සයිටම් විරෝධි උද්ඝෝෂණ, පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙත සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. ශිෂ්‍යයන්ගේ මේ සමස්ත ක්‍රියාකාරිත්වය ‘අරගලය’ යන වදනින් උත්කර්ෂයට නැගී ඇති අතර එය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ නොමැකෙන සලකුණු සටහන් තැබූ ප්‍රධාන භාවිතයද විය. ශිෂ්‍ය ව්‍යාපාරයේ න්‍යායාත්මක සැකැස්ම වාමාංශික දේශපාලනයෙන් ආලෝකය ලැබුවක් වන හෙයින් ශිෂ්‍ය ව්‍යාපාර ක්‍රියාකාරිත්වයේදී ‘අරගල’ කිරීම යන්න අනිවාර්ය සාධකයක් ද වෙයි. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භයේ පටන්ම ‘අරගලය’ යන්න ප්‍රධාන භාවිතය ලෙස ක්‍රියාත්මක වූ ආකාරයක් දැකිය හැකි අතර අධ්‍යාපනය හා වෙනත් විවිධ සංවේදි කාරණා සම්බන්ධයෙන් කාලයෙන් කාලයට පැන නැගි ගැටලු, අර්බුද හමුවේ ශිෂ්‍යයන් අරගල කළ ඉතිහාසය 1970 දශකයේ සිට ඉදිරියට දිගහැරෙන නමුත් ශිෂ්‍ය අරගල වඩාත් උණුසුම් ලෙස ක්‍රියාත්මක වූයේත්, සමාජ අවධානය වැඩි වශයෙන් ඒවා කෙරෙහි යොමුවූයේත් 1980 දශකයේ සිට ඉදිරියට ලියැවුණු ඉතිහාසයේදීය.

 

ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය දෙස අවධානය යොමුකිරීමේදී පැහැදිලි ලෙස හඳුනාගත හැකි කාරණය නම් මෙරටේ ක්‍රියාත්මක වන වාමාංශික දේශපාලන පක්ෂ ඊට ඍජු නායකත්වය හා මඟපෙන්වීම ලබා දී ඇති බවය. ලබා දෙන බවය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක කාලයේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට එහි වැඩි බලයක් හිමිව තිබූ අතර ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ක්‍රියාත්මක විය. ශිෂ්‍ය ව්‍යාපාරය ආශ්‍රිතව 1970 දශකයේ අග භාගයේදී දක්නට ලැබුණු වර්ධනයක් වූ​ෙය් එහි බහුතර බලය නව වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සතුවීමයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නැතිනම් ‘අන්තරය’ ලෙස හඳුන්වන මේ ශිෂ්‍ය බලවේගයෙහි වැඩි බලයක් වර්තමානයේදී හිමිකරගෙන ඇත්තේ ජවිපෙන් කැඩී ගිය කොටසක් එක්ව පිහිටුවාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.  


ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කතා කිරීමේදී අපට බැහැර කළ නොහැකි අනෙක් වැදගත් කාරණය වන්නේ ඊට නායකත්වය ලබාදුන් නායකයන්ය. ඔවුන්​ෙග් එදා සහ අද ක්‍රියාකාරීත්වයය. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ කැපී ​පෙනෙන පුද්ගලයන් ගණනාවක් අතීතයේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් නැතිනම් මුල්පෙළේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර ඇති අතර ඔවුන්ගෙන් ඇතැමුන් අද වන විට එජාපය සහ ශ්‍රීලනිපය යන ධනවාදී දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී අමාත්‍ය ධුරවල සිට ඊට පහළින් ඇති විවිධ තනතුරුවල වගකීම් උසුලන ආකාරයක්ද දැකිය හැකිය. සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ධුරය හොබවන එස්.බී. දිසානායක මහතා ගතහොත්, ඔහු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ​ෙය් ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙය වූ ශිෂ්‍ය නායකයෙකි. පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කරුණාරත්න පරණවිතාන, යන අමාත්‍යවරුන්ද අතීතයේ දී ශිෂ්‍ය ව්‍යාපාර සමග සම්බන්ධ වී කටයුතු කළ ශිෂ්‍ය ක්‍රියාකාරීහුය. ශිෂ්‍ය අරගල වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයන් ලෙස වමට බර දේශපාලන භාවිතයක් එදා ඔවුන්ට තිබුණද අද ඔවුන්​ෙග් දේශපාලන ආස්ථානය තීරණය වී තිබෙන්නේ එජාපය, ශ්‍රීලනිපය, ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්ෂ මතය.  


මීට පෙරද සඳහන් කළ පරිදි 1970 දශකයේ අග භාගයෙන් පසු ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ කැපී පෙනෙන භූමිකාව නිරූපණය කළේ අන්තරයයි. එමෙන්ම ශිෂ්‍ය අරගල බොහොමයකදී මෙන්ම 1987-89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ අරගලයේදී අන්තරයෙහි ශිෂ්‍ය ක්‍රියාකාරීහු වැඩි පිරිසක් දිවි පිදූහ. 1990 දශකය වන විට ශාන්ත බණ්ඩාර ද ඇතුළුව අන්තරයෙහි කැඳවුම්කරුවන් පමණක් 11 දෙනෙකු ඝාතනය වී තිබිණි. 1980 දශකයෙන් පසු වඩාත් කතාබහට ලක්වූ ශිෂ්‍ය ව්‍යාපාරය අන්තරය වූ බැවින් විටින් විට එහි කැඳවුම්කරුවන් වශයෙන් කටයුතු කළ පුද්ගලයන් පිළිබඳවද සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබිණි. විශේෂයෙන්ම ශිෂ්‍ය අරගල වෙනුවෙන් මෙන්ම වාමාංශික දේශපාලනය වෙනුවෙන් තදින් පෙනී සිටි නිසා එවකදී ශිෂ්‍ය නායකයන් ලෙස කටයුතු කළ ඔවුන්​ෙග් අද භූමිකාව කුමක්ද යන්න ගැනද බොහෝ පාර්ශ්වවල අවධානය යොමු වී තිබේ. 1990 ගණන්වල සිට අන්තරයට නායකත්වය දුන් පුද්ගලයන් ගණනාවක් මේ වන විටත් වාමාංශික මෙන්ම වාමාංශික නොවන දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතව සිටින ආකාරයක්ද දැකගන්නට ලැබේ. අන්තරයද ඇතුළුව විවිධ සරසවි ශිෂ්‍ය සංගම්වලට නායකත්වය ලබාදී අද වන විට සමාජයේ නොයෙක් තනතුරුවල වගකීම් හොබවන කීප දෙනෙකු සිය අතීත ශිෂ්‍ය ක්‍රියාකාරකම් සහ වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල පිළිබඳ සිය අදහස් ‘ඉරිදා ලංකාදීප’ යට එක් කළේ මේ ආකාරයටය.


අපි කළ සටන් දිනුවා 
අන්තරයේ හිටපු කැඳවුම්කරැ (1995-1996) ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති : අපි ඒ කාලේ කරපු ශිෂ්‍ය සටන්වල දිගුවක්ම තමයි අද තියෙන්නෙත්. යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදයට විශ්වවිද්‍යාල පිළිගැනීම ලබාගැනීමේ අරගලය, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අරගලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පිළිබඳ අරගලය, මොරටුව විශ්වවිද්‍යාලයේ එන්.ඩී.ටී. පාඨමාලාවට උපාධි තත්ත්වය ලබාගැනීම වෙනුවෙන් කරපු අරගලය වගේ අරගල විශාල ප්‍රමාණයක් අපි ඒ කාලේ සිදු කළා. ඊළඟට පාසල් සංවර්ධන මණ්ඩල ගෙනාපු වෙලාවෙත් අපි අරගල කළා. ඔය කාලේ ලෝක බැංකුව මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් හදල තිබුණා. අපි ඒ ගැන දැනුම්වත් කිරීමට විශ්වවිද්‍යාල මට්ටමින් වගේම පාසල් මට්ටමිනුත් ක්‍රියාකළා. එදත් අද වගේම කිසි වෙනසක් නැතුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළ තමයි ක්‍රියාත්මක වුණේ. අද තියෙන්නෙ අමුුඅමුවෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ උත්සාහයක්. එදා තිබුණේ තියෙන විශ්වවිද්‍යාල ඇතුළෙ මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන් පෞද්ගලික උපාධි පාඨමාලා ආරම්භ කිරීමේ උත්සාහයක්. ඊට අමතරව පාසල්වලට මුදල් අය කිරීමේ යෝජනාත් ඒ කාලේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. පාසල් සංවර්ධන සමිති හැදුණෙ ඒ යෝජනාවල ප්‍රතිඵලයක් හැටියට. එදා අපි ඒවට විරුද්ධව කරපු අරගල සාධාරණයි කියලා අද අපිට තේරෙනවා. මොකද සමහර ඒවා ක්‍රියාත්මක වීම වළක්වා ගනිමින් ලබාගත්ත ජයග්‍රහණ තියෙනවා වගේම වළක්වගන්න බැරිවුණ දේවල් අද ජනතාවට බරක් වෙලා තියෙනවා.  


එදා අන්තරය කැඳවුම්කරු වශයෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මම ක්‍රියාකරපු ආකාරය වගේම භාවිතය අද මම මන්ත්‍රී කෙනෙක් වුණත් ඒ විදියටම තියෙනවා. එහෙම නෑ කියලා කාට හරි පේනවා නම් මම ඒ අයට අභියෝග කරනවා ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. සමාජයේ පොදු මතයක් තියෙනවනෙ විශ්වවිද්‍යාල ඇතුළෙ සටන්, අරගල කළාට එළියට ගියහම එහෙම නෑ කියලා. විශ්ව විද්‍යාලවලින් එළියට යන හැමෝම සටන් අරගල කරන්නෙ නැති බව ඇත්ත. ඒ අය අතරින් ඉතාම අතළොස්සක් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කළත් අති බහුතරයක් දෙනා සමාජයේ ප්‍රගතිශීලී විදියට ජීවත්වෙනවා. ඒකත් ලොකු දෙයක්නේ. විශ්වවිද්‍යාල ඇතුළෙ කරපු සටන් සමාජයේ ඒ විදියටම කරන්න බැරිවෙයි. නමුත් අසූචිවලයි, පැණි වලයි ගඳ සුවඳ වෙන් කරගෙන ජීවත්වෙන්න ඒ අය දන්නවා. සමහරු විශ්වවිද්‍යාලෙදි මහා ලොකු කතා කියලා දැන් අසූචිත් පැණි වගේ සුවඳයි කියලා හිතන අයත් ඉන්නවනෙ. අපි කවදාවත් ඒ මට්ටමට වැටිලා නෑ. ඒ මට්ටමට වැටුණේ නැති බහුතරයක් ඉන්නවා. 

 


අපි අන්තරයෙ හිටියට ජවිපෙ අපට නියෝග කළේ නෑ 
අන්තරයේ හිටපු කැඳවුම්කරු (2000-2001)  චමීර කොස්වත්ත :  ඒ කාලෙත් අපේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම කියන එක. විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ කාලේ පෞද්ගලික අධ්‍යාපනය ආවා. ඊළඟට පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ගැන වාර්තාවකුත් නිකුත් වෙලා තිබුණා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන පහසුකම් කපාදැමීමේ උත්සාහයකුත් තිබුණා. එදා තිබුණ තත්ත්වයට වඩා අද තත්ත්වය දරුණු වෙලා තියෙන බවක් පේන්න තියෙනවා. අද වගේම එදත් අපි මේවට විරුද්ධව සටන් කළා. අරගල කළා. ශිෂ්‍ය ව්‍යාපාරයෙ වගකීම් දැරීම හරහා එය මගහැරිය නොහැකි සමාජමය වගකීමකට බැදෙන්න සිද්ධ වුණා. ඒ නිසා එදා මම අන්තරයෙ කැඳවුම්කරු හැටියට විශ්වාස කරපු කියපු දේවල් වෙනුවෙන් අදත් මට වැඩකරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසයි මම පූර්ණකාලීනව දේශපාලනය තෝරාගෙන තියෙන්නෙ.  


මම අන්තරේ කැඳවුම්කරු වෙලා ඉන්න කාලේ මේ විදියට අර විදියට කරන්න කියලා ජවිපෙ කිව්වෙ නෑ. එහෙම නියෝග කළත් මට එහෙම කරන්නත් බෑ. මොකද ශිෂ්‍ය ව්‍යාපාරය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක නිසා. මොකද අපි අන්තරය විදියට තීරණ ගන්නෙ ඒකට සම්බන්ධ සමස්ත විශ්වවිද්‍යාල ව්‍යුහයම එකතු වෙලා නිසා. ඒ නිසා එදත් පක්ෂෙකට ඕන දෙයක් ශිෂ්‍ය ව්‍යාපාරය ලවා කරවන්න බෑ. අදත් එහෙම බෑ කියලා මම හිතනවා.


මම තවම පෞද්ගලිකව ශිෂ්‍ය ව්‍යාපාරයෙ මේ තියෙන සම්ප්‍රදායට ගරු කරනවා. එදා ශිෂ්‍ය ව්‍යාපාර​ෙය නායකයෙක් විදියට මා තුළ තිබුණු අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටීමේ භාවිතය අදටත් තියෙනවා. එහෙම නැත්නම් මගේ ජීවිතයම දේශපාලනය බවට පත්කරගන්නෙ නෑ.  


සමහරු දේශපාලනයට එන්න පාර කපාගන්නෙ තමන්ගෙ සල්ලිවලින්. තව සමහරු පවුල් පදනම්වලින් පාර කපාගන්නවා. මේ රටේ ධනේශ්වර දේශපාලන​ෙය් පිනුම් ගහන්න එන හැම එකාම ඒකට පාර කපාගන්නෙ තමන් කිසියම් මොහොතක ශිෂ්‍ය නායකයෙක්, වෘත්තීය සමිති නායකයෙක්, රැඩිකල් නායකයෙක් වෙලා හිටියා කියන පදනම විකුණලා. අතීතයේ තමන් නියැළුණු කුමන හෝ සමාජ ක්‍රියාකාරිත්වයක් විකුණලා ඇමැති ධුර හරි වෙන මොනවා හරි වරප්‍රසාද ගත්ත අයට අනිත් පැත්තට හැරිලා ඒ අතීත සමාජ ක්‍රියකාරිත්වයට ගරහනවා ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නෑ. එහෙම ශිෂ්‍ය නායකයො හිටියා කියලා කියනවා නම් ඒක විලිලැජ්ජයි.

 

අපිත් කඩාවැදුණා: වැටලුවා  
අන්තරයේ හිටපු කැඳවුම්කරු (2004-2008) පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව :  සටන් වදින්න වෙලා තියෙන ප්‍රශ්න බැලුවහම එදා සහ අද අතර ලොකු වෙනසක් පේන්න නෑ. අධ්‍යාපනය පෞද්ගලිකකරණය විශ්වවිද්‍යාලවල සුබසාධන කප්පාදුව. පාසල්වල තියෙන ප්‍රශ්න මේවා ගැන තමයි අන්තරයට අද වගේම එදත් සටන් කරන්න සිදුවුණේ. ශිෂ්‍ය ව්‍යාපාරය උද්ඝෝෂණ හෝ වෙනත් සටන් ක්‍රියාමාර්ග හරහා කරන්නෙ පළල් ජනමතයක් හදන එක. එදත් අදත් වෙනසක් නැතුව ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කරන්නෙ එහෙමයි. ඒකට එදත් බාධා කිරීම් කළා. අදත් එහෙමයි.  


සයිටම් අර්බුදය නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයො සෞඛ්‍ය අමාත්‍යාංශය වටලපු එක ගැන අද හුඟ දෙනෙක් කතා කරනවා. නමුත් මේ ශිෂ්‍යයො මේ ප්‍රශ්නය ගැන කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්න කලින් වෛද්‍ය පීඨ ඇතුළෙ පන්ති වර්ජන කළා. ශිෂ්‍යයො වගේම ඔවුන්ගේ මවුපියොත් උද්ඝෝෂණය කළා. මේ හැමදේම කරලත් පාලකයො ඇහුම්කම් නොදුන් නිසයි මේ ශිෂ්‍යයො අමාත්‍යාංශයට ආවේ. මේ වගේ සිදුවීම් මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. අපේ කාලේ කරපු අරගලවලදිත් මේ වගේ කඩාවැදීම්, වැටලීම් තිබුණා. ඒ තුළින් අපිට විශ්වවිද්‍යාල ගණනාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පහසුකම් ලබාගන්නත් පුළුවන් වුණා. අන්තරය කියලා කියන්නේ දේශපාලන පක්ෂෙක සංවිධානයක් නෙවෙයි. ඒක ශිෂ්‍යයන් ගොඩනගාගත් සංවිධානයක්. වාමාංශික පක්ෂ කරන්නෙ ඒ ව්‍යාපාරය ශිෂ්‍යයන්ගේ කැමැත්ත දිනාගෙන ශිෂ්‍ය ව්‍යාපාරයෙ ඒ ඒ ව්‍යුහවල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන එක. ඒ නිසා ඉතා පැහැදිලිවම අන්තරය ස්වාධීන ව්‍යුහයක්. අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙන් දේශපාලනයට අවතීර්ණ වුණේ ජවිපෙන් තමයි. 

 


මම දන්ත පීඨයෙ හිටියට නීිතිඥකමත් ලබාගත්තා
අන්තරයේ හිටපු කැඳවුම්කරු (2008-2011) නීතිඥ උදුල් ප්‍රේමරත්න : මම අන්තරේ කැඳවුම්කරු වෙලා හිටපු කාලේ මේ සයිටම් ප්‍රශ්නෙ ආරම්භක අවධියෙ තිබුණෙ. ඒ කාලෙම තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයක් ආරම්භ කරලා තිබුණෙ. ඊට අමතරව තව ශිෂ්‍ය ගැටලු, නේවාසික ගැටලු, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු තිබුණා. අපි ඒවට විරුද්ධව අරගල කළා. සයිටම් විරෝධයක් පටන් ගත්තෙ ඒ කාලේ. 


මම අන්තරයෙ කැඳවුම්කරු වෙලා ඉද්දි අධ්‍යාපනයේ මේ ප්‍රශ්න වෙනුවෙන් දැරූ අදහස් අදටත් වෙනස් වෙලා නෑ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙන ගත්තට පළමු වසරේදීම නීතිඥකමක් ලබාගත්තා. මම මේ වෙන කොට දේශපාලන පක්ෂෙකට සම්බන්ධ වෙලා වැඩ නොකළත් එදා ඉඳපු ප්‍රතිපත්තිවල අදත් ඉන්නවා. මම හැම විශ්වවිද්‍යාලෙකම ශිෂ්‍යයො එක්ක කටයුතු කරලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙනුවෙන් අරගල කරලා තියෙනවා. මම හිටපු කාලේ ඉතාම දරුණු විදියට ශිෂ්‍යයන්ව සිරගතකිරීම හා පන්ති තහනම් කිරීම සිදුවුණා. මම අද නීතිඥයෙකු විදියට කටයුතු කළාට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ යුතුයි කියන ප්‍රතිපත්තියේ අදටත් ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක් වෙලා හිටපු කාලේ දන්ත වෛද්‍ය උපාධිය අතඅරින්න ගත්ත තීරණය ගැන අද මට කිසිම කනගාටුවක්වත් පසුතැවීමක්වත් නෑ.   


අන්තරය එදා ගත්තත් අද ගත්තත් ඒක වාමාංශික ව්‍යාපාරයක්. ඒකෙ විවාදයක් නෑ. ධනේශ්වර පක්ෂ සමග කටයුතු කිරීම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ජවිපෙට තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. වාමාංශික පක්ෂ කණ්ඩායම් එක්ක කටයුතු කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය මොනම වෙලාවකවත් පසුබට වුණේ නෑ. නමුත් ජවිපෙ ඒ විශ්වාසය වේගයෙන් අහිමි කරගත්තා. මෙතනදි කතා කළ යුතු තව වැදගත් දෙයක් තමයි අන්තරය ශිෂ්‍ය ව්‍යාපාරයෙ ක්‍රියාකාරීන් වෙලා හිටපු සමහරු අද ශිෂ්‍ය ව්‍යාපාර​ෙය​ කටයුතු හෙළා දකින එක ගැන. රාජිත සේනාරත්න ඇමැතිවරයා අන්තරයේ ලේකම් තනතුරක් ගැන කතා කරනවා. අන්තරයේ ලේකම් තනතුරක් කවදාවත් තිබුණෙ නෑ. රාජිත සේනාරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ දන්ත වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයෙ හිටියා. නමුත් අන්තරයෙ හිටියෙ නෑ. ඔහොම කතා කරන අයගෙ භාවිතය දිහා බලාල තමයි තීන්දු තීරණ ගන්න ඕන. ගොඩක් අය ශිෂ්‍ය සංගම්වල ඉඳලා ඒවයෙන් ප්‍රතිරූපය හදාගෙන ධනේශ්වර දේශපාලන පක්ෂවලට ඇවිල්ලා ඉහළට යන්න හදන ගමනක් තමයි පේන්න තියෙන්නේ.

 


හුදකලාව සටන් කර ජය ගන්න බෑ 
අන්තරයේ හිටපු කැඳවුම්කරු (2011-2014) විප්ලවවාදී ශිෂ්‍ය සංගම​ෙය් ජාතික කමිටු සාමාජික සංජීව බණ්ඩාර : දැන් තියෙන ශිෂ්‍ය අරගලය අපි දකින්නෙ අන්තරය පටන් ගත්ත කාලේ ඉඳලා එන අඛණ්ඩ අරගලයක් විදියට. අන්තරය පටන් ගත්ත දවසෙ ඉඳලා. මේ දක්වාම ශිෂ්‍ය අරගල සිදුකරලා තියෙනවා. අධ්‍යාපනය විකිණීමට එරෙහිව ශිෂ්‍ය සුබසාධන කප්පාදු කිරීම්වලට එරෙහිව වගේම ර​ෙට් පොදු ජනතාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අන්තරය අඛණ්ඩ අරගලයක ඉන්නවා. මේ අරගලය විවිධ අවස්ථාවල විවිධ සටන් පාඨ ඔස්සේ ප්‍රකාශයට පත්වෙනවා. ඒකෙ වර්තමාන ප්‍රකාශනය තමයි සයිටම් කියලා කියන්නෙ.  


මම අද විප්ලවවාදී ශිෂ්‍ය සංගම​ෙය් ජාතික කමිටු සාමාජිකයෙක් විදියට වැඩ කරනවා. ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංගමය. අපේ අරගලය අපි අඛණ්ඩව කරමින් ඉන්නවා. අපි එදා නියෝජනය කරපු ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් වෙලා නෑ. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනයන අරගලයට අපි දිගටම සහයෝගය දෙනවා. ​ෙම් අරගලය අඛණ්ඩව ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මීට අවුරුදු දහයකට විතර කලින් අරගලය තිබුණු තැනට වඩා පුළුල් තැනකට අද වෙන කොට පත්වෙලා තියෙනවා. හුදකලාව සටන් කරලා ජයග්‍රහණ ලබාගන්න බෑ. ඒක මුළු ඉතිහාසය පුරාවටම අත්දැකපු යථාර්ථයක්. ශිෂ්‍ය ව්‍යාපාරය විතරක් ව්‍යුක්තව කරන අරගලයකින් ජයග්‍රහණ ලබාගන්නත් බෑ. ඒකට අනෙක් සමාජ බලවේගත් ඒකාබද්ධ කළ යුතුයි. ගොවි, ගුරු, කම්කරු, ධීවර යන පීඩිත පන්ති බලවේගත් එකතු කරගෙන සමස්ත නව ලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහිව අරගලයක් දක්වා මේක ඉදිරියට ගෙන යෑමෙන් විතරයි ජයග්‍රහණ ලබාගන්න පුළුවන්. අපි හිතන්නෙ ඒක අද යථාර්ථයක් වෙලා තියෙනවා.  


මේ ලිපිය සඳහා අදහස් ලබාගැනීමට සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුම පිළිබඳ ඇමැති හා හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ද වන එස්.බී. දිසානායක මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔහු විදේශගත වී සිටීම නිසා එය ව්‍යර්ථ විය.


 

 

එදා සංස්කෘතික අමාත්‍යංශයට ගිහින් අපි ඒක අල්ල ගත්තා
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ක්‍රියාකාරී සාමාජික ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර : මම මුලින්ම සම්බන්ධ වුණේ‍ යක්කල ආයුර්වේද සටනට. එදා සංස්කෘතික අමාත්‍යාංශය තිබ්බතැනට ගිහින් අපි ඒකත් අල්ල ගත්තා. නීති පීඨයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයෙක් හැටියට මම ඉස්සෙල්ලම සම්බන්ධ වුණේ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් ගෙන ගිය අරගලයට. ඒකෙ අවුරුදු ගාණක් තිස්සේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒත් ආණ්ඩුව ඒවා විසඳන්න වුවමනාවක් දැක්වුවේ නෑ. පස්සෙ අපි කොළඹ විශ්‍වවිද්‍යාලයේ ඉඳලා කැලණිය විශ්වවිද්‍යාලය හරහා යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට පා ගමනක් ගියා. ඒ අරගලයට සහයෝගය දෙන්නයි අපි ඒ පා ගමන ගියේ. ඊළඟට අපේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකටත් මැදිහත් වුණා. තව අවස්ථාවක විද්‍යා පීඨයේ තිබුණු ප්‍රශ්නයකදී අපි දහදෙනෙක් මාරාන්තික උපවාසයකුත් කළා. මුත්තයියා පාරේ තියෙන හොස්ටල් එක හැදුවේ අපි ගිහින් එතන අල්ලගත්ත නිසා. කොළඹ කැම්පස් එකේ අද තියෙන කළමනාකරණ හා මූල්‍ය පීඨය තියෙන තැන එදා තිබුණෙ සංස්කෘතික අමාත්‍යාංශය. අපි එතනට ගිහින් ඒක අල්ලගත්ත එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ පීඨය එතන හැදුණේ. මේ හැම සටනක්ම අපි කළේ‍ ශිෂ්‍ය ව්‍යාපාරය විදියට. විශ්‍වවිද්‍යාලෙට යන්නෙ ඉගෙන ගන්නම විතරක් නොවෙයි.

අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එකත් කරන්න ඕන. එහෙම සටන් කරලා තමයි අපිට අයිතීන් බොහෝ ප්‍රමාණයක් දිනාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.   


වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව කරන අරගල වැරැදියි කියලා මම කොයි වෙලාවකවත් කියන්නෙ නෑ. ශිෂ්‍ය අයිතිවාසිකම් සඳහා අරගල කළ යුතුයි. පෙළපාළි යා යුතුයි. හැබැයි ඒවාට තුඩුදෙන කරුණුකාරණා හරිහැටි තෝරා බේරාගත යුතුයි කියලයි අපි හිතන්නෙ. සයිටම් අර්බුදය නිසා වෛද්‍ය පීඨය මාස පහමාරක් තිස්සේ වහලා තියෙන්නෙ. තව සමහර අය දේශනවලට යන්නෙ නෑ. අවුරුදු එකහමාරක් තිස්සේ මේ ශිෂ්‍යයෝ හැම විශ්‍වවිද්‍යාලයක් ඉස්සරහම අට්ටාල ගහලා උපවාස කළා. මම කියන්නෙ අපි ආණ්‍ඩුවක් විදියට මේ ප්‍රශ්නය තවදුරටත් ඉස්සරහට අදින්නෙ නැතුව විසඳුමක් ලබාදිය යුතුයි කියලා. විසඳුම් නොදුන්නොත් වෙන්නෙ ශිෂ්‍යයෝ අවි ආයුධ අතට ගන්න තැනට පත් වෙන එක. 1980 ගණන්වල ඉඳන් අපි අත්දැකපු යථාර්ථය තමයි මේක.   


එදා මම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරපු අරගල දරපු ආකල්ප අදටත් ඒ විදියටම පිළිගන්නවා. ඒවයේ කිසි වෙනසක් වෙලා නෑ. ඉදිරියටත් ඒවා හරියි කියලා කියනවා. නමුත් මේ සයිටම් ප්‍රශ්නෙදී ශිෂ්‍යයෝ හැසිරුණ විදිය සම්පූර්ණයෙන්ම වැරැදියි. කියන මතයෙ මම ඉන්නෙ. හේතුව තමයි ඔවුන් අරගල භාවිතයෙන් එළියට ගිය එක. එදා ශිෂ්‍යයෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියේ ඇමැතිවරයා හම්බ වෙන්න වෙලාවක්වත් වෙන්කරගෙන නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වටලන්නයි එදා මේ ශිෂ්‍යයෝ ගියේ. ඒ විතරක් නෙවෙයි අනිත් අමාත්‍යාංශ වටලනවා කියලත් ශිෂ්‍යයෝ තර්ජනය කරලා තිබුණා. අමාත්‍යාංශ වටලන්න කවුරු හරි ත්‍රස්තවාදියෝ විදියට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.


ශිෂ්‍යයෙක් කාලෙ මමත් සටන් කළා  
පේරාදෙණිය විශ්‍වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරී සාමාජික සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අැමැති රාජිත සේනාරත්න : මමත් සරසවි සිසු නායකයෙක් කාලේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළා. එදා ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළේ නිලවරණ තිබුණා. ඒ වගේම තමයි ශිෂ්‍ය නායකයෝ තෝරා ගත්තෙ ඒ නිලවරණවලට විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරන ශිෂ්‍යයන්ට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබුණා. නමුත් අද ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළේ මේ මොකුත් නෑ. පෙරටුගාමී සමාජවාදීන් කියන්නේ අන්තවාදීන් තමයි අද ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවන්නෙ. අද නිලවරණ මොකුත් නෑ. පෙරටුගාමීන්ගෙ තනි මතයට තමයි ඔක්කොම සිද්ධ වෙන්නෙ. මේගොල්ලො කරන්නෙ එයාලගෙ දේශපාලන මතවාදය බලෙන් සරසවි ශිෂ්‍යයන් මත පටවන එක. මේ නිසා අද ශිෂ්‍යයන්ට තමන්ගෙ මතවාදය අනුව කටයුතු කරන්න අද කිසිම නිදහසක් නෑ. ඒ​කනෙ අද ඉන්න ශිෂ්‍ය නායකයෝ අන්තවාදී දේශපාලන පක්‍ෂවල පූර්ණකාලීනයෝ බවට පත්වෙලා ඉන්නෙ.   


විශ්‍ව විද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට කටයුතු කරපු කාලේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මමත් පෙනී සිටිමින් සටන් කළා. අදත් එහෙමයි. ඒත් අද මේ අය නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ මොකක්ද? නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඇති කළාට එතුමා පෞද්ගලික අධ්‍යාපන ආයතන වහන්න ඕන කියලා කිව්වෙ නෑ. ඒවා තියෙද්දී රජයේ අධ්‍යාපන ආයතන ශක්තිමත් කළ එකයි එතුමා කළේ. අපේ ආණ්‍ඩුව යටතේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිසක් කප්පාදු කරන්නෙ නෑ. අපි මේවෙනකොටත් වයඹ, සබරගමුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ හදන්න සැලසුම් කරලා තියෙනවා. තව මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකිරීම ගැනත් සාකච්ඡා කරගෙන යනවා. අද මේ තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ගෙන් විශ්‍වවිද්‍යාල වරම් ලබන්න හැකිවෙන්නෙ සීයට දාහතකට විතරයි. එතකොට ඉතුරු සීයට අසුතුනට මොකද වෙන්නෙ. මේ කෑගහන අයට කියන විදියට ඒ ඉතුරු සීයට අසූ තුනට වෛද්‍ය අධ්‍යාපනය සඳහා දොර ඇරිය යුතු නැද්ද? ඒ අයටත් දොර අරින එකට තමයි නිදහස් අධ්‍යාපනය කියන්නෙ.

 


එදා උප කුලපති ජී.එල්.ගෙ කාලෙ අපි උපවාස කළා  
කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති (1990-1994) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන : භීෂණයෙන් පස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරය නැවත පණගන්වපු කාලෙක තමයි මම මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති වෙලා හිටියෙ. ශිෂ්‍ය සුබසාධන කටයුතුවලදීත් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේදීත් අපි ශිෂ්‍ය සටන් කළා. ශිෂ්‍යයන් වශයෙන් අපි කරපු ශිෂ්‍ය සටන් අරගල සම්බන්ධයෙන් ඒ කාලේ විශ්වවිද්‍යාලෙ ඇතුළෙ ලොකු සාකච්ඡාවක් තිබුණා. ඒක නිසාම මම කියන්නෙ නෑ එදා තිබුණු හැම සටනක්ම හොඳයි පැහැදිලි දැක්මකින් යුතුව කළා කියලා. ඒ වගේම අද තියෙන ශිෂ්‍ය සටන් ඉතාම නරකයි කියලා කියන්නෙත් නෑ. අපි හිටපු කාලේ විශ්වවිද්‍යාලෙ උප කුලපතිවරයා හැටියට හිටියෙ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. අපේ ශිෂ්‍ය සටන්වලදී උප කුලපති පුටුවෙ කවුද ඉන්නෙ කියන එක අපිට වැදගත් වුණේ නෑ. ශිෂ්‍ය සුබසාධන සටන්, නේවාසිකාගාර සටන් වගේ ඒවා අපි ජයග්‍රහණය කළා. ඊට අමතරව මාරාන්තික උපවාස වගේ සටන් ක්‍රියාමාර්ගවලටත් අපි ගියා. එහෙම උපවාසවලට මමත් වාඩිවුණා. ඒවා බොරු උපවාස නෙවෙයි. දවස් තුනක් යනකන් වතුර බිංදුවක්වත් නැතුව හිටියා මතකයි. බෙහෙත් දීලා තමයි අපිව ගොඩගත්තේ. ඊට අමතරව අපි ජාතික දේශපාලනයට අදාළ ක්‍රියාකාරකම්වලත් නිරත වුණා. ඒවයෙදි අපිට මැර ප්‍රහාරවලට ලක්වීමටත්, හිරේ විලංගුවේ වැටීමටත් සිද්ධ වුණා. අපි ශිෂ්‍ය සටන් කළාට ඒවා ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවායක් පවත්වාගෙන ගියා. ශිෂ්‍යයො බලෙන් අපේ සටන්වලට යොදාගත්තේ නෑ. නවක සිසුන් සටන්වලට දැක්කීමටත් අපි ඒ කාලේ කටයුතු කළේ නෑ.  


ඒ වගේම තමයි එදා අන්තරය තිබුණෙ කාගෙවත් දේශපාලන හස්තයකට යටවෙලා නෙවෙයි. යම් යම් දේශපාලන පක්ෂ උත්සාහ කළා අන්තරය තමන් යටතට ගන්න. නමුත් අපි ඒකට ඉඩදුන්නෙ නෑ. අද ශිෂ්‍ය ව්‍යාපාර​ෙය් ක්‍රියාකාරිත්වය එදා ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බොහෝ දුරට සමානයි කියලා තමයි මම හිතන්නේ. ශිෂ්‍ය ජීවිතයේදී තමයි හුඟක් අප සාමූහිකත්වය, සාධාරණත්වය ගැන අ​වේගශීලීව හැඟීම්බරව කටයුතු කරන්නෙ. එදයි අදයි අතර මම දකින වෙනසක් තියෙනවා. ඒ තමයි අද ශිෂ්‍ය නායකයො තමන් කරන සටන්වල සටන් පාඨ ගැන යථාර්ථවාදී තක්සේරුවකින් කටයුතු කරනවද කියන එක. ඒ වගේම තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශිෂ්‍ය ව්‍යාපාරයෙ බලය තහවුරු කරගෙන එයාලගෙ මතය ශිෂ්‍යයන් අතර තදින් තහවුරු කරන්න දරන උත්සාහයකුත් දකින්න තියෙනවා. ඒ ගොල්ලො ඉදිරිපත් කරන සටන් පාඨ හරිද කියන එක බලන්න ඕන. සයිටම් ප්‍රශ්නයෙදි ශිෂ්‍යයො දරන ස්ථාවරය වෙලා තියෙන්නෙ සියලුම දේවල් නොමිලේ ලබාදෙන සුබසාධනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි කියන එක. එයාලා හිතනවා ඒක සමාජවාදය කියලා. ඒ නිසා මෙතැන දාර්ශනික පීලි පැනීමක් තියෙනවා. සමාජ සාධාරණත්වය පිළිබඳ ඔවුන්​ෙග් අර්ථකථනය රාජ්‍ය සුබසාධනවාදී එකක්. ඒ අයගේ මේ තර්කයට අනුව කටයුතු කළොත් බොහෝ පිරිසකට අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය අහිමිව යනවා. මේක තමයි අද ශිෂ්‍ය ව්‍යාපාරයේ තියෙන ගැටලුව. ඒ ඇරුණහම ඉතා සාධනීය ලක්ෂණත් වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරයෙ තියෙනවා. වෛද්‍ය සංගමයෙ උප්පරවැට්ටිවලට ශිෂ්‍ය ව්‍යාපාරය හසුවන බවකුත් පේන්න තියෙනවා. මොකද මේ සයිටම් ප්‍රශ්නෙ වෛද්‍ය සංගමයෙ දායකත්වය ඇතුව පටන් ගත්ත එකක්.

 

සටහන : උපුල් වික්‍රමසිංහ