අතක් කකුලක් නැතිව අද රටේ බොහෝ තැන්වල මිනිසුන් තවත් අයෙකුට අත පා යමක් ඉල්ලන්නේ බඩවියත රැක ගැනීමටය. අත් පා ඇති අය ද ඒ අතර නැතුවාම නොවේ. රටේ අනෙක් පළාත්හි අත් පා නොමැති වූවන් කොතෙක් සිටිය ද උතුරේ එවැන්නන් බොහෝ දෙනෙකු පිටුපස ඇත්තේ බියකරු යුද්ධය බව කිව යුතුය.   


අත පය තිබුණ ද ඇතැම් අය තවත් අයෙකුගෙන් ඉල්ලා ජීවත්වීමට පුරුදුව සිටිනා බැවින් අත පය වෙහෙසා යමක් ඉපයීමට නොසිතන අය අප අවට ඕනෑ තරම්ය. එහෙත් අත පය නැතිව වුවත් කාටවත් අත නොපා ජීවත් වීමට වෙර දරන මිනිස්සුද ඒ අතරින් අතළොස්සක් සිටිති. 


එහෙත් යුද්ධය නිසාවෙන් උතුරේ අත් පා අහිමි වූවන් පිටුපස ඇත්තේ වෙනම අතීතයකි. එමෙන්ම අත් පා තිබුණ ද මූනිස්සම්, බෝම්බ කෑලිත් සමග ජීවත් වෙන්නන් ද උතුරේ ඇති බව කිව යුතුමය. ඔවුනොවුන් අතරින් ද ඉතා අසීරුවෙන් ජීවත් වීමට වෙර දරනා මිනිසුන් ඇත. 


එවැනි අපූරු මිනිසෙකු ඒ-9 මාර්ගයේ ඕමන්ත පසුකර යන විට හමුවන පුලියන්කුලම් ප්‍රදේශයේ දී මුණගැසුනි. යුද සමයේ දී පවා ඒ-9 මාර්ගයේ එක් කුඩා තේ කඩයක් තිබුණි. එය ප්‍රසිද්ධ වූවේ පිට්ටු කඩේ ලෙසට ය. එය විශ්වලිංගම් අයියාගේ පිට්ටු කඩේ ය. කොටි පාලන සමයේ ද මේ තේ කඩය එලෙසින් ම තිබුණි. තේ කඩය අසල ජීවත් වූ අයෙක් වූවේ කන්දප්පු සෙල්වනායගම් ය. එදානම් (කොටි පාලන සමයේ) සෙල්ලයියා නැතිනම් කන්දප්පු වශයෙන් හැඳින්වුව ද අද ඔහු හඳුන්වන්නේ බෝම්බ සෙල්වා වශයෙනි. 


බෝම්බ සෙල්වා යනුවෙන් හැඳින්වූවාට ඔහු බෝම්බ දැමූ අයෙක්වත් ඇටවූ අයෙක්වත් නොවේ. ඔහුට බෝම්බ සෙල්වා යන නාමය පටබැඳී ඇත්තේ යුද්දෙන් පසුව නැවත පදිංචියට ආ පසුව ය. ඊට හේතුව වී ඇත්තේ, අදටත් ඔහුගේ සිරුරේ තැනින් තැන බෝම්බ කෑලි තබාගෙන ජීවත් වෙන නිසාවෙන් මේ නම පටබැඳී ඇත. 


අවසන් යුද්ධයට මැදි වූවෙකු වූ සෙල්වාට දකුණු කකුල අහිමි වූයේ ඔහු ළඟටම වැටුණු කාලතුවක්කු උණ්ඩයක් පුපුරා යාම හේතුවෙනි. එමෙන් ම වම් පාදයේ ද ස්ථාන දෙකකින් කැඩී ගියේය. බෝම්බ කෑලි ඇඟේ ස්ථාන කිහිපයකට වැදුණ ද සෙල්වාට ජීවත් වීමට වාසනාව තිබුණි. 


යුද්ධෙන් පසුව අමාරුවෙන් ජීවත් වෙන්න වෙර දරන මිනිසුන් ගොන්නට වැටුණු සෙල්වා මේ වන විට සිය බිරිඳ විසින් සාදන ලද ඉදල් කිහිපයක් විකිණීමට යන්නේ රෝද පුටුවෙනි. 


අවුරුදු 73ක් වන මේ බෝම්බ සෙල්වා සීයා නොහොත් කන්දප්පු සෙල්වනායගම්ගේ කතාවෙන් අපට ද යමක් සිතීමට ඉතිරි හෙයින් සෙල්වාට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් දුන් රෝද තුනේ අත්පැදියෙන් ඉදල් විකුණන අතරතුර දී ඔහුත් සමග කතාබහ කළෙමි. 


“බෝම්බෙ වැදුනට පස්සේ එක කකුලක් කපලම දැම්මා. අනිත් කකුල නම් කොහොම හරි සනීප කරගත්තා. ඒත් ඒක තැන් දෙකකින්ම කැඩිලා. ඉඳලා හිටලා කකියනවා. ඊටත් වඩා ඇඟ ඇතුළේ තියන කාලතුවක්කු උණ්ඩ කෑලි හතර ගන්න විදිහක් නැති එකයි ප්‍රශ්නේ. ඒවා නිසාත් ඇඟ කකියනවා. 


මට ගොඩාක් වයස හන්දා ඔපරේෂන් කරන්න බෑ. සිහිය එන්නේ නැතිවෙයි කියලා දොස්තර මහත්තුරු කිව්වා. දැන් ඉතින් යකඩ කෑලි හතරකුත් ඇඟේ තියාගෙන ජීවත් වෙනවා. සමහර කාලෙට ඒ තැන් ඉදිමෙනවා. වේදනාවයි හොඳටම. එතකොට වවුනියාව ඉස්පිරිතාලෙට ගිහින් ඇතුළත් වෙනවා. එතකොට වෙන්නේ හුස්ම ගන්න බැරිවෙන එකයි. මොනවා කරන්නද ජීවිතේ බේරුණානේ ඒ ඇති.” 


පුලියන්කුලමේ පිට්ටුකඩේ විශ්වලිංගම් අයියා ද මේ “බෝම්බ සෙල්වා” ගැන කතා කළේ මහත් ආඩම්බරයෙනි. 


“ඔය මනුස්සයා ආවේ මේ කඩෙන් පොල්කටුයි හිස් සැමන් ටින් ටිකයි අරන් යන්න. බෝම්බෙට අහුවෙලා කකුල නෑ, කකුල නෑ කියලා මිනිහා නිකන් ඉන්නේ නෑ. ඉදල් හදලා විකුණන එක තමයි එයා කරන්නෙ. කවුරුවත් නිකන් දෙන දෙයක් ගන්නෙත් නෑ. නිකන් දෙන දෙයක් කන්නෙත් නෑ. කවුරුහරි එයාට අපේ කඩෙන් තේ අරන් දුන්නොත් ඒකෙ ගාන එයාම ගෙවනවා. මහ පුදුම මනුස්සයෙක්. 


ඔය බයිසිකලේ ඉදල් බැඳගෙන ගමක් ගමක් ගානේ යනවා. හොඳ ගාණක් හොයා ගෙන සෙල්වා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. මේ මිනිහා නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම ප්‍රසිද්ධයි. ‘බෝම්බ සෙල්වා’ කිවුවම හැම කෙනාම දන්නවා” යනුවෙනි. 


අනතුරුව බෝම්බ සෙල්වා යළි කතාවට වැටුණේය. 


“මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය තුන් දෙනාම දැන්නම් කසාද බැඳලා. මමයි පවුලයි තනියම ජීවත් වෙන්නේ. අපිට ආණ්ඩුවෙන් හම්බ වුණු ගෙදරක් තියනවා. ඒ අපි යුද්දෙන් අනාථ වුණු නිසයි. 


මුලින්ම මම රස්සාව විදිහට කළේ ලොරියක සහායකයෙක් විදිහට රස්සාවයි. ටික කාලයක් මේක කරන කොට මට හලාවත යාළුවෙක් හම්බ වෙලා එයා කිවුවා රස්සාවක් හොයලා දෙන්නම් කියලා. 


මම හලාවත පොල්වත්තක මුරට ආවේ එහෙමයි. ටික කාලෙකදි පවුලේ සේරම අයත් එක්ක හලාවත පොල්වත්තට ඇවිත් මුර ගෙදර ජීවත් වුණා. 


අපි ඔක්කොටම සිංහල පුළුවන්. ඔහොම ඉන්නකොට 83 ජූලි කලබල නිසා ඒ පළාත දාලා ආයෙත් මේ පුලියන්කුලමටම එන්න වුණා. එතන දී අවස්ථා හතරක්ම යුද්දෙට අහුවුණා. දැන් පණ බේරිලා ඉන්නවා. 
මේ ඉදල් හදන්නේ මමයි මගෙ පවුලයි. අපි දෙන්නම හලාවත හිටපු කාලෙත් මේ වගේ දේවල් කළා. 


පවුල ගිහින් පොල් අතු හොයලා ඉරට බේරගෙන ගෙදරට ගේනවා. මම හිස්ටින් පොල්කටු එකතු කරන් යනවා. ගිහින් ඉදල් හදනවා. මේ ඉදලක් මම විකුණන්නේ රුපියල් එකසිය අසූවකටයි. කඩේ ඉදල් වගේ නෙමෙයි. හොඳට හයිය තියන නිසා මිනිස්සු ගන්නවා. 


ඉදලක් රුපියල් එකසිය අසූවකට මම වික්කත් මගේ නැති බැරි කමත් ආබාධිත තත්ත්වයත් බලලා ගොඩාක් අය මට රුපියල් දෙසීයක්ම දෙනවා. ඒත් මට හිතෙනවා ඒක අසාධාරණයි කියලා. මොකද ඉදලේ ගාන රුපියල් එකසිය අසූවයි නේ. 


කොහොම හරි දැන් හැම දේම ගණන් නිසා මමත් හිතුවා ඉදලක් රුපියල් දෙසීයටම විකුණන්න. එතකොට ඒ ප්‍රශ්නෙත් හරි නේ. 


මම උදේම ගෙදරින් එනවා. පවුල ඉදල් ටික මේ බයිසිකලේ බැඳලා දෙනවා. මම ඇවිදිනවා. මොනව වුණත් මම දවල්ට කන්න ගෙදරට යනවා. මට දැන් වයස හැත්තෑතුනක් වෙනවා. ඒත් අපි දෙන්නා බොහොම විනෝදෙන් ජීවත් වෙනවා. 


මේ දේවල් ඉතාම සැහැල්ලුවෙන් පවසා ඇඟේ හිරි ඇර ‘එහෙනම් මම ගිහින් එන්නම්’ යැයි පවසා ඉදල් දෙකක් ද සමග බෝම්බ සෙල්වා රෝද තුන තම දෑතේ හයියෙන් ඒ-9 මාර්ගයේ පදවාගෙන ගියේය. 


ගෙවුණු අතීතය වැළලී අවසන්ය. එහෙත් ගෙවන ජීවිතයට අරුතක් වන අයුරින් ජීවත් වීමෙන් අනාගතයක් පෙනෙනා බවට බෝම්බ සෙල්වාගේ ජීවිකාවෙන් අප ඉගෙනගත යුතු දෑ බොහෝය. 

 

 


සටහන සහ ඡායාරූප
වන්නි රොමේෂ් මධුෂංඛ