මහනුවර නගරය සීතලෙන් ගැහෙමින් තිබුණේය.
අලුත් දවසක් අරඹන්නට කඳු වළල්ල අතරින් හිරු කිරණ වැර දරමින් සිටියේ අමුතුම ආකාරයේ චමත්කාර දසුන් මවමින්ය.
ශ්‍රී දළදා මාලිගයේ වාහල්කඩ දොරටුවේ රාජකාරියේ නිරතව සිටියේ කාන්තා පොලිස් කොස්තාපල් ගීතානි සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර යන දෙදෙනාය.
දිනය 1998 ජනවාරි මාසයේ 25 වැනි දාය
වේලාව අලුයම 5.45ට පමණ ආසන්න වෙමින් තිබිණි.
විෂ්ණු දේවාලය දෙසින් විදුලි පහන් දල්වාගත් ෙලාරියක් එනවා මුලින්ම දැක්කේ කොස්තාපල් ගීතානි ජයවර්ධනය.
ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් දිනය මහ ඉහළින් ගරු ගාම්භීරව ප්‍රධාන රාජ්‍යය උත්සවය පැවැත්වීමට සියල්ල ලක ලෑස්ති වෙමින් තිබුණේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමිනි.
නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතව සිටියේ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයාය.
චාල්ස් කුමාරයා ශ්‍රී දළදා මාලිගය වැඳ පුදා ගැනීමට ද පැමිණීමට නියමිතව සිටි නිසා එහි යම් යම් අලුත්වැඩියා කටයුතුද සිදුවෙමින් පැවතියේ එවකට දියවඩන නිලමේවරයාව සිටි නෙරංජන් විජයරත්න මහතාගේ උපදෙස් හා මත මඟ පෙන්වීම් යටතේය.
මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්
ශ්‍රී දළදා මාලිගයේ යම් යම් අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පැවති නිසා එම අලුත් වැඩියා කටයුත්තකට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන එන ලොරියක් විය හැකි බවට මුලින්ම සැක කළත් ලොරිය එන වේගය ඔවුන් දෙදෙනාට එතරම් ඇල්ලුවේ නැත.
තරමක වේගයෙන් ආ ලොරිය වාහල්කඩ ළඟටම එද්දී පඩිපෙළේ හැප්පුණු නිසා කොස්තාපල් බණ්ඩාර ගියේ සිද්ධවුණේ මොකක්ද කියා විපරම් කර බැලීමටය.
කොස්තාපල් බණ්ඩාර ගිය පයින් ආපසු හැරී දුවගෙන ආවේ ලොරි රථයේ සිටි අයෙක් ගිනි අවියක් අතට ගෙන එය කොස්තාපල්වරයා දෙසට මෑනීමට සූදානම් වීම නිසාය.
කොස්තාපල් බණ්ඩාර අත ගිනි අවියක් නොවීය.
කොස්තාපල් බණ්ඩාර දිව එනු දුටු කොස්තාපල් ගීතානි යම් අනතුරක සේයාවක් දුටු නිසා ක්ෂණිකව ක්‍රියාත්මක වී යකඩ ගේට්ටුව වසා දමා ඇත.
කාන්තා කොස්තාපල් ගීතානි ගේට්ටුව වසනවාත් එක්කම ලොරිය පස්සට ගෙන වේගයෙන් පඩිපේළියේ හැප්පෙනවාත් සමගම මහ පිපිරීම් හඬක් ඇසුණේ මහනුවර නගරයම දෙදරුම් කමිනි.
එතෙක් සීතලෙන් ගැහෙමින් තිබූ මහනුවර නගරය උණුසුම් වී යන්නට ගත වී ඇත්තේ නිමේෂයකි.
අධි බලැති බෝම්බයක් සහිත ලොරියක් පදවාගෙන පැමිණ මෙම පිපිරුම සිදුකරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ත්රස්තවාදීන් කණ්ඩායමක් විසිනි.
සකල ලෝකවාසීන්ගේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට කොටි ත්රස්තවාදීන්ගේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලවීමේ පුවත කන වැකීමත් සමඟ සුවහසක් බෞද්ධයෝ සිත් සතන් කම්පාවෙන් කම්පාවට පත්වූහ.
ඇතැමකු දුක වාවගත නොහැකිව හඩා වැටී ඇත. කාන්තා කොස්තාපල් ගීතානි ගේට්ටුව වසා දැමීම නිසා ශ්‍රී දළදා මාළිගාවට වෙන්නට ගිය මහා විනාශයක් නූලෙන් වැළකී ගොස් හානිය අවම කර ගැනීමට හැකිවිය.
බෝම්බ ලොරියේ ටයර් කැබැල්ල
බෝම්බය පුපුරායාමෙන් 18 දෙනකු මියගිය අතර ඒ අතර ප්‍රහාරයට පැමිණි කොටි ත්රස්තයෝ 04 දෙනකු ද වූහ.
බෝම්බ ප්‍රහාරයෙන් 21 දෙනකු තුවාල ලබා තිබිණි.
තුවාල ලැබූවන් අතර දිල්හානි (1277), ගීතානි ජයවර්ධන (1176), චාන්දනී (440), ස්වර්ණලතා (1600) යන කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සහ බණ්ඩාර (9167) දිසානායක (6894) සහ බණ්ඩාර (6971) යන කොස්තාපල්වරුද සිටියහ.
බෝම්බය පුපුරායාමෙන් කඩා වැටුණු වහලයක සුන් බුන් අතර සිරවී සිටියදී කාන්තා කොස්තාපල් ගීතානි පසුව සොයා ගත් අතර ඇයගේ ජීවිතයට හානි සිදුවී නොතිබුණත් තරමක් තුවාල සිදු වී තිබිණි.
මේ තොරතුරු සියල්ල හෙළිකළේ ශ්‍රී දළදා මාලිගයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට මුල සිටම සෘජුවම හවුල් වී සිටි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කේ.එම්.එච්. බෝවල, විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරුන් වන සුනිල් යටවර සහ වයි.එච්.අයි. වීරසිංහ යන මහත්වරුය.
දළදා මාලිගයට එල්ල වූ මේ ප්‍රහාරයෙන් කුපිත වූ ඇතැම් පිරිස් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙමින් මහනුවර නගරයේ හා ඒ අවට පිහිටි දමිළ ජාතිකයන්ගේ නිවාස හා වෙළෙඳසල්වලට පහර දීමටත් පටන් ගෙන ඇත.
එවකට මහනුවර සහකාර පොලිස් අධිකාරි (1) ජයන්ත වික්‍රමසිංහ මහතා වහා ක්‍රියාත්මක වී එවකට මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සාලිය සී. ද සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් සමඟ ගොස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිටි 100කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගත් නිසා හටගෙන තිබූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය කඩිනමින් මැඩලීමට සමත් වූහ.
සහකාර පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහ මහතා මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙසත් සාලිය සී. ද සිල්වා මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්වීම් ලබා කොළඹ මධ්‍යම කොට්ඨාසය බාරව රාජකාරී කරති.
බෝම්බ ලොරියේ සුන්බුන්
රාජ්‍ය බුද්ධි අංශයේ එවකට නියෝජ්‍ය අධ්යක්ෂවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී එම්.ආර්. ලතීෆ් (වර්තමානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි- නියෝජ්‍ය පොලිස්පති) මහතාද වහාම මහනුවරට පැමිණියේ මේ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණවලට සහභාගි වීමටය.
මහනුවර නගරය ආශ්‍රිතව කිසියම් පිපිරීමක් සිදුකර මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති 50වැනි නිදහස් සැමරුම කඩා කප්පල් කිරීමට එල්.ටී.ටී.ඊ. ය අර අඳින බවට කල්තියා රාජ්‍ය බුද්ධි අංශය මගින් තොරතුරු වාර්තා කර ද තිබිණි.
දින 40ක පමණ කාලයක් තිස්සේ සැක කටයුතු ලොරියක් මහනුවර ප්‍රදේශයේ සැරිසරන බැව් රාජ්‍ය බුද්ධි අංශය මෙම බෝම්බ පිපිරවීම සිදුවීමට කලින් නිකුත් කර තිබූ එම බුද්ධි වාර්තාව සකස් කර තිබුණේද එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිටි වර්තමානයේ නියොජ්‍ය පොලිස්පති නිලයේ සිටින ලතිෆ් මහතාමය.
දළදා මාලිගයේ ආරක්ෂාවට රේල් පීලි යොදා මාර්ග බාධකයක් යොදා තිබුණත් එම ස්ථිර හා ශක්තිමත් මාර්ග බාධකය ඉවත්කර තිබුණේ එවකට සිටි රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ නියෝගයක් මතය.
රේල්පීලි යොදා පිහිටුවා තිබූ ශක්තිමත් මාර්ග බාධකය ඉවත් කර ඒ වෙනුවට සාමාන්‍ය යකඩ ගේට්ටුවක් යොදවා ඇත්තේ රේල්පීලි යොදා ඉදිකර තිබූ මාර්ග බාධකය අවලස්සන බවත් නිදහස් උත්සවය වෙනුවෙන් කෙරෙන සංවර්ධන කටයුතු වලට බඩු මුට්ටු ගෙන ඒමේදී එය බාධාවක් වී ඇති බවත් පවසමිනි.
කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ ශ්‍රී දළදා මාලිගය අසල එල්.ටී.ටී.ඊය ලොරි රථ බෝම්බයක් පුපුරවා හැර මහ විනාශයක් සිදු කිරීමය.
රේලි පීලි මාර්ග බාධකය ඉවත් කර තිබුණත් දැඩි ආරක්ෂක වළල්ලක් මහනුවර ප්‍රදේශයේ පුරා ක්‍රියාත්මක වෙමින් තිබුණත් එක් ආරක්ෂක හිඩැසකින් රිංගා එල්.ටී.ටී.ඊ. යට බෝම්බ පිපිරවීමක් සිදු කිරීමට හැකියාවක් තිබුණත් එම හානිය අවමකර ගැනීමට හැකිවූයේ කොස්තාපල් ගීතානි ජයවර්ධන ලොරිය කලින්ම දැක යකඩ ගේට්ටුව වසා දැමීම නිසා බව නම් කිව යුතුව ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගයට එල්ල වූ මරගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඊට වග කිවයුතු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් අත් අඩංගුවට ගැනීමේ වගකීම පවරා ඇත්තේ එවකට රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිටි සේනක කුමරසිංහ මහතාටය.
මේ වගකීම පවරා ඇත්තේ එවකට රහස් පොලිසිය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ටී.වී. සුමනසේකර සහ එහි අධ්යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕ.කේ. හේමචන්ද්‍ර යන මහත්වරුන් විසිනි.
ඉදිරි විමර්ශන කටයුතු රහස් පොලිසියට පවරනු ලැබුවේ එවකට පොලිස්පතිවරයාව සිටි ඩබ්ලිව්. බී. රාජගුරු මහතාය.
වසර 32ක පමණ කාලයක් රහස් පොලිසියේ පමණක් රාජකාරිකර අත්දැකීම් බහුල දක්ෂ අපරාධ පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නමක් තබා ඇති සේනක කුමාරසිංහ මහතා විශ්‍රාම ලබන විට සිටියේ සහකාර පොලිස් අධිකාරි නිලයේය.
බෞද්ධයන් ගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගයට මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෙක් අධි බලැති බෝම්බයක් ඇටවූ ලොරියක් පදවාගෙන පැමිණ එල්ල කළ ප්‍රහාරයට මේ වන විට වසර 19ක පමණ කාලයක් ගත වී ඇතත් සේනක කුමාරසිංහ මහතාගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැත.
ඒ හා සම්බන්ධව කෙරුණු පරීක්ෂණ මුල සිට අග දක්වාම විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කුමාරසිංහ මහතාගේ මතක ගබඩාවේ තැන්පත්වී ඇත්තේ ගලේ කෙටූ අකුරුමෙනි.
යුදහමුදා භට කණ්ඩායමක්ද කැටිව කොටි පාලන ප්‍රදේශයකට ජීවිත පරදුවට තබා රිංගා දළදා මාලිගයේ බෝම්බ පිපිරවීමට සෘජුවම දායක වූ කොටි ත්රස්තයන් අල්ලා ගෙන රජයේ පාලන ප්‍රදේශයට කුදලාගෙන ආ ආකාරය සිය පොලිස් ජීවිතයේ ලැබු අමතක නොවන සිද්ධියක් බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කුමාරසිංහ මහතා පෙන්වාදෙයි.
සේනක කුමාරසිංහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව)
මහනුවර ශ්‍රී දළද්ා මාලිගයට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය එල්ල වුණාට පස්සේ ඒ ගැන පරීක්ෂණ පවත්වන්න මාව පිටත්කර යැව්වා. පරීක්ෂණ කණ්ඩායම බාරව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්‍රමසිංහ මහත්තයා. මගේ ප්‍රධානත්වයෙන් රහස් පොලිස් කණ්ඩායමක් එදිනම මහනුවර බලා පිටත්ව ගියා. අපරාධ විමර්ශන කටයුතු සඳහා හිටිය දක්ෂතම නිලධාරින් කණ්ඩායමක් එක්ක තමා මේ ගමන පිටත්වෙලා ගියේ. පොලිස් පරීක්ෂක හැරී උඩුගම පොලිස් සැරයන්වරුන් වන ධර්මසිරි (22464), බැසිල් (2342) කොස්තාපල්වරුන් වන ලලිත්, ජයසිරි, ජයන්ත හා පෙරේරා ඇතුළු 20 දෙනකු ගෙන් පමණ පිරිසක් මාත් එක්ක ගිය කණ්ඩායමට ඇතුළත්ව සිටියා.
ප්‍රහාරයට පැමිණි මිය ගිය කොටි ත්‍රස්තවාදින් ගේ කැබලි වී ගිය සිරුරු 04ක පමණ කොටස්ද ඔවුන් පැළඳ සිටියදී ඉවත්කර තිබූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල 03ක්, ටී. 56 අවි, මිලිමීටර් 40 රොකට් ලොන්චර් 01, ටී. 56 උණ්ඩ 300ක පමණ තොගයක්, ටී. 56 මැගසින්, අධි බැලති ගමන් කථන 02ක්, ආර්.ඩී.එක්ස් වර්ගයේ අධි බලති පුපුරන ද්‍රව්‍ය, අත් බෝම්බ, මෝටාර් හා ආර්.පී.ජි. උණ්ඩ තොගයක්ද යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සැරයන් ප්‍රසන්න ප්‍රියරංජන මහතා ප්‍රධාන හමුදා භට කණ්ඩායමක් විසින් දළදා මාලිගා භූමියේ තැනිත් තැන වැටී තිබියදී සොයාගෙන ඇත.
මතු සම්බන්ධයි...
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.
2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයිය
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දි
සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් හැඩකාර, දඟකාර රුවැත්තියක්. මේ දවස්වල නම් ඈ ගොඩ
ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක්
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
බෝම්බ ලොරියේ ටයර් කෑල්ලකින් දළදා මාලිගයට ගැසූ කොටි කොටුකරගත් හැටි...