IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එකම ගම දෙකට බෙදන ගිංගඟෙන් එතෙර වෙන්න පාලමක් දෙන්න

ගිං ගඟ හරහා දමා ඇති කම්බියක ආධාරයෙන් අවදානම් ගමනක යෙදෙන ලංකාගම නිල්වැලිගම ගම්වාසීන් 

 

 

පසුගිය වස​ෙර් මැයි මස ඇතිවූ ගංවතුරින් නෙළුව ලංකාගම නිල්වැලිගමට ගමන් කිරීමට ගිං ගඟ හරහා දමා තිබුණු වැල් පාලම කඩාවැටී වසරක් ගතව ඇත. එම වැල් පාලම ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ලංකාගම සහ නිල්වැලිගම ගම්වාසීන්ට ගිං ගඟ හරහා දමා ඇති කම්බියක ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් ගමන් කිරීමට සිදුව ඇත. 

ලංකාගම සහ නිල්වැලිගම ගම්මාන දෙක ලංකාගම ග්‍රාම නිලධාරි වසමට අයත්ය. තම ගම්බිම් ගිං ගඟ නිසා ප්‍රධාන භූමියෙන් වෙන්ව පිහිටීම හේතුවෙන් මේ ගම්මාන දෙකේ ජීවත්වෙන ගම්වාසීන්ට තම දෛනික කටයුතු සහ පාසල් සිසුන්ට ලංකාගම ගම්මානයට පැමිණීමට සිදුවේ. ලංකාගම පාසල, ග්‍රාමීය ​ෙරා්හල, තැපැල් කාර්යාලය ඇතුළු රජයේ ආයතන පිහිටා ඇත්තේ ගිං ගඟෙන් මෙගොඩ අතර ලංකාගම ගම්වාසීන්ගේ තේ ඉඩම් පිහිටා ඇත්තේද ගිං ගඟේ එගොඩ පිහිටි නිල්වැලි ගම්මානයේය. මේ ස්වභාවික පිහිටීම හේතුවෙන් ලංකාගම සහ නිල්වැලිගම ගම්වාසීන්ට තම දෛනික අවශ්‍යතාව සඳහා දිනකට දෙවරක් තුන්වරක් ගිං ගඟ තරණය කිරීමට සිදුවේ. 


මීට වසරක පෙර ගිං ගඟ හරහා දමා තිබුණු වැල් පාලම තිබුණු නිසා මෙම ගම්වාසීහු කිසි කරදරයක් බාධාවක් නොමැතිව තම දෛනික අවශ්‍යතාවන් සපුරා ගත්හ. එහෙත් පසුගිය 2017 මැයි මස 25 දින සිදුවූ මහා ජල ගැල්මෙන් ලංකාගම නිල්වැලි ගම්මානයට ගමන් කිරීමට තිබුණු වැල්පාලම ගංවතුරට ගසාගෙන ගියේය. ඒ සමඟම ගම්වාසීන්ට වසරක පමණ කාලයක සිට අවදානම් ගමනක යෙදෙමින් තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සිදුව ඇත. 


සිංහරාජ වනපෙතට මැදිව පිහිටි මේ ගම්මානයට නිරන්තර වැසි වැටීම නිසා ගිංගඟේ ජල මට්ටම නිතරම ඉහළ යෑමත් හේතුවෙන් මේ ගම්වාසීන්ගේ දෛනික කටයුතු හිටිගමන් ඇණහිටී. මෙම ගැටළුවට විසඳුමක් ලෙස ගම්වාසීන් ගිං ගඟ හරහා කම්බියක් සවිකරගෙන තම ගමන් බිමන් සඳහා යොදා ගත්හ. 


මෙම කම්බියේ ගමන් කිරීමට පාසල් සිසුන්ට සහ කාන්තාවන්ට අපහසු බැවින් ඔවුන්ට ගමන් කිරීමට මෙම ස්ථානයේ පාරුවක් භාවිතා කරති. එම පාරුව පැදීමට නියමිත පුද්ගලයකු නොමැතිවීම නිසා ගම්වාසීන්ට ගම්මානයේ හිතවත් අසල්වැසියකුගේ උපකාරයෙන් පාරුව පැදීමට උදව්ව ලබා ගැනීමට සිදුව ඇත. ලංකාගම විදුහලට ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන ගම්වාසීන් මෙන්ම පාසල් සිසුන්ට දිනපතා පාරුව මගින් සහ කම්බිය තරණය කර තම දෛනික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සිදුව ඇත. 

 

කම්බියේ ගමන් කිරීමට අපහසු ගම්වාසීහු ගිං ගඟ හරහා පාරුවකින් ගමන් කරන අයුරු. 

 


 

පවතින මෙම අපහසුතාව ගැන අදහස් දැක්වූ ලංකාගම පදිංචි ඩබ්ලිව්.ජී. නිශ්ශංක මහතා (අවු. 48) 


“ලංකාගම සිට නිල්වැලිගමට යෑමට තිබෙන්නේ මේ කම්බිය සහ පාරුව පමණයි. පසුගිය වසරේ ඇතිවූ ගංවතුරින් මේ ස්ථානයේ දමා තිබුණු වැල් පාලම ගංවතුරට ගසාගෙන ගියා. එම පාලම වෙනුවට මෙම ස්ථානයට පාලමක් ඉදි නොකිරීම නිසා ගම්වාසීන්ට මෙම දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවී තිබෙනවා. 


ඩබ්ලිව්.ඒ.කේ. සමන් ප්‍රියන්ත මහතා (අවු. 39) අදහස් දක්වමින් 


‘ලංකාගම’, නිල්වැලිගම ගම්මානවල ජීවත්වන අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව සහ කිතුල් මල් මැදීම. කිතුල් මල් මැදීමට රාත්‍රී කාලයෙත් යෑමට සිදුව තිබෙනවා. රාත්‍රී කාලයේ කිතුල් මල් මදින අයට තම රැකියාව කරගෙන යෑම අපහසුවී තිබෙනවා. ගිං ගඟ හරහා ගමන් කිරීමට පාලමක් නොමැති නිසා තේ දළු ප්‍රවාහනය කිරීමත් අපහසුවෙලා තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයට කඩිනමින් පාලමක් ලබාදෙන්න කියලයි.” 


ලංකාගම පදිංචි එන්.එම්. ඥානරත්න මහතා (අවු. 42) 


ලංකාගම සහ නිල්වැලිගම ගම්මාන දෙක ගිං ගඟෙන් වෙන්ව පිහිටා ඇති ගමක්. නිල්වැලිගමේ පදිංචි අයට තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට ලංකාගමට පැමිණීමට සිදුවෙනවා. ලංකාගම පදිංචි අයට තම තේ ඉඩම්වලට යෑමට නිල්වැලිගමට යන්න සිදුවෙනවා. ගිං ගඟ හරහා එගොඩ වීමට පාලමක් නොමැති නිසා මේ ගම්මාන දෙකේම ජීවත්වෙන පිරිස් දුෂ්කරතාවලට පත්ව සිටිනවා. නිල්වැලිගමේ රාත්‍රී කාලයේදී හදිසි රෝගියකු රෝහල වෙත ගෙනයෑමට සිදුවුවහොත් ගමේ අයට විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවෙනවා. මෙම ස්ථානයට ස්ථිර පාලමක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.” 


ලංකාගම සහ නිල්වැලිගම ගම්මාන දෙකෙහි ජීවත්වෙන ගම්වාසීන් මුහුණපා ඇති දුෂ්කරතාව මඟහරවා දීමට වගකිවයුත්තන්ට කාලය එළඹ ඇති බැවින් ජීවිතයත් මරණයත් අතර අවදානම් ගමනක යෙදෙන ලංකාගම නිල්වැලි ගම්මානයේ ජීවත්වන අහිංසක ගැමියන්ගේ ජීවිත අවදානම් බවින් මුදවා ගැනීම බලධාරින්ගේ වගකීමක් බවද සිහිපත් කරමි. 

 

 

 

 

 


සටහන/ඡායාරූප
නෙළුව පියරත්න ජයවික්‍රම

 
 
 
 



අදහස් (0)

එකම ගම දෙකට බෙදන ගිංගඟෙන් එතෙර වෙන්න පාලමක් දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 692 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site