“වඳුරාට දැළිපිහිය අහුවුණා වාගේ” යනුවෙන් කියමනක් අපි අසා ඇත්තෙමු. දැළිපිහිය දෙපැත්තට වනන විට කැපෙන බව නොදැන වඳුරා එය හැරෙන හැරෙන පැත්තට වනයි. එයින් සිදුවෙන විනාශය පිළිබඳව ඒ සත්වයාට දැනුමක් නැත. එහෙත් මනසින් උසස් අප අද වඳුරාටත් අන්ත අයුරින් දැළිපිහියකට වඩා මුවහත් වූ “අන්තර්ජාලය” භාවිත කරන අයුරු වර්තමානය තුළ පෙනෙන්නට ඇත. ගෝලීයකරණයේ අත්වාරුව වූ අන්තර් ජාලය තුළ හැසිරෙමින් කවුරුන් හෝ බිලි බා ගැනීමට කුරුමානම් අල්ලන ‘අන්තර්ජාල අතරමංවූවෝ’ සම්බන්ධයෙන් මේ ​ෙවන විට දැඩි කතා බහක් ඇති වී තිබෙන්නේ දිනෙන් දිනම වර්ධනය ​ෙවන අන්තර්ජාල අපරාධ හේතුවෙනි. 


ආදරයෙන් අන්ධවීම, ආදරයෙන් පරාද වීම නොඑසේනම් පළිගැනීම ආදි සිතුවිලි සමග මෙන්ම වංචාකිරීම් ආදිය සඳහා මහඟු තෝතැන්නක් ලෙසින් වර්තමානය ​ෙවන විට මේ අන්තර්ජාලය භාවිත වෙමින් පවතී. සැබැවින්ම අන්තර්ජලය යනු සාම්ප්‍රදායික ක්‍රම අභිබවා යන සූක්ෂම මාධ්‍යයකි. 


වර්තමානයේදී අප තාක්ෂණීක වශයෙන් ලබා ඇති දියුණුව පිළිබඳව කතා කිරීමේදී තාක්ෂණ ලෝකයේ විප්ලවීය සොයා ගැනීම ‘පරිගණකය” ලෙසින් හැඳින්වවීම කිසිදු වරදක් නැත. එමෙන්ම අද වන විට පරිගණකයට නොදෙවෙනි තැනක් අප අත රැඳි ජංගම දුරකතනයට ද හිමි වෙයි. පාසල් යන වයසේ දරුවන් අත පවා අද වන විට ස්මාර්ට් ජංගම දුරකතනයක් දක්නට නොලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. පාසල් කාලසීමාවෙන් පසු කෙළි දෙළෙන් කල් ගෙවූ දරුවන් අද වන විට ජංගම දුරකතනයෙන් හෝ පරිගණකය මාර්ගයෙන් ඔවුන්ගේම ලෝකවල්වල තනි වී ඇති බව හොඳින් බැලූ කල පෙනෙන්නට ඇති කරුණකි. ඇතැම් දෙමාපියෝ ජංගම දුරකතන මෙන්ම පරිගණක සමග තනිවන දරුවා ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වති. “අපරාදේ කියන්න බෑ රට වටේ රවුම් ගහන්නේ නැතුව ගෙදරට වෙලාම ඉන්නවා. නැත්නම් අද සමාජේ හැටියට යාළුවෝ විශ්වාස කරන්න බෑනේ” එවන් දෙමාපියන් සිය මතය එසේ ප්‍රකාශ කරනු අපට අසන්නට ලැබෙයි. එහෙත් තම දරුවා රට වටේ රවුම් ගැහුවා නම් හොඳයැයි ඒ දෙමාපියන්ට වැටහෙන විට දරුවා බොහෝ දුර ගොස් හමාරය. 
පරිගණකය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සුදු කරපටි මධ්‍යස්ථානය, පරිගණක ප්‍රතිරෛස් හා සමීක්ෂණ මධ්‍යස්ථානය මෙන්ම පරිගණක ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ආදී විවිධ ආයතන ක්‍රියාත්මක ​ෙවන අතර ශ්‍රී ලංකාව තුළදී නම් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මෙන්ම ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය සහ පුහුණු ඒකකය ද ක්‍රියාත්මක වෙයි. 
මෙහිදී ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය විශේෂයෙන්ම පරිගණක ආශ්‍රිත අපරාධයන් සම්බන්ධයෙන් ගත් කල ඇතැම් අන්තර්ජාල මෘදුකාංගවලින් සිදු​ෙවන බලපෑම් පාලනය කිරීම සඳහා උදව්කරනු ලබන ආයතනයක් ලෙසින් හඳුනාගනු ලැබුවද විශේෂයෙන්ම ගෙවීම් උපක්‍රම පිළිබඳ වංචා පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනවලදී පරිගණක ආශ්‍රිත දත්තයන් ආදිය ලබා දෙමින් විමර්ශනවලට සහාය දැක්වීමක් සිදුකරනු දක්නට ලැබෙයි. 


පරිගණක අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකෙ​ෙරන අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාර පහසුකම ආරම්භ වන්නේ 2017 වර්ෂයේදීය. මේ වන විට මෙරට පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ සුවිශාල මෙහෙයක් ඉටුකරමින් මෙම ඒකකය තුළ පුහුණු ඒකකයක් ද පිහිටුවා දිනෙන් දින වර්ධනය ​ෙවන මෙම අන්තර්ජාල අපරාධවලින් ඊට ගොදුරුවන්නන් මුදවා ගැනීමේ කටයුත්තක නියැළී සිටියි. 


අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව වෙත දිනකට පැමිණිලි 20ත් 25ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම පැමිණිලි ලැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ළමයින් කන්තාවන් මෙන්ම පුරුෂයන් සම්බන්ධයෙන් ද විවිධාකාර වූ පැමිණිලි ඒ අතර ​ෙවන බවත්, මෙම පැමිණීලිකරුවන් අතර, සමාජයේ ඉහළ තලවල වැජඹෙන නීතිඥවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ක්‍රීඩකයින්, හමුදා නිලධාරින්, හෙදියන් ගුරුවරුන් ඇතුළු පිරිස් ද හමුවෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නකි. 


වර්තමානය වන විට අන්තර්ජාලය තුළ වැරැද්දට පෙළඹෙන ප්‍රධානම අංගය ලෙසින් එෆ් බී එනම් මුහුණු පොත හැඳින්විය හැකිය. දන්නා නොදන්නා සියල්ලන්ම සිය මුහුණු පොතේ මිතුරන් බවට පත්කර ගන්නා උදවිය අවසානයේ දැවෙමින් තැවෙමින් අතපසුවීම පිළිබඳව විස්සෝප වෙයි. දවල්ට උයන හොද්ද පවා මුහුණු පොතට නිදහස් කරන ඇතැම් අය ඒ සඳහා ‘ලයික්’ ලැබෙන තුරු දැස් දල්වාගෙන සිටින්නේ නිවාඩු දවසක් නම් මුළු දවසම පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ මුහුණ ඔබාගෙනය. ඒ තරමටම මේ මෙවලම අවභාවිත වී ඇත. මෙරට රාජ්‍ය සේවකයින් වැඩකරන පැය අට තුළ පැය දෙකහමාරක් පමණ මුහුණු පොතේ සැරිසරන බවට මෑතකදි කළ සමික්ෂණයකින් හෙළිකර ඇත. හොඳට නරකට දෙකට කටමය කියා එදවස පිරුළු සිහියට නැඟුණද අද ​ෙවන විට හොඳට නරකට දෙකට ‘චැට්’ මය කියා වෙනස් කළ හැකිය. 


කෙසේ වෙතත් වර්තමානය ​ෙව​න විට මෙම පරිගණක ආශ්‍රිත එනම් අන්තර්ජාලයේ අපරාධ සම්බන්ධයෙන් ගොදුරක් බවට පත්​ෙවන විවිධාකාර පුද්ගලයින් පිළිබඳව මාධ්‍ය තුළින් විටින් විට තොරතුරු ගෙන එමින් ජනතාව දැනුම්වත් කරයි. එහෙත් ඒවා ගඟට කැපූ ඉනි මෙනි. මේ කතාවෙන් කියැවෙන්නේ යුද හමුදා නිලධාරියකු ගැනයි. 


සුරූපී කාන්තාවක් ලෙසින් පෙනී සිටිමින් ෆේස්බුක් සමාජීය වෙබ් අඩවිය ඔස්සේ තරුණයින් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබිණ. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකරනු ලබන්නේ ඉහත කී යුධ හමුදා නිලධාරියා විසිනි. අදාළ ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ සුරූපි තරුණියකට රැවටී තම නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීමෙන් පසුව අදාළ කල්ලිය කප්පම් වශයෙන් තමාගෙන් මුදල් රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ඉල්ලූ බවත්, පසුව තමන් එම මුදල ලබා දුන් බවත් පැමිණිලිකරු සඳහන් කර තිබිණි. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට හෙළි ​ෙවන්නේ මෙම කප්පම් කල්ලිය සඳහා විවිධාකාර තරාතිරම්වල පුද්ගලයින් මෙන්ම රටේ නමගිය නළුනිළියන් ඇතුළු පිරිස් විශාල වශයෙන් හසුවී ඇතත් මේ සම්බන්ධයෙන් සමාජයට හෙළිවෙතැයි බියෙන් සහ ලජ්ජාවෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන බවයි. සුවිශේෂී කරුණ ​ෙවන්නේ මෙම සිද්ධියට අදාළ කප්පම් කල්ලියේ මහ මොළකරුවන් සිටින්නේ විදේශගතවය.

 
නවීන තාක්ෂණයෙන් යුතු මේ මාධ්‍යකරණය තුළින් කාන්තාවන්ට හා ළමුන්ට පමණක් නොව තරුණයන් වෙතද විතැන්වෙමින් පවතින්නේ ඒ ආකාරයටය. අපරාධකරුවන් විසින් නොයෙක් උපක්‍රම අනුගමන කරමින් අපරාධ සඳහා නව ආරක් හඳුන්වා දෙයි. එසේම, එය කෙසේ කොයි ආකාරයෙන් සිදු​ෙවන්නේ දැයි කිව නොහැකියි. අපරාධකරුවා අපරාධයට ගොදුරුවන්නාගේ දුර්වලම තැන අල්ලා ගනු ලබයි. ගොදුරු​වන්නාගෙන්ම ඔහුගේ වතගොත අසා දැනගන්නා අපරාධකරු උෟරාගේ මාළු උරා පිටේ තියා කපන්නේ ඉන් අනතුරුවය. 


අන්තර්ජාල අපරාධ අතුරින් ඇඟ කිළිපොළා යන සිද්ධීන්ද නිරන්තරයෙන් ම වාර්තා වෙයි. දහ අට හැවිරිදි තරුණියකගේ සහ දහහතර සහ දස හැවිරිදි ඇගේ නැගණියන්ගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත මගින් ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර පසුව බරපතළ ලිංගික අපයෝජනයක් කළ සැකකාර තරුණයන් දෙදෙනකු සම්බන්ධයෙන් ද ඉකුත් දිනෙක පැමිණිල්ලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබිණි. 


තම පියාණන් විසින් සිය උපන්දිනයට තෑගි කළ නවීන පන්නයේ ජංගම දුරකතනයෙන් අන්තර්ජාලයේ මුහුණු පොතින් හඳුනාගත් පෙම්වතකු වූ මෙම සිද්ධියේ පළමු සැකකරුට තමාගේත් සිය නැගණියන්ගේත් නග්න ඡායාරූප ලබාදී තිබූ බවත්, පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට සඳහන් කරමින් සැකකරු කිහිප අවස්ථාවකදීම මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවත් දහ අට හැවිරිදි තරුණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබිණි. 


ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 


පැමිණිලිකාර තරුණිය 2014 වර්ෂයේ සිටම මුහුණු පොතේ ගිණුම් දෙකක් පවත්වාගෙන යමින් සිට ඇති අතර, රසාංජන අනංගයා නමින් ෆේස් බුක් ගිණුමක් මගින් මිතුරු ඇරයුමක් ලැබී තිබූ බවත්, පසුව එම ගිණුම් හිමියා සමග මිත්‍ර වූ බවත් එම තරුණිය සඳහන් කර ඇත. එම මිත්‍රයාට තම පැරණි පෙම්වතා සම්බන්ධයෙන් විස්තර කර ඇති තරුණියට දින කිහිපයකට පසු පැරණි පෙම්වතාගෙන් මිතුරු ඇරයුමක් ලැබී ඇත. ආලයෙන් අන්දමන්ද වී සිටි ඇයට මේ එන්නේ තම පැරණි පෙම්වතා ද නො එසේනම් මාරයා දැයි සිතන්නට ඉඩක් ඇගේ හිත ලබාදී නොතිබිණි. ඒ අනුව පැරණි පෙම්වතා සමග ෆේස් බුක් ගිණුම හරහා දැඩි ලෙස ප්‍රේමයෙන් වෙළුණ ඇයට ඔහුගේ ඇරයුම ඉවත දැමිය නොහැකි විය. 


“මට ආදරේ නැද්ද ඔයා? ඔයාගේ පින්තූර එව්වේ නැත්නම් මං හිතන්නේ මට ආදරේ නෑ කියලා. හා ආදරේ නැද්ද?” බොළඳ ආදරය හමුවේ වල්මත්ව අතරමං වන ඇය සිය උඩුකය නිරුවත් ඡායාරූපයෙන් පටන් ගන්නා සෙල්ලම අවසන් කරන්නේ ඉතාමත් දුක්ඛිත ඛේදාන්තයකිනි. 


ගණන් කළ නොහැකි ප්‍රමාණයක් සේයාරූ එම තරුණිය විසින් අදාළ ෆේස් බුක් ගිණුම වෙත මුදා හැර තිබ්‍ූ අතර, ඒ පැමිණ සිටින්නේ තමාගේ පෙම්වතා නොවන බවට ඇය දැනගන්නා විට සියල්ල සිදුව හමාරය. 
“මේවා එෆ් බී එකෙන්ම පබ්ලිෂ් කරන්න කලින් එක කොන්දේසියක් තියෙනවා. මොකද කියන්නේ. කැමති නම් කියන්න නැත්නම් මේ දැන්ම මේවා ඉන්ටර්නෙට් එකට දානවා. උණු කැවුම් වගේ යයි. මොකද කියන්නේ‘” 
තරුණිය අන්ද මන්දවෙයි. ජීවිතය නැතිකර ගැනීම විනා කුමක් කරම්දැයි සිතමින් කල්පනා කරමින් සිටින විට ඇගේ ඉටු දෙවි වන්නේ දෙවැනි සහෝදරියයි. ඇය දහ හතර හැවිරිදිය. 


“අක්කා බේරගන්න වෙන මොනවා මං කරන්නද? අක්කා කියන කියන දේ මං කළා.” 


මේ තරුණිය විසින් මුලින්ම දෙවැනි සහෝදරියගේ නිරුවත් ඡායාරූප අපරාධකරු වෙත යොමු කරන්නේ ඔහුගේ බලවත් වූ පෙරැත්තය මතය. එපරිද්දෙන්ම දස හැවිරිදි තම බාලවයස්කාර නැගණියගේ ද ඡායාරූප නානකාමරය වෙත ගොස් ලබා ගන්නා මෙම තරුණිය ඒවා අපරාධකරු වෙත යවනු ලබයි. අවසානයේදී මෙම ඡායාරූප මකා දැමීම සඳහා එන්නැයි අපරාධකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ ලැගුම්හලකට දහඅට හැවිරිදි සහ දහ හතර හැවිරිදි අක්ක නඟෝ රැගෙන යයි. එතැනට එන්නේ අපරාධකරුවන් දෙදෙනකි. අවසානයේදී අහිංසක දරුවෝ කාමාතුරයින්ට බිලිවෙති. මෙහි සැකකරුවන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත භාරයට පත්කරනු ලැබූවත් දරුවන්ට සිදුවූ අපරාධයට පිළියම් සෙවිය හැකිද? 


මේ දරුවන්ගේ මව මේ සියල්ල දැනගන්නේ නිවසේ තිබූ මුදල් අවස්ථා කිහිපයකදී අතුරුදන් වන නිසාය. එහෙත් මුදල් සමග දරුවන්ගේ අනාගතයද අතුරුදන් වී ඇතැයි ඒ අම්මා කෙදිනක හෝ සිතන්නට නැත. තාත්තාටවත් නොකියා ඒ අම්මා අපරාධකරුවන් සමග කිහිප අවස්ථාවක්ම කතා බස් කොට අදාළ ඡායාරූප මකා දමන ලෙසට අයැදීම් කරමින් මුදල් ලබාදීම්ද සිදුකර ඇතැයි ද සඳහන් විය. මෙම සිද්ධිය පිළිබඳව විමසා බැලීමේදී මේ දරුවන් නොමග ගොස් ඇති හේතුව කුමක්දැයි ඔබට දැනෙනු ඇත. 


එමෙන්ම, ඉතාමත් මෑතකදී වාර්තා වූ නීතිඥවරියකගේ නිරුවත් ඡායාරූප ඇගේ හිතවතියක විසින්ම නීතිඥවරියගේ ජංගම දුරකතනයෙන් ලබාගෙන කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 20ක් ඉල්ලීමේ සිද්ධියක් අනාවරණය විය. ළඟම හිතවතියක විසින් හෝ මෙවැනි කප්පම් ඉල්ලීමක් සිදුකරනු ලබන්නේ නීතිඥවරියගේම වරදින් නොවේද? නො එසේනම් අපරාධයකට ආධාර අනුබල ලබාදී ඇත්තේ ඇයම නොවේද? විස්මයට සහ ශෝකයට කරුණ නම් නීතිය ගැන හොඳින්ම දන්නා ඇය වැන්නවුන් විසින් මෙම ක්‍රියා සිදුකිරීමය. 


1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනත සම්බන්ධයෙන් සැලකිල්ලට ගැනීමේදී කාන්තාවක හෝ පුරුෂයකු තම නිරුවත පෙන්වීම, ඒ සඳහා පෙනී සිටීම, ප්‍රචාරණය සහ සන්තකයේ තබා ගැනීම ද වරදක් ලෙසින් දක්වා ඇත. 


මෙම පනතේ වගන්ති ප්‍රකාරව මෙන්ම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතින් මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත ප්‍රකාරව ද මෙවන් සිද්ධීන් හි සැකකරුවන්ට අධිකරණය මගින් දඬුවම් නියම කරනු ලබයි. ඒ නීති කෘත්‍යයයි. 


එසේම, මෙම පරිගණක අපරාධ පනත මෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන සම්මුති පනත ප්‍රකාරව ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමේ අරමුණින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මුහුණු පොත මගින් තොරතුරු ප්‍රචාරය කළැයි කියන සිද්ධීන්ට අදාළව ඉකුත් කාල වකවානුවේදී පාසල් ළමුන් කිහිප දෙනෙකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයට පත් කර තිබිණ. එම දරුවන්ට මාස තුනකට පමණ පසු කොළඹ මහාධිකරණයෙන් ඇප ලබා ගත හැකි වූයේ ඉකුත් සතියේදීය. මේ දරුවන් අත රැඳි ජංගම දුරකතනයෙන් කුමක් කරන්නේදැයි ඔවුන්ගේ දෙමාපියන් හෝ ගුරුවරුන් දැන සිට නැත. දරුවන් කෙරේ ඇති අසීමිත ආදරය සහ විශ්වාසය මත පදනම්ව මෙවැනි වැරදි ඔවුන් විසින් සිදුනොකරතැයි අනුමාන කළ නොහැකිය. 


අන්තර්ජාලයේ සැරිසරන සෑම පුද්ගලයකු ම සත්‍ය වූ අය වෙතැයි නොසිතිය යුතුය. විශේෂයෙන්ම මෙවන් අපරාධවලින් බේරීමට නම් තමන්ගේ හිත මිතුරන්ගෙන් පමණක් මුහුණු පොත පුරවා ගැනීම මෙන්ම අනවශ්‍ය අය ඉවත් කර ගැනීමද කළ යුතු වෙයි. එසේම, යාළු මිත්‍රයන් පමණක් මිස නොදන්නා අයවලුන්ගේ ඇරයුම් ප්‍රතික්ෂේප කිරීමද මේ අපරාධයන්ගෙන් තරමක් දුරට හෝ මිදීමේ උපක්‍රමයකි. 


මෙවැන්නන්ට ගොදුරුවීමෙන් පසු ජීවිතය නැතිකර ගැනීමට පෙළඹෙන එහෙත් අවදානමට පෙර අවධානය යන්න සිත්හි තබා ගනිමින් කටයුතු කරන්නේ නම් බොහෝ අපරාධවලින් මිදීමේ හැකියාව නැත්තේ ම නොවේ.

 

 

 

 

නිමන්ති රණසිංහ