දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහවැසි හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට පුද්ගලයන් 1,05,352කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මහවැසි ඇදහැලීම් හා පස් කඳු කඩාවැටීම් වැනි අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනකු මියගිය අතර පවුල් 10,688කට අයත් පුද්ගලයින් 1,38,492 දෙනෙක් අවතැන්ව ආරක්ෂිත ස්ථානයන්හි රඳවා සිටිති.  
මෙම ආපදාවලින් නිවාස 29 කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර නිවාස 2527 කට අර්ධ හානි සිදුව ඇත.   


මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොනරාගල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.  


මෙහිදී වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඕපනායක සහ අයගම, බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 6133කට අයත් පුද්ගලයන් 24,625කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.  


පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4256කට අයත් පුද්ගලයන් 12,760ක් පීඩාවට පත්ව සිටින අතර ඉන් පවුල් 2497කට අයත් පුද්ගලයන් 6182 දෙනකු ආරක්ෂිත ස්ථාන 59ක රඳවා සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත.   


කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1278කට අයත් පුද්ගලයන් 4666 දෙනකු පීඩාවට පත්ව සිටින අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ඨාස 5 පවුල් 1945කට අයත් පුද්ගලයන් 7482 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.  
බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති නාය යෑමේ අවදානම හේතුවෙන් පවුල් 123ක පුද්ගලයන් 516 දෙනකු අවතැන්වී නිවාස 63 කට අර්ධ හානි සිදුවී ජීවිත හානි 2ක්ද සිදුව ඇති බව වාර්තා වෙයි.   
පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 60ක්, ඌව පරණගම නිවාස 02ක් සහ හපුතලේ නිවසකට අර්ධ හානි සිදුව තිබේ.  


එමෙන්ම කැලණි, කළු, ගිං යන ගංගා මෙන්ම මාඔයේද ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ගංවතුරෙන් යටවී තිබිණ.   

 

 

විශේෂයෙන් කළු සහ කැලණි ගංගාත්, අත්තනගලු ඔයත් වැසි තත්ත්වයෙන් වැඩි බලපෑම් ඇති කළ අතර කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කළුතර, දොඩම්ගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර ප්‍රදෙශවලත් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කොළඹ, කැලණිය, කොළොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පෙ, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල ප්‍රදේශවලත් දැඩි ජල ගැලීම් ඇතිවිය.   


අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කඩුවෙල-බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලමේද අවදානම් තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් කඩුවෙල බියගම යා කෙරෙන ප්‍රධාන පාලමේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරිණි.  


වර්ෂාවත් සමඟ හානි වූ මාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දුරකථන අංක කිහිපයක්ද මේ වනවිට හඳුන්වා දී තිබේ.   


අධිවේගී නොවන අනෙකුත් මාර්ග සම්බන්ධයෙන් 1968 යන දුරකථන අංකයටත්, අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් 1969 යන දුරකථන අංකවලට දැනුම් දීමේ හැකියාව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.  


මීට අමතරව පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතව පවතින අතර එමඟින් පිටවන ජලය මහවැලි ගඟට නිකුත් කෙරෙන බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු බව මහවැලි අධිකාරිය සඳහන් කළේය.   
එමෙන්ම ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු වසා දමා තිබේ. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ම තවමත් අඩිය බැගින් විවෘතව පවතින අතර මේ හේතුව නිසා පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව සැලය. එම ප්‍රදේශවල කුඩා වැව් සියල්ලම පසුගියදා වාන් දමමින් පැවතිණි.   


කඩුපිටිඔය පිටාර ගැලීම නිසා හලාවත-කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබිණි. එමෙන්ම රතඹලාඔය පිටාර ගැලීමත් සමඟ සේරුකැලේ සහ මදවක්කුලම යන ගම්මානවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත.  

 

 

කලාඔයේ ජල මට්ටමද ඉහළ යාම නිසා පුත්තලම මන්නාරම පැරැණි මාර්ගයේ ගමනාගමන කටයුතුද අඩාළ වී තිබේ. හැමිල්ටන් ඇළ පිටාර ගැලීමත් සමඟ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරිණි.  


පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් ජල ගැලීම හේතුවෙන් ස්ථාන කිහිපයකම කොටු වී සිටි බවටද සැලවිය.   


නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශයේ කොටු වී සිටි පවුල් 16 ක් නාවික හමුදාව විසින් බේරාගනු ලැබිණ.  


රත්නපුර කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිනි මව්වරුන් 9 දෙනෙක් ඇතුළු 172 දෙනෙක් නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව බේරාගනු ලැබූහ. එම මව්වරුන්ගෙන් 06 දෙනකු මේ වනවිට ප්‍රතිකාර සඳහා කලවාන ​රෝහලට ඇතුළත් කර තිබේ.   


ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුපනාව, නාගොඩ සහ බුදපනාගම ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ, කඩවත්සතර සහ මාතර ප්‍රාදේශීය කොට්ඨාසයන්හි පහත්බිම් රැසක් යට වී තිබූ අතර ගිං ගඟේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගාල්ල බද්දේගම බෝපෙ, පෝද්දල, වැලිවිටිය, තවලම, නාගොඩ, නියාගම ප්‍රාදේශීය කොට්ඨාසයන්හි ජල ගැලීම් ඇතිවූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.  


අධික වර්ෂාපතනය සමඟ ජලාශවල ජල ධාරිතාවද ඉහළ යමින් පවතින අතර උඩවලව ඇතුළු ජලාශ කිහිපයකම වාන් දමා තිබේ. වසර දෙකකට පමණ පසුව කරුවලගස්වැව, මහකරඹෑව වැව වාන් දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය. මී ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වැවේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.   


වැසි තත්ත්වයේ වැඩිවීමත් සමඟ තවත් දිස්ත්‍රික්ක හයක් සඳහා තව දුරටත් නායයෑම් අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්​ෙ‌ය්ෂණ සංවිධානය නිකුත් කර තිබිණි.  


මහනුවර, මාතලේ, බදුල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ එම දිස්ත්‍රික්ක වන අතර මීට පෙර රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල සඳහා පැනවූ නායයෑම් අවදානමද එලෙසින්ම ක්‍රියාත්මක විණි.   
තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ලෙයාර් වතුයායේ වතු නිවාස ගණනාවක් නායයෑම හා ගිලා බැසීම හේතුවෙන් එහි පදිංචි පවුල් 33ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.  


මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව නිසා මහනුවර යාපනය A9 මාර්ගයේ කොටසක් අලවතුගොඩ අටේ කණුව ප්‍රදේශයෙන් ඉකුත්දා ගිලා බැසීම නිසා එහි වාහන ගමනාගමනයද එක් මං තීරුවකට සීමාවී තිබිණ.   
පාර්ලිමේන්තු පරිශ්‍රය සහ ඒ අවට පිහිටි නිවාස කිහිපයකටද අවදානම් තත්ත්වයක් හටගෙන තිබිණි.  


පාර්ලිමේන්තු සංකීර්ණය වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටමද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. තව දුරටත් වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම ඇතිවන බවද වාර්තා වේ. ගංවතුර සමඟ දියවන්නා ඔයේ කිඹුල් බියක්ද ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.   


අාපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම විදුලියද විසන්ධි කර ඇත.  


ගස් කඩාවැටීම් ආදිය හේතුවෙන් විදුලි රැහැන්වලට සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරන බවද එම අමාත්‍යංශය පවසා තිබිණි.  


ආපදාවට පත්වූවන් මුදාගැනීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව සිදු කෙරුණ අතර නාවික හමුදාව ඒ වෙනුවෙන් බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.  

 

 

එමෙන්ම ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී තිබේ.  


පීඩාවට පත්වූවන් සඳහා පිසූ අහාර, පානීය ජලය ලබාදීමට කටයුතු කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.  


දිස්ත්‍රික්ක 18 කට ඇතිවූ මෙම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 15ක පමණ මුදලක් ලබාදී ඇති බවද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.  


එහිදී මිය ගිය අයෙකු වෙනුවෙන් ස්වභාවික රක්ෂණාවරණය වෙතින් රුපියල් ලක්ෂයක් ලබාදෙන අතර දේපළ හානි ගණනය කර ඉතා ඉක්මනින් වන්දි ලබාදෙන බවටද ආපදා සේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.   
ඉදිරි දිනයන්හිදී කාලගුණය කෙබඳුවේද? යන්න දැන ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අතුල කරුණානායක මහතා ‘ඉරිදා ලංකාදීප’ය සමඟ සම්බන්ධ කර ගත්තෙමු.  


දැනට මේ බලපාන කාලගුණික තත්ත්වයට ප්‍රධානම හේතුව තමයි සාමාන්‍යයෙන් දිවයිනේ තියෙනවා මෝසම් කාලපරිච්ඡේද හතරක්.  


පළවෙනි එක අන්තර් මෝසම් කාලපරිච්ඡේදය ඒක තියෙන්නෙ මාර්තු සිට අප්‍රේල් මාසවල. පසුව නිරිත දිග මෝසම් සමය මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පවතිනවා. ඉන් අනතුරුව ඔක්තෝබර් මස සිට නොවැම්බර් මස දක්වා අන්තර් මෝ්සම් සමය පවතිනවා.   


ඊළඟ දෙසැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා ඊසාන දිග මෝසම පැවතෙනවා. දැන් අපි එළඹෙමින් ඉන්නෙ නිරිත දිග මෝසම් සමයට. එවැනි කාලයකදී මේ අසාමාන්‍ය සංසිද්ධියක් කියන්න බෑ. මෙවැනි කාලගුණික වෙනස්වීම් ඇතිවෙනවා ආරම්භයත් එක්කම.  


ගිය අවුරුද්දට සාපේක්ෂව නිරිත දිග කොටසට විශාල වර්ෂාපතනයක් ආවා. 300, 400ක් වගේ. එහිදී ආපදා තත්ත්වයකට පත්වුණා.   


ඊට පෙර අවුරුද්දෙ මැයිවල අරණායක වගේ ප්‍රදේශවල කඳු නායයෑම් වෙලා සංසිද්ධිවලට මුහුණපාන්න වුණා. මේ නිරිත දිග මෝසම් සමයෙදී බහුලව ඇතිවෙන සංසිද්ධියක්.  


නිරිත දිග මෝසම ආරම්භ වෙන කාලෙදි බොහෝ විට බෙංගාලබොක්ක අවට ප්‍රදේශවල අඩුපීඩන තත්ත්ව කැළඹීමේ ස්වභාවයන් තරංගමය ස්වභාවයන්, සුළි කුණාටු ඇතිවෙනවා.   

 

 

දැනට මේ තියෙන තත්ත්වය ගත්තම දිවයිනට ඊසාන දිශාවෙන් බෙංගාලබොක්ක ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවෙලා තියෙනවා. මේ කැළඹිලි ස්වභාවය සාමාන්‍යයෙන් වර්ධනය වුණොත් අඩු පීඩන තත්ත්වයක් ඇතිවෙනවා.  


දැනට සුළං හමන්නේ දිවයිනේ නිරිත දිශාවෙන්. නිරිත දිශාවෙන් හමන සුළඟත් එක්ක ඒ ප්‍රදේශයේ තිබෙන ජලවාෂ්ප අඩු පීඩන තත්ත්වයක් තියෙන ප්‍රදේශවලට ගලාගෙන යනවා.   


ඒ ගලාගෙන යද්දි ලංකාවෙ මැද කඳුවැටි තියෙනව නම් ඒ කඳුවැටියෙ වැදුණම සමහරවිට වලාකුළු නිර්මාණය වෙලා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම පැත්තට වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා.  
නමුත් දැනට තියෙන්නෙ කැළඹීම් ස්වභාවයක් පමණයි. නමුත් එය අඩු පීඩන තත්ත්වයක් හෝ සුළි කුණාටුවක් වුණොත් තත්ත්වය ඊට වඩා වෙනස් වෙනවා. ඒ කියන්නෙ වර්ෂාපතනය වැඩිවීමට හසුවෙන්න හැකියාවක් තියෙනවා.   


අනිත් කාරණේ තමයි එක දිගට වර්ෂාපතනය ලැබෙනකොට පස්වලට තෙතගතිය ඇවිල්ලා බර වැඩිවෙලා සමහර වෙලාවට කඳු නායයෑම් වගේ සිද්ධි ඇතිවෙනවා. ඊට අමතරව වතුර එකතුවෙලා එක තැන තිබුණොත් ගංවතුර වගේ උවදුරු ඇතිවෙන්න පුළුවන්.  


ඉදිරි දින කීපයෙත් අඩු වැඩි වෙමින් නිරිත දිශාවේ නිරිත දිග කොටස වයඹ, බස්නාහිර, දකුණ, මධ්‍යම පළාත්වලට මඳ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවෙන තත්ත්වයක් තියෙනවා.   


එක දිගට වැසි තියෙයි කියන්න බෑ. අඩු වැඩි වෙනවා. සමහර වෙලාවට පායනවා, සූර්යාලෝකය ලැබෙනවා. චුරු චුරු වැස්ස තමයි ඇතිවෙන්නෙ.  


අකුණු තියෙන මාස බහුලව තියෙන්නෙ මාර්තු, අප්‍රේල් සහ ඔක්තෝබර්, නොවැම්බර්. එ්කට ප්‍රධාන හේතුව වෙන්නෙ ඒ කාලෙදි දිවයින අවට තියෙන සුළඟ වේගවත් නෑ. ඒ කාලෙදි ඇතිවෙන්නෙ සංවහන වැසි. හොඳ පැහැදිලි අහසක් තිබිලා හවස් යාමයේ තමයි අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලෙදි ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්නෙ.  


එතකොට උදේ කාලයේ වැටෙන සූර්යාලෝකය හේතුකොටගෙන ජලාශවල තියෙන ජලවාෂ්ප භවනය වෙනවා. වාෂ්පභවනය වෙලා වායු ගෝලයට ජලවාෂ්ප එකතු වෙනවා. වායුගෝලයට එකතුවෙන ඒ ජලවාෂ්ප තමයි උඩට යනකොට වළාකුළක් බවට පරිවර්තනය වෙන්නෙ. මේක හුළං හමන්නෙ නැති නිසා හිමින් හිමින් උඩට යනකොට ඒක ඇතුළත තියෙන ජල අංශු එකින් එක පිරිමැදෙනවා. ඒ පිරිමැදීම තුළ විද්‍යුත් ප්‍රේරණය වෙනවා. එහෙම වෙද්දි වලාකුළ ඇතුළට ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන යනවා.  

 

 

ඒ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන අඩංගුවන වලාකුළු පාර්සලේ වහින්න ළංවෙද්දි හිමින් හිමින් පොළොවට පාත්වෙලා ඒ වලාකුළෙන් ඉලෙක්ට්‍රෝන නිකුත් වෙනවා. ඒක තමයි අකුණක් කියන්නෙ. ඒක ලොකු ධාරාවක්, ඇම්පියර් 50,000, 100,000 විතර ලොකු විදුලියක් එයින් පාත්වෙන්නෙ.  


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම කියනවා අකුණු සහිත වර්ෂාව තියෙන දිනයන්හිදී තැනිතලා බිම්වල ගැවසෙන්න එපා, කුඹුරු යායවල්වල ඉන්න එපා කියලා.  


ඒකට හේතුව කුඹුරු යායක කෙනෙක් ඉද්දි ඒ කුඹුරු යායෙ ගොයම්වලට සාපේක්ෂව උසම කෙනානෙ ඒ ඉන්නෙ. එතකොට ඉලෙක්​​ට්‍රෝන ඒ කෙනා හරහා ගිහින් භූගත වෙනවා. තැනිතලා බිම්වල ගැවසෙන්න එපා කියන්නෙ ඒකයි.  


උස ගස් යට ඉන්න එපා කියන්නෙත් උස්ගස්වලට වැදෙන අකුණ ඉලෙක්ට්‍රෝන ගහ දිගේ එද්දි ගහ ළඟ යම්කිසි පුද්ගලයෙක් හිටියොත් ගහට සාපේක්ෂව පුද්ගලයාගේ තියෙන ප්‍රතිවිරෝධී ගුණය අඩුයි.   


එතකොට වෙන්නෙ ඉලෙක්ට්‍රෝන ගහ දිගේ යනවා වෙනුවට එහි සිටින පුද්ගලයා හරහා ගිහින් භූගත වෙන්නෙ. ඒ වගේ උපදෙස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දෙනවා ආරක්ෂා වෙන්න.  


අපි හැම වෙලේම විශ්ලේෂණවල නිරීක්ෂණවල ඉන්නවා. ඒ නිසා අපේ අනාවැකි මත ඇහුම්කම් දීගෙන ඉන්න එක තමයි මේ දිනවල කළ යුතු වන්නේ.

 

 

 

 

 

ධනු විජේරත්න