භාරත දේව සභාව 

මෙහි මුල්කොටස ඉකුත් සතියේ පළවිය.


“රජතුමනි, ​වේදිකාවේ කැණීම් ආරම්භ කළ බව ඇමැතිතුමා දැනුම් දෙන්නැයි පැවසුවා.  
අමුත්තා කීවේය.”  
“හ්ම්...”
රජු කීවේ එපමණකි. ඔහුට අවශ්‍යව තිබුණේ වේදිකාව යට සඟවා තිබෙන දෙය කුමක්දැයි දැන ගැනීමටය. එබැවින් රජු ලැබුණු පණිවිඩය ගැන සෑහීමකට පත් වූයේ නැත.  
සන්ධ්‍යාව එළැඹියේය. සිය මැදුරට වී කවුළුවෙන් එපිට පෙනෙන මනරම් දසුන දෙස බලා සිටි රජුට එක්වරම පෙනුණේ අශ්ව කරත්තයකි. සිය රාජ්‍යය තුළ අශ්ව කරත්ත පාවිච්චි කරන්නේ ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් පමණක් බැවින් රජුට සිතුනේම ඒ තම ඇමැතිවරයකු බවය. ඔහු ඉකුත් දවසක වන මැදවූ උයනෙහි තිබූ වේදිකාව කැනීමට පැවරූ ඇමැතිවරයා බව රජුට අවබෝධ වූයේ පසුවය. වහා සිය අසුනින් නැගිට රජු මැදුරේ ඉදිරිපිටට ඇවිද ගියේය.  
රජ මැදුර අභියසට පැමිණි ඇමැති රථය එක්වරම නතරවිණි. පළමුව ආරක්‍ෂක භටයන්ද අනතුරුව ඇමැතිවරයාද කරත්තෙන් බිමට බැස්සෝය. කුතුහලයට පත් රජු ඇමතිවරයා දෙස බලා සිටියේය. වහා පැමිණ එකත්පස් වූ ඇමැතිවරයා රජු ඇමතුවේය  
“උතුමාණෙනි”  
“පවසන්න.. වේදිකාව ඉවත් කළාද?”  
“එහෙමයි. තවමත් කැණීම් කරගෙන යනවා....”  
“වේදිකාව යට කුමක් හෝ තිබෙනවාද?”  
රජු ඇසුවේය  
“එහෙමයි උතුමානෙනි, මට පුදුම වේදිකාව අසලට ගිය සැණින් වේදිකාව යට යම් කිසිවක් තිබෙන බව ඔබ වහන්සේ දැනගත්තේ කෙසේද කියායි.”  
ඇමැති කීවේ රජුගේ හිතේ කුතුහලය පමණක් නොව කෝපයද වර්ධනය කරමිනි.  
“ඇමැති, ඔබ පවසන්නේ වේදිකාව යට යම් කිසිවක් තිබෙන බවද?”  
“එහෙමයි රජතුමනි”  
“කුමක්ද?”  
“මට කමා කරන්න රජතුමනි. මා සත්‍යය පැවසුවත් ඔබතුමා මෙය සත්‍යයක් සේ විශ්වාස නොකරන බව මට විශ්වාසයි.”  
“ඇමැති, වහා පවසන්න, කුමක්ද තිබෙන්නෙ..”  
“සිහසුනක්”  
ඇමැති කීවේ තම ආරක්‍ෂක භටයන් වෙතින් මෑත්ව රජුගේ කනටම මුව ළංකර රහසෙනි.  
“කුමක්ද? ඇමැති ඔබ මට විහිලු කරනවද?”  
“කමාකරන්න රජතුමනි, මා ඔබතුමාට මුලිනුත් පැවසුවා ඔබ මේ පුවත විශ්වාස නොකරන බව....”  
“සිහසුනක්?”  
රජු යළිත් ඇසුවේය.  
“එහෙමයි උතුමානෙනි, තවමත් එයින් මතු වී ඇත්තේ අඩක් පමණයි. මට පෙනී ගිය අන්දමට එම සිහසුන තනිකරම රත්තරනින් නිමවූවක්... එහි වටිනා මැණික් ගල් අල්ලා එහි වටිනාකම තවත් වැඩිකර තිබෙන්නේ. එය දුටු විට මට ඇස් අදහා ගැනීමට පවා අසීරු වුණා. තවමත් මා සිතන්නේ මා දුටුවේ සිහිනයක්ද කියායි. නොඑසේනම් පලතුරු වත්තක වේදිකාවක් යට රත්තරං සිහසුනක් තිබිය නොහැකියි උතුමානෙනි.”   
රජු කිසිත් නොකියා ඇමැතිගේ මුව දෙස බලාසිටියේය.  
“උතුමානෙනි එබඳු සිහසුනක් මා මින් පෙර දැක නැහැ. අසා නැහැ. මා හිතන්නේ එය මෙලොව පවතින විශාලතම සිංහාසනය කියායි.”  
ඇමැති කීවේ ගැඹුරු හුස්මකින් ළය පුරවා ගනිමිනි..  
“රජතුමනි, සිහසුනේ පසෙකින් මතුවූයේ ලස්සන කාන්තාවකගේ පිළිරුවක්. එම පිළිරුව නිර්මාණය කර තිබුණේත් තනිකරම රත්තරනින්. මෙය මට නම් පුදුමයක් රජතුමනි.”  
“ඔබට පමණක් නෙවෙයි ඇමති මටත් පුදුමයක්” රජු කීවේය.  
“රජතුමනි, ඒ කාන්තා රුව, දෙස බැලූ බැල්මටම හැගුණේ එය රජ බිසවකගේ ප්‍රතිමාවක් කියායි.. ඇගේ ඇඳුම් පැළඳුම්, පැළඳ ඇති අභරණ ආදිය නිහඬව කියන්නේ ඒ බවයි.”  
“එසේද?”  
රජු ඇසුවේය.  
“එක්කෝ ඇය කිසියම් රජෙකුගෙ බිසවක්. නොඑසේ නම් රැජිනියක්...”  
“හ්ම්”   
“රජතුමනි, එපමණක් නොවෙයි මේ කාන්තා පිළිරුව සහිත සිහසුන පෘථිවියේ නිර්මාණයක් නොවේ යැයි මට හිතෙනවා. අනිවාර්යයෙන්ම එය දෙවියන්ගේ නිර්මාණයක් විය යුතුයි.”  
රජු තම ඇමැති දෙස බැලුවේ විසල් කරගත් නෙත් වලිනි.  
රජුට එක්වරම සිහිපත් වූයේ ඔහු කිසියම් තැනක දී කිය වූ ශිලා ලිපියක තිබූ වදන් කිහිපයකි. එයට අනුව අතීත ලෝකයේ මිනිසුන් දිව්‍යලෝකවලටද සංචාරය කරන්නට පුරුදුව සිටියහ. නමුත් ඒ කතා විශ්වාස කළ නොහැකි වූ විට ඒවා මිථ්‍යා කතා ලෙස හඳුන්වන්නට ලෝකයා පුරුදු වූහ. ඒ අතීත පුරාවෘත්තවල සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරන්නට කිසිදු සාධකයක් ඉතිරිව නොතිබීම එවැනි මතයකට පිටුවහලක් විය. එහෙත් ​ෙභා්ජා රජු මේ ශිලා ලිපිය විශ්වාස කළ බැවින් හමුවූ සිහසුන දිව්‍ය ලෝකයකදී කළ නිර්මාණයක් විය යුතු යැයි යන ඇමැති මතය පිළිගත්තේය. එසේ නම් මේ සිහසුන නිර්මාණය කළේ කා වෙනුවෙන්ද? ඔහු මේ සිහසුනේ වාඩිවී කොයිතරම් කාලයක් රජකම් කරන්නට ඇද්ද යන්න භෝජා රජු කල්පනා කළේය. කෙසේ හෝ වේවා මේ වටිනා සිහසුන අගනුවර වෙත ගෙන ඒමට රජුට අවශ්‍ය විය.   
“ඇමැති, ඉතා පරෙස්සමට කැණීම් කර සිහසුන පරෙස්සමට ගොඩට ගන්න, අනතුරුව එය අග නගරය වෙත රැගෙන ඒමට කටයුතු කරන්න.”  
රජු අණ කළේය.  
“එහෙමයි රජතුමනි.. එය ඉතා පරෙස්සමට කළ යුත්තක් බැවින් මට යම් කාලයක් අවශ්‍යයි.   
“ඔබට අවශ්‍ය තරම් කල්ගන්න ඇමැති...”  
රජු කීවේය...  
රජතුමනි, මෙම සිහසුන වසර සිය ගණනක් තිස්සේ පොළව යට පවතින්නක්. එබැවින් එයට අර උයන් හිමියාටත් වඩා බහිරවයා බැල්ම හෙලනවා ඇති. එබැවින් අපට මෙය අගනගරයට ගෙන එන්නට පෙර පුද පූජා පවත්වා බහිරවයාගෙන් අවසර ගැනීමට සිදුවේවි.”  
“හොඳයි... අවශ්‍ය දේ අවශ්‍ය පරිදි කරන්න.”   
දවස් කිහිපයක් ගෙවී ගියේය.  
පුරා රැයක් තිස්සේ යාග හෝම පවත්වා බහිරවයා සහ වෙනත් භූත බලවේග සතුටු කළ පසුව සිහසුන අගනගරයට ගෙන යන්නට කටයුතු යෙදිණි. ඒ සඳහා දින කිහිපයක් තිස්සේ බොහෝ වෙහෙස මහන්සි වන්නට සිදුවිය.  
සිහසුන ගෙනා විගස රජු අගබිසව ප්‍රමුඛ ඇමැතිවරු ගොස් සිහසුන දැක බලාගත්හ. ඇමැති කියූ විදිහටම ඒ සිහසුන ලෝකයේ විශාලතම මෙන්ම වටිනාම සිහසුන විය යුතුයැයි රජුටද සිතිණි. ඔහු විශ්මයට පත්ව විසල් කරගත් දෑසින් එදෙස බැලුවේය.   
“ඇමැති මා මේ දකින්නේ සිහිනයක් ද?”  
රජතුමා ඇසුවේය  
“සත්‍යයක් රජතුමනි, මා තවමත් සිතන්නේ මෙය සිහිනයක කොටසක් බවයි.”  
අපමණ සතුටට පත් වූ රජු මේ රන් සිහසුන තම මැදුරේ අභ්‍යන්තර විසිත්ත කාමරයක තැන්පත් කෙරෙව්වේය. ඉනික්බිති එතැනට වී මේ අගනා වස්තුව දෙස බලා සිටි රජු අන්තිමේදී එය ස්පර්ශ කර බැලුවේය.   
“පුදුමයි.”   
රජු කියාගත්තේ තමන්ටමය.   
රජ මැදුරේ සිටි සියළුම දෙනා මේ සිහසුන නරඹන්නට රජමැදුරේ විසිත්ත කාමරයට පැමිණියහ. මේ සියළු දෙනාටම එකවර ඇසුණේ යම් කිසි​ෙවක් අත්පොළසන් නගන හඬය. ඒ හඬ අනපේක්‍ෂිත එකකි. මේ හඬ කොහෙන් එන්නේදැයි යන්න රජුටද මැදුරේ අනෙකුත් සේවකයන්ටද රහසක් විය.  
මේ අත්භූත අත්පොළසන් හඬ එන ඉසව්ව දෙස බැලූ රජුට තනිකමක් නොදැනුනා නොවේ. බයක් නොදැනුනාද නොවේ.   
ඊළඟට ඇසුණේ සිනා හඬකි. කාන්තා හඬකින් නැගුණු ඒ සිනාහඬ මුළු රජමැදුරේම දෝංකාර දුන්නේය. රජු විමතියෙන් යුතුව සිංහාසනය දෙස බලා උන්නේය.  
සිංහාසනයේ කාන්තා රන් රූ තිස් දෙකක් තිබිණි. ඉන් එක් රුවක මුහුණ රන්වන් පැහැය, ඇගේ දෙතොල් සැලෙන හැටි රජුට පෙනිණි.  
“ආ මෙයයි, එහෙනම් හිනාවෙන්නෙ.”  
රජු එකී රන්රුව ස්පර්ශ කරමින් මිමිනුවේය.  
“ඔබ කව්ද?”  
සිනහව නතර කළ රන්රුව විමසුවාය.  
“ඇයි ඔබ හිනාවෙන්නෙ?”  
රජු පෙරලා විමසුවේය.  
එවිට සිනාව නතර කර රළු නෙතින් රජු දෙස බැලූ රන්රුව.  
“මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න” යැයි පැවසුවාය.  
“ඔබ කුමක් කරන්නද හැදුවෙ?”  
ඒ ඇගේ ඊළඟ පැනයයි.  
“මම හැදුවෙ සිංහාසනයෙන් වාඩිවෙන්න..”  
අර රන්රුව මොහාතකට කෝපයට පත්විය.  
“ඔබ දන්නවද මේ සිංහාසනය කාගෙද කියලා...”  
“නෑ.”  
රජු කීවේය... “කාගෙද?”  
“ඔබ අහල තියෙනවද වික්‍රමාදිත්‍ය රජු ගැන... ඔහු ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක්...”  
කාන්තා රන්රුව යළිත් හිනැහුණාය.   
“නැද්ද? ඔබ ඔහු ගැන මුකුත්ම දන්නෙ නැද්ද? ඔහු තමයි ලෝකයට සමෘද්ධිය උදාකළේ.. ලෝකයේ ඉසුරුමත්ම අවධිය උදාක​ෙළ්. ඔබ හැදුවෙ අන්න ඒ ශ්‍රේෂ්ඨ නරපතියාගේ සිංහාසනයේ වාඩිවෙන්නයි. ඔබ දන්නවද? ඔබ කරන්න හැදුවෙ වරදක් බව... බරපතළ වරදක් බව..”  
“වික්‍රමාදිත්‍ය රජු”  
භෝජා රජු මිමිනුවේය.  
ඔහු තම හිස දෙපසට සලමින් කල්පනා කළේය. “වික්‍ර ... මා... දි....ත්‍ය....”
කටින් කට පැමි​ෙණන ප්‍රබන්ධ කතා කිහිපයක් මිස වික්‍රමාදිත්‍ය රජු සම්බන්ධ වෙනත් පැහැදිලි ඉතිහාසගත තොරතුරක් අසන්නට නැත. මිථ්‍යා ප්‍රබන්ධ, සත්‍යයක් සේ සැලකීමට නොහැකිය. එබැවින් වික්‍රමාදිත්‍ය රජු යනු සැබෑ කෙනෙක්දැයි භෝජා රජු දැන සිටියේද නැත. කෙසේ වෙතත් මිත්‍යා කතා වලට අනුව නම්, වික්‍රමාදිත්‍ය රජුට සිහසුන පිරිනැමුවේ ඉන්ද්‍ර දෙවියා විසිනි.  
භෝජා රජු නෙත් විසල් කරගෙන වික්‍රමාදිත්‍ය රජුගේ සිහසුන දෙස බලා සිටියේය. එහි සිටින කාන්තා රන්රුවක් දැන් වික්‍රමාදිත්‍ය රජු පිළිබඳව සත්‍යය හෙළිදරව් කරයි.   
“කව්ද වික්‍රමාදිත්‍ය රජු? කරුණාකර මට කියන්න.”  
රජු මද සිනාවක් ඇතිව පැවසුවේය.  
“හොඳයි. එහෙනම් අහගෙන ඉන්න. හැබැයි ඔබට කතන්දර තිස් දෙකක් අහන් ඉන්න වෙනවා. මේ රන් රූප තිස් දෙකම ඔබට කතාව බැගින් කියනවා.”  
“කමක් නෑ කියන්න..”  
භෝජා රජු සිහසුන අසල වාඩි වූයේය.  
එක් එක් රන්රුව එක කතාව බැගින් පැවසූහ. ඒ කතා වලින් විස්තර වූයේ වික්‍රමාදිත්‍ය රජුගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ තොරතුරුය.  
“වික්‍රමාදිත්‍ය රජු බොහෝ...ම ශ්‍රේෂ්ඨ නරපතියෙක්.. ඔහුගේ හැකියාවට, ශ්‍රේෂ්ඨත්වයට අලගු තැබීමටවත් මට හැකිවන්නේ නෑ.”  
භෝජා රජු කල්පනා ක​ෙළ්ය. “මම ඒ තරම් ශ්‍රේෂ්ඨ නරපතියෙක් නෙවෙයි.”  
“රජතුමනි, ඔබ දන්නවාද අප ගැන..”  
පළමුව සිනා හඬනැගූ කාන්තා රන්රුව රජු ඇමතුවාය.  
“නැහැ..”  
“එසේනම් අහන්න... අපි කෛලාස මැදුරේ සේවය කළ අප්සරාවො... අපට අවශ්‍ය වුණා ශිව දෙවියන්ගේ ප්‍රේමයට පාත්‍ර වීමට.. අපි තිස් දෙදෙනාම ඒ සඳහා උත්සාහ ගත්තා. නමුත් පාර්වතී දේවියට හොරා ශිව දෙවියන්ගේ ප්‍රේමය ලබාගැනීමට අපි අපොහොසත් වුණා. එහි ප්‍රතිඵලය වු​ෙණ් කුමක්ද දන්නවාද?”  
රජු හිස සැලුවේ නැතැයි කියන්නටයි.  
“පාර්වතී දේවිය අපිට ශාපකළා. ඒ ශාපයේ ප්‍රතිඵලය තමයි මේ වික්‍රමාදිත්‍ය රජුගේ සිංහාසනයේ රන් රූ ලෙස ඇලී සිටීම.”  
භෝජා රජුගේ අත දකුණු කම්මුල මතට ගියේය ඔහුට ඒ මොහොතේ දැනුනේ අනුකම්පාවකි.  
“ඔබට ගොඩාක්ම ස්තුතියි.”  
එවිටම තවත් රන්රුවක් කතා කළාය. “යම් දවසක, යම් කිසිවෙකුට වික්‍රමාදිත්‍ය රජු පිළිබඳ වන කතා තිස් දෙක හෙළිදරව් කළ පසු පාර්වතී දේවිය අපට කළ ශාපයේ බල රහිත වෙනවා.. දැන් සිදුවූයේ එයයි.. දැන් ඉතින් අපට ආපසු දිව්‍ය ලෝකයට යන්නට පුළුවන්.. රජතුමනි, ඔබට ස්තුතියි..”  
එසේ කී රන් රූ සිංහාසනයෙන් අතුරුදන් වූහ.   
භෝජා රජු වික්ෂිප්ත වූවේය. ඔහු සිංහාසනය දෙස බලා එහි රන් රූ නොමැති වූ තැන අහස දෙස බැලුවේය. එහෙත් අප්සරාවන් ගැන කිසිදු හෝඩුවාවක් නොලැබිණි.  
මෙතෙක් වේලා රජුට දැනුණු බිය මේ ​මොහොතේ ඔහු ළඟ නොවීය. සිංහාසනය හොඳින් අතගා බැලූ රජු, අනතුරුව එහි වාඩිවූවේය.  
“වික්‍රමාදිත්‍ය රජු වගේම හොඳ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වෙන්න මටත් පුළුවන්.”
භෝජා රජු තමන්ටම කියා ගත්තේය.

 

 


ශාන්ත කුමාර විතාන