මේ වසරේ නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 08 වැනි ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම පසුගිය සඳුද‌ා (07) දින මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර එහිදී නාමයෝජනා බාර දුන් අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේ ජනාධිපතිවරණය සඳහා වැය වෙතැයි අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි 100 ක පමණ මුදලක් ඒ සඳහා වියදම් වනු ඇති බවය. ඒ අනුව මෙම ජනාධිපතිවරණය සඳහා රුපියල් මිලියන 5000 ක (කෝටි 500 ක්) මුදලක් වැයවෙනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.  


මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වුව ද ඒවා සඳහා වැය වෙන්නේ මහජන මුදල්ය. එම වියදම් හැකිතාක් දුරට අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ද වැදගත්ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළ පරිදි අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි 100 ක පමණ මුදලක් මේ ජනාධිපතිවරණය සඳහා වැය වෙන්නේ ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා නාම යෝජනා බාර දී තිබෙන අපේක්ෂක සංඛ්‍යාව වැඩි වී තිබීම නිසාය. ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය ඇතුළත එතෙක් මෙතෙක් කාලයේදී වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මේ වසරේ නොවැම්බර් මස 16 වැනි දිනය. මෙවර තරග කරන අපේක්ෂක පිරිස 35 කි.  
පසුගිය ජනාධිපතිවරණ සඳහා තරග වැද ඇති අපේක්ෂකයන් පිළිබඳ දත්ත වලට අනුව ලංකාවේ පැවැති මුල්ම ජනාධිපතිවරණය වූ 1982 වසරේ පැවැති ජනාධිපතිවරණය සඳහා තරග කළ මුළු අපේක්ෂක සංඛ්‍යාවව 06 කි. 1988 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂක සංඛ්‍යාව 03 කි. 1994 ජනාධිපතිවරණයේදී එම ගණන දැක්වුණේ 06 ක් ලෙසය. 1999 ජනාධිපතිවරණයේදී 13 කි. 2005 ජනාධිපතිවරණයේදී ද 13 කි. 2010 ජනාධිපතිවරණයේදී 22 කි. අවසන් වරට පැවැති 2015 ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයට අපේක්ෂකයේ 19 දෙනෙක් තරග කළහ. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 ක් තරම් විශාල පිරිසක් තරග කරන නිසා අඟල් 26 ක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට මැතිවරණ කොමිසමට සිදුව තිබෙයි. තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම නිසා මැතිවරණ කොමිසමට මෙන්ම මැතිවරණයට සක්‍රිය ලෙස සම්බන්ධ වී කටයුතු කරන වෙනත් රාජ්‍ය ආයතනවලට ද පැවරෙන කාර්ය ප්‍රමාණය වැඩි වී තිබෙන අතර ඒ තත්ත්වය ද වියදම් ඉහළ යෑම කෙරෙහි බලපායි. අපේක්ෂක ප්‍රමාණය වැඩි වීම නිසා ඡන්ද පොළ නියෝජිතයන්ගේ සංඛ්‍යාව 70 දක්වාත් ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන්ගේ සංඛ්‍යාව, 175 දක්වාත් ඉහළ යන බව කොමිසම මේ වෙන විටත් ප්‍රකාශ කර තිබෙයි.  
 එමෙන්ම අපේක්ෂක සංඛ්‍යාව ඉහළ සෑම නිසා ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථාන හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා ඉඩ කඩ වැඩි ස්ථාන යොද‌ා ගැනීමටත් මෙතෙක් භාවිත කළ ඡන්ද පෙට්ටි වෙනුවට ඊට වඩා විශාල ප්‍රමාණයේ ඡන්ද පෙට්ටි යොද‌ා ගැනීමටත් සිදුවෙයි. මේ වෙනුවෙන් ද විශාල වැයක් දැරීමට සිදුවෙනු ඇත.  


 ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය වුවත් පසුගිය වතාවේ පැවැති ජනාධිපතිවරණයේදී ද දැක ගන්නට ලැබුණු දෙයක් වූයේ ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයන් ජනාධිපතිවරණය අතරතුර ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේම සහාය පළ කිරීමය. ජනාධිපතිවරණයක් සඳහා ඔවුන් නාමයෝජනා ලබා දෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වී ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහාය. නැතිනම් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් ජනාධිපති ධුරය සඳහා පත් වීමටය. තරග කරන කිසිවෙක් තමා පරදින බවක් හෝ ජනාධිපති ධුරයට පත් වීමට අකමැති බවක් හෝ ප්‍රකාශ කරන්නේ නැත. අපේක්ෂකයන් ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් තමන් ජනාධිපති වුවහොත් ක්‍රියාවට නගන ප්‍රතිපත්ති ගැන ද කතා කරති. එවැනි පසුබිමෙක තවත් අපේක්ෂකයකුට සහාය පළ කිරීම අනුමත කළ නොහැකිය. එවැනි ක්‍රියාමාර්ගයක අවම දේශපාලන සද‌ාචාරයක් ගෑවීවත් නොමැත. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද අවධාරණය කර සිටියේ මේ තත්ත්වය වැළැක්වීම සඳහා නීති රීති සකස් කළ යුතු බවය.  


 මේ සම්බන්ධයෙන් මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු ද පෙන්වා දුන්නේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කිරීම අවශ්‍ය බවත් එය ව්‍යවස්ථාද‌ායකයේ වගකීමක් බවත් ය.  


‘ඒකෙදි අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. මොකද නීති හදන්නෙ අපි නෙවෙයිනෙ. 1987 ජනාධිපතිවරණ පනත ගේද්දි තිබුණු ඇප තැන්පත් කිරීමේ මුදල තවමත් වැඩි වෙලා නෑනෙ. 1989 කාලෙ රජයේ සේවයේ තිබුණු වැටුප අද වෙන කොට පනස් ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. ඊට සමගාමීව ජනාධිපතිවරණයක ඇප තැන්පත් කිරීමේ ගාස්තුව වැඩි කළා නම් මෙච්චර අපේක්ෂකයො ප්‍රමාණයක් තරග කරන්නෙ නෑ. පක්ෂවල ක්‍රියාකාරිත්වය, මීට පෙර පැවැති ජනාධිපතිවරණවලදී අරන් තියෙන ඡන්ද සංඛ්‍යාව වගේ දේවල් සලකලා බලලා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා බලපැවැත්වෙන කොන්දේසි පනවනවා නම් ඇත්තටම හොඳයි. දැන් හැමෝම මේ ගැන කතා වෙනවා. 

 

සටහන:- උපුල් වික්‍රමසිංහ