අපේ පැරැණි ප්‍රතිමා ශිල්පියාගේ දස්කම් කියාපාන බුද්ධ, බෝධිසත්ව, රාජ හා තවත් අනේක වූ ප්‍රතිමා රාශියක් මේ පින්බර සිරිලක පුරා විසිරී පවතී. මහමෙව්නාවේ සමාධි බුදු පිළිමය, කලා වැව් ඉස්මත්තේ අවුකන බුදුරුව, තොළුවිල සමාධි බුද්ධ රුව ඇතුළු බුද්ධ ප්‍රතිමා සේම කුෂ්ඨරාජගල, බුදුරුවගල, පොළොන්නරුවේ ගල් විහාරය, සිතුල්පව්ව ආදී ප්‍රදේශයන්ගේ දක්නට ලැබෙන බෝධිසත්ව ප්‍රතිමා පෙන්නුම් කරනුයේ මෙරට ප්‍රතිමා ශිල්පියාගේ නිපුණත්වයයි. එවන් තවත් අපූර්වතම ප්‍රතිමාවක් ලෙස දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව හැඳින්විය හැකි අතර එය ගලින් නෙළන ලද ලෝකයේ විශාලතම බෝධිසත්ව ප්‍රතිමාව ලෙස ද පිළිගැනේ. නමුත් වංශකතා හා විද්වත් තොරතුරු සූක්ෂමව විමසා බැලූ විට මෙතෙක් රහසක්ව පැවැති විස්මය දනවන කරුණක් අනාවරණය වේ. එනම් දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාවටත් වඩා විශාල වූ බෝධිසත්ව ප්‍රතිමාවක් එම ප්‍රදේශයේම පොළොව යට තවමත් සැඟවී ඇති බවයි.
දැනට ලොව ඇති විශාලතම ශෛලමය බෝධිසත්ව පිළිමය ලෙස සැලකෙන දඹේගොඩ අවලෝකිතේශ්වර බෝසත් පිළිමය පිහිටා තිබෙන්නේ පුරාණ රුහුණු රාජ්‍යයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල උපදිසාපති කොට්ඨාසයේ ඔක්කම්පිටියට නුදුරු දඹේගොඩ ප්‍රදේශයේය. පිහිටි පොළොවෙන් තරමක් උස්වූ බිම් කඩක නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව සොයාගන්නා අවස්ථාව වන විටත් බිම ඇද වැටී කැබැලි 50කට අධික ප්‍රමාණයකට වෙන්වී තිබුණු බව පරණවිතාන මහතා සඳහන් කර ඇත. පසුව පිළිමයේ වෙන්වී තිබූ කැබැලි පුරුද්දා ඉතා සූක්ෂවම සංරක්ෂණය කර 1990 වසරේ දී නැවත ප්‍රතිෂ්ඨාපනය කර තිබේ. ප්‍රතිමාව උසින් අඩි 30ක් පමණ වන අතර බෝධිසත්වයන්ගේ හිසෙහි (මකුටයෙහි) යොදා ඇති සමාධි ප්‍රතිමාව නිසාවෙන් මෙය අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස හඳුනාගනී.
දඹේගොඩ බෝසත් පිළිමය මතුකරගන්නා අවස්ථාව
හුණුගල් විශේෂයකින් මෙම පිළිමය නිර්මාණය කර ඇති අතර වෙනත් ස්ථානයක නිර්මාණය කර මෙම ස්ථානයට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කරනු ලබන්නේ එම පාෂාණ විශේෂය එම ප්‍රදේශයෙන් හමුනොවන නිසාය. ප්‍රතිමාවේ බර ටොන් 40ක් පමණ වන බවට ගණන් බලා ඇත. ප්‍රතිමාව සිටුවා ප්‍රතිෂ්ඨාපනය කර ඇත්තේ අඩි 14 අඟල් 10ක විශ්කම්භයකින් යුත් ශෛලමය පද්මාසනයක් මතය. දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාවේ ඉතිහාසය විමසා බලන විට බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ මෙය අග්බෝ රජුගේ සොහොයුරකු වූ පළමුවන දප්පුල රජු විසින් ක්‍රි.ව. 7 වන සියවසේ දී කරවන ලද බවයි. බොහෝ ග්‍රන්ථවල ද මෙම පිළිමයේ නිර්මාණ අයිතිය දප්පුල රජු වෙත පවරා දී ඇත. නමුත් වංශකතාව දෙස සූක්ෂවම අවධානය යොමු කළ විට අපට අනාවරණය වන්නේ විශ්මය දනවන කරුණකි.
ගලින් නෙළන ලද ලෝකයේ විශාලතම බෝධිසත්ව පිළිමය දඹේගොඩ බෝසත් ප්‍රතිමාවද නැතහොත් එය තවමත් ඇත්තේ මොණරාගල පොළොව යට ද?
මහාවංශයට අනුව (43 පරිච්ඡේදයේ 62, 63 ගාථා) පළමුවන දප්පුල රජු නිර්මාණය කරන්නේ මෛත්‍රිය බෝධිසත්ව පිළිමයකි. මෛත්‍රි බෝධිසත්ව පිළිමයක් හඳුනාගත හැකි නිර්ණායකය වන්නේ එම බොධිසත්ව රුවේ හිසෙහි ස්තූප සලකුණක් යොදා තිබීමය. නමුත් දප්පුල රජු කරන ලදැයි වර්තමානයේ හඳුන්වනු ලබන දඹේගොඩ බෝධිසත්ව රුවෙහි හිසෙහි දක්නට ලැබෙන්නේ සමාධි බුද්ධ රූපයකි. සමාධි බුද්ධ රුව යොදාගනු ලබන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් සඳහා පමණි. එසේම වංශකතාවේ සඳහන් වන්නේ දප්පුල රජු පසළොස් රියන් උස මෛත්‍රි බෝධිසත්ව පිළිමයක් කළ බවය. පැරැණි රියනත් වර්තමාන රියනත් සලකා බලන විට පැරැණි රියන අඩි 2 අඟල් 6ක් පමණ වේ. ඒ අනුව දප්පුල රජු විසින් කරවන ලද බෝසත් පිළිමයේ උස අඩි 37ක් පමණ විය යුතුවේ. නමුත් දඹේගොඩ බෝසත් පිළිමයේ උස අඩි 30කි.
මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය අලුත්වැව සෝරත හිමියන් තම “බෞද්ධ රෝහණය” නම් කෘතියේ දී (2014 දෙවන මුද්‍රණය, පිටුව 194) ප්‍රශ්න කරනු ලබන්නේ දප්පුල රජු කරවන ලද බෝධිසත්ව ප්‍රතිමාව සුප්‍රසිද්ධ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව නොවේද යන්නයි. සැබෑ ප්‍රතිමාව තවමත් පොළොවේ මිහිදන්ව පවතී ද යන්නයි. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා විදාරණී 2014 කලාපයේ දී “අරියාකාර විහාරය, අරිත්තරා වෙහෙර හෙවත් රජගල” මැයෙන් ලිපියක් ලියමින් පෙන්වා දෙන්නේ (101 පිටුව) දප්පුල රජු විසින් කරවන ලද සැබෑ බෝසත් පිළිමය දඹේගොඩ බෝසත් පිළිමය ද යන්න පිළිබඳව ගැටලු මතුවන බවය. එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අරියාකර විහාරය යනු (වර්තමානයේ දඹේගොඩ ආරාම සංකීර්ණය ලෙස හඳුන්වන) අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි රජගග විහාරය විය හැකි බවයි.
වර්තමානයේ දඹේගොඩ බෝසත් පිළිමයේ පිහිටීම
වංශකතා සාධක, දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාවේ ලක්ෂණ හා විද්වත් මත සලකා බැලූ විට අපට අනුමාන කළ හැක්කේ ලොව විශාලතම ශෛලමය බෝධිසත්ව පිළිමය ලෙස සැලකෙන දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාවටත් විශාල වූ ප්‍රතිමාවක් තවමත් මොණරාගල හෝ අම්පාර ආශ්‍රිත ප්‍රදේශයේ මිහිදන්ව පවතින බවයි. මෙම ලිපිය කියවන ඔබ හෙට දින මෙම භූමියේ පය තබා යන්නේ පය තබන කුමන හෝ තැනක දැවන්ත බෝධිසත්ව පිළිමයක් සැඟවී ඇතැයි යන සිතුවිල්ලත් සමග වනු ඇත.
රත්ගම උදේනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ගාල්ල
දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය
‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මොනරාගල පොළොව යට සුවිසල් ප්‍රතිමාවක්?