වළපල්ලට ගිය රටවල්
මෙම තීරුවෙන් මෙතෙක් මා විසින් හඳුන්වා දෙන ලද බොහෝ අරාජික රටවල් ශීඝ්‍රයෙන් පහළට යන අතර, ඒවායෙහි පාලකයින් ඔවුන්ගේ පවුල් සහ දූෂිත දේශපාලකයින් ඉහළට යන අයුරු දුටුවෙමි. මෙවැනි රටවල් හරහා යන ගමනේ තවත් කඩඉඩමකි මේ.
අදත් යුරෝපයේ දිළිඳු රටවල් 10ක් අතුරින් එකක් වූ පරිහානිය කරා ළං වෙමින් පවතින තවත් රටක් හඳුන්වා දෙනු ලැබේ. එය නැගෙනහිර යුරෝපයේ පෝලන්තයයි. නැතහොත් පෝලන්ත ජනරජයයි. වෝර්සෝ අගනුවරට ගිය විට සුරපුරයක් යයි සිතෙන නමුත් රට අභ්‍යන්තරයෙහි විශේෂයෙන්ම ගොවි ගම්මානවල රවුමක් ගැසූ විට මේ දේශයේ යථා තත්ත්වය ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇත.
ඉබි ගමන
1989 සැප්. 13 දා කොමියුනිස්ට් වාදය තුරන් වී ජනරජයක් බවට පත් වුවත් වසර 30ක් තිස්සේ රට ඉදිරියට ගොස් ඇත්තේ මන්දගාමීවය. කොටින්ම කියනවා නම් ඉබි ගමනිනි. 2004 මැයි 1 දා යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තත් රටේ සැලකිය යුතු පරිවර්තනයක් සිදු වී නැත. මා මෙතෙක් හඳුන්වා දුන් රටවල් හා සසඳා බලන විට කිසියම් දියුණුවක් ලබා ඇත්තත් මෙහි දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී තිබේ.
2018 ඔක්තෝබර් 13 “ද අයිරිෂ් ටයිම්ස්” පත්‍රය කියන පරිදි මේ රට ද අගාදයට ඇද වැටෙමින් පවතින්නේ අදූරදර්ශී දේශපාලකයින්ගේ අනුවණ ක්‍රියා නිසාය.
එම පත්‍රය පළ කර තිබූ විශේෂ ලිපියේ සිරස්තලය වන්නේ ‘පොහොසත් භූමිය - දුප්පත් භූමිය’ යන්නයි.
‘යුරෝපයේ දිළිඳු හා පොහොසත් සාමාජිකයෝ’ යන උප සිරස්තලයක් ද ඊට ඇතුළත් කර තිබුණි. මෝල්ඩෝවා, සර්බියාව, මොන්ටෙනොග්‍රෝ, බොස්නියාව, කොසෝවෝ යන රටවල වත්මන් තත්ත්වය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ද එම ලිපියට ඇතුළත්ය.
ලක්ෂ 64ක් දුක් විඳින පෝලන්තය
තුන්කෝටි අසූපන්ලක්ෂයකට ආසන්න (38,433,600) ජනගහණයකින් සමන්විත මේ රටේ ලක්ෂ 64කට අධික පුරවැසියන් දරිද්‍රතාවයෙන් පෙළෙන බව හෙළි වී තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඇමිනස්ට් ඉන්ටර්නැෂනල් ආදී ආයතන ඉදිරිපත් කළ වාර්තා මේ බව කියයි.
පෘතුගාලය හා ග්‍රීසියටත් වඩා දිළිඳු රටකි. තරුණ ජනගහණයෙන් සියයට 25කට පමණ රැකියා නැත. තරුණ අසහනය උග්‍ර වී තිබේ. බොහෝ රටවැසියන් දිවි ගෙවන්නේ සහනාධාරවලිනි. කුසගින්නේ පෙළෙන අයගේ සංඛ්‍යාව අධිකය.
රාජ්‍ය ආදායමෙන් සියයට 22ක් පමණ වැය කරනුයේ සහනාධාර වෙනුවෙනි. බොහෝ රටවැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂි කර්මාන්තයයි. ගොවිතැනින් දිවි ගෙවන පිරිස මුළු ජනගහණයෙන් සියයට 60කට වැඩිය. කෘෂිකර්මාන්තය සඳහා රජය වැය කරන මුදල ප්‍රමාණවත් නැත. ගොවි සහන නොලැබීම නිසා දුක් විඳින ගොවි පවුල් සංඛ්‍යාව අතිමහත්ය. බලයට පත්වන පාලකයින් ගොවින්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම රට ප්‍රපාතයට ඇද වැටීමට මූලික හේතුවකි.
ගොවීන්ට සහන ලබා දීමට වසර පතා යුරෝපා සංගමය යුරෝ බිලියන 3ක් පමණ සපයයි. ඒවා කෘෂිකර්මාන්තය නංවා සිටුවීම සඳහා නිසි අයුරින් යෙදවීමට නොදන්නා එය මුදල් යටි මඩි ගසාගන්නා පාලකයින් සිටින රටක් කෙසේ ඉදිරියට යනු ඇද්ද? මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 5කට අඩු බවද, ජනගහණයෙන් දහයෙන් එකක පමණ දෛනික ආදායම ඩොලර් 2කට වඩා අඩු බව ද ‘ද බර්ගන් ප්‍රොජෙක්ට් රිපෝට්’ වාර්තාව කියයි.
ලිතුවේනියාව, බෙලාරූස්, යුක්‍රේනය, ස්ලෝවෙකියාව, චෙක් ජනරජය, ජර්මනිය යන රටවල්වලට මැදිව බෝල්ටික් සමුද්‍ර තීරයේ පිහිටි මේ මනස්කාන්ත දේශය, ඓතිහාසික රාජ්‍යයකි. ලෝක සංස්කෘතික උරුමයක් වූ ඓතිහාසික ස්ථාන 16ක් ඇති රටකි. යුනෙස්කෝව මගින් මේ ඉපැරණි උරුමයන් නම් කර තිබේ. පළාත් 16කින් සමන්විතය.
මොළයක් නැති අමන පාලකයෝ
ලොව 69 වැනි විශාල රටයි. විශාලත්වය ව.කි.මී. 312,696ක් හෙවත් ව.සැ. 120,733 කි. ජනගහණය 38,433,600 කි. ජනාධිපති ඇන්ඩ්‍රෙස් ඩුඩා ය. අගමැති මැටියෙස් මොරවෙයිකි ය. සංචාරක පරාදීසයක් වුවත් සංචාරක කර්මාන්තය මගින් ආදායම් වර්ධනය කර ගැනීමට මෙහි පාලකයින්ට මොළයක් නැති බව කියන්නේ ජාත්‍යන්තර මාධ්‍යයන්ය. බ්ලූම්බර්ග් මාධ්‍ය ජාලය සහ බිස්නස් වීක් සඟරාව මේ බව සනාථ කරයි.
බලයේ සිටින දේශපාලකයින්ගේ මෙන්ම බලයෙන් පහ වූ දේශපාලකයින්ගේ ද සහාය ඇතිව පෝලන්ත මහ බැංකුවේ මෙන්ම මහා භාණ්ඩාගාරයේ සිදු වූ මහා පරිමාණයේ මූල්‍ය වංචා නිසා රට අගාදයට ඇද වැටුණු අයුරු විවිධ මාධ්‍යයන් පෙන්වා දෙයි. රාජ්‍ය බැංකු සුද්ද කළ බලධාරින් රාශියක්ම ගෙදර යවනු ලැබුවත් ඔවුන්ට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවූ බව යථෝක්ත මාධ්‍ය වාර්තා දක්වයි.
භාණ්ඩාගාරය සුද්ධ කළ අධිපති
භාණ්ඩාගාර අධිපති ඇඩම් ග්ලැපින්ස්කිට තනතුර අහිමි වීම පමණක් සිදු වී ඇති බව ෆයිනෑන්සියල් ටයිම්ස් වාර්තාවක සඳහන් විය. පෝලන්තයේ අංක එකේ පොහොසතා වූ බැංකු හිමි ලෙසෙක් සාර්නෙකි සමග එක් වී භාණ්ඩාගාර අධිපති සල්ලි සෙල්ලම සිදු කළ අයුරු මාධ්‍ය මගින් අපූරුවට හෙළිදරව් කළේය. ‘ගෙටින් නෝබල් බැංකුවට’ රාජ්‍ය මුදල් පොම්ප කළේ බලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ බව ද හිටපු අගමැති හා ජනපති එක් වී සිදු කළ මූල්‍ය වංචාවලින් රටට අහිමි වූ ධනය යුරෝ මිලියන 250ක් හෙවත් ඩොලර් මිලියන 290ක් බව ද අනාවරණය වී තිබේ.
මේ අනුව ලංකාව වැනි රටවල පමණක් නොව ලොව වළපල්ලට ගිය තවත් බොහෝ රටවල ද සිටින හා හිටපු පාලකයින් ජනතාවට බණ කියමින් සූක්ෂම අයුරින් ගණිත සූත්තර සෙල්ලමෙහි නිරත වූ බව පැහැදිලිය.
වත්මන් අගමැති මැටියෙස් මොරවෙකි ද හිටපු බැංකු හිමිකරුවෙකු වන නිසා බැංකු වංචා යටගසන බව විරුද්ධවාදීන්ගේ මතයයි.
2016 වර්ෂයේ පෝලන්තයේ අගමැති ධුරය දැරුවේ බීටා සිඩ්ලෝ ය. ඔහු ද මෙම මූල්‍ය වංචාවලට මුල සිටම සම්බන්ධ වී සිටි බව රොයිටර් වාර්තාවක සඳහන් වී තිබේ. මේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් බැංකුවල සිදු වූ මූල්‍ය වංචා පිළිබඳ කාලයක් තිස්සේ හඬක් නැගුවේ ඩේලි ගැසටා විබෝර්සා පත්‍රයයි. එම පත්‍රය වසා දැමීමට පාලකයින් දැඩි ප්‍රයත්නයක් දැරුවත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඊට මහජන විරෝධය දැවැන්ත අයුරින් එල්ල වූ නිසාය.
හිටපු අගමැතිගේ හොර වැඩ
රාජ්‍ය දූෂණයට එරෙහිව මාධ්‍ය වාර්තා 50ක් පළ කළ එම පත්‍රය වත්මන් රජයට මහත් හිසරදයක් වී තිබේ. ‘නිව්ස් වීක්’ සඟරාවේ මාධ්‍යවේදී වොජ්සීච් සීස්ලා රජයේ බලධාරීන්ගේ හොරකම් හා මූල්‍ය වංචා හෙළි කළ නිසා ඔහු ද පීඩාවට ලක් වූ බව හෙළි විය. පෝලන්තයේ ‘ප්‍රෙස් ක්ලබ්’ ආයතනය මගින් එරට ස්වාධීන මාධ්‍යවේදීන්ට රජයෙන් සිදුවන අඩන්තේට්ටම් හා පීඩන පිළිබඳ පැමිණිල්ලක් අගමැතිවරයාට දැනටම ඉදිරිපත් කර තිබේ. මේ වළපල්ලට යන රටක මාධ්‍ය නිදහසට කණකොකා හඬන අයුරුය. මා දුටු හැම අරාජික රටකම සිදු වන්නේ මෙයයි.
2001 සිට 2004 දක්වා පෝලන්තයේ අගමැති ධුරය හෙබ වූ ලෙසෙක් මිලර් සිදු කළ වංචා පිළිබඳව මාධ්‍ය වාර්තා රාශියක් පළ විය. ඔහුට අගමැති ධුරය අහිමි වූ අයුරු ද මේ මාධ්‍ය වාර්තා අපූරුවට වාර්තා කර තිබුණි.
දූෂිත ඇමැතිවරු ගෙදර යවයි
2018 වර්ෂයේ ජනවාරි 9 දා පෝලන්තයේ අගමැතිවරයා විසින් එහි කැබිනට් මණ්ඩලයෙහි සංශෝධනයක් සිදු කිරීම එරට මෑත භාගයේ සිදු වූ මහා පෙරළියකි. මෙය දූෂිත දේශපාලකයින්ට දඬුවම් කිරීමක් බව ජාත්‍යන්තර ජන මාධ්‍යයන්හි මතයයි. අගමැති මැටියෙස් විදේශ ඇමැතිවරයාත්, ආරක්ෂක ඇමැතිවරයාත්, කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හරින ලද්දේ ඔවුන් සිදු කළ වංචා හෙළි වීම නිසාය.
මෙය එරට ස්වාධීන ජන මාධ්‍යයන්හි සටනක ප්‍රතිඵලයකි. ලංකාව ප්‍රමුඛ ආසියාවේ බොහෝ රටවල ජන මාධ්‍යයන් සත පහකට මායිම් නොකරන පාලකයින් සිටින නිසා එම රටවල මෙවැනි දේ සිදු නොවන බව කිව යුතුමය. බොහෝ රටවල දේශපාලකයින් බලය ලබා ගැනීමට ප්‍රචාරක කටයුතු සඳහා පමණක් මාධ්‍යයන් භාවිත කර බලය ලැබුණු පසු අලුයම ලූ කෙළපිඬක් මෙන් එම මාධ්‍යන්ට ගැරහීම සිදු කරනු ලබයි.
මුස්ලිම් අන්තවාදීන්ගේ විවිධ ත්‍රස්තවාදී කටයුතුවලට තෝතැන්නක් බවට පත් වෙමින් තිබෙන රටක් වශයෙන් ද පෝලන්තය හැඳින්විය හැක. දූෂිත ඇමැතිවරුන් ගෙදර යැව්වාට පෝලන්තය නොදන්නා සාගර හා නොදන්නා මුහුදු ඔස්සේ යාත්‍රා කරන නැවක් බඳු යයි කියන්නේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පත්‍රයයි.
ෙම් රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම හේතුකොට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 70 සිට 65 දක්වා අඩු කිරීමේ නව නීතියක් ක්‍රියාත්මක කර ඇත. රටේ සැබෑ වෙනසක් සිදු වන තෙක් මෙහි ජනතාව බෝල්වික් මුහුද දෙස බලාගෙන සිටී.
සිරි හීන්පැල්ල
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉබි ගමනින් ඉදිරියට යන පෝලන්තය
සුදේශ් චන්දික රූපසිංහ Thursday, 04 August 2022 08:06 PM
වටිනා ලිපියක්. ඔබේ ලිපිවලින් ගොඩක් තොරතුරු දැනගත්තා. බොහෝම ස්තූති. තව ලියන්න.