නොපෙනෙන
ලෝකය

මෙම ලොව අප හැර වෙනත් බලවේගයන් හෝ භූතයින් වැනි කොටස් සිටින නමි මිනිසුන් වන අපට දකින්නට නොලැබෙන්නේ ඇයි? මේ ලෝකය තුළ නොපෙනෙන දේවල් අතරින් අඩුම තරමින් දහසකින් එකක්වත් අපට දකින්නට ලැබෙනවාද? වායුව ස්වභාවයෙන්ම පෘථිවියට ලැබුණු දායාදයක්. එය ස්වභාව ධර්මයේ ඉතාමත් බලගතු ආශිර්වාදයක්. වායුවට බොහෝ දේ විනාශ මුඛයට ඇද දැමීමට හැකි වුවත්, අප හට වායුව පියවි ඇසට දකින්නට පුළුවන්ද?


සුළඟේ ශබ්දය ඇසේ. ස්පර්ෂය මෙන්ම, ගැටෙන හඬ ද ඇසේ. වායුවෙන් සැදුම් ලත්, ශරීර, භූත බලවේගයන්ගේ ක්‍රියාකරකම් පට නොපෙනුණත් ශබ්දය, ගන්ධය, රසය දැනෙන අවස්ථා බොහෝය. උදාහරණයක් වශයෙන් ගලපා ගත හොත් දරුණු සුලි කුණාටුවකින් සෑදුණු වායු වළල්ල හෙවත් සුළිය අපගේ පියවි ඇසට නොපෙ​නෙනවා සේම, එහි ක්‍රියාවන්ගේ තරම පියවි ඇසට දකින්නට, අත් විඳීමට ලැබෙන බව නම් ඉතාම සත්‍ය කරුණකි. එම නිසා වායු ශරීර මවාගත් අත් භූතයින් දකින්නට නොලැබීම පුදුමවන්නට කාරණයක් නොවේ. නමුත් ඔවුන්ගේ ක්‍රියාවන්​ ඉතා විශ්මයජනකව සමාජගත වන බව නම් සැබෑය.


එසේ නම් පෙනෙන ලොවේ නොපෙනෙන තැන් මෙන්ම, පෙනෙන ලොවේ නොපෙනෙන අයද සිටින බව මනාව වටහා ගත යුතු කාරණයකි. නවීන විද්‍යාව අනුව සමාජගත වූ අත්භූත ක්‍රියා සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ ද ස්ථිර නිගමනයකට එළඹෙන්නට නොහැකි වී ඇත්තේ විද්‍යාව නමැති විෂය ඉතා පුළුල් පරාසයක විහිදි පැතිරී නොමැති බැවිනි.
අදින් වසර එකසිය විස්සකට පමණ පෙර නොයෙකුත් සිරිත් විරිත් වලින් පිරි විවිධ ආකාරයේ අන්ධ විශ්වාසයන් තුළ ජීවත් වූ කුලහීන ජනයාගෙන් පිරි ඉන්දියාවේ බරණැස් නුවරට මයිල කීපයකට දුරින් දුගී ජනයාගෙන් පිරි එක්ත්රා ගම්මානයක් පිහිටියේය. ඔවුන් බොහොම දුගී බවෙන් මිරිකී ජීවත් වූ අය වශයෙනුයි සමාජගත වූයේ. කුලියක් මලියක් කරගෙන ජීවත් වූ අය ද ගොඩ භෝග ගොවිතැනින් ජීවිතය ගැට ගසා ගත් අය ද සිටියේ ඉතාම කලාතුරකිනි.


මොවුන්ගෙන් සියයට අනූපහකට පමණ සාම්ප්‍රදායික නොවන අන්ධ විශ්වාසයන්ගෙන් තොර ලෝකයක් තිබුණේම නැත. තම තමන්ගේ පවුලේ හෝ අසල්වැසි අයෙකුගේ මරණයක් සිදුවුව හොත් එම මළ සිරුර චාරිත්‍රානුකූලව අාදාහන කටයුතු සිදුනොකළ හොත් මියගිය අයගේ මතු උපදින ආත්මභාවයට සුගතියක් නොවන බව එම වැසියන්ගේ විශ්වාසයක් පැවතිණි. එනම් යම් මෘත දේහයක් දර සෑයක ගින්නෙන් දවා අළු බවට පත් කළ යුතු යැයි පැවති විශ්වාසය කිසිසේත් බැහැර නොකරන ලදී.
මෙම ගම්මානයේ ඉතා දුගී පවුලක් බොහොම අසරණව තම ජීවිකාව ඉදිරියට ගෙන යමින් සිටියේය. ඔවුනගේ ළඟම ඥාතිවරයෙක් බොහොම අසනීප තත්ත්වයේ එම නිවසේම ජීවත්විය. මෙම ඥාතිවරයාගේ වයස අවුරුදු එකසිය පහක් ඉක්මවා තිබිණි. නිතරම අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා මෙම මහලු මිනිසා ගැන නොමඳ සෝදිසියකින් සිටීමට පවුලේ අයට සිදුවිය. නමුත් කාලයේ තාලයට අනුව එක් හිමිරිදි පාන්දරක මෙම මහලු ඥාතිවරයා මරු වැළඳගත්හ.


තම ඥාතිවරයාගේ මරණය නිසා නිවැසියෝ ඉතා බරපතළ ලෙස මානසික පීඩාවකට පත්වූහ. ඔහුගේ අාදාහන කටුයුතු සිදුකිරීමට ආර්ථික දුෂ්කරතාව පිළිබඳව අති මහත් පීඩනයක් ගෙනදුන්නේ එකල හින්දු ජාතිකයන්ගේ සංස්කෘතියට අනුව සිරිත වූයේ මළගිය ඥාතියකුගේ සිරුර ආදාහන කටයුතු සිදු කළ යුත්තේ ගඟක් අසල ඉවුරක නිසාවෙනි. ගංගාවක් පිහිටා තිබුණේ බරණැස නුවරට එපිටට වන්නට බැවින් ඔවුන්ට එහි යාම ඉතාම දුෂ්කර කාර්යයක් බවට වටහාගත් හෙයිනි.


අතේ මිටේ මිල මුදල් ද හිඟව පැවතිණි. අනෙක මෙම ඥාතිවරු වයෝවෘද්ධ අය වූහ. අනෙක් කාරණය වන්නේ බොහෝ කලකින් බරණැස නුවරට ගොස් තිබුණේ ද නැත. මළ සිරුර රැගෙන යා යුත්තේ දුම්රියෙන් බැවින් එය ද ඔවුන් හට අධික විය හියදම් සහිත ගමනක් වූ නිසා කුලීකරුවන් ලවා ආදාහන කටයුතු සිදු කිරීමට කතිකා කර ගත්තේය. අල්ලපු ගම්මානයේ ජීවත්වූ කුලීකරුවන් දෙදෙනෙකු ගෙන්වා අඩුම වියදමකට පොරොන්දු වී සියලු වැඩ කටයුතු ඔවුන් දෙදෙනා භාරයට පත්කරන ලදී. පොරොන්දු වූ මුදලින් හරි අඩක් ද ගෙවා දමන ලද අතර ආදාහන කටයුතු අවසන්වීමෙන් පසුව ඥාතියාගේ සොහොනේ දවාලූ අළු දෝතක් ඉතා සුරක්ෂිතව ලබාගෙන ආපසු ගෙන එන​ ලෙස අණයක් ද කරන ලදී. එයින් පසු ඉතිරි මුදල ගෙවා දමන බවටත්, පොරොන්දු ප්‍රකාරව සියලු කාරණා කටයුතු අවසන් කිරීමට ඔවුහු පොරොන්දුවක් දුන්නේය.
බරණැසට යාම පිණිස ඉතාම කෙටි මාර්ගයක් කුලීකරුවන් දෙදෙනා දත් හෙයින් ඒ ගැන පවුලේ ඥාතීන්ට සැල නොකිරීමට වගබලාගත් අතර මෘත දේහය දැව මැස්සක තබා ගැට ලෑමෙන් පසු පවුලේ ඥාතීන්ගේ අවසන් ගෞරවය මැද දේහය ඔසවා ගෙන ගමන් ආරම්භ කරන ලදී.


පසුදා පහන් වන විට ගං ඉවුරට යාම පිණිස කතිකා කර ගත් අතර දෙදෙනාට අතරමගදී රාත්‍රී අන්ධකාරයට මුහුණ දීමට සිදුවූ හෙයින් ඒ අසල මාර්ගයේ ගොවිතැන් කරන ලද හේනක් හමුවිය. මෙම නව දැලි හේනේ කුඩා පැල්පතක් දැක එහි රාත්‍රිය පහන් කරමු යැයි සිතා පැළ තුළට වැදී මෘත දේශය සහිත මැස්ස පැළ ඇතුළට වෙන්නට තබා, ගෙන ආ රාත්‍රී චපාතී ආහාරය ගෙන වෙහෙස මහන්සි නිසා මාරුවෙන් මාරුවට දේහය ආරක්ෂා කරමු යැයි කතිකා කරගෙන එකෙක් නින්දට වැටුණේය.
කෙමෙන් කෙමෙන් මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම අනෙකාද නොදැනුවත්වම නිදි කිරා වැටෙන්නට විය. ඒ අතරතුර මැදියම් රැය පසුවෙනවා සමගම අධික වේගයෙන් හමා ආ සුළඟක් නිසා දෙදෙනාම භය බිරහන්ත වී අවදි විය. ඔවුන්ට එවිටයි මෘත දේහය ගැන මතක් වූයේ. දේහය ඔවුන් අසල වුවත් දුටු දෙයින් හතර හන්දි හිරි වැටී ගත සීතල වූයේ දේහය මැස්සේ නොමැති හෙයිනි.


පරීක්ෂා කර බැලීය. යළි යළිත් සූක්ෂමව පරීක්ෂා කළේය. දේහය ගැට ගසන ලද බැමි සියල්ලම එලෙසම ඇත. නමුත් දේහය නැත. මිනී කන නපුරු සතෙක්වත් ඇදගෙන ගියාවත්ද? රාත්‍රියේ මුළු හේන පුරාම සොයාබැලීය. සඳ එළිය නිසා ඉතාම පැහැබරව වටපිට දිස්වීම ඔවුන්ට මහත් රැකුලක් විය. සතුන්ගේ අඩි සලකුණක්ද නැත. මළ සිරුර සෙවීම පසක තබා නැවත පැල වෙත විත් කල්පනා කරන්නට විය. ආදාහන කටයුතු සිදු කිරීමට නොහැකිව ප්‍රශ්නයක් පැන නැගුණහොත් තමුන්ගේ ඉතිරි කුලිය නොලැබෙන නිසා වෙනත් මෘත දේහයකින් ලබා ගත් මිනි අළු ස්වල්පයක් ලබාදීමට යෝජනා ස්ථිර කරගෙන නැවත නින්දට ගියෝය.


නොදැනුවත්වම නිදි දෙව්දුව වැළඳ ගත් අතර වටින් ගොඩින් එළිය වැටීගෙන එන විට වේගයෙන් හමා ආ තද සීතල සුළඟ නිසා අවදි විය.


නැවත මළ සිරුර සොයන අටියෙන් සූදානම් වන අතරතුරේ මැස්ස දෙස බැලීය. පුදුමයකි. මළ සිරැර තිබුණ ලෙසින්ම, එලෙසින්ම මැස්ස මත තිබිණි. සිරුරට අන්දවා තිබුණු ඇඳුම ද එලෙසමය. මෘත දේහයට කිසිම අලාභ හානියක් සිදු වී නොමැත. බැඳ දමා තිබු බැමි ද එලෙසම තිබිණි.


එහෙත් විස්මයජනක දෙයක් සිදු වී තිබුණි. මෙම ගෙපැල පිහිටි හේන් යාය පුරාම වපුරා තිබුණේ අබ ඇටය. ඒවා ඉතා සරුසාරව වැවී තිබිණි. කහ පාට චීත්ත රෙද්දක් මෙන් අබ මල් යාය පුරා පිපී ඇත. එම කහපාට අබ මල් මෘත දේහයේ යටි පතුල් වල ඇලී තිබීම ඉතා විස්මය දනවන්නක් වූයේය. මෙය ඔවුනට විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් බවට පරිවර්තනය විය.


එසේ නම් මධ්‍යම රාත්‍රියෙන් පසු සහ පාන්දර යාමයේ අතරතුර මළ සිරුර අබ යාය පුරා අවිදින්නට ගියාවත් ද? එසේත් නැති නම් මෙම ඥාතියා වයස අවුරුදු සියය ඉක්ම වූ අයෙක් නිසා යම් පරිවර්තනයක් සිදුවූයේද? කුලීකරුවන් දෙදෙනාගේ නින්ද සහ මෘත දේහයත් අතර හදවත තුළ බැඳී තිබුණ බිය නිසා ඇති වූ මායාවක්ද? කෙසේ වෙතත් මෙය විස්මය දනවන සත්‍ය සිදුවීමකි.


කුලියාපිටියේ
එස්. ප්‍රබෝධ සමරක්කොඩි