සලරුවක කතාව

 

 

 

“වරෙන්තුවක්!”   
“ලංකාවට යන ගුවන් බලපත්‍ර තහනම්”   
“ලක්‍ෂ හතරක ආදායම් බදු ගෙවන්න තියෙනවා”   
මීට වසර 61 එපිට එනම් 1958 සැප්තැම්බර් 21 වෙනිදා “ඉරිදා ලංකාදීප” පුවත්පතේ මුල් පිටුවෙන් අනාවරණය වූ පුවතකි මේ. එහි ශිර්ෂ පාඨය වූයේ.   
“රුක්මණී ගේ හැංගිමුත්තන් හෙළි කරයි”   
මේ ප්‍රවෘත්තිය “ඉරිදා ලංකාදීප” පත්‍රයට නිසැකවම ලියා ඇත්තේ කරුණාසේන ජයලත් නම් පත්‍ර කලාවේදියා යැයි අනුමාන කළ හැකිය. 1955 වසරේ රුක්මණී දේවිය ජීවිත කතාව “ඉරිදා ලංකාදීප”යට සතිපතා ලියුවේ ජයලත්ය.   

 


“දෛව යෝගය” චිත්‍රපටයේ වැඩ කරන අතර මඳ විවේකයක් සඳහා ලංකාවට එන බලාපොරොත්තුවෙන් ඉන්දියාවේ පූනා නගරයේ සිට මදුරාසියට පැමිණි “ලංකාවේ ගීත කෝකිලාව හා නිළි රැජිණ” හා “ලංකාවේ විකට රජා” නමින් ප්‍රකටව සිටි එඩී ජයමාන්නටත්, රුක්මණී දේවිත් මෙම ත්‍රාසජනක නියෝගත් සමඟම ඔවුන් පසු පස්සේ ආ පොලීසියත් සමඟ “හැංඟිමුත්තන්” කෙළියක සිටි රුක්මණී එඩී එහි තනිකර, තනියම ලංකාවට පසුගිය දා (20) පැමිණි රුක්මණී දේවි “ඉරිදා ලංකාදීප”යට පැසූ බව 1958 සැප්තැම්බර් 21 පළ වී තිබුණී.   


මෙසේ පොලීසිය සමඟ එඩී හා රුක්මණී හැංගිමුත්තන් කෙළීමට ප්‍රථම ඉන්දියාවේ බොම්බායි නගරයේදී සැලකිලි පිට සැලකිලි ලැබී ඇති බවද වාර්තා වී තිබුණි.   


“අපේ අග්‍ර නිළියට බොම්බායෙන් සම්මාන” නම් වාර්තාව “කලා” සිනමා සඟරාවේ පළ වී තිබුණේ 1958 ජූලි 10 වෙනිදාය. ඉන්දියවේ පැවති ජනප්‍රිය සිනමා සඟරාව වන Film fare හි 1958 ජූලි කලාපයේ රුක්මණී ගේ පිට කවරයක් හා ඇතුළත් අලුත් විශේෂාංගයක් වූ "My likes and Dislikes" (“මා කැමති හා අකමැති”) තුළින් මුල්වරට විදේශ රටක නිළියක ගෞරව දක්වා ඇත්තේ රුක්මණීට පමණක් බව ඇය මට කියා තිබුණි. ශෂිකලා නම් ඉන්දියානු නිළිය රුක්මණීට හමුවී ඇත්තේ බොම්බායේ සාරි සාප්පුවකදීය.   
“ඔබ ලංකාවේ නිළියක් නේද?’ මෙවර Film fare සඟරාවේ පිටකවරයේ සිටියේ ඔබ ද?’‘   


“සත්තකින්ම ඔව්. ඔබත් මේ රටේ ජනප්‍රියම නිළියක් නේද?”   


රුක්මණී සිප ගත් විට එඩී විහිළුවක් ද කර ඇත. බොම්බායේ බොහෝ නළු නිළියන්, අධ්‍යක්‍ෂවරුන් හමුවීමේ අවස්ථාව එඩීට හා රුක්මණීට හිමි වී ඇති අතර භාරතයේ දක්‍ෂ නළුවෙකු වූ අශෝක් කුමාර් හා බිරිඳ ශෝභා එඩී - රුක්මණී වෙනුවෙන් විශේෂ ප්‍රියසාදයක් පැවැත් වූහ.   


තමාගේ ප්‍රියතම නිළිය වූ නර්ගීස්ගෙන් ලැබුණු භෝජන සංග්‍රහ රුක්මණී සලකා ඇත්තේ ජීවිතයේ දුර්ලභ අවස්ථාවක් ලෙසය. රුක්මණී මුල් යුගයේ චිත්‍රපටවල රඟපෑමේ දී නර්ගීස් රඟ පෑ හින්දි චිත්‍රපටවල දී අඳින ලද හැට්ට මෝස්තර හා විලාසිතාවල ආභාෂය නොමඳ ලබා ඇති බව පෙනේ. රුක්මණී වඩාත් ප්‍රියකරන තාත්වික පෙම්වතා හා ප්‍රියතම නළුවා දිලිප් කුමාර් දැකීමේ දුර්ලභ අවස්ථාව මෙහි දී ලැබී ඇත්තේය.   


රාජ් කෆූර් විසින් තම R.K. චිත්‍රාගාර විශේෂ කුටියකට එඩී හා රුක්මණී කැඳවා ගෙන මේ කුටිය නර්ගීස් විසින් තමාගේ පෞද්ගලික නිවාසයක් වශයෙන් ගොඩනංවන ලද්දකි. මේ කුටියට ගිය එඩී හා රුක්මණීව රාජ් කෆූර් විශේෂ කාමරයකට ගෙන ගොස් ඇත. පුදුමයකි! එහි වූ දිලිප් කුමාර්ට රාජ් විසින් එඩී හා රුක්මණී හඳුන්වා දෙන ලදී.   


“දිලිප් කොහොමද ජීවිතේ....’‘ රුක්මණී ඇසුවාය.   


එදා දිලිප් සිටිය රැවුල දින කිහිපයකින් නොකපා සිටි “දේව්දාස්” චිත්‍රපටයේ දේවදාස් ලෙසය රුක්මණී දැක ඇත්තේ.   


“මා හද බිඳුණු දුක්මුසු පෙම්වතෙක්” බිඳුණු හදින් දිලිප් කුමාර් කී පිළිතුරට රුක්මණීගේ හදවත ගොළු වූ බවක් ඇය “කලා” සඟරාවට කියා තිබුණි. මේ සංග්‍රහයට දේව් ආනන්ද හා කල්පනා කර්ටික් එක් වූ බව සඳහන් විය.   


“මම සිංහල චිත්‍රපටයක රඟපාන බව පවසා මුල් වරට දකුණු ඉන්දියානු චිත්‍රාගාරවලින් මිදී උතුරු ඉන්දියාවේ ප්‍රභාත් චිත්‍රාගාරයේ තැනෙන “දෛවයෝගය” චිත්‍රපටයේ තොරතුරු මම අශෝක් කුමාර්ට කී විට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.   


“ඔබ ඉක්මනට හින්දි භාෂාව ඉගෙන ගන්න. ඔබට හින්දි චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලබා දෙන්නම්.”   


මම අශෝක්ට ස්තූතිය පළ කළා.” රුක්මණී පවසා සිටියාය.   


“දෛවයෝගය” චිත්‍රපටයේ රඟපෑමට ගිය එඩීට හා රුක්මණීට ඉන්දියාවේ දී අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. ඉන්දියානු රජයේ ආදායම් බදු පනත අනුව විදේශිකයකු ඒ රටට ගොස් සිදු කරන වියදම් සඳහා ආණ්ඩුවට බද්දක් ගෙවිය යුතුය. ලංකාවේ වැඩිම වැටුප් ලබන චිත්‍රපට යුවළ ලෙස ද චිත්‍රපට නිෂ්පාදකයන් දෙදෙනෙකු ලෙසද එඩී හා රුක්මණී යුවළ ප්‍රකට වූහ.   


1946 දී “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටයේ සිට චිත්‍රපට 15ක් සමග ඉන්දියාවට ගොස් ඒ රටේ සිංහල චිත්‍රපට නිපදවීමත්, රඟපෑමත්, මුදල් වියදම් කළහ. ආදායම් බදු නොගෙවීම හේතුව නිසා මීට පෙර 1953 වසරේ “කැලෑ හඳ” චිත්‍රපටයේ නෙගටිව් පිටපත මදුරාසි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණි. මේ නිසා සිංහල සිනමා වංශ කතාවේ එක් මං සලකණක් වූ “කැලෑ හද” නෙගටිව් පටය අපට අහිමි විය.   


එඩී හා රුක්මණීට බොම්බායේදී ලැබූ සැලකිලි පුවත්පත්වල පළ වූ ඡායාරූප, විස්තර ද, විශේෂයෙන් Film fare සඟරාවේ හා Screen පත්‍රවල පළවූ මුල් පිටුවේ පින්තූර නිසා මේ දෙදෙනා කොටුකර ගැනීමට නවදිල්ලියේ ආදායම් බදු නිලධාරිහු බොම්බායට පැමිණියහ.   


මෙය ආරංචි වූ එඩී හා රුක්මණී තැනින් තැනට පලා යමින් අමුතු රඟපෑමක යෙදුණහ. බොම්බායෙන් මදුරාසියටත්, එතැනින් පූනා නගරයටත් පැමිණියහ. සැඟවී සිටිය ද එඩීට හා රුක්මණීට ඉන්දියාවෙන් පිටව යාමට නුපුළුවන් වන තරමට නීති දැඩි විය. ගුවන් තොටුපළ, වරාය හා දුම්රිය ස්ථානවලින් පිට නොවීමට නවදිල්ලි රජය අදාළ අංශවලට උපදෙස් දී තිබුණි.   


1958 අගෝස්තු 24 දා “ඉරිදා ලංකාදීප” පත්‍රයේ මුල් පිටුවෙන් මුල්වරට එඩී සහ රුක්මණීගේ මේ අකරතැබ්බය මෙසේ වාර්තා වී තිබුණි.   


“එඪී - රුක්මණී බදු අවුලකට ලංකා කොමසාරිස් මැදිවේ” විදෙස් අංශයෙන් උපදෙස් කළ හැකි සියල්ල කෙරෙයි”   

 

එඩී හා රුක්මණී, දිලිප් කුමාර් සමඟ  

 

 


නව දිල්ලියේ ලංකා මහ කොමසාරිස් රිචඞ් අලුවිහාරේ මහතාට විශේෂ නියෝගයක් දුන් විදේශ කටයුතු අමාත්‍යාංශය එඩී සහ රුක්මණීව ලංකාවට පැමිණීමට ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස දන්වා සිටියෝය.”   


එඩීට හා රුක්මණීට වූ මේ අකරතැබ්බ ගැන “ඉරිදා ලංකාදීප” පත්‍රයෙන් දුටු මහජනතාවගෙන් විදුලි පුවත්පත්, ටෙලිෆෝන් පණිවුඩ, ලියුම් අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනයාක මහතාට ගලා එන්නට වූහ. අගමැති වහා ක්‍රියාත්මක වී ඇත. අගමැති විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් ගුණසේන ද සොයිසා උපදෙස් දෙමින් කියා සිට ඇත්තේ මේ පිළිබඳව කළ හැකි සියලු දේ නොපමාව කළ යුතු බවය.   


මදුරාසි නුවර රොයිටර් වාර්තාකරුවකුට එඩී ජයමාන්න පවසා තිබුණේ දැනට තිබෙන නීති රීති අනුව ලංකාවෙන් කිසි මුදලක් ගෙන්වා ගත නොහැකි තමාත්, බිරිඳත් අතරමංව ඇති බවය. අය විය යුතු යයි කියන රුපියල් ලක්ෂ හතරක් ගෙවිය යුත්තේ තමා හා බිරිඳ නොව චිත්‍රපට නිපද වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න චිත්‍රපට සමාගම බව රොයිටර් වාර්තාකරුට විස්තර කළේය. මැද කොළඹ තුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්.ඇස්. තේමිස් මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිට ඇත්තේ එඩී සහ රුක්මණීට ඉක්මන් පිළිසරණක් ලබාදෙන ලෙසය.   


රුක්මණී පොලීසිය සමඟ කළ හැංගිමුත්තන් කෙළිය අවසන්වී ඇත්තේ මහත් දුෂ්කරතාවන් මැදය. නීතිඥයන් හමුවී වරෙන්තු අස්කරවා ගත් පසු රුක්මණී දේවි, එඩි තනිකර තනිවම ලංකාවට පැමිණි අයුරු “ඉරිදා ලංකාදීප” වාර්තාකරුට මෙසේ විස්තර කොට ඇත. 

 
රුක්මණී කියන මේ කතාව ඇය රඟ පෑ චිත්‍රපටයක රඟපෑමටත් වඩා ත්‍රාසජනකය. එඩී නඩුවේ වැඩට මදුරාසියට පැමිණී අතර රුක්මණී තම ආයා වූ මේරිත් සමඟ බොම්බායට ගොස් එහි සිටින නෑයෙකුගේ ගෙදර නතරව ඇත. කෙසේ හෝ රුක්මණීගේ හැංගිමුත්තන් කෙළියෙන් ආදායම් බදු නිලධාරීන්ගෙන් හා පොලිසියෙන් ගැලවී ලංකාවට ඒමට හැකි වී ඇත. මේ බව ඇය “ඉරිදා ලංකාදීප”යට විස්තර කර ඇත්තේ මෙසේය.   


“මා නිදහස වුවද මටත්, මේරිටත් ලංකාවට එන්නට සිදු වූයේ එඩී, ඒ තත්ත්වයේම සිටියදීය. මට මෙවර එන්නට තිබුණේ නිදහස ලැබ කූඩුවකින් පිටව යන කිරිල්ලියක මෙන් ප්‍රීතියෙන් වුවද මෙවැනි සංවේග ජනක පැත්තක් ද ඇත. අවුරුද්දට හතර පස් වර බැගින් ඉන්දියාවේ සිට එහා මෙහා ගිය මා එඩී නැතිව පැමිණි ප්‍රථම ගමන මෙය වේ. බලාපොරොත්තු නැති තත්ත්වයක එඩී නතර කර එන්නට ලැබීම මහත්ම සංවේගජනක සිද්ධියකි.”   


තමාත්, එඩීට වූ අකරතැබ්බය ගැන ඍජුව ඉදිරිපත් වීම ගැන රුක්මණී “ඉරිදා ලංකාදීප” කර්තෘ මණ්ඩලයට ස්තූති කොට තිබුණේ මෙසේය.   


“ඔබ පත්‍රය මෙදා කළේ “වදකහ කතාව” පළ කිරීමටත් වඩා හපන් වැඩක්, අපේ නඩුව පිළිබඳ පුවත “ඉරිදා ලංකාදීප” පත්‍රයේ පළ කළාට පසු ඉන්දියාවේත් මහත් ආන්දෝලනයක් ඇති විය. එරට හැම හින්දි, ඉංගිරිසි ආදී පුවත්පතකම අපේ පින්තූර සමඟ මේ පුවත පළ වුණි. දවස් ගණනක් යනතුරු බොම්බායේ චිත්‍රපට ලෝකයේ කතාව වූයේ අප ගැනයි” ද රුක්මණී පවසා තිබුණි.   


රුක්මණී ලංකාවට පැමිණ සතියකට පසු එඩී 1958 සැප්තැම්බර් 28 “ඉරිදා ලංකාදීපයට” විස්තර කර තිබුණේ “විහිළුවෙන් විහිළුවෙන් ගෙදර ආ හැටි” යන මාතෘකාවෙනි.   
ලක්‍ෂ 4ක් ගෙවනතුරු එඩීටත්, රුක්මණීටත් ලංකාවට යන්න නොදෙන බව ආදායම් බදු කොමසාරිස්වරයා දැඩිව කීවේය.   


“ඔබ දන්නවා අප ළඟ මෙහෙ සල්ලි නැති බව. අපේ තියෙන හැම දෙයක්ම තියෙන්නෙ ලංකාවේ. එහෙ නොගිහින් කොහොමද මේ මුදල ගෙවන්නෙ.” එඩී නිලධාරියාගෙන් ඇසීය.   
“ඒක අපෙන් අහන්න එපා. අපට හාර ලක්‍ෂය ඕනෑ. නැත්තන් ලංකාවට යන්න දෙන්නේ නැහැ.”   


“එහෙනම් අපිව හිරේ දාන්න. ඒක අපට ලෙහෙසියි.”   


“හිරේ දාන්න අපට වුමනාවක් නෑ.”   


“එහෙනම් අපි මෙහෙ කොහොමද ජීවත් වෙන්නේ?”   


“සල්ලි නොගෙව්වොත් සදහටම මෙහෙ.” ඔහු ආඩම්බරයෙන් පවසා ඇත.   


එඩීගේ බෑනා කෙනෙකු වූ ඉන්දියාවේ ලංකා කොමසාරිස් රාජපක්‍ෂ මහතා හා ලංකාවේ විදේශ කටයුතු භාර ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් රුක්මණි ගිය විට එඩී ඉන්දියාවේ තනි වී ඇති. මේ අතර එඩීට මහත් අස්වැසිල්ලක් වී ඇත්තේ අර දර දඬු ආදායම් පාලක කොමසාරිස් විශ්‍රාම යාමය. ඔහුට එඩී තම නඩුව කීවේය.   


“මිස්ටර් ජයමාන්න, ඔබේ බිරිඳට ලංකාවට යාමට අපි වසර දුන්නානේ. දැන් සල්ලි ඉන්දියාවට ගේන්න වඩාත් පහසු වේවි. ඒ නිසා මිස්ටර් දුම්රියෙන් පැනල යන්න හීනෙකින්වත් හිතන්න එපා. හාර ලක්‍ෂය ගෙවනතුරු මේ රටින් පිටවී නොයන ලෙස වැටකඩුලු මම තර කරලා තියෙන්නේ. බොරුවට ඒ ගැන උත්සාහ කරලා වැඩක් නෑ. මගේ නිලධාරි ඒ ගැන වග බලා ගනීවි.”   


“අපොයි නෑ. මම කවදාවත් එහෙම කරන්නේ නෑ. මට ඕනෑ වැදගත් මහත්තයෙක් වගේ අවසරය ඇතුව ගෙදර යන්න.”   


රුක්මණී ලංකාවට ගිය පසු එඩීට සැහැල්ලුවක් ලැබුණ ද ඊළඟ පිම්ම පැනීමට සැලසුම් කළේය. ඔහු තම මිතුරෙකු ද සමඟ මදුරාසියට ගොස් ක්ලැරන්ස් හෝටලයේ නැවතී, හෝටලයෙන් ලබාගත් මෝටර් රථයකින් සැතපුම් හාර සියයක් ඈත ධනුස්කොඩිය බලා පිටත් විය. ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එඩීගේ ගමන් බලපත්‍රය තහනම් නොකිරීම වාසනාවට කරුණක් විය. එහෙත් තහනම් නියෝගයක් පනවා තිබුණි. රේගු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් පාස් වී යන්නට තිබුණි. ඒ අවස්ථා එඩී විස්තර කර තිබුණේ මෙසේය.   


“මුලින්ම ටිකක් හැඩි දැඩි නිලධාරියකු වෙත මම මගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළෙමි. නම කියවා බලා ඔහු මගේ මුහුණ සැකයෙන් බැලුවේය. “ගිඩිස්” ගගා මගේ පපුව ගැහෙයි.   
“එඩී ජයමාන්න... ඕ... මේ විකට නළුවා නේද?” 

 
මම සිනාසුණෙමි. මට මනප්පු ගතිය පිහිට විය.   


“ඔව්... ඔව්...

”   
“හාර ලක්ෂය ගෙව්වද?” මම ශබ්ද නඟා සිනාසුණෙමි.   


“හාර ලක්ෂය මට කජ්ජක්ද? ඔහේ ගෙවල දැම්මා සුද්ද වගේ.” “මොන කෝච්චියෙ ද යන්නේ?”   


“එඩී උඹ ඉවරයි, උඹ ඉවරයි” කියන්නාක් මෙන් තව තවත් වේගයෙන් පපුව ගැහෙයි. මනප්පු නැවතත් සිනාසුණේය.   


“මම මේ ඉන්දියාවේ තිබුණු කාරෙක ගමට ගෙනයනවා. ඒකෙන් ධනුස්කොඩියට ආවා.”   


“හා හොඳයි” ඔහු බලපත්‍රය අත්සන් කළේය. ඔයින් මෙයින් ධනුස්කොඩියේ දී බෝට්ටුවට නැඟ ගතිමි.   


“මහත්තයා, මහත්තයා මූණ ටිකක් හංගගන්න...” මගේ හිතවතා කියන්නට විය.   


“මොකක්ද? කොස්සක් හිටියද?” මම ඇසීමි.   


“නෑ. මේ මිනිස්සු ඔක්කොම දෙමළෙන් කතා වෙන්නේ අර ඉන්නේ එඩී ජයමාන්න කියලා. මේකේ සී.අයි.ඩී. කාරයොත් ඉන්නවා”   


මගේ ඇඟ සීතල විය. වරෙන්තුකාරයෙකු මෙන් මුහුණ සඟවා ගෙන, කෙ​ෙස් හෝ ලංකා පොළොව පය තැබුවෙමි.   


“මේ සුන්දර දිවයිනේ අගය, ඉන්දියාවේ අතරමං ව සිටි කාලය තරම් අන්කිසි දවසක මට හැඟී ගියේ නැත. ගෙදර එන්නට අවසර නැතිව සිටියදී තරම් ගෙදර ගැන දැඩි ආශාවක් අන් කවර දාකවත් ඇති වී නැත. වියළි මන්නාරම් වෙරළ එදා මට පෙනුණේ ස්වර්ගයේ දොරටුව මෙනි.   


“මා ලංකාවට ආවේ මේ විදිහටයි. මෝටෝරියෙන් බෝට්ටුවෙන් හා දුම්රියෙන් ගමන් කර රටකින් රටකට යන ගමන් බලපත්‍ර ඇතිව නීත්‍යනුකූල රටවැසියකු ලෙස, එහෙත් ඉන්දියන් නීතියේ කපොල්ලකින් රිංගා මම ලංකාවට පැමිණියෙමි.” එඩී ජයමාන්ත ඉන්දියාවේ දී කළ හැංගිමුත්තන් හෙළි කරමින් “ඉරිදා ලංකාදීප” පත්‍රයට කියා තිබුණි.   

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්