පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප්‍රමාණයක් තිබූ ප්‍රදේශය ලෙස සබරගමුව සැලකේ. රත්නපුර දිස්ත්‍රික්කයම නින්දගමක් ලෙස හැඳින්වුවද එහි වැරැද්දක් නැත. මේ නින්දගම්වල ජීවත් වූ ප්‍රභූවරුන් සහ ඔවුන්ට මෙහෙ කළ ජනපදවාසීන් අතර තිබූ සංස්කෘතිකාංග කිහිපයක් අදටද ජන සමාජයට ආගන්තුකය. දික්ගෙයි නැටුම එදා වලව් සමාජයේ තිබූ එවැනි නර්තනයකි. වලව්වාසී ප්‍රභූවරුන් සතුටු කිරීම සඳහා නින්දගම්වාසී කාන්තාවන් මෙම නැටුම නටන්නේ උඩුකය නිරුවත්වය. එය අද ඇතැම් ඉහළ පෙළේ හෝටල්වල සිදු කෙරෙන කැබරේ නැටුමට සමානය.   

සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනකුට නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බළකොටුව වටලා විනාශ කිරීමේ ජයග්‍රහණය වෙනුවෙනි. උඩරට රාජ්‍යයට අයත් සීමාවේ පිහිටි එකම ලන්දේසි බළකොටුව වූයේ මෙම කටුවන කොටුවය. අනෙක් සියලුම ලන්දේසි බළකොටු තිබුණේ පහත රටය. මේ නිසා කටුවන විනාශ කිරීම උඩරට මහ වාසලට අවශ්‍ය වී තිබුණත් එයට නිසි නායකත්වයක් ලබාදී සටන මෙහෙයවීමේ හැකියාවෙන් යුතු රණකාමී නිලමේවරුන් උඩරට හමුදාවේ සිටියේ නැත. මේ නිසා රාජසිංහ රජ්ජුරුවන් සිටියේ බලවත් කනගාටුවෙනි. සබරගමුවේ ප්‍රභූවරුන් පිරිසක් කටුවන කොටුව වටලා පහරදීමට තීරණය කරන්නේ මේ අතරවාරයේය.   


කටුවන සටන යනු සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන විය. මෙම සටනට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ මුත් රජතුමා සටනට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට රජතුමාගෙන් ලැබුණේ තම ආශිර්වාදයත් දිසාවේලා දෙදෙනකු සහ භට පිරිසකුත්ය. මෙම සටනට සබරගමු ප්‍රභූවරුන් යටතේ පන්දහස් පන්සියයක හමුදාවක් ද දකුණු පළාතෙන් තිස් දහසක හමුදාවක් ද සහභාගි වූ බව කියැවේ.   


දිගු සටනකින් පසු සටන ජයග්‍රාහීව අවසන් විය. එහි සිටි ලන්දේසි හමුදාව සමූල ඝාතනය කළ සබරගමු හමුදාව මාතර දිසාවේ පිහිටුවා තිබූ සෙසු ලන්දේසි බළකොටු වූ හක්මන, මාතර, මාර කඩේ ආදී මාතර සියලු ලන්දේසි බළකොටුවලටද පහර දුන්හ. ලන්දේසීන් දිවි බේරා ගත්තේ මාතර කොටුවට ඒකරාශිවීමෙනි.   

 

 

මෙම ජයග්‍රහණයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසි බළකොටු බිඳ දමා එම ප්‍රදේශ තම රාජ්‍යයට ඈඳා දුන් සබරගමු ප්‍රධානීන් දහතුන්දෙනා කන්ද උඩරට මහ වාසලට කැඳවා ගරු බුහුමන් දක්වා ගම්වරද පිරිනැමීය.   
ඔවුන්ට නිලමේවරුන් ලෙස උසස්වීම් ද පිරිනමා රාජකීය වරප්‍රසාද ද පිරිනැමීය. රාජකීය වරප්‍රසාද යනු රජකු ජීවත්වන ලෙසම ජීවත්වීම සඳහා නිලමේවරුන්ට ලබාදෙන අවසරයයි. රජු වෙනුවෙන් අයබදු අයකිරීම, නින්දගම් පාලනය කරමින් රජු වෙනුවෙන් අවශ්‍ය වේලාවට සටන් සඳහා සේනාංක කැඳවාගෙන ඒම, ජීවත්වීම සඳහා උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීම ඒ රාජකීය වරප්‍රසාද අතරට ඇතුළත් වෙයි.   


රජවාසලට ගිය නිලමෙලාට උණුසුම් පිළිගැනීමක් රජතුමාගෙන් ලැබිණි. එතෙක් සතුරා සමග සටන් කර හෙම්බත් වී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ්ජුරුවන් ලන්දේසි බළකොටුවක් අල්ලා ගත් නිලමෙලා පිළිගත්තේ උණුසුම් ලෙසය. මඩුවන්වෙල දිසාවේ තමන් කළ සටන විස්තර කරමින් රජතුමා නොමැතිව සටනට යෑම ගැන රජතුමාගේ සමාවද අයැද සිටියේය. රජතුමා සටනට ​ෙස්නාව එව්වා වුවත් රජු නොමැතිව සටන් කිරීම රාජ උදහසට ලක්විය හැකි හේතුවකි.   


පළමු වරට තමාගේ සංවිධානයකින් තොරව නිලමේවරුන් පිරිසක් එක්ව සතුරු බළකොටුවක් අල්ලාගෙන ඇත. එම බළකොටුවේ සිටි සියලු ඕලන්ද සතුරන්ද මරා දමා එහි සිංහල කොඩිය ඔසවා තිබේ. උඩරට රාජධානියට අයත් කටුවන නමැති ප‍්‍රත්‍යන්ත දේශය සතුරාගෙන් මුදාගෙන උඩරට කිරීටයට යළිත් ලබා දී තිබේ. මෙය නම් මහත් වීරකමකි. ‘‘හහ්.. හහ්.. තමුන් එහෙනම් තනියම සටනක් කළා.. ඈ..’’ රජතුමා රදළයන් දෙස බලා විමසුවේය.   
“මගේ රාජධානියේ කවුරු වුණත් කමක් නෑ සතුරු බළකොටු බිඳිනව නම් මං ගම්වර පුදනවා.. ඔව් ගම්වර පුදනවා..’’ රජතුමා හිස ඔසවා මහ හඬින් ගුගුළේය. ඒ හඬ අසහාය ය. කිසිදා කිසිවකුට යටත් නොවූ රණ හඬකි. කීර්ති ශ්‍රී රාජසිංහ යනු එසේ මෙසේ බලවතකු නොවේ. සතුරා බියෙන් මුසපත් කළ රණ ශූරයෙකි. නුඹලා වැනි වීරයෝ තමයි මගේ රාජ්‍යයට අවශ්‍ය.. මේ කළ වීර වික‍්‍රමාන්විත සටන වෙනුවෙන් මම අදම නුඹලා නිලමේවරුන් ලෙස ඔසවා තබනවා.. නුඹලාට ගම්වර පුදනවා.. මා මෙන්ම සතුටින් ජීවත්වීම සඳහා වලව්වක් සාදා ගැනීම සඳහා අවසරය දෙනවා..’’ රජතුමා එසේ කියද්දී රදළවරු ප්‍රීතියෙන් පිනා ගියහ.   


ඉන්පසු උදාවූයේ රජතුමාගේ ලාංඡනය එබ්බවූ තඹ උළු කැටය බැගින් රදළවරුන් අතර බෙදාදීමය. එය රදළකමේ සංකේතය ය. සුදු හුණු කපරාරු කළ වලව්වක් තනා ගැනීමටත් තඹ උළු කැටය මැදිකර උළුවලින් වහලය සෙවිලි කර ගැනීමටත් එමගින් අවසර ලැබේ. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවකුට උළු වහලයක හිමිකම නැත. ඒ මොහොතේ සිට නිලමේවරුන්ට එම හිමිකම ලැබේ. එවක් පටන් නිලමේවරු හැම දෙනා සබරගමුවේ ප‍්‍රභූවරු වූහ. ඔවුන්ට ගම්බිම්ද වලව් සාදා ගැනීමේ අවසරයද ලැබිණි. මඩුවන්වෙල, ඇමිටියගොඩ, කිරිඇල්ල ඇතුළු නිලමෙලා රජුගෙන් තෑගි ලැබුණු තඹ උළු කැට තබා තම වලව් පිහිටුවා ගත්හ. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් ද කටුවන ලන්දේසි බළකොටුවෙන් ගලවා ගෙන ආ ස්මාරක ඔබ්බවා වලව්වේ බිත්ති බැඳගත්තේය. කළුගල් පලා බිමට ඇතිරුවේ කිසිදා ගිලා නොබසින අංගණයක් වලව්වට උරුම කර දෙමිනි.   


“ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් තමයි මෙසේ රාජසිංහ රජ්ජුරුවන්ගෙන් රදළයකු ලෙස වරප්‍රසාද ලබා ගත්ත අපේ මීමුත්තා. මේ රාජ අනුග්‍රහයයත් සමග සබරගමු පළාතේ වලව් 13ක් ඉදිකර තිබෙනවා. මෙම වලව් සඳහා රාජකාරි වැඩ ලේඛන ද පවරා තිබෙන බව බ්‍රිතාන්‍යයන් යටතේ 1870 ලියවුණු කොමසාරිස් ලේඛණයේ සඳහන් වෙනවා.” අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සඳහන් කරයි. ඔහු ඇමටියගොඩ වලව්වේ වත්මන් හිමිකරුය.  


මෙම කටුවන සටන කෙරුණේ එවකට සංඝරාජ ධුරය දැරූ වැලිවිට අසරණසරණ සිරි සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුවය. වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සීයයක භික්ෂු පිරිසක් ද කටුවන සටන් බිමට ගියහ. මේ මහා සංඝරත්නයට උපහාරයක් ලෙස සටන් දිනූ ප්‍රභූවරු තමන්ට ලැබුණු නින්දගම් තුළ විහාරස්ථාන ද ඉදිකළහ. ඇමටියගොඩ නින්දගම තුළ ඇමිටියගොඩ විහාරයද මඩුවන්වෙල නින්දගම තුළ මඩුවන්වෙල විහාරය ද ඉදිකරන ලදී   

 

 

එක්දහස් පන්සිය පහේදී පළමු යුරෝපීය හමුදා සෙබළා ගාලු වෙරළට පය තැබූ  තැන් පටන් ලක්දිව පාලන රටාවද වෙනස් වන්නට පටන් ගත්තේය. ගැමියාගේ සිරිත් විරිත්ද රදළ පාලකයන්ගේ සිරිත් විරිත්ද අතරට අලුතෙන් ආ සුදු ජාතික පාලකයන්ගේ රටවල සිරිත් විරිත්ද මුසුවෙන්නට පටන් ගත්තේය. පැරණි ලක්දිව ඉඩම් හිමිකම පැවැතියේ දෙයියන් හෙවත් රාජ්‍ය පාලකයා අතය. රට වැසියන්ට තිබුණේ ‘දෙයියන්ගේ’ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ගැනීමේ හිමිකම පමණකි. ‘දෙයියන්’ හෙවත් රජුගේ රාජ්‍ය පාලන නීති රීති රට වැසියන් වෙත ගෙන යන නිලමේවරුන්ට ‘දෙයියන්ගෙන්’ ලැබුණු ඉඩම් කොටසක් විය. මේවා නම් කෙරුණේ නින්දගම් නමිනි. ජනයා පදිංචිව සිටි ගම්බිම් පිටින්ම නිලමේවරුන්ට නින්ද හිමිකම් කොට පවරා දීම සිදු විය. එදා පටන් මේ ගැමියන් රදළ නිලමේවරයාට සේවය කළ යුතු විය. නින්දගම් වාසීන්ට තමා පදිංචි ඉඩමේ හිමිකමක් තිබුණේ නැත. එහි සම්පූර්ණ හිමිකම රදළ හාම්පුතා සතු වූ අතර නින්දගම්වාසීන්ට තිබුණේ තමාගේ ඉහට සෙවනක් ලබාදීම වෙනුවෙන් තම රදළ හාම්පුතාට සේවය ලබාදීමය. නින්දගම් යායක ඒ ඒ කුල සඳහා වෙන වෙනම ඉඩම් යාය වෙන්ව තිබිණි. වළං සාදන අය සඳහා බඩහැල ගොඩැල්ලද යකඩ තලන්නන් සඳහා ආචාරි ගොඩැල්ලද ආදී වශයෙනි. තමා පදිංචිව සිටින ඉඩමේ වළක් කැපීමට පවා නින්දගම් හිමියාගෙන් අවසර ගැනීමට ඔවුනට සිදුවිය. 

දික්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදළයන්ගේ නේත‍්‍ර සංතර්පණය පිණිස නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගෙයි නැටුමට පැමිණිය යුතුය. ඒ සඳහා හිලව්වට ගොඩ මඩ ඉඩම් කට්ටියක් නින්දගමෙන් ලැබෙයි. එම ඉඩම් කට්ටියේ ගෙපැලක් හදාගත හැකිය. ගොඩ ඉඩමේ ගොඩ ගොවිතැන්ද මඩ ඉඩමේ මඩ ගොවිතැන්ද කළ හැකිය. එහෙත් පොළොවේ වෙනත් කිසිම ඉදිකිරීමක් හෝ පොළොව හෑරීමක් හෝ කළ නොහැකිය.   


දික්ගේ නටන්නේ මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන්ය. මාණික්‍ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත් වූහ. සබරගමුව මාණික්‍ය මහගේ ඉන් එක් පිරිසකි. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයටය. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනු නැටිය යුතුය. ඊළඟට එගොඩ කුට්ටමේ මාණික්‍ය මහගේලා ය. හුණුවල මාණික්‍ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්‍ය මහගේලා ඉතිරි පවුල් දෙකය. මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්‍රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු විය. ඉතා රූමත් මෙම කතුන් ඉලන්දාරින් පමණක් නොව මහල්ලන් පවා වශීකරගන්නා සුලු ය.   


ඇමිටියගොඩ සන්නසට අක්කර නවදහසක් අයත්ව තිබූ බව කියති. ඇමිටියගොඩ නින්දගමද පුරාණ රාජකාරි ක‍්‍රමයට අනුව හැඩ ගැසුණු ගංගොඩැලි ගණනාවකින් යුතු භූමි ප‍්‍රදේශයක් විය. වලව්වේ හිමිකාරයෝ අක්කර නව දහසක භුමියේ ජීවත් වන ගැමියන්ගේ ප‍්‍රධානියාය. ප‍්‍රධානියාට වඩා හිමිකාරයාය. ඔවුන්ගේ සියලු ආවාහ, විවාහ සිදු කෙරෙන්නේ වලව්වේ ප‍්‍රධානියාට පවසා ඔහුගේ අවසරය ලැබුණොතිනි.   


ගෙවල් කීපයක් ඇති තැන ගංගොඩය. වලව්වක් වටා මෙවැනි ගං ගොඩැලි කීපයක් තිබේ. මේ ගොඩැලිවල ජීවත් වන අය බණ්ඩර හාංදුරුවන්ගේත් වලව්වේ හාංදුරුවන්ගේ හා ඩිංගිරි අප්පොලාගේත් ප‍්‍රයෝජනයට තමාගේ රාජකාරි ඉටු කර දිය යුතුය. වලව්වේ හාංදුරුවන් කියන්නේ බණ්ඩර හාංදුරුවන්ගේ බිරිඳය. ඩිංගිරි අප්පෝ කියන්නේ වලව් හිමිකරුගේ නැගණියන් හෝ දියණියන්ය. මේ කාට කාටත් අවශ්‍ය දේ ඉටුකර දීම නින්දගම්වාසීන්ගේ රාජකාරිය ය. නින්දගමක් යනු කුඩා රාජ්‍යයකි. යටත් වැසියන් පිරිවරා ගෙන සිටින රජකමට සමානය.   


සබරගමුවේ බිහිවූ මුල්ම වලව් දහතුනේම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙයි. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිතව පවතී.   


දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. බාහිර පුද්ගලයන්ට එය නැරඹීම තහනම්ය. සමහර වලව්වල දික්ගෙයි නැටුම් කාමරය ලෙස භාවිත වූයේ සුදු තිරවලින් වට කළ කාමරයකි. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහාය.   


ප්‍රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස දික්ගෙයි නැටුම් නැටීම සිදුවිය. අද මෙන් ගුවන්විදුලි, රූපවාහිනී හෝ සංගීතමය වැඩසටහන් නොවූ එකල වලව්වලට පැමිණෙන අමුත්තන් සතුටු කළේ ගැමියන් ඒකරාශි කර පවත්වන උත්සව මගිනි. එයට සහභාගි වන ගැමියෝ වලව්වේ නින්දගම්වල ජීවත් වන අය වෙති.   


වලව්වට එන අමුත්තා බොහෝ විට තවත් ප්‍රභූවරයකු හෝ ආණ්ඩුවේ නිලධාරියෙකි. වලව්වේ හිමිකාරයා වන බණ්ඩර හාංදුරුවන් මෙවැනි රාජ්‍ය ප්‍රභූවරයකුගෙන් බලාපොරොත්තු වන වරප්‍රසාද ද තිබිය හැකිය. මේ නිසා රාජ්‍ය අමුත්තා සතුටු කළ හැකි ආකාරයේ නිවාඩුවක් තම වලව්වේදී ගත කිරීමට දීම බණ්ඩර හාංදුරුවන්ගේ අපේක්ෂාවය. මේ නිසා දඩමස් ඇතුළු රසමසවුලෙන් යුතු ආහාර ද කන පිනවන සංගීතය සහ නෙතු පිනවන නර්තනවලින් රාජ්‍ය අමුත්තා සතුටු කිරීමට නින්දගම් වලව් හිමි බණ්ඩර හාංදුරුවරු සැදී පැහැදී සිටියහ.   


කනට සංගීතය ද නෙතට නර්තනය ද සපයන්නේ නින්දගම් වාසී ජනයාය. ගීත ගැයීම සඳහා පිරිමි ද නර්තන කටයුතු සඳහා කාන්තාවන්ද සහභාගි වෙති. මෙය එක් අතකින් අද භාවිත වන ආකාරයේ පැදුරු සාජ්ජයක් ලෙස ද සැලකිය හැකිය. පළමුව පිරිමි සීප ද කියති. එයට තාලය අල්ලති. සමහරු පැල්කවි කියති. කාන්තාවන්ගේ නැටුම එන්නේ ඉන්පසුවය. මෙම කාන්තාවන්ගේ ඇඳුමකින් වැසී ඇත්තේ යටිකය පමණි. උඩුකයට ඇඳුමක් නැත.   


‘‘මෙම නැටුම තිබිල තියෙන්නේ මැද මිදුල අයිනේ කොටසක. සුදු රෙදිවලින් ආවරණය කරලයි මෙම කුටිය හදාගෙන තිබෙන්නේ. දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහාත් රජුන් හා රදළයන් සතුටු කිරීම සඳහාත් දික්ගේ නැටුම නටා තිබෙනවා. දෙවියන් වර්ණනා කරමින් තමයි දේවාලවලදී නටල තියෙන්නේ. අදටත් ඒ වචන යොදා කරන ගීතිකා දේවාලවල ගැයෙනවා. අපේ ඇමිටියගොඩ වලව්වේ ආදි මුතුන් මිත්තන් දික්ගේ නැටුම නැරඹුව කියා සංකේතවත් වන ගිරයක්  අදත් වලව්වේ තිබෙනවා’’ උදය ඇමිටියගොඩ මහතා සඳහන් කරයි.   

 


ගිරයේ තල​ දෙකේ ඇත්තේ උඩුකය නිරුවත් ස්ත්‍රියක සහ පුරුෂයකුගේ කැටයම් දෙකකි.   

 

 

 

(මතු සම්බන්ධයි)   

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රේමකීර්ති රණතුංග