IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


මිනිස් බිලි ගන්න තරම් සීත ගඟුල භයානකද ?

 
මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවගෙන් විශාල පිරිසක් සිරිපා කරුණා කරන්නට පුරුදුව සිටිති. මෙවර මැදින් පුන් පොහොය යෙදී තිබුණේ මාර්තු 01වන බ‍්‍රහස්පතින්දාය. සිකුරාදා දිනය නිවාඩු දැමූ සමහරු බදාදා රාත‍්‍රියේ සිරිපා කරුණා කළේ මැදින් පෝයට සිරිපා මළුවට ගොඩවන අටියෙනි.  
 
වත්තල මාබෝලේ පදිංචි හේවගේ ක‍්‍රිශාන්ත භාග්‍ය (19) තරුණයා නඩයක් සමග සිරිපා වන්දනා කරන්නට පිටත්ව තුන් වන සෙනසුරාදා දහවල් 01.00ට පමණ හැටන් පාරේ සීත ගඟුල දක්වා පැමිණියේ ය.   
 
අතීතයේ සිරිපා කරුණා කරන බැතිමතුන් සිරිපා වන්දනාවේ ගියේ හොඳින් සැදී පැහැදී පේවී ය. වන්දනා ගමන පිටත් වන්නට සතියකට දෙකකට පෙර සිටම නිර්මාංශ ආහාරවලින් පමණක් කුස පුරවාගත් අතීත බෞද්ධ ජනයා ශ‍්‍රීපාදේ යනවා යැයි නොකීහ. ‘‘සිරිපා කරුණා කරනවා’’ යැයි කීහ. ඒ තරමටම භක්තියක් සිරිපා ගමන ගැන තිබුණි. 
 
සිරිපා කරුණාවේ පැමිණි ක‍්‍රිශාන්ත භාග්‍ය සීත ගඟුලේ දී දිය නා පිරිසිදු වුණේ එතැන්පටන් ඇති හිමය තරණය කිරීමේ අදිටනනි. දිවා කාලයත් නිසා වැඩි වේලාවක් සීත ගුඟුලේ දියට බැස සිටි ක‍්‍රිශාන්ත ගැන ඔහු සමග පැමිණි සිටි පිරිස අවධානය යොමුකරන විට ක‍්‍රිශාන්ත සිහිමුර්ඡා වී සිටියේය. 
 
ගොඩට ගෙන ප‍්‍රථමාධාර ඒකකය වෙත ගෙනගිය ඔහු වහාම මස්කෙළිය රෝහල වෙත ගෙන ගියද, ඒ වනවිටත් ක‍්‍රිශාන්ත මියගොස් ඇති බව වෛද්‍යවරු නිගමනය කළහ. 
 
”නව යෞවන වියේ පසුවූ තරුණයෙක් කොහොමද මෙහෙම ජීවිතක්‍ෂයට පත්වුණේ.” ”හොඳ යහපත් ක‍්‍රියාවක් කරන්න ඇවිත් ජීවිතයත් අහිමි වුණා.” වන්දනා ගමනක් ආවට පෙර කරපු අකුසලයක් විපාක දෙන්න ඇති” ක‍්‍රිශාන්තගේ මරණය ඇසූ විවිධ තරාතිරම්වල අය එසේ පවසන්නට වූහ. 
 
සිරිපා ගමන් මගේ සීත ගඟුල ඒ තරම් භයානක ද? එහෙම නම් සිරිපා වන්දනාවේ යන කෝඩුකාරයන් මහ රෑ සීත ගඟුලෙන් නෑවීම තවත් භයානක නැද්ද? යන ගැටලුව දැන් වැඩි දෙනෙකුට මතුව තිබේ. 
සිරිපා අඩවියට අතීත ගැමියෝ පැවසුවේ ”හිමේ” කියාය. එහි හිම නොතිබුණ ද හිම තරමටම ඇති ශීත දේගුණය නිසා ‘‘හිම’’ යැයි කියන්නට ඇත. සිරිපා කරුණා කරන මාර්ග හතක් ඇත. ඉන් ප‍්‍රසිද්ධම මාර්ගය හැටන් මාර්ගයයි. රජ මාවත ලෙස සලකන්නේ රත්නපුර ශ‍්‍රී පලාබද්දල මාර්ගයයි. 
 
ඊට අමතරව කුරුවිට සිට එරත්න හරහා ඇති මාර්ගයත් සිරිපා කරුණා කරන බැතිමතුන්ගේ ප‍්‍රධාන මාර්ග වේ. රාජ රාජ මහාමාත්‍යාදීන් සිරිපා කරුණා කළ මාර්ගය රජ මාවත වෙයි. එරත්න මාර්ගයට ද ඓතිහාසික වටිනාකමක් ඇත. දේශ ගවේශකයකු වූ ඉබන් බතූතා සිරිපා කරුණාකර ඇත්තේ එරත්න මාර්ගයෙනි. 
 
මේ මාර්ග තුනට අමතරව දෙහෙනකන්ද මාර්ගය හෙවත් මූක්කුවත්ත මාර්ගය, මරේවත්ත මාර්ගය හෙවත් රාජමලේ මාර්ගය, දැරණියගල මාර්ගය හෙවත් මාළිබොඩ මාර්ගය සහ ගවරවිල මස්කෙළිය මාර්ගය හෙවත් ඌව මාර්ගය සෙසු මාර්ග හතරයි. 
 
සිරිපා කරුණා කරන මේ හැම මාර්ගයක ම සීත ගඟුල නම් කිරීමට අතීත වන්දනාකරුවෝ ක‍්‍රියා කළහ. හැටන් පාරෙන් එද්දී නල්ලතන්නිය හරහා ගලා බසින්නේ සීත ගඟුලයි. එම ගංගාවේ නමද සීත ගඟුලය. සිරිපා අඩවියෙන් ඇරඹී ගඟුලතැන්න හරහා මාවුස්සාකැලේ ජලාශයෙන් සීත ගඟුලේ ගමන අද අවසන් වෙයි. එහෙත් සීත ගඟුල ලෙස ගලා බස්නා ගඟ නම් කළත් හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරන විට හිමේට ඇතුළුවන්නට පෙර කෝඩුකාරයන් දිය නා පඬුරු බඳින තැන හමුවන්නේ එම මාර්ගයේ ජපන් සාම චෛත්‍යයටත් ඉහළිනි. 
 
රත්නපුර මාර්ගය හෙවත් ශ‍්‍රී පලාබද්දල මාර්ගයෙන් සිරිපා කරුණා කරන විට ගල්පොත්ත කඩේ පසුකර තවත් ඉදිරියට යද්දී සීත ගඟුල හමුවන්නේ හීන් ගඟුලට පෙරය. එතැනදී සීත ගඟුල වන්නේ කළු ගඟයි. 
කුරුවිට එරත්න පාරෙන් සිරිපා කරුණා කරනවිට වර්ණගල, සුදුවැල්ල පසුකළවිට සීත ගඟුල හමුවෙයි. ඒ කුරු​ ගඟේ ඉහත්තාවයි. 
 
දැරණියගල මාර්ගය හෙවත් මාළිබොඩ මාර්ගයෙන් සිරිපා කරුණා කරන විට ද සීත ගඟුල හමුවෙයි. මාළිබොඩ මාර්ගය වැටෙන්නේ කුරුවිට එරත්න මාර්ගයේ සීත ගඟුලට ටිකක් ඉහළිනි. උඩ මාලිබොඩින් ගමන් අරඹා පන්දෙනි ගඟ පසුකර ඉදිරියට යනවිට තවත් දොළවල් තුනක් පසුකළ විට සීත ගඟුල හමුවෙයි. එය ද කුරු ගඟේ ඉහත්තාවයි. සිරිපා කරුණා කරන විට මාර්ග දෙකක දී සීත ගඟුල කෙරුණ දෙතැනක් හමුවන්නේ කුරු ගඟටය. 
 
හැටන් සහ රත්නපුර යන පාරවල් දෙකේ සීත ගඟුල්වලට වඩා අලංකාරම සීත ගඟුලක් පිහිටා ඇත්තේ කුරුවිට එරත්න පාරේය. අඩි හතළිහක් පමණ පළල වන තැනකින් ගලින් ගලට පැන එගොඩ මෙගොඩ විය යුතුය. මළුව කරා යනවිට මේ සීත ගඟුලේ දකුණු පැත්තේ පහළ ලොකු වළක්ය. වම් පැත්තේ ගඟේ ඉහළ ඇති ගස්වල පඬුරු ගැට ගසා ඇත. ගඟ දෙපස අම්බලම් දෙකකි. 
 
එරත්න පැත්තෙන් යන විට හමුවන ගං ඉවුරේ අම්බලම ලොකු එකකි. එගොඩ ගං ඉවුරේ අම්බලම පොඩි එකකි. වැහි කාලෙට ගලන වතුර පාරට සීත ගඟුලෙන් එගොඩ වන්නට නොහැකිව දෙපැත්තේ අම්බලන්වල රැය පහන් කරන්නට බොහෝ දෙනෙකුට සිදුවෙයි. 
 
සීත ගඟුලක සිදුවූ ප‍්‍රථම මරණය ක‍්‍රිශාන්ත භාග්‍යගේ මරණය නොවේ. එරත්න පාරේ සීත ගඟුලේ මරණ කිහිපයක් වාර්තා වෙයි. සමහරුන්ගේ සිරුරු හමුවුණේ දින ගණනකට පසුව ය. ඒ නිසා සිරිපා වන්දනාවේ එන හැම දෙනාම සිරිපා අඩවවිය ගැන හොඳ අවබෝධයකින් ආ යුතුය. 
 
මාර්තු මාසයේ මැද වනවිට සිරිපා අඩවියට වැසි ඇද හැළෙයි. මේ කාලයට සිරිපා වන්දනාවේ යන්නට උදේ කාලය යොදා ගැනීම වන්දනාකරුවන්ගේ සිරිතය. අදමෙන් හිතූමතේට සිරිපා කරුණා කරන්නට අතීත ගැමියෝ ක‍්‍රියා නොකළහ. ගමන සංවිධානය කෙරුණේ නඬේ ගුරෙක් යටතේය. නඬේ ගුරා කීවේ කණ්ඩායමට නායකත්වය දෙන තැනැත්තාටය. 
 
බොහෝ විට ඔහු සිරිපා ගමන ගැන අත්දැකීම් බහුල තැනැත්තෙකි. තමනට උවමනා කරන අඩුම කුඩුම, කෝඩු කාරයන් යන්නේ නම් ඒ අයට උවමනා දේවල් සූදානම් කර ගැනීම නඩේගුරාගේ වගකීමයි. තමන් සමග වන්දනාවේ යන පිරිස කිසිදු අපල උපද්‍රවයක් නොමැතිව සිරිපා කරුණා කරලා ආපසු නිවෙස්වලට ඇරලවීම නඩේ ගුරාගේ වගකීමයි. 
 
 ඕනෑම පාරකින් සිරිපා අඩවියට ඇතුළුවන විට පන්සිල් සමාදන් වීම බෞද්ධයන්ගේ සිරිතකි. එසේම එතැන් පටන් මළුව වැඳ ආපසු එන තෙක් ”නෑ”, ”බෑ” වචන නොකියන්නට වග බලාගත්තාය. අවකැපෙන වචන යැයි ගණයට වැටෙන කිසිදු වචනයක් නොකිව යුතු බවට නඩේගුරා ගමන ආරම්භයේදීම උපදෙස් දෙයි. 
 
”කට වරද්දා ගන්න එපා” නඩේ කෙනෙක් වැරදි යමක් කියනු ඇසුණොත් නඩේ ගුරා සැර වෙයි. ”මේක සමන් දෙවියන්ගේ අඩවිය... කට පරිස්සමෙන් හොඳා....”යැයි ඔහු කියයි. ඒ අවවාදය ගමන ගොස් එන තුරු සිහියේ තබාගන්නට නඩේ සාමාජිකයෝ වග බලාගනිති. යම් හෙයකින් කුඩා හෝ අතුරු ආන්තරාවක් සිදුවුණොත් වරද පැටවෙන්නේ ”කට වරද්දාගත්” පුද්ගලයාටය. 
 
සිරිපා ගමන එදා වන්දනා ගමනක් වුණත් අද එය විනෝද ගමනකි. පළමු වරට සිරිපා වන්දනාවේ යන තැනැත්තා ”කෝඩුකාරයාය”. කෝඩුකාරයාට වයසක් නැත. දෙවෙනි වරට සිරිපා වන්දනාවේ යන්නා දඬු කෝඩුය. දඬු කෝඩුකාරයා කිරි කෝඩුට අත්දැකීම් සහ කළ යුතු චාරිත‍්‍රවාරිත‍්‍ර කියා දිය යුතුය. ඔහු කියාදෙන දේ හරිද වරදිද යන්න නඬේගුරාත් කිහිප වරක් වන්දනාවේ ගොස් ඇති අයත් අවධානයෙන් යුතුව සිටිති. 
 
සිරිපා වන්දනා කරන්නට යනවිට අග්ගලා ගෙන යාමේ සිරිතක් අතීතයේ පැවතුණි. ඒ ගෙනියන අග්ගලාවල යම් වෙනසක් ද තිබුණි. ඒවාට ගම්මිරිස් ඇට කිහිපයක් දමා ගුළි කිරීම අතීත සිරිතකි. හේතුව හිමේ දී කහට තේ සමග මේ අග්ගලා කන විට ගම්මිරිස් ඇටයක් හැපුණ විට සිරුරට අමුතු උණුසුමක් ගෙනදීමයි. අදමෙන් විවිධ වූ බිස්කට් වර්ග, කැවිලි වර්ග එදා සිරිපා වන්දනා ගමනට එක් නොවීය. බොහෝ විට කෝඩුකාරයාගෙ ගමන් මල්ලේ සෝදා පිරිසිදු කළ ඉඟුරු කැබැල්ලකි. දවටනයක එතූ සූකිරිය. තවත් විටක වේලුණු කෙසෙල් කොළයක (පරඬැල් කොළයක) එතූ කිතුල් හකරු කෑල්ලකි. නැත්නම් කිතුල් හකුරු ගුලියකි. ඒ සීතලක් දැනුණොත් හපන්නය. 
 
ක‍්‍රිශාන්ත භාග්‍ය දිය නෑවේ හැටන් පාරේ වතාවත් කරන සීත ගඟුලට පහළිනි. ඒ හරියට වඩා සිරිපා අඩවිය දෙසට වන්නට වතුර සීතල වැඩිය. වතුර ටිකක් අතට ගන්නට බැරිතරම් සීතලය. ඇඟ කිළිපොළා යන සීතලක් ය. ඒත් කෝඩුකාරයන්ට මේ සීතල සමාවක් නැත. 
 
හිමේට ඇතුලුවන මායිම ලෙස සලකන සීත ගඟුලේ දී ඕනෑම පාරකින් යන කෝඩුකාරයන් දෙහි කෑල්ලක් හිසේ ගා ස්නානය කිරීම අත්‍යවශ්‍යය. සමහරු දියේ ගිලී ස්නානය කරති. සමහරු වන්දනාවේ යනවිට රැගෙන යන කුඩා බාල්දියකින්, ටින් එකකින් වක්කරගෙන දියනාති. සබන් ගෑමක් නොකෙරයි. ඒවෙනුවට එක්කෝ දෙහි කෑල්ලක් ඇඟේ උලා ගනී. නැත්නම් එනවිට නිවසේදි සාදාගෙන ආ කහ මිශ‍්‍ර නානු මිශ‍්‍රණය ඇඟේ ගා ගනී. එය දවල් ද කියා වෙනසක් නැත. 
ඈත සිටම එන පැන් ගඟුළ ල්ලා
පාද එබූ මුනිඳුගේ දෙපතු ල්ලා
දෑතම දික්කර ගල අ ල්ලා
සීත ගඟුලෙ පැන් නා සිත ලො ල්ලා 
 
මේ අතීතයේ සිරිපා ගමන ගැන රචිත පුරාණ හිමගත වර්ණනාව ග‍්‍රන්ථයේ සීත ගඟුල ගැන ලියැවුණ කවියකි. 
 
සීත ගඟුලෙන් දිය නා අලුත් ඇඳුම් ඇඳගත්ත ද දත කට වෙව්ළන සීතල පහව ගොස් නැත. ඉඟුරු කෑල්ලක් හා කිතුල් හකුරු ගුළියක් හෝ හකුරු කෑල්ලක් සමග උණුසුම් තේ කෝප්පයක් අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒ සමග ගතට සිතට අලුත් ප‍්‍රබෝදයක් එයි. කෝඩු, දඬු කෝඩු, සෙසු සැවොම මෙලෙස පේවී හිමේට ඇතුළු වී සිරිපා වඳින්නට යති. 
 
 
අද මේ සිරිත් විරිත් ඇත්තේ ම නැත. මේවා සමච්චලයට ලක්කරන සමාජ පරපුරක් හමුවේ ඒවා දන්නා වැඩිහිටියෝ ද ඒ සිරිත් විරිත් අනුගමනය කරන්නට හිතාමතා ම අමතක කරති. අද නේක වර්ණයන්ගෙන් යුතු විච්චූරණ ඇඳුම් ඇඳගෙන සිරිපා කරුණා කරති. එදා මොන ඇඳුම් ඇඳගෙන මොන පාරෙන් ගියත් සීත ගඟුල් වලින් එගොඩ වන්නේ නා පිරිසිදු වී සුදු ඇඳුම් ඇඳගෙනය. කෝඩු කාරයාගේ ඇඳුමේ කොනක හෝ දකුණු අතේ සුදු රෙදි කඩක ගැට ගැසූ පඬුරකි. ඒ පඬුර ගලවන්නේ මළුවේ දීය. එදා සිරිත් ඉටු කළේ එපරිද්දෙනි. 
 
තමන්ගේ නඬේ කෙනෙක් මොහොතකට හෝ එහා මෙහා වෙනවා නම් නඬේ ගුරා දැනුවත් කළ යුතු බවට උපදෙස් ගමන ආරම්භයේ දී පමණක් නොව සීත ගඟුලේදී දිය නා පන්සිල් ගෙන ගමන් අරඹන විටදීත් නඬේට ලැබෙයි. ක‍්‍රිශාන්ත භාග්‍ය සමග එවැනි නඬේ ගුරෙක් ආවා නම් ඔහුට එතරම් වෙලාවක් සීත ගඟුලේ බැස ඉන්නට ඉඩ නොලැබෙනු ඇත. ආවාට ගියාට සිරිපා ගමන අයෝග්‍ය බව ක‍්‍රිශාන්තගේ මරණයෙන් වත්මන් තරුණ පරපුරට පාඩමක් කියා දෙයි. 
 
දහනම වැනි වියේ පසු වූ ක‍්‍රිශාන්ත වැනි නව යෞවනය යෞවනියන් කොතරම් ප‍්‍රමාණයක් මේ සිරිත් විරිත් නොදැන සිරිපා හිමේට ඇතුළු වී විවිධ අතුරු ආන්තරාවන්ට මුහුණ දෙන්නේ ද? සිරිපා කරුණාකර ආපසු එද්දී එරත්න පාරේ සීත ගඟුලෙදී ජීවිත බිළිඳුන් සෑම කෙනෙක් ම හිතූ මතේට සිරිපා කරුණා කළ අය වෙති. වැඩිහිටි හෝ දන්නා කියන කිසිම කෙනෙක් ඒ නඩවල නොවීය. තරුණ ජවය, යෞවනත්වය, තාරුණ්‍ය පෙන්වන්නට ගිහිං ජීවිත අහිමි කරගත්තෝ වෙති. 
 
 
නමුත් සිරිපා වන්දනාවේ යාමේදී කාලගුණ තත්ත්වය, අවට පරිසරයේ සීත උණුසම් බව, නඬේ අයගේ සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගැනීම දැන් යන කණ්ඩායම් අවධානයක් යොමු කරන්නේ ම නැත. 
 
“හිමේට අඳුරු කළා. හැන්දෑවේ ගමනට වඩා අම්බලමේ නතර වෙලා හඳ පෑව්වට පස්සේ කරුණා කරමු.” සිරිපා අඩවිය ගැන දන්නා නඬේ ගුරාලා කළු වළාකුළෙන් සිරිපා අඩවිය වැසී ගියොත් නඬේට යෝජනා කරති. ඔහුට විරුද්ධ වන්නට කිසිවෙක් නැත. අද මෙන් “බෑ... බෑ... නැවතිලා... බෑ... තෙමෙන්න හරි යමු... මට හෙට විතරයි නිවාඩු... අනිද්දා පාන්දර වැඩට ඉන්න ඕනෑ...” යැයි කියමින් හිතූ මතේට යන්නේ නැත. 
අද “ශ්‍රී පාදේ යන” නමුත් එදා “සිරිපා කරුණා කළහ”. නඬේ ගුරාලාගේ කීම නොතැකූ තරුණ ගැටව් එදත් සිටියහ. නමුත් කට වරද්දා ගැනීමේ විපාක හමුවේ වරදට සමාව ගෙන පරිස්සම් වෙන්නට ඒ තරුණයින් වග බලා ගත්තේ ය. එනිසා සැදී පැහැදී සිරිපා කරුණා කළ කිසිම කෙනෙක් අතුරු ආන්තරාවකට පත් නොවිණි. 
 
සිරිපා අඩවියේදී මියගිය හෝ වෙනත් අතුරු ආන්තරාවකට පත් වූ හැම කෙනෙක් ම පාහේ නිසි මඟපෙන්වීමක් නැතිව සිරිපා අඩවියට ඇතුළුවූවන් බව නොරහසකි. එය හාස්කම්වලටත් වඩා අනාරක්‍ෂාවයි. තමන්ගේ අනාරක්‍ෂාව ඇති කරගන්නේ තමන්මය. 
 
අතීත සිරිපා වන්දනාකරුවන් තුන් සරණ කවි කීවේ ඇඟේ උණුසුම රඳවා ගන්නටය. ඒ කවි තුළ බුදුගුණ අන්තර්ගත කිරීමෙන් ශ‍්‍රද්ධාව ඇති විය. ගොයම් කපන විට ගොයම් කවි කීමෙන් වෙහෙස නොදැනුණාක් මෙන් තුන් සරණේ කියමින් සිරිපා කරුණා කරන විට වෙහෙසක් නොදැනුණි. කෙනෙකුට වෙහෙසක් ඇති වී නම් තුන්සරණේ කවි ගායනයේ දී ඒ බව සෙසු පිරිසට වැටහෙයි. එවිට විඩා නිවාගන්නට ටිකක් නවතියි. සිරිපා වන්දනාවේ දී තුන් සරණෙ කවි ගායනය ගතේ වෙහෙස අන්‍යයන්ට සංනිවේදනය කරන්නට හොඳ මාධ්‍යයක් විය. 
 
නමුත් අද බොහෝ තරුණ තරුණියන් සිරිපා කරුණා කරන්නේ මේ කිසිත් නොදැනය. අධික සීතලෙන් මිදෙන්නට අපේ මුතුන් මිත්තන් එදා ක‍්‍රියා කළ ආකාරය ඔවුන් පුදුමයට පත් කරවයි. 
 
කතරගම වන්දනාවේ වැරදියට යන අයට කිව්වේ “දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග” කියා ය. සිරිපා වන්දනාවට එවන් වදනක් නැතත් නොදැන, අපිළිවෙතින්, නිසි උපදෙස් නැතිව සිරිපා කරුණා කළොත් ප‍්‍රතිඵල අවදානම් විය හැක.
 
 
 
 
 
සංචාරක සටහන හා ඡායාරූප : 
අජිත්ලාල් ශාන්තඋදය



අදහස් (0)

මිනිස් බිලි ගන්න තරම් සීත ගඟුල භයානකද ?

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 80 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 42 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 128 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 143 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 115 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 69 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 448 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1024 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 349 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site