IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මහනුවර පිටුවහල් දිවියක් ගතකළ ඊජිප්තුවේ කැරලි නායකයා

 

එක්දහස් අටසිය අසූඑක වසරේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදින්ට එරෙහිව ඊජිප්තුව තුළ දී නිදහස් සටනක් දියක් කළ හමුදා නායකයකු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදින් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කොට මහනුවර ආරක්‍ෂිත නිවෙසක රඳවා සිටි බව දන්නේ ඒ පිළිබඳව උනන්දුවන සුළු පිරිසකුත් ඉතිහාසය පිළිබඳව හාරා ඇවිස්සීමට උනන්දුවන සුළු පිරිසකුත් පමණි.  
මහනුවර නගරයේ සිට පැරණි පේරාදෙණිය මාර්ගයේ ගමන් කොට දොඩම්වල හන්දිය එසේත් නොමැතිනම් හල්ඔළුව හන්දියේ සිට දිවෙන ජෝර්ජි.ඊ. ද සිල්වා මාවතේ මීටර තුන්සියක් පමණ ගමන් කළ විට එම හමුදා නායකයා ඇතුළු පිරිස රඳවා සිටි නිවෙස අදටත් දැකගත හැකිය. අද වන විට එම නිවෙස ඕරාබි පාෂා සංස්කෘතික මධ්‍යස්ථානය නමින් ඊජිප්තු රජයේ ආධාර ඇතිව එරට තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන සමාජ සත්කාර සිදුකරන ස්ථානයක් කෞතුකාගාරයක් සංස්කෘතික මධ්‍යස්ථානයක් ද වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ සමාජ සේවා කටයුතු සිදුකරන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. 
 


එක්දහස් අටසිය අසූඑක වසරේදී ඊජිප්තුවේ හමුදා නායකයෙකු වූ කර්නල් අහමඩ් ඕරාබි පාෂා විසින් ඉංග්‍රීසින්ගේ දැඩි පාලනයට එරෙහිව නිදහස් සටනක් දියත් කරනු ලබන්නේ තවත් පිරිසක් ද එකතු කරගෙනය.   


නිදහස් සටන ක්‍රමයෙන් තිව්‍ර වෙද්දී ඉංග්‍රීසින්ට හීන්දාඩිය දමන්නට විය. ඒ අනුව නිදහස් සටන දියත් කළ කර්නල් ඕරාබි පාෂා ඇතුළු පිරිසක් ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්විය.  
ඕරාබි පාෂා ඇතුළු පිරිසට එරෙහිව ඉංග්‍රීසින් විසින් හමුදා අධිකරණයේ නඩු අසා කර්නල් ඕරාබි පාෂාට මරණ දඬුවම නියම කොට තිබේ. කෙසේ නමුත් පසුව එම තීන්දුව වෙනස් කොට එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් වශයෙන් නියම කොට රටින් පිටුවහල් කිරීමට තීරණය කොට තිබේ.  


එවැනි දඬුවමක් නියම කරන පුද්ගලයෙකු බොහෝ විට රටින් පිටුවහල් කිරීම ඉංග්‍රීසින්ගේ ක්‍රමවේදයයි. ඒ ඔවුන්ගේ යටත් විජිත තවත් කොලනියකටයි.  


අපගේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාත් ඉන් අනතුරුව නිදහස් සටනට උරදුන් උඩරට නායකයන් ද ඉංග්‍රීසින්ගේ අසල්වැසි කොලනියක් වූ මුරිසි දිවයින ඇතුළු රටවලට පිටුවහල් කළ ආකාරයට ඔරාබි පාෂා ඇතුළු විමුක්තිකාමින් හය දෙනෙකු පිටුවහල් කිරීමට ඉංග්‍රීසින් තීරණය කොට ඇත්තේ ශ්‍රී ලංකාවට එසේත් නොමැතිනම් එදා ඉංග්‍රීසින් සිලෝන් යනුවෙන් හැදින් වූ මෙරටටයි.  


ඒ අනුව එක්දහස් අටසිය අසුතුනේ ජනවාරි මස දහවැනි දින සිරකරුවන් හා ඔවුන්ගේ පවුල්වල අය රැගත් නැව කොළඹ වරායට සේන්දු වේ.  


එම සිරකරුවන් අතර කර්නල් අහමඩ් ඕරාබි පාෂා, මොහොමඩ් සම් බරොන්ඩ් පාෂා, අලි ෆව්මි පාෂා අබ්ඩෙල් අල් හිල්මි පාෂා, ඉස්මත් පාෂා, මොහොමඩ් ෆවිම් පාෂා, යාකොබ් සමී පාෂා ඇතුළු ඔවුන්ගේ පව්ල්වල සාමාජිකයෝ ද වූහ.  


කොළඹට සේන්දු වීමෙන් අනතුරුව එම පිරිස රඳවා තබා ඇත්තේ පැරණි ලේක් ගොඩනැගිල්ලේ බව කියවේ.  


කෙසේ නමුත් කර්නල් ඕරාබි පාෂා නමැති හමුදා ප්‍රධානියාගේ ශරීරය පුරා ගමන් කොට ඇත්තේ විමුක්තිකාමි රුධිරයයි. එවැනි සටන්කාමියෙකු මිහිපිට කොයි සිටියත් ඔවුන්ගේ සටන අත්නොහරි. ඒ අනුව මෙරට විමුක්ති සටන වෙනුවෙන් ද එවකට මෙරට සිටි විමුක්තිකාමීන් සමඟ විවිධ සම්බන්ධතා පවත්වමින් වැඩකටයුතු කළ බව කියවේ.   
එ් වන විට ඉතාමත් පහත් මට්ටමක තිබූ මෙරට මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙන ඒම සඳහා ඕරාබි පාෂා දැඩි කැපවීමකින් කටයුතු කළ බව ද කියවේ.  
ඒ අනුව එවකට මෙරට මුස්ලිම් නායකයකු වූ එම්.සී. සිද්ධිලෙබ්බේ මහතා සමඟ එකතු වී කොළඹ සහිරා විද්‍යාල ආරම්භ කොට තිබේ. ඒ එක්දහස් අටසිය අනූදෙක වසරේදීය. ඕරාබි පාෂා මහතා එම විදුහලේ ප්‍රථම සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.  


ඔහුගේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳව ඉංග්‍රීසින් තියුණු නිරීක්‍ෂණයක යෙදීමෙන් අනතුරුව පිරිස මහනුවර වැනි ආරක්ෂිත ප්‍රදේශයක් වඩාත් සුරක්ෂිත නිවෙසක සිරකර තබන්නටත් තීරණය කරන්නට ඇත. 

 
ඒ අනුව වත්මන් ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ ඇති නිවෙසේ පිරිස සිරකොට තිබේ. එම නිවෙසට පැමිණීමෙන් අනතුරුව ඕරාබි පාෂාගේ පුතුන් දෙදෙනෙකු මහනුවර කිංස්වුඩ් විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා තිබේ.  


මහනුවර සිටින කාලය තුළ පාෂාවරුන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර මහයියාව සුසාන භූමියේ අදටත් ඔවුන්ගේ සොහොන් කොත් දැකගත හැකිය.  
මිනිසා ශිෂ්ටාචාර ගත වීම ආරම්භ වූ මුල් අවධියේ මුල්ම ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාරය පුරාන මිසරය හෙවත් වර්තමාන ඊජිප්තුවයි. මිනිසාට සභ්‍යත්වය ශිෂ්ටත්වය කියාදුන් මිසරය. නිජ බිම කොට ගෙන උපන් උගතුන් බුද්ධිමතුන් ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර විශිෂ්ටයෙකි. ඕරාබි පාෂා, රටින් පිටුවහල් කළ පුද්ගලයෙකු වශයෙන් මෙරටට පැමිණ ඔහු කළ කී දෑ විශිෂ්ටය.   


ඊජිප්තුවේ සගාසිග් නගරයට නොදුරු ගොවිපවුලක් ගම්මුලාදැනියෙකුගේ දරුවෙකු වශයෙන් එක්දහස් අටසිය තිස් නවය වසරේදී උපත ලබන ඕරාබි පාෂා කයිරෝ නගරයේ අල් අස්හර් සරසවියෙන් යම්දුරකට අධ්‍යාපනය හදාරා වයස අවුරුදු දහහතරේ දී හමුදා සේවයට එක් වේ.  


එවකට මිසරය ප්‍රමුඛ බොහෝ අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාව ප්‍රමුඛ බොහෝ ආසියානු රටවල් ද බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත බවට පත්ව තිබුණි. ස්වදේශිකයන්ගෙන් අධික බදු මුදල් අයකිරීම, වහල් සේවය, යටත් රටවල වාණිජ සම්පත් කොල්ලකෑම හා ආර්ථිකය සුරා කෑම ඔවුන්ගේ ආගම හොදින් හෝ නරකින් බලෙන් පැටවීම අධිරාජ්‍යවාදින්ගේ පිළිවෙත විය.   
ඔහුගේ මිසර හමුදා ජීවිතයෙන් ලද පන්නරය නිසාම ලත් නායකත්වයේ ගුණාංග නිසාම මිනිසුන් ආකර්ශනය කර ගැනීමේ සහජ හැකියාවක් ඔහු සතු විය. ඔහු මෙරට සිටි සමය සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනකොටස් විජාතික ආධිපත්‍යයට එරෙහිව පෙළ ගැසෙන්නට වූ වකවානුවක් විය.  


ශ්‍රී ලංකාව තුළදී සම්මානනීය යුග මෙහෙවරක් ඉටුකළා ඕරාබි පාෂා පෙරළා තම දේශයට පිටත්ව යාම සිදු වූයේ එක්දහස් නවසිය එක වසරේ සැප්තැම්බර් මස දහහත් වැනිදායි. ඔහු ඇතුළු පිරිස ප්‍රින්සස් අයිරින් නෞකාවෙන් නැවතත් සිය දේශය බලා පිටත් වූහ.  


ඔහුගේ නික්මයාම සම්බන්ධයෙන් ශෝකයට පත් විවිධ පිරිස් සමුදීමේ උත්සව ගණනාවක් සංවිධානය කර තිබිණි.  


තම ජීවිත කාලය තුළ යුග මෙහෙවරක් ඉටුකළ ඕරාබි පාෂා නැවත තම දේශයට යාමෙන් අනතුරුව එක්දහස් නවසිය එකොළහ වසරේ සැප්තැම්බර් මස විසි එක් වැනි දින දී කයිරෝ නගරයේ දී අභාවප්‍රාප්ත වී තිබේ. 

 

ඡායාරූප හා සටහන
ෂේන් සෙනෙවිරත්න 



අදහස් (0)

මහනුවර පිටුවහල් දිවියක් ගතකළ ඊජිප්තුවේ කැරලි නායකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 954 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site