IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මියගිය පියා පුතාගේ ශරීරයට ඇතුළු වෙලා

 

මිනුවන්ගොඩ නගරයේ වෙසෙන තමීරගේ පවුලේ අම්මාත් අක්කාත් ඇගේ ස්වාමිපුරුෂයාත් සිටිති. තමීරගේ පියා මියගියේ මීට වසර දෙකකට පෙර ය. ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනි. ඔහු රක්ෂාවට ගොස් නිවසට එන අතරමගදී මත්පැන් පොදක් තොලගා ගැනීමට අමතක නොකළේය. එහෙත් නිවැසියන්ට ඔහුගෙන් කිසිදු කරදරයක්, හිංසාවක් සිදුවූයේ නැත.   


තමීරගේ අක්කා විවාහ වී වෙනත් නිවසක පදිංචියට යන බව පැවසුව ද ඔවුහු විවාහයෙන් පසු තමීරලාගේම නිවසේ පදිංචි වූහ. දියණිය විවාහ වුවද නිවසේ සියලු වියහියදම් බලාකියාගත්තේ තමීරගේ පියා විසිනි. දියණියගේ සැමියාගෙන් කිසිදු උදව් උපකාරයක් ලැබුණේ නැත. එහෙත් හදිසියේම දිනෙක රක්ෂාවට ගොස් සිටිය දී ඇති වූ හෘදයාබාධය හේතුවෙන් තමීරගේ පියා අවසන් හුස්ම හෙළුවේය. තමීරගේ පියාගේ මියයාමෙන් අනතුරුව නිවසේ තත්ත්වය වෙනස් අතකට හැරුණේය.   
දරුවන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා වූ තමීර කුඩා කල සිටම සෑම දෙනාගේම සුරතලය දිනාගෙන හැදී වැඩුනෙකි. තමීරගේ පියා මියයන විට තමීරගේ වයස අවුරුදු දහනවයකි. ජීවතුන් අතර සිටිය දී රාජකාරි නිමවී නිවසට පැමිණි පසු බිරිඳ හා තමීරව ළං කරගෙන සිංදුවක් කීම තමීරගේ පියාගේ පුරුද්දක් විය.   
පියා මියගොස් වසර දෙකක් ගත වූයේය. තමීරගේ ඉගෙනීම කඩාකප්පල් වීම නිසා තමීරගේ මව සිටියේ බොහෝ දුකිනි. කිසිවක් කරකියා ගැනීමට නොහැකි ඇය බොහෝ අසරණව සිටියාය. තම දියණිය හා බෑණාගේ කෙනෙහිලිකම් විඳින්නට සිදුවී ඇත්තේ තමාගේම නිවසේ ජීවත්වද්දීමය. එහෙත් තුන්වේල පිරිමැහෙනුයේ ඔවුන් නිසාය. එබැවින් හිස පහත් කරගෙන සිටීමට සිදුවී ඇත.   


ටිකෙන් ටික තමීරත් අක්කාත් අතර හැලහැප්පීම් ඇතිවිය. නිවසට කණකොකා අඬන කාලයක් උදාවිය. නිවසේ තිබුණු සතුට සාමය ක්‍රමයෙන් කඩාවැටුණි. තමීරගේ අක්කාගේ සැමියා ලබාගත් ණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් නිවසේ ඔප්පුව උකස් කර හෝ ණය බේරීමට තීරණය කර තිබුණි. නමුත් තමීරගේ මව එයට කැමැත්තක් දැක්වූයේ නැත. තමීර මෙයට බොහෝ විරුද්ධ වුණි. එහෙත් අක්කාගේ අවලාද අසා සිටිය නොහැකි තරම්ය. තමීරට දරාගත නොහැකි මානසික පීඩාවක් ඇතිවිය.   
දුවත් බෑණාත් එකතු වී කරන්නට හදන්නේ ජීවත් වන නිවස නැති කිරීමටය. එසේ වුවහොත් තම පුතාටත් තමන්ටත් මහමඟට බැසීමට සිදුවනු ඇත. මව සිතුවාය. තමීර සිතුවේ ද එලෙසය. තමීරගේ ආවේගය වැඩි විය.   
“තමුසෙලාට බැහැ තාත්තගේ ගේ උකස් කරන්න. ඒකට තමුසෙගේ මිනිහගේ දේපළ උකස් කරන්න කියනවා” තමීර අක්කාට බැන වැදුණේය.   
“එයාට උකස් කරන්න දේපළක් තියෙන්න එපැයි. අනික තමුසේ අපි දෙන බත් කකා ඉන්න කෙනා. තමුසෙ නෙමෙයි මේ ගෙදර වැඩිමල් මමයි. මට අවවාද කරන්න ලෑස්තිවෙන්න එපා” තමීරගේ අක්කා ද වචනවලින් දමා ගැසුවාය.   


මේ අතර තමීර හැසිරුණේ අමුතු විලාශයකිනි. තමීරගේ ක්‍රියාකලාපය ජීවතුන් අතර සිටි තමීරගේ පියාගේ ක්‍රියාකලාපය බඳුය. පියා ජීවතුන් අතර සිටිය දී පාවිච්චි කරන ලද හාන්සි පුටුවේ තමීර හාන්සි වෙයි. පියාගේ සරම්, කමිස අඳින්නට පටන් ගත්තේය. තමීර නිදාගත්තේ ද පියාගේ ඇඳේය.   
දිනක් “උඹලා හිතාගෙන ඉන්නෙ මං මැරුණට පස්සේ උඹලට ඕන විදියට නටන්න පුළුවන් කියලද? මං මැරුණත් මේ ගෙදර තමයි ඉන්නේ. උඹලට හිතෙන දේවල් කරන්න මං ඉඩදෙන්නෙ නෑ...”   


තමීරගේ පියා කතා කරන ස්වරයෙන් තමීර කතා කරන්නට පටන් ගත්තේය. තමීරගේ පියා ආසම කෑම හදන්නට තමීරගේ මවට අණ කළේය. කාටත් කලින් කෑම මේසයේ වාඩිගත්තේ තමීරය. “ගෙනෙන් මට අරක්කු ටිකක්” තමීර මත්පැන් ඉල්ලා සිටියේ අක්කාගේ සැමියාගෙන්ය. “අනේ මේ මල්ලිට මොනවා වෙලාද.. තාත්තා වගේමයි කතා කරන්නේ. මට නම් බයයි. තාත්තා අපි ගේ උකස් තියන එකට කැමති නැති නිසා මල්ලිගේ ඇඟට ඇවිත්ද දන්නෙ නෑ” තමීරගේ අක්කා තම සැමියාට පැවසුවේ බියෙනි. “මොන මළ පෙරේතයෙක් ආවත් මං කරන වැඩේ නවත්තන්නෙ නෑ. ඕකටත් මං ළඟ වැඩක් තියෙනවා..” තමීරගේ අක්කාගේ සැමියා කීවේය.   
පසුදාම තමීරගේ ශරීරයෙන් මැරුණු පියාගේ ප්‍රේත ආත්මය ඉවත් කිරීමට තමීරගේ අක්කාගේ සැමියා ඇදුරෙකු කැඳවාගෙන ආවේය. නිවස උකස් කිරීමට පෙර කඩාගෙන පාත්වුණු ප්‍රේතයාව ඉවත් කිරීම තමීරගේ අක්කාගේත් ඇගේ සැමියාගේත් අරමුණ විය. එසේම නිවසේ ආරක්ෂාව සඳහා සෙත් ශාන්තියක් කරවීමටත් ඔවුන් උනන්දු විය.   
නිවසට පැමිණි ඇදුරා මල් බුලත් තටුවේ අංජනම තබා නිවසේ දෝෂ සොයන්නට විය. මහා පුදුමයකි. නිවසේ මියගිය අයෙක් නිවැසියන්ට බලපෑම් ඇති කරවන බවට අංජනමින් පෙනේ. මොහුගේ පෙනුම කපු මහතා ක්‍රමයෙන් විස්තර කරන්නට විය.   
“මේ මළගිය ප්‍රාණකාරයා මත්පැන් තොලගාන අයෙක්. ඔහු අවසාන කාලයේත් බීමට පෙරේතකමක් දක්වා තිබෙනවා. හදිසියේම මැරුණු නිසා නිවසට ආශාවෙන් මැරිලා තියෙන්නෙ. මිය ගිහිල්ලත් පවුලටයි, නිවසටයි තිබෙන බැඳීම ඉවත් වී නැහැ. ශරීරයකට ඇතුළු වෙලා ජීවත් වෙනවා”. යනුවෙන් ඇදුරා අංජනම බලාගෙන බලාසිටියා මෙන් මියගිය පියාගේ විස්තර කියන්නට විය. මෙය ඉවත් කිරීමට නම් යාගයක් කළ යුතු බව පවසා ඒ සඳහා දිනයක් යොදාගෙන ඔහු නිවසින් නික්ම ගියේය.   
ශාන්තිකර්මය සිදුකෙරිණි. තමීරගේ ශරීරයට ඇතුළු වී සිටින ප්‍රේත ආත්මය ඉවත් කිරීමට ඇදුරා කටයුතු කළේය. තමීරගේ මස්සිනාත් අක්කාත් ණය බරින් මිදීමට නැවත ගේ උකස් කිරීමේ අදහස ගැන සිතන්නට විය. හිටිහැටියේම තාත්තා ජීවතුන් අතර සිටිය දී සේම උගුර පාදන හඬක් ඇසුණි. තමීරගේ අක්කා කලබල විය. තමීර පියාගේ සරමක් හා කමිසයක් ඇඟලාගෙන පියාගේ හාන්සි පුටුවේ වාඩිගෙන සිටී. මල්ලිගේ ශරීරයෙන් පියාගේ ප්‍රේත ආත්මය ඉවත් වී නැති බව වැටහුණි. තමීර පියා නිතරම කියන ගීතය සෙමින් සෙමින් ගායනා කරයි. තමීරගේ අක්කාගේ බිය වැඩිවුණි.   


ඉන්පසු නැවත උගුර පෑදූ තමීර “උඹලා මේ ගේ විකුණන්න හැදුවොත් උඹලගේ පවුල් පිටින් මං විනාශ කරනවා. උඹලා යන යන තැන මං පස්සෙන් එනවා. මගේ ගේ නැතිවෙන්න මං ඉඩදෙන්නෙ නෑ” පියාගේ වාග් විලාසයෙන්ම තමීර කතා කරන්නට විය. බියට පත්වූ තමීරගේ අක්කා ඇගේ සැමියාට දුරකථනයෙන් සියල්ල පැවසුවාය.   
“මේ මොන නරක වෙලාවක්ද, මගේ කොල්ලට තාත්තා වැහිලා.. අපොයි?” තමීරගේ මව බොහෝ දුකට පත්විය. “මට අරක්කු ටිකක් ගෙනත් දීපන්.” කියා තමීර තම පියාගේ කාමරයට ගොස් එහි හංගා තිබූ බෝතලයක ඉතිරිවී තිබූ මත්පැන් ටිකක් එක හුස්මට බීගෙන බීගෙන ගියේය.   
මෙය දුටු තමීරගේ මව බොහෝ තැතිගත්තාය. “අනේ අපේ මහත්තයා! අපේ දරුවා බොන්න පටන් ගත්තොත් දරුවගේ ජීවිතේ විනාස වෙයි. මේ දරුවගෙන් අයින් වෙලා යන්න” තමීරගේ මව බැගෑපත් වූයේ තම සැමියාටය.   


තමීරගේ නිවසට පැමිණි අසල්වාසීන්ගෙන් අයෙකු ඉක්මනින්ම ගොස් මීට පෙර නිවසට කැඳවාගෙන ආ ඇදුරා කැඳවාගෙන ඒමට මැදිහත් විය. ඇදුරා පැමිණ තමීරට වැසුණු පියාගේ ආත්මය සමඟ කතා කරන්නට විය. “උඹ මොකටද මේ ශරීරෙට ආවෙ. එකපාරක් අපි යැව්වා නේද.? ආයෙත් මේ කොල්ලගෙ ඇඟට ආවෙ ඇයි?” ප්‍රශ්න කරන්නට විය. “උඹලා හිතුවද ලේසියෙන් මාව යවන්න. මේවා මගේ දේවල්. මේවා මං හරිහම්බ කළේ මුන්ට උකස් තියන්න නෙමෙයි. මේ කාලකණ්ණි මං මහන්සියෙන් හම්බ කරපුවා විකුණන් කන්න හදනවා. ඒවට මං ඉඩ තියන්නැහැ”. පියාගේ ප්‍රේත ආත්මය මෙලෙස පිළිතුරු දුනි.   


පන්සලේ නායක හාමුදුරුවන් මැදිහත් වී තමීරගේ තත්ත්වයට ප්‍රතිකාර කිරීමට හැකි වෛද්‍යවරයෙකු සිටින බවත් ඒ මහතා ළඟට තමීරව රැගෙන යන ලෙසත් පැවසුවේය. ඒ අනුව තමීරගේ පියාගේ ප්‍රේත ආත්මය තමීරගේ ශරීරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් භාර ගත්තේය.   


වෛද්‍ය විද්‍යාකුලපති මහතා සියලු විස්තර අසා ඉන්පසු තමීරගේ සිරුරට ඇතුළු වූ මියගිය පියාගේ භවය ගෙන්වන්නට විය.   


වෛද්‍යවරයා: කවුද මේ ශරීරයට ඇවිල්ලා ඉන්නේ? තමන් කවුද?   

තමීර: මම විමල්   

වෛද්‍යවරයා: මොකටද මේ ශරීරයට ආවේ?   

තමීර: මේ කොල්ලට ආදරේට. මගේ කොල්ලා දුක් විඳිනවා. ඒ නිසා මං ගෙනියන්න ආවේ.   

වෛද්‍යවරයා: මොකටද මේ කොල්ල ගෙනියන්නෙ? මේ ඔබේ දරුවනේ. ඇයි ඔබ ඔවුන්ට වද දෙන්නේ?   

තමීර: මේ දරුවට මං ආදරෙයි. මේකට මේ ගෙදර ඉන්න තරම් සුදුසු පරිසරයක් නැහැ. මුන් මේ ගේයි ඉඩමයි විකුණන් කන්න හදනවා. මගේ කොල්ලට වෙන්නෙ මහපාරට බහින්න.   

වෛද්‍යවරයා: නෑ. ඔබට මොහුව ගෙනියන්න දෙන්නෙ නැහැ. ඔබට වෙන මොනවා හරි අවශ්‍ය දෙයක් තිබෙනවා නම් කියන්න.   

තමීර: මට මුකුත් ඕන නෑ. මගේ කොල්ලා ගෙනියනවාමයි.   

වෛද්‍යවරයා: නෑ. ඔබට කිසිසේත්ම ගෙනියන්න දෙන්නෑ. අපි මේ දරුවට අවශ්‍ය පරිසරය හදලා එයාගේ ගැටලුවට විසඳුම් දෙන්නම්. ඔබට යන්නම වෙනවා.   

තමීර: නෑ මම යන්නෙම නෑ.   

 

මෙලෙස වෛද්‍යවරයාත් තමීරත් අතර කතාබහ සිදුවී තාවකාලිකව පමණක් ශරීරයෙන් ඉවත් වන බවට පොරොන්දු ගෙන තමීරව පියවි තත්ත්වයට ගෙන ඔහු මෝහන නිද්‍රාවට පත් කෙරුණි. එහිදී මියගිය පියා සිරුරට නොපැමිණි බවත් මෙය තමන්ගේ හිතේම ඇති වූ ක්‍රියාකාරිත්වයක් බවත් පහදා දුණි. ඉන්පසුව මව සහ අක්කාත් ඇගේ සැමියාත් කැඳවා ඔවුන්ගේ ගැටලු ඉක්මන් තීරණ නොගෙන විසඳා ගන්නට නොයෙකුත් විකල්ප මාර්ග පෙන්වා දුනි. තමීරගේ ශරීරයට ඇතුළු වී සිටි පියා සම්පූර්ණයෙන්ම තමීරගෙන් ඉවත් වී ගියේය.   


තමීරගේ පියා තමීරගේ ශරීරයට නැවත පැමිණියේ නැත. මෙය කෙසේ සිදුවුණි ද? මෙහි විද්‍යාත්මක සත්‍ය කුමක් ද? වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙසේ පැහැදිලි කරන්නට විය.   


ඇත්තටම මෙම තත්ත්වය සුළු මානසික ගැටලුකාරී තත්ත්වයක්. හිස්ටීරියා නැතහොත් මායා රෝගය ලෙස හඳුන්වන මෙම තත්ත්වය අද වනවිට මනෝ විද්‍යාවේදී Dissociative Disorders ලෙස හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ තමන්ගේ සිතේ ඇති අභිප්‍රායක් ඉෂ්ට කරගැනීම සඳහා යටි සිත මගින් කරන ප්‍රයෝගයක් ලෙස මෙලෙස ආරූඪ වීමකින් ප්‍රකාශ කිරීමයි.   
මෙහිදී ඔබට ගැටලු කිහිපයක් මතු වනු ඇත. එහි පළමු කරුණ නම්, අංජනම්කරු විසින් කොහොමද මේ හැමදෙයක්ම බලාසිටියා සේ පවසන්නේ.   
එය මෙලෙස සිදුවේ.   


අංජනම්කරු එම ගමේම පුද්ගලයෙකි. මොහු මියගිය පුද්ගලයා ගැන හොඳින් දනී. ඔහු මත්පැන් පානය කරන පුද්ගලයෙකු බවත්, හදිසියේම අසනීප වූ බවත් ඔහු දනී. එමනිසා ඔහු එම ආකාරයට විස්තර කර ඇත.   


දෙවෙනි ගැටලුව නම් තමීර තාත්තා ලෙසම කතා බහා කරමින් හැසිරෙමින් මත්පැන් පානය කළේ කෙසේද? යන්නයි. එයට හේතුව මෙසේයි.   
තමීර තාත්තාගේ හැසිරීම් රටාව හොඳින් දැක තිබෙන අයෙකි. එම නිසා ඔහුට තාත්තාගේ හැසිරීම් රටාව ඉදිරිපත් කිරීම බොහෝම පහසුයි. මෙම අවස්ථාවල දී මත්පැන් බීම, දැඟලීම, නැටීම වැනි කිසිම දේකට ලැජ්ජාවක් හටගන්නේ නැත. තමීර බී ඇත්තේ ද කාලයක් තිස්සේ ඉතිරිව තිබූ මද්‍යසාර කොටසක් පමණි.   
ඊළඟ ගැටලුව නම්, ඇත්තටම තාත්තා ශරීරයට නොපැමිණියේ නම් තමීර මෙලෙස හැසිරුණේ ඇයි? එයට හේතුව මෙසේය.   


තමීර මානසික පීඩාවෙන් හිටපු තරුණයෙක්. විශේෂයෙන් ඉගෙනීම කඩාකප්පල් වීමත් ඉදිරි රැකවරණයක් තමන්ට නොමැති යැයි සිතීමත් නිසා ඔහු බොහෝ මානසික පීඩාවකට පත්ව සිටියා. ඒ සමඟම අක්කා නිවස උකස් කිරීමට යෑමත් සමඟ බිය තවත් වැඩි වුණා. ඔහුත් මවත් නිවස උකස් තැබීමට විරුද්ධ වුවද අක්කා කිසිදු තැකීමකින් තොරව නිවස උකස් තැබීමට යෑම නිසා එය වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තමීරගේ යටි සිත විසින් මියගිය තාත්තාගේ භවය ඇතුළු වුණා සේ හැසිරුණා.   


තමීරලාගේ නිවස උකස් නොකළ අක්කාත් ඇගේ සැමියාත් ඔවුන්ගේ ගැටලු ද ක්‍රමයෙන් විසඳාගත්හ. තමීර ද මේ වනවිට රැකියාවක් කරමින් මව ද රැකබලා ගනිමින් සිටී. සියලු දෙනාම ඔවුන්ගේ සිතේ සතුට සැහැල්ලුව ඇතිව ලස්සන ජීවිතයක් ගත කරති.

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

මියගිය පියා පුතාගේ ශරීරයට ඇතුළු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි
2025 මැයි මස 09 0 0

බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම


අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා
2025 මැයි මස 09 2 0

කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 0 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ළමා ගායකයා ශහේන් දෙද්දුවකුමාර
2025 මැයි මස 09 1 0

අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ළමා ගීතයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක් වුවද අද දවසේදී ළමා ගීත මෙන්ම ළමා ගායන ශිල්පීන් ශිල්පිනියන්ද අමතකව ගොස් ඇත්තේ ළමා ගී


දෑත සුන්දරකරන මෙහෙන්දි ආර්ට්
2025 මැයි මස 09 1 0

“මෙහෙන්දි” කියන්නේ - හරිම ලස්සන කලාවක්. මෙහෙන්දි ආර්ට් කිව්වාම අපිට ඉස්සර වෙලාම මතක් වෙන්නේ ඉන්දියාව.නමුත් මේ වෙනකොට ලංකාවේ කාන්තාවන් අතරත් මෙහෙන්දි


ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 125 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1275 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 329 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site