බිරිඳට මේ වනවිට යම් ගුණයක් තියෙනවා. වෙනදා කටින් වචනයක්වත් පිට කරන්න බැරිව හිටිය බිරිඳ දැන් යම් යම් ශබ්ද පිටකරනවා. අද වෙනකොට මට බිරිඳගේ ප්‍රතිකාර සඳහා සහ කෑම බීමට මාසෙකට රුපියල් 20,000ක් විතර වියදම් යනවා. මට ඇත්තටම මාසෙකට රුපියල් 20,000ක් හොයනවා කියන්නේ හීනයක් වගෙයි. මට මගේ යාළුවෝ සහ අහල පහල අයත් උදව් කරනවා. කන්න බොන්න දෙන්නේ වැඩි වශයෙන් පලතුරු වර්ග හා පිටි වර්ගයි. බත් කවන්නේ ටිකක් අඩුවෙන්. බත් දුන්නම එයාට හපලා ගිලින්න අමාරුයි. බටහිර වෛද්‍යවරු බිරිඳව සනීප කරන්න බෑ කියලා කියන කතාව මං කොහෙත්ම පිළිගන්නේ නෑ. ඒ නිසා තමයි අවුරුදු 17ක් තිස්සේ බිරිඳ ගෙදර තියාගෙන බිරිඳව සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් හෙව්වේ. මේ වෙනකොට බිරිඳට ප්‍රතිකාර අරඹලා තියෙනවා. ඒකෙන් බිරිඳට ගුණයකුත් තියෙනවා. ඉතින් මට බිරිඳ සම්පූර්ණයෙන්ම සනීප කරගන්න පුළුවන් උදව්වක් කරන්න කියලයි මං ඉල්ලන්නේ.
අද කාලේ ආදරය කරන අය තුළ සැබෑ ආදරයක් මං නම් දකින්නේ නෑ. අද කාලේ ආදරය මනින්නේ රෝස මල්, චොකලට් වගේ දේවල්වලින්. කොච්චර සුන්දර කතා කිව්වත් කරදරයක් වුණාම ඒ අය අතහැරලා යන යුගයක තමයි මං බිරිඳව අවුරුදු 17ක් තිස්සේ කවලා පොවලා ආදරයෙන් බලා ගන්නේ. ආදරය කියන්නේ ටොෆි, චොකලට්, රෝස මල්වලින් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. සැබෑ ආදරය කියන්නේ හදවත් දෙකක ඇතිවෙන නිර්ව්‍යාජ බැඳීමක්. මං අවුරුදු දෙකක් ආදරය කරලයි චාන්දනිව විවාහ කරගත්තේ. එහෙම ආදරය කරලා විවාහ වෙලා චාන්දනිට කරදරයක් වුණාම දමලා යන්න තරම් මං පහත් තත්ත්වයකට වැටිලා නෑ. මං මගේ රස්සාවත් අතහැරලයි ඇයව බලා ගන්නේ. මට අද වෙනකොට ජීවත් වෙන්න තරම් මුදලක් නෑ. ගොඩක් දවස්වලට කාගෙන් හරි ලැබෙන මුදලින් මං එක බත් එකක් ගෙනත් චාන්දනිට කවලා ඒක ඉතුරු වුණොත් මාත් ඒක කාලා ඉන්නවා. මට කන්න නැතත් කමක් නෑ. මට ඕනෑ මගේ බිරිඳ සනීප කරගන්න විතරයි” යැයි සුසන්ත මහතා අපත් සමග කීවේ ඔහුටත් හොරා ඔහුගේ නෙතඟින් රූරා වැටුණ කදුළු බිඳුවක් ද ඇඳ සිටි සරමෙන් පිසදමමිනි.
අසනීප බිරිඳ සුවපත් කළ නොහැකි බව බටහිර වෛද්‍යවරු පැවසුවත් එය පිළිනොගත් මේ සැමියා මේ වනවිට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සිදු කර හෝ සිය බිරිඳ සුවපත් කරගැනීමට දරන්නේ ඉමහත් වෙහෙසකි. මේ සැබෑ ආදර කතාවට ශක්තියක් විමට පාඨක ඔබට ද අවස්ථාවක් ඇත. ඒ නො. 10/1, දෙයියන්දරයාය, සූරියවැව ලිපිනයට පැමිණීමෙන් හෝ 0716539247 සුසන්ත මහතාගේ දුරකථන අංකයට ඇමතීමෙනි.
සටහන හා සේයා රූ
සූරියවැව දිලීප් ජයසේකර
ලෝක ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට කාම්බෝජය යැයි කියූ සැනින් මතක් වෙන්නේ ලොවම බලා සිටි කාම්බෝජයේ සිවිල් යුද්ධයයි.
අප රටේ ඇති බොහෝ දෙනෙකු වැඩිපුර නොයන තැන් ගැන අපටත් වඩා බොහෝ විට දන්නේ විදේශීය සංචාරකයින්ය.
ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්.
ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සු
යුද හමුදාවේ ගමන් මග වූ කලී ඉවසීම, දරාගැනීම, අසීමාන්තික කැපකිරීම හමුවේම පසුකළ එකකි.
ශ්රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග මොනවාදැයි විමසූ සැනින් තේ, පොල්, රබර් යැයි කීමට කාගෙත් කටට ආ පිළිතුරු ගිල ගැනීමට කාලය උදාවෙමින් තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ටොෆි-චොකලට් නැති සැබෑ ආදර කතාවක්