රත්නපුර-කතරගම පාරේ ගොඩකවෙල නගරයෙන් උතුරු දෙසට හැරී කි. මී. 7  ක් දුර ගමන්කළ විට හමුවන අම්මඩුව දේවාලය රා. ව. 1452 දී ආරම්භ කරන ලද්දකි.  රා. ව. 1410 සිට 1467 දක්වා පුරා වසර 57ක පමණ කාලයක් කෝට්ටේ රජ පැමිණි  හයවැනි ශ්‍රී පරාක‍්‍රමබාහු පාලන සමයෙ දී සබරගමු පළාතේ මෙම දේවාලය ඉදිව  තිබේ. තමාට දෙවියන් ඇදහීම සඳහා කෝවිලක් නොවූයෙන් භාරහාර ඔප්පු කිරීම හා  දේවාශිර්වාද ලබා ගැනීම සඳහා කොළොන්න අටකලන් දෙකෝරළයේ වැසියෝ ඒ සඳහා අලුත්  නුවර දේවාලයට යෑමට පුරුදුව සිටියහ.  
 
එමෙන්ම මෙම දෙකෝරළයේ ගම්වැසියන් සඳහා දේවාල භූමියෙහි වෙනම  වීදියක් වෙන්කර තිබී ඇත. ඔවුන් එම වීදියෙහි නවාතැන්ගෙන පුද පූජා පවත්වා  නැවත ආපසු පැමිණිය යුතු විය. මෙම අවදියේ අටකලන් කෝරළයේ මැද පත්තුවේ ඇමටියගොඩ  ගම තුළ පිහිටි “උරාබොඩකන්ද” නම් ස්ථානයේ පදිංචිව සිටි “රාමගිරි බ‍්‍රාහ්මණ  රාළ” දේවගිරි බ‍්‍රාහ්මණ රාල යන දෙදෙනා මෙම වන්දනා ගමනට මූලිකත්වය දී ඇත.  

  
රා.ව. 1452 වර්ෂයේ අලුත් නුවර පෙරහර පවත්නා අවදියේ කොළොන්න  අටකලන් දෙකෝරළයේ වැසියෝ ඉහත කී බ‍්‍රාහ්මණයන් දෙදෙනා සමඟ තම තමන්ට රිසි පුද  පඬුරු ගෙන අලුත්නුවර දේවාලය කරා මහ පෙරහරින් ගියහ. ඔවුන් එම ස්ථානයට ළඟා  වන විට වෙනදා ඔවුන් වෙනුවෙන් වෙන් කරන වීදියෙහි වෙනත් කණ්ඩායමක් පදිංචිව  සිටියහ. මේ අය වෙනුවෙන් වෙනත් වීදියක වෙන්කර නොතිබුණොත් එකල්හි පැවැති  චාරිත‍්‍ර අනුව පුද පඬුරු ගෙන ආපසු ඒමට සිදුවිය.   


මෙසේ ගිය මඟ ඔස්සේ කහටපිටි තොටින් එගොඩව ආපසු එන අතර එක්තරා  සමතලා භූමි භාගයක් සහ ඒ අසල ඇළක පිරිසුදු වතුර පිරී තිබෙනු දැක මෙම  ස්ථානයෙහි මෙම පිරිස රාත්‍රී නවාතැන් ගත්හ. ගෙනගිය ආහාර මෙහිදී පිස අනුභව  කර රාත්‍රිය ගත කළ අතර නායක බ‍්‍රාහ්මණයන් දෙදෙනා එම සමතලා භූමිය මැද කපක්  සිටුවා ගෙන ගිය පුද පඬුරු සියල්ල එහි ගැට ගසා රාත්‍රිය පහන් වනතුරු තමන්ට  සිදුවූ අභාග්‍ය සම්පන්න සිද්ධිය කතරගම දෙවියන්ට පවසා යාච්ඤා කර තමන්ට  නිදහසේ දෙවියන් යැදීම සඳහා දෙවියන් සතු කිසියම් වස්තුවක් (ප‍්‍ූජා  භාණ්ඩයක්) තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.   


පසුදා උදෑසන පුද පඬුරු එලෙසම තිබියදී එම ස්ථානයෙන් සියල්ලම  විසිර ගියහ.

බ‍්‍රාහ්මණ යුවළ ඌරාබොඩ කන්දට පැමිණියහ. තම නිවෙස්වලට පැමිණි  බ‍්‍රාහ්මණ දෙපළ පසු දින තම නිවෙස්වල නිදා සිටිනුයේ රාමගිරි බ‍්‍රාහ්මණ රාළ  වෙත කිසියම් අයකු සිහිනයෙන් පැමිණ ඔබ ගමන් කළ මාර්ගය අසළ දෙල් ගසකට  දේවාභරණයක් පහළවී ඇති බවත් එය රැගෙන තමන්ට රිසි පරිදි පුද පූජා පවත්වන  ලෙසත් පවසා නොපෙනී ගියේය.   


පසුදා උදෑසන නින්දෙන් අවදිව මෙම සිද්ධිය දේවගිරි බ‍්‍රාහ්මණ රාළට පවසා ​ෙම් ස්ථානය සෙවීම සඳහා ආ මඟ දෙපස පරීක්ෂා කරමින් ගමන් කළ විට  එක්තරා කවුඩුබාලයකු (එනම් කුරුල්ලකු) උඩබාකෝ උඩබාකෝ යනුවෙන් හඬනු ඇසී  කිමෙක්දැයි උඩ බලනුයේ දෙල්ගස මුදුණක අත්තක රන් ඊතලයක් දැවටී තිබෙනු දැක  වහාම එම ගස මුලට ගොස් ගස මුල සිට දෙවියන්ට යාච්ඤා කළ විට එම රන් ඊතලය  රාමගිරි බ‍්‍රාහ්මණරාලගේ ජටාව මතට වැඩම කර තිබේ.   


මෙම අවස්ථාව වනවිට මෙම ස්ථානයට පැමිණි වෙංගා නම් ද්‍රවිඩ  ජාතිකයා ලවා වත්මන් දෙවොල් බිම පිහිටි ස්ථානයේ මල් පැලක් කර දේවාභරණ එහි  තැන්පත් කළහ.   


පසු පෙර දිනක කපක් සිටුවා එහි පුදන ලද පුද පඬුරු මෙම ස්ථානයට  ගෙන ඒම සඳහා එම ස්ථානයට ගියහ. මෙම අවස්ථාව වන විට සිටවූ තුඹය දෙපස පැළවූ  බැබිල ගස් දෙකක් තුඹස මුල එකට පැටලී තිබෙනු දැක අතින් ඇද දැමීමට උත්සාහකර  වූයේ එහි උන් කිසිවෙකුටත් එසේ කළ නොහැකි වූ බැවින් එම ගස් දෙක මුලින්  උදුරාගෙන පුද පඬුරු ද රැගෙන දෙවොල කරා පැමිණියහ.   


මෙලෙස විසිතුරු මාලිගා කර   
දෙවි විමන පරයා ගෙනේ  

 
සතොස පෙර තිබූ පඬුරු ගෙනෙනට සෙනඟ රැස්කර හරිමිනේ   
නොසල ගිය සෙන් දුටුව දැවටුණු බැවිල ගස් දෙක අදිමිනේ   
එලෙස බිඳිනට බැරි උණා දැක පඬුරු සහ වැඩමව මිනේ   


ඉක්බිති පුද පඬුරුවලින් දෙවියන් පුදා බැවිල ගස් දෙක අං ඇදීමට  ගන්නා අං දෙකක් මෙන් යොදාගෙන දෙවියන් උදෙසා අං ඇදීමේ ක්‍රීඩාව පවත්වා ඇත.  

  
සත් දිනක් නීරෝ හිමි කෙළි කල සත් දිනක් අං කෙළිමිනේ   
සත් දිනක් නීරෝ හිමි නිමවා රන් පනම් පුද කරමිනේ   
සත් දිනක් අං කෙළිය පිණිසයි අං මඬුව නම පැවතුණේ   
සෙත් දිගාසිරි ආ වඩාලා මඟුල් පෙරහර කරමිනේ  
 


දේවාලයෙහි ඇති රන් ආභරණයෙහි ආරක්ෂාව ගැන සිතා එවකට ප‍්‍රාන්ත  පාලක ධුරය හෙබවූ අගලගමුවේ කුරුප්පු මුදියන්සේ නම් රටේ රාළ සමඟ එක්ව කෝට්ටේ  ශ්‍රී පරාක‍්‍රමබාහු රජතුමා බැහැදැක මෙම ආශිර්වාදාත්මක සිද්ධිය සැළකර තිබේ.  මෙම අවධිය IV වැනි පරාක‍්‍රමබාහු රාජ සමයයි. මේ ගැන සතුට පළකර රජතුමා ගමට  සන්නසක් සළු හතරක් හා ඇතෙක් තෑගි කර දෙදෙනා ආපසු එවූහ.   


මේ සිද්ධිය කුඩ පතක මෙසේ සඳහන් කර තිබේ.   


ශ්‍රී පරාක‍්‍රම බාහු නරේන්ද්‍ර සීහ ස්වාමි දරුවන්ගෙන් ලැබුණේ   
ලුද්දලු අම්මඩු පුරවර සමගින් ඇතෙක් සමග සළුවක් ලැබුණේ   
සිද්ධ කතරගම දෙවිඳුගේ අම්මඩු දෙවොලට ඔබිනා ලෙසිනේ   
ඇද්ද මේ මුළු රට කොතැනකවත් ඔය වස්ත‍්‍ර රුසිරි දෙවිපුර ලෙසිනේ   


පෙර දිනක කපක් සිටුවා පුද පූජා පැවැත් වූ මිටියාවතේ කොලොන්න  අටකලන් දෙකෝරලයේ වැසියන් එක් රැස් කර මළකඳුරේ ආර හරස්කර ඇතුගල් අමුණ බැඳ  වේල්ල කපා දියවර හරවා වී තිස් අමුණක වපසරිය කුඹුරු අස්සද්දා දේවාලයේ ඒ ඒ  තනතුරු ඉසිලු අයට වෙන වෙනම ප‍්‍රදානයන් කර තිබේ.   


දේවාලයට දෙන ලද සියලුම දිමනාවලට කුඩපත් තල්පත් හා සිට්ටු දී තිබේ. ඒවා මේ දක්වා සුරක්ෂිතව පවතී. ඉන් එක් පැවරීමක් මෙසේය.   


ශත වර්ෂ එක්වා දහස් හත්සිය දෙකට (රා.ව 1780) පැමිණ මෙම  වර්ෂයෙහි නවම් මස අවශතවක නම් තිථිය ලත් බදාදා මෙදවස සපරගමු දිශාවෙන්  අටකලන් කෝරලය බද මැද පත්තුවේ අම්මඩු දේවාලයට අඩුත්තු කපු නිලයේ මුල් බීජ  සතරමුණේ වපසරිය ද මීට අඩුත්තු ගෙවතු ගහකොළ ගොඩවල් පිටත් ඇතුළුව මෙම දේවාලයේ  කපුනිලයේ මංචනායක අප්පුට සේන්දු කර මේ සිට්ටුව දුන් සේදිත් ඒ වගත් මෙසේම  ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ දළදා මන්දිරයේ දියවඩන නිලමේ ද සබරගමු දිශාව සහ  මහනුවර මහ අධිකාරම් නිලමේ කරවන අංගම්මන දිවාකර රාජපක්ෂ වාසල මුදියන්සේ  රාළහාමි වම්හ.   


 

තවත් පැවරීමක් මෙසේද සඳහන් වෙයි:

  
ශක වර්ෂ එක්වා දහස් සත්සිය තුනට පැමිණි මෙම වර්ෂයෙහි මැදින්  දින පුර පෑලවිය නම් තිථියලත් බ‍්‍රහස්පතින්දා මෙම දින සපරගමු දිසාවෙන්  අටකලන් කෝරලේ බද අම්මඩු දේවාලේ වීදියේ කපු නිලේත් ඊට අඩුත්තු ගොඩමඩත්  ඇතුළුව කෝම්පිටියේ කපුරාලට සේන්දුකර මේ සිට්ටුව දුන්සේදිත් ඒ වගත් මෙසේම  යටිනුවර රට අතපත්තුව ද, දොඩන්වෙල දේවාලයේ බස්නායක නිලමේ ද, මහ අරමුදලේ  වන්නකු නිලමේ ද, හලුවඩන නිලමේ ද, ගිලීමලේ බඹරබොටුව ඇතුළුව සපරගමු දිශාව  කරවන දොඩන්වෙල දිසා රාලහාමි වම්හ.  

 
දේවාල පෙරහර:   


කුඹල් පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්තය. පෙරහර පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේය.   


කතරගම, සබරගමු මහ සමන් හා මහනුවර දළදා පෙරහර අවසන් වූ පසු  අමාවක ගිය පෑල විය දිනක කප් සිටුවීමෙන් පසු පෙරහර ආරම්භ වේ. මහ පෙරහැර දින 5  අවසන් වූ පසු දිය කැපීමේ චාරිත‍්‍ර සිදු කෙරේ. අවසන් නැටුම වන කොටිකොළඹ  නිම කොට මහ පෙරහරින් දිය කැපීමේ ස්ථානයට ළඟාවේ. සුදු රෙදිවලින් ආවරණය කරන  ලද ජලාශයේ දේවාභරණයෙන් මායිම් කරන ලද ස්ථානයෙන් කෙණ්ඩියට පැන්ගෙන දේවාලය කර  වැඩම කරගෙන එනු ලැබේ. මෙම ජලය ඊළඟ පෙරහර දක්වා ආරක්ෂා කෙරේ. ක්ෂණික රෝග  සඳහා මෙම ශුද්ධ වූ ජලය ඖෂධ වශයෙන් භාවිත කෙරේ. දිය කැපීම කවරන ප‍්‍රධාන කපු  මහතා පළමුව උදා හිරු දෙස ද, දෙවනුව ගරායක් මූණ දෙස ද බලා වස් දොස්දුරකරගත  යුතුය. අනතුරුව එම ගරායක් මූණ බැඳි තැනැත්තා ගරායක් නැටුම අවසන් කළ පසු  පෙරහරේ සියලු කටයුතු අවසන් වේ. දේවාලයේ මංගල උත්සව 4 කි.   


අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍ය, ඉල්මහකවිචිය, ඇසළ මංගල්‍යය යනුවෙනි.

  
අලුත් සහල් මංගල්‍යය පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන මාසවලින්  (ගොයම් පැසෙන කාලය එක්ක) සිදු කෙරේ. ගොවියන් කුඹුරු පැසී ඇති බව දැන් වූ  පසු සුභ තැනකින් රන්දෝලිය සහිතව පෙරහැර පිටත්ව අඳුර වැටෙන විට හුණුවල  වෙල්යාය මධ්‍යයේ ඉදිකරන ලද තාවකාලික වීදියට ළඟාවේ. මෙය වීදි සැණකෙළියකට සමාන  කළ හැකිය. බොල්තුබේ දේවාලයෙන්ද මෙම උත්සවය සඳහා මෙම ස්ථානයට පැමිණේ. පහන්  වනතුරු සැණකෙළිය කර දෙවියන් සඳහා වෙන් කර ඇති කරල් මහ පෙරහරින් දේවාලයට  වැඩම කෙරේ. ඉන්පසු එවේලේම වී බවට හරවා කොටා සහල් කරමින් දේව පූජාව පවත්වනු  ලැබේ. පූජාවට ගත් ආහාර ගත් ආහාර හා ඉතිරි ආහාර කවලම් කර පෙරහරට සහභාගිවූවත්  අතර බෙදා දීමෙන් පසු මංගල්‍යය අවසන් වේ.

  
නානුමර මංගල්‍යය යනු දේවාභරණා දියකපා වැඩම කරවන ලද ශුද්ධ වූ  ජලයෙන් ධෝවනය කර පිරිසිදු කිරීමය. මෙසේ ධෝවනය කරන ලද ශුද්ධ ජලය පුෂ්ප දෝරුව  නම් වූ විශේෂ භාජනයකට එක් රැස් කෙරේ. මෙම ශුද්ධ ජලය ක්ෂණික රෝග සඳහා  ප‍්‍රථමාධාර වශයෙන් භාවිත කෙරේ.

  
ඉතිරි ජලය පෙරහරේ ගිය උදවියට සහ බැතිමතුන්ට බත්ගොටු දීමේදී  සියල්ලන් අතර බෙදී යනු පිණිස දිය සහිත පුෂ්ප දෝරුවට අතදමා ගොටුවලට බත්  බෙදීමට ගනු ලැබේ.   


ඉල්මහ කවිච්චිය යනු වසරක් අවසානවීම නිමිත්තෙන් පවත්වන  මංගල්‍යයකි. ඇසළ මංගල්‍යය දින 15 ක් පැවැත්වෙන අතර අන් සියල්ල දින 03 ක්  පමණ පැවැත් වේ. අම්මඩුව දේවාල රාජකාරි පංගු නීල 26 ක් මේ දක්වා  ක‍්‍රියාත්මක වේ. දේවාලයේ රාජකාරිකර මෙම ඉඩම් භුක්ති විඳිය හැකිය.  විකුණන්නේ නම් මෙම රාජකාරියට යටත්ව එය කළ යුතුය. පූර්ව අනුමැතිය අවශ්‍යය.     


ලේඛනගතව ඇති රාජකාරි පංගු 26 ට අයත් කාර්යයන් සියල්ල එක්තැන්  වූ විට අලංකාර පෙරහරක් නිර්මාණය වේ. එයින් දේවාලයේ ආරක්ෂාව ද නඩත්තුව ද  සිදුවේ.   


ස්වර්ණ කතරගම දෙවිඳුගේ   
අම්මඩු දේවාලෙට ඔබිනා ලෙසිනේ   
කර්ග මුණ්ඩ ගිරි පර්වත   
විලසින් එගජතෙකු ඔප්පු වුණේ   
අර්ණ රඹ පැල සේම ඵදළ   
දෙක සම්මුඛ සුරිඳුට ඔප්පු වුණේ   
වර්ණ රුසිරු අම්මඩු දේවාලේ   
දික්ගෙඩි දොරකඩ දිලෙන මෙනේ  

 
මේ වන විට බස්නායක නිළමේවරු 23 දෙනකුගේ නම් සඳහන් ලේඛන දේවාලය  සතුව පවතී. දේවාලයේ ආරම්භයේ සිට මේ දක්වා පැරණි බස්නායක නිලමේවරු සියලූම  රාජකාරි පංගුකරුවන් සමඟ දැඩි භක්තියකින් යුතුව පෙරහර මංගල්‍යයන් සිදුකර  සියලු රටවැසියන්ට දේවාශිර්වාද ලබාදීමට කටයුතු කර තිබේ.