කොළඹ කොටුව කඩිගුලක් මෙනි. මිනිසුන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිමුඩියේ පියමනිති. අද අපේ ගවේශණ ස්ථානය වූයේ කොළඹ පිටකොටුවේ මැනිං පොදු වෙළඳපළයි. පිරිසිදු බවභෝග ආහාරපාන ආදිය ගැන සිතන බොහෝ ජනතාව ඇදී එන්නේ මැනිං වෙළඳපොළටය. අතේ තිබෙන මුදලට හිතේ හැටියට අවශ්‍ය බඩු භාණ්ඩ ටික පාරිභෝගිකයාට ලබාගැනීමේ පහසුව තිබුණද පිරිසිදු ආහාරවර්ග කෙසේ වුවද වසවිස නොමැති  එම ද්‍රව්‍ය සෙවීම අද කළු නික සොයනවාටත් වඩා අමාරුය.


අප බත බුලතින් සරුසාර රටක් වුවත් පිරිසිදු ආහාර වේලක් ගන්නේ කීයෙන් කීදෙනාද? ස්වභාවයෙන් හටගන්නා පලා මිටියටත්, උඩරට ගොවියාගේ කොරටුවෙන් නෙළාගන්නා අස්වැන්නත් අපට හමුවන්නේ විෂ පොවා බලෙන් නැවුම් කළ එළවළු සහ පලතුරු ලෙසය. එය නොරහසකි. හිතාමතාම වස විස කන අපි බොහෝ දේ දෑසින් දුටුවෙමු.


අප සිටින්නේ කොළඹ පිටකොටුව මැනිං පොදු වෙළඳපොළ ඇතුළතය.


 කුණු එළවළු ගොඩකට යාබදව අලුත් එළවළු ගෝනි 2 කි. එළවළු ගෝනි මත වාඩිවීමට නීතියෙන් තහනම් වුවද ඔවුන්ට නීති අදාළම නැත. අසල තිබෙන කුණු එළවළු ගොඩ තරමක් විශාලය. තනිකරම ඇත්තේ පරිභෝජනයට නුසුදුසු එළවළුය. ඒ අසල පුද්ගලයෝ කිහිපදෙනෙකුමද කුණු එළවළු තෝරති. මෙය මෙහි සාමාන්‍ය දසුනකි. එහෙත් මෙම දසුනේ ඇතුළත කතාව නම් ඉතා ඛේදනීයය.


කලිසම් කමිස ඇඳගත් දෙතුන්දෙනෙකු ගෝවා කොළ, කැරට් කෑලි, නෝකෝල් ගෙඩි, ලීක්ස් වැනි එළවළු තෝරමින් පෝර උරයකට දමන අතර එයට සහය දෙන තවත් අය වූහ. ඔවුන් සැරසෙන්නේ පරිභෝජනයට නුසුදුසු එළවළු අලුත්කර නැවත විකිණීමේ ව්‍යාපාරයටය. එය මේ මැනිං වෙළඳපළට නිතර යන එන ඕනෑම අයෙක් දන්නා ප්‍රසිද්ධ සිදුවීමකි. ඔවුන් ඇඳ සිටින ඇඳුම් ද ලිපේ දැම්මත් පලිස්සෙන්නේ නැති තරමට ජරා ජීර්ණය.


ඔවුනට කිසිදු වගක් නැත. හිස පහළට හරවාගෙන දෙතුන්දෙනා සුපුරුදු රාජකාරියේ නියැළෙන දෙස අපි බොහෝ වෙලාවක් බලා සිටියෙමු. කුණුවී ඇති කැරට්, ලීක්ස් ගස් පිහියකින් කපා හොඳ ටික ලබාදෙන අනෙකා බෑගයට දමන්නේය. අල ගෙඩිද එසේමය. අපටද ඒ දසුනෙන් ඇස ඉවතට ගැනීමට අසීරු විය. ගත හැකි සෑම එළවළු කොටසක්ම ඔවුහු නැවත පිරිසිදු කර ගොඩවල් වෙන් වෙන් වශයෙන් තැබූහ.


ගත වූයේ  ටික වේලාවකි. පෝර බෑගය එළවළු වලින් පිරී ගොස්ය. එතනින් එහාට සිදුවනුයේ කුමක්ද? මෙය විකුණන්නේ කාටද? යන්න විපරම් කර බැලීමට අපට සිත්විය. මැනිං වෙළඳපොළේ ඉදිරියට ඇදුන අපට තවත් බොහෝ දේ දැකගත හැකි විය. මැනිං වෙළඳපොළේ කුණු එළවළු කුණු පලතුරු ජාවාරම බොහෝදෙනෙකු දන්නා වුවද මෙය යන්නේ කොතනට දැයි බොහෝදෙනා නොදනිති. ඉදිරියට ඇදුන අපට කුණු එළවළු පලතුරු වල බඩ නලියන කුණු කතා කිහිපයක්ම දැනගන්නට ලැබිණි.


ඒ අතර අපට පුද්ගලයකු මුණගැසුණි. ඔහුට අප ගැන කිසිදු විශ්වාසයක් නැත. අප කොහේද? තොරතුරු සොයන්නේ කුමකට දැයි ඔහුට කුතුහලයකි. එහෙත් ඔහු අප කරඇරියේ නැත.


● කොළඹට ඇවිත් කොච්චර කල්ද?
මගේ ගම අම්පාරේ... පුංචි කාලේ එළවළු ලොරියක ඇවිල්ලා කොළඹ නතර වුණා. එදා ඉඳලා මම කරන්නේ නාට්ටාමි වැඩ. මම මැනිං වෙළඳපළේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු 30 කට වැඩියි.
● මොකද්ද අර කුණු ගොඬේ එළවළු එකතු කරලා කරන්නේ?
ආ... මේවා එකතු කරල ගෙනියන්නේ අඩි සීයේ පාරට
● ඒ කොහෙද?


අඩි සීයේ පාර තියෙන්නේ ගෑස් පහ හන්දිය පැත්තේ. උන් ඔක්කොම කුඩුකාරයෝ. ඔය නරක් වෙලා විසිකරන එළවළු පලතුරු ටික එකතු කරලා හෝදලා පෝර උර වලට දාලා අඩි සීයේ පාරට ගෙනිහින් විකුණනවා.


ඕක අද ඊයේ ඉඳලා වෙන දෙයක් නෙමෙයි. දැන් කාලෙක ඉඳලම කෙරෙන වැඩක්. ඉස්සර හරියට ඔය බිස්නස් එක කළා. දැන් අඩුයි. පොලිසියෙන් දැක්කොත් ගහනවා. ගහලා එළවළු ටික විනාශ කරලා දානවා.


ඉස්සර මිනිස්සු කාලා ඉතුරුවෙලා වීසි කරන බත් ටිකත් අහුලගෙන කන මිනිස්සු මේ කොටුවේ හිටියා. පිස්සෙක් ඇරෙන්න දැන් එහෙම කුණු කන අය මාර්කට් එකේ නැහැ. ඔහු මේ කතාවේ අතීතයද අපට විස්තර කළේ එලෙසින්.


එදා වේලවත් සොයාගන්න බැරි මිනිස්සු කුණු එළවළු ගොඩෙන් තෝරගෙන යනවා. ඔය ගෑස්පහ පැත්තේ ගියා නම් බලාගන්න තිබුණා. ලොකු ලොකු නෝනා මහත්තුරුත් ඔය තෝරපු එළවළු අරගෙන යනවා මම දැකලා තියෙනවා. ගොඩවල් 20 ට, 30 ට විකුණන කොට මෝඩ මිනිස්සු අරගෙන යනවා. මේවා හොඳ නැද්ද, නරක් වෙලාද කියලා තෝරන්නේ ගෙදර ගිහින්. හැබැයි කවදාවත් මැනිං වෙළඳපොළේ වෙළෙන්දා මේ කුණු වැඬේ නම් කරන්නේ නැහැ. මේ රස්සාව කරන්නේ කුඩුකාරයෝ. උන් දවසට කොහොම හරි රුපියල් 2000 ක් 3000 සොයා ගන්නවා.


කුණු ගොඩවල් අවුස්සන එක අපට නතර කරන්න බැහැනේ. ඒත් මැනිං වෙළෙඳපොළ ඇතුළේ නම් ජරා එළවළු විකුණගන්න දෙන්නේ නැහැ. ඕවා සල්ලි දීලා ගන්න කෑම කඩකාරයා, පලතුරු ටික ගන්න ජූස් බාර් එකේ මනුස්සයා යන්නේ ගෑස් පහට. මෙයාලා එකතු කරලා පෝර බෑග් ගෙනියන්නේ එතනට.


● එතකොට ඔය කුණු පලතුරුත් ගෙනියන්න කට්ටිය එනවද? කතාව යන අතරතුර මම තව පුංචි ප්‍රශ්නයක් මැද්දට දැම්මා.
නැතුව නැතුව. ඔය හෝටල්වල ෆ්‍රෙෂ් ජූස් කියලා බෝඞ් ගහගෙන ඉන්න ගොඩදෙනෙක් මිනිස්සුන්ට හදලා දෙන්නේ මාර්කට් එකෙන් විසි කරන පලතුරු වලින්. එළවළු වගේ නෙමෙයි පලතුරු නරක් වුණාම පණුවෝ ගහනවා. කුඞ්ඩොන්ට ඕවා ගාණක් නැහැනේ. උන් ඕවා ගොඩවල් ගහලා කඩකාරයන්ට විකුණනවා. උන් කුණුකොල්ලෙට අරන් ගිහින් ජූස් එකක් රු. 100 ට විකුණනවා. ගොඩටම යන්නේ රු. 100 යි. පණුවොත් එක්කම ඔය පලතුරු බ්ලෙන්ඩර් කරලා දුන්නම අපේ මෝඩ මිනිස්සුත් රසකර කර බොනවා. ඊට පස්සේ දොස්තරලටත් සොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.


ඔය දිවුල් එහෙම විකුණගන්න බැරිවුණාම අට්ටි ගහලා එහෙමම තියනවා. පණුවො ගැහුව කියලා දිවුල් ගඳ ගහන්නේ නැහැ. මගෙන් නම් අහන්න එපා ඔය ලොකු ලොකු බීම කම්පැනි වලිනුත් එනවා අඩුවට තියෙන පලතුරු ගෙනියන්න. ඒ මහත්තුරු මෙහේ කට්ටියව සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒවා අල්ලන්න හරි අමාරුයි.


● එතකොට එළවළු එහෙම අරන් යන්නේ ෂෝට්ඊට්ස් හදන්න විතරද?
නැහැ. ඔය අල එහෙම නම් අරන් යන්නේ ෂෝට්ඊට්ස් හදන්න තමයි. ගෝවා, කැරට්, අරන් යන්නේ එළවළු බත් වලට දාන්න. හොඳට සුවඳට හදලා උණු උණුවේ මස් කෑල්ලක් එක්ක දුන්නම කන මිනිහා දන්නේ නැහැනේ මේ එළවළු නරක ඒවද හොඳ ඒවද කියලා. හදන කෑම ගින්දරෙන් හදන නිසා විස ටිකක් මැරෙනවත් ඇති. ඔය කෑම කඩකාරයෝ දවස් දෙක තුනකට වතාවක් මැනිං මාර්කට් එනවා එළවළු ගෙනියන්න. හොඳ එළවළු ගන්න අතර කුඞ්ඩටත් සංඥාව දෙනවා අර කුණු එළවළු ටික එළියට ගිහින් තියන්න ඕනෑ තැන.


අනේ මේවා කිව්වා කියලා අපට ඇති සෙතක් නැහැ. නගර සභා වලින් පී.එච්.අයි. මහත්තුරු එහෙම ඇවිල්ලා වැටලුවා කියනවා. ඒ අය හරියට වටලනව නම් කොළඹ හෝටල් ඔක්කොම ගිනි තියන්න ඕනෑ. ඔය පී.එච්.අයි. මහත්තුරුත් වටලන්න එනකොට මෙහේ එක කඩකාරයෙකුට සංඥාව දෙනවා. ඌ ඉතින් අනිත් එවුන්ටත් කියනවා. බඩු හංගනවා. නැත්නම් මුන් කරන ජරා වැඩ වලට මෙලහට කොළඹ කඩ සීල් තියන්න එපැයි. සේරම දුවන්නෙ එක පීල්ලේ. අන්තිමට රැවටෙන්නේ අහිංසක මිනිස්සු.
පොරක් ඉන්නවා. ඌ කුඞ්ඩෙක්. හැබැයි කතා කරයිද දන්නේ නැහැ. අපට තොරතුරු ලබාදීපු නාට්ටාමි ඔහුට අත්පුඩියකින් කතා කළා.


දිරා ගිය ශරීර කූඩුව ඇවිදින කොට හරියට පාවෙනවා වගේ.


“කුඩු ගහලම උන් දිරලා”


“ආ... උඹලා මොකද අද මෙහේ” නාට්ටාමි ඇසීය.


බඩු අද අඩුයි. පැපොල් තොගයක් නම් ලැබුණා. පටවගන්න ඕනෑ එහා පැත්තට.


● මේ එකතු කරන ඒවා කොහාටද දෙන්නේ?
අම්මෝ බඩු තියෙනවා. මිස්ලා කෑම කඩයක් කරනවද? පිටකොටුවේ ගොඩක් කඩවලට එළවළු දෙන්නේ මම. අපි ඉතින් ඔය මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්න රස්සාවනේ. පොඞ්ඩක් රත්වුණේ නැත්නම් හවස් වෙනකොට ඇඟ වෙව්ලනවා නෝනා. හැබැයි මේ එකතු කරන කුණු ජරාව අපි ගෙවල් වල නම් ගෙනියන්නේ නැහැ. අපිනේ දන්නේ මේවා ගන්නේ සිරි සිරි ගාලා පණුවෝ ඉන්න කුණු ගොඩවල් වලින් කියලා. මේවා කඩෙට විකුණලා ගෙදර යනකොට හොඳ බඩු ටිකක් අරගෙන යනවා.


අද මට ලැබුණා හොඳ පැපොල් පෝර බෑග් එකක්ම. අඹයි, අලි පේරයි එහෙමත් බෑග් එකක් එකතු කරගත්තම දවසේ ගාන ෂේප්. ඉස්සර නම් හෝටල් මුදලාලිම ඇවිත් අරගෙනම යනවා. කවුරුත් නැති වෙලාවක් බලලා අපි කෝල් එකක් දුන්නම මෑන් එනවා. උදේ 11.00 නැත්නම් ආයේ එන්නේ හවස් වෙලාවට තමයි.


● ඇයි දැන දැන මිනිසුන්ට ජරාව විකුණන්නේ?
ඔහු මොහොතක් නිසොල්මනේ අප දෙස බලා සිටියේය.


මම විතරක් මේක නතර කළා කියලා මේ රස්සාවම නවතින්නේ නැහැ. මේක එදත් වුනා අදත් වෙනවා. ඉස්සරහටත් වේවි. පොලිසියට අහුවුණොත් නම් බඩු ඉවරයි. අම්මෝ ගහලා අපිව එළවනවා. ඒත් රස්සාව නතර කරන්න බැහැ. අපිට මිනිස්සු රස්සාවල් දෙන්නේ නැහැ. ගෙදර දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. බොරු කියන්න ඕනෑ නැහැ. මම හවසට කුඩු ගහනවා. මොනවා කරලා හරි සල්ලි හොයන්න ඕනෑනේ.. මිනිස්සු ගන්න නිසා තමයි අපි එකතු කරන්නේ.


මේ එළවළු විතරක් නෙමෙයි එහා පැත්තේ මස්කඩ වලින් විසිකරන කටු, හම, බොකු හෝටල්වලට දෙන අයත් ඉන්නවා. හවසට ඔය කඩවල් වල හදන සුප් එකට ඔය කටු, බොකු, ඔක්කොම කලවම් කරනවා. ඔය මුදලාලිලා හිතන්නේ ලාභ ගන්න මගඩි කරන්නේ නැහැ කියලද? ඒ අයගේ මගඩි කාටවත් පේන්නේ නැහැ.


මට පරක්කු වෙනවා. මම යනවා. නාට්ටාමිගේ පිටට තට්ටුවක් දාගෙනම ඔහු අපෙන් සමුගත්තා.


එදා වේල සොයා ගැනීමට නොහැකි මිනිසුන් ජීවත්වෙන්නට කුණු එළවළු විකිණීම නොව ඊට එහා ජරා වැඩක් වුවද කරනු නිසැකය. ඔවුන්ව මේ කුණු ගොඩට තල්ලු කරනුයේ රටේ ආර්ථික ක්‍රමයේ අහේනියයි. රට දියුණු බව සැබෑය. එදා වේල කන්න නැති මිනිසුන් සිටියදී රටේ සංවර්ධනය ගැන කෙසේ සිතන්නද.


කුණු කතාව අදත් හෙටත් එලෙසමය. දුප්පතා හැමදාමත් කුණුගොඬේය.

සටහන - නදීශා අතුකෝරළ
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය