අගක් මුලක් නැති කතා
අගමැති බණ්ඩාරනායකට වෙඩි තිබ්බේ තල්දුවේ සෝමාරාමද? ඔසී කොරයාද? මෙවැනි ප්‍රශ්නයක් මතු කිරීම යුක්ති සහගත නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එයට හේතුව 1959 සැප්තැම්බර් මස 25 වැනි දා සිදුවූ මේ වෙඩි තැබීම සම්බන්ධව විධිමත් නඩු විභාගයක් පවත්වා චූදිතයන්ට නෛතික වශයෙන් දඬුවම් ලබා දෙන ලද බැවිනි.
ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු තල්දූවේ සෝමාරාම නමැති භික්‍ෂුව මේ නඩුවේදී මරණීය දණ්ඩනයට නියම විය. ඒ වනවිට අහෝසි කර තිබූ එල්ලුම් ගස නැවැත ක්‍රියාත්මක කොට ඔහු එල්ලා මරා දැමීය. එසේ වුවද බණ්ඩාරනායක මහතාට වෙඩි තබන ලද්දේ සෝමාරාම නොවන බවත් සෑබෑ මිනීමරුවා වූ ඔසී කොරයා වෙඩි තැබීමෙන් පසු තමන් ඇඳ සිටි සිවුර රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවෙසේ ආලින්දයේ දමා තාප්පයට උඩින් පැන පලාගිය බවත් සමාජයේ බොහෝ දෙනා පවසති.
මෙය කුතුහලය දනවන කාරණායකි. නිල ප්‍රවෘත්තිය හා සමානවම බරින් යුතුව බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධ මෙම ප්‍රවෘත්තියද සමාජ ගත වී ඇති සැටියත් පෙනේ. එවැනි කාරණාවකට පියාපත් ලැබුණේ කෙසේද? මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයකි. තල්දූවේ සෝමාරාම හිමි රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු මෙන්ම අක්‍ෂි වෛද්‍ය විශේෂඥයකු විය. ඔහු 1957 වසරේ එම තනතුරට පත්ව තිබේ. එහි තවදුරටත් සේවා දීර්ඝ කිරීම සඳහා වූ පරීක්‍ෂණය මේ තීරණාත්මක 26 වැනිදාට යෙදී තිබුණු අතර සෝමාරාම හිමි 25 උදෑසනම දේශීය වෛද්‍ය විද්‍යාලයට ගොස් සිය අයැදුම්පත ලැබී තිබේ දැයි පරීක්‍ෂා කර බලා පිටව ගිය බව නඩුවේදී වාර්තා විය.
පිරිත් සජ්ඣායනයේ බුහුටි බව නිසා කීර්තියට පත්ව සිටි සෝමාරාම හිමියන්ගේ ප්‍රධාන පන්සල පිහිටියේ අවිස්සාවේල්ල හැටන් පාරේ ඉහළ තල්දූවේය. රාජගිරියේ ඔබේසේකරපුර අමර විහාරය නමින් තවත් ආරාමයක් විය. තල්දූව මළුවපිටවත්ත ඉඩම ඔහු විසින් මිලට ගනු ලැබ තල්දූවේ පන්සල පිහිටුවා තිබේ. සෝමාරාම නිෙදාස් බවත් පෙර අකුසල කර්මයක් නිසා මේ ඉරණම අත් වූ බවත් සෝමාරාම හිමියන්ගේ දායකයෝ අදත් විශ්වාස කරති.
එවැනි මතයක් මුල් බැස ගැනීමට හේතුව වශයෙන් මට පෙනී ගියේ තල්දූවේ ප්‍රභූවරුන් වන ඒ.ඩී.ආර්. කරුණාරත්න සහ පියසිරි ගම්මන්පිල දෙදෙනා එකල සෝමාරාම හමුවීමෙන් පසු දැක්වූ අදහස් ඊට බලපෑ බවය. සෝමාරාම මරාදමන්නට පෙර ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේදී සෝමාරාම හමු වී තිබේ. එහිදී ඔහු ඔවුන්ට පවසා තිබෙන්නේ මේ චෝදනාවට තමන් නිර්දෝෂී බවය.
තල්දූවේ බොහෝ දෙනා නිසැක ලෙස එම මතය පිළිගන්නා බව පෙනේ. ඔසී කොරයා යනු යූ.ඇන්.පී.ය සමඟ සමීප හිතවත්කම් තිබූ මීගමු පළාතේ දාගොන්නේ ව්‍යාපාරිකයෙකි. දාමරිකයකු වශයෙන් නම් දරා සිටි හෙතෙම තැබෑරුම් හිමියෙකි. ඔහුගේ රේන්ද පොළවල් හලාවත දක්වා වෙරළබඩ තීරුවේ වූ බව පැවැසේ. ජේ.ආර්. සහ ඩඩ්ලි ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකි. ඒ වකවානුෙව් දේශපාලන පිටියේ සිදුවූ දඩබ්බර ක්‍රියාවලදී බොහෝවිට ඔසී කොරයාගේ නම ඊට ඈඳිණි.
දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි වැදුණු භාෂා පෙළපාළිය දියත් වූ 1966 ජනවාරි 8 වැනි දින කොල්ලුපිටියේදී පෙළපාළිකරුවන් යට කරමින් මෝටර් රථයක් පැදවීම පිළිබඳ චෝදනාවක්ද මෙයට පෙර ඔසී කොරයාට එල්ල වී තිබිණි. බණ්ඩාරනායක වලව්ව පිහිටියේ රොස්මිඩ් පෙදෙසේ අංක 05 දරන ස්ථානයේය. එය ඉදිරිපසින් රොස්මිඩ් මාවටත් දකුණ පසින් වර්තමාන විජේරාම මාවතටත් මායිම්ව පිහිටා තිබේ. හිස බූගා කොට කලිසමක් හැඳ සිවුර පොරවා සිටි ඔසී කොරයා අගමැතිවරයාට වෙඩි පහර එල්ලවීමත් සමඟ සිවුරු එහිම ගලවා තාප්පයට උඩින් විජේරාම මාවතට පැන ‘‘වැඩේ හරි මචං’’ කියමින් එහි නවතා තිබූ මෝටර් රථයක නැගී පලාගිය බව කියන කතාවක් එකල රට පුරා පැතිර ගියේය.
යාබද නිවෙසක මෙහෙකාර ස්ත්‍රියක වූ රොසලින් නමැති අය නඩුවේදී එසේ සාක්‍ෂි දී තිබිණි. ඊට දිනකට පසු හිස බූගා සිටි ඔසී කොරයා අගමැති ඝාතනය සඳහා වූ බාරය ඔප්පු කිරීමට කතරගම ගොස් සිටි බවටද තවත් කට කතා පැතිර ගියේය. එහෙත් නඩුවේ සැබෑ විත්තිකරුවන් අතර ඔසීගේ නම නොවීය. මහත්මා ගාන්ධි, ජෝන් කෙනඩි, ඒබ්‍රහම් ලින්කන් වැනි ප්‍රකට දේශපාලනඥයන්ගේ ඝාතනවලදී මෙවැනි දෙවැනි කතාවන් ප්‍රචාරය වී තිබිණි. ප්‍රධාන සිදුවීම වටා නිර්මාණය වන සැක උපදවනසුලු කුඩා සිදුවීම් අතුරු කතා බිහිවීමට බලපාන බවද පෙනේ.
අගමැතිවරයා ඝාතනය කිරීමෙන් දින දෙකකට පසුව එනම් 28 වැනිදා විශේෂ ප්‍රකාශයක් කළ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.සී.ටී. ජෙට් මහතා අගමැති ඝාතනය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවේ යැයි කීමෙන් ලොකු අවුලක් හට ගත්තේය. පරීක්‍ෂණ ආරම්භ කරන්නටත් පෙර මේ ප්‍රකාශය සිදුකර තිබිණි. අගමැති දහනායක මෙන්ම විපක්‍ෂ නායක ඇන්.ඇම්. හා පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, චෙල්වනායගම් ආදීන් ඊට තදින් විරුද්ධ ප්‍රකාශ නිකුත් කළ අතර එය හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් ලෙසද ඔවුන් හඳුන්වා තිබිණි. අවධානය යොමු වූ තවත් සිදුවීමක් මෙසේය.
1956 අප්‍රේල් 5 මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග්‍රගණයක් අත්පත් කර ගත්ෙත්ය. අප්‍රේල් 12 දා බණ්ඩාරනායක මහතා අගමැති තනතුරේ දිවුරුම් දුන්නේය. අප්‍රේල් 14 කැබිනට් මණ්ඩලය දිවුරුම දීම සිදු විය. අගමැතිට පමණක් දෙවැනි වූ සභානායක නිලය හෙබවූයේය. ඒ පොළොන්නරුව අසුන වැඩි ඡන්ද 6124 කින් දිනා සිටි සී.පී. ද සිල්වාය. නොබෝ දිනකින් සී.පී. ද බරපතළ උදරාබාධයකට ගොදුරු විය. අවසානයේ සභානායකවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එංගලන්තයට ගෙන ගියේය. අධ්‍යාපන ඇමැති ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා වැඩ බලන සභානායක විය.
සැප්. 26 අගමැතිවරයා මරණයට පත්වීමෙන් පසුව වැ.බ. සභානායක දහනයාක මහතා අගමැති විය. සී.පී. ද සිල්වා සමග ලන්ඩන් ගිය ස්ටැන්ලිද සොයිසා සැප්. 29 දින ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීමට රත්මලාන ගුවන් තොටුපළට ගිය අගමැති දහනායක මහතා සී.පී. ට සනීප දැයි අසමින් වැලපෙන අන්දම සැප්. 30 දා දිනමිණ වාර්තා කර තිබුණේය.
කටකතා තටු ලැබ ඉගිළෙන්නට මෙවැනි අතුරු සිදුවීම් ගණනාවක් ඉවහල් වූ බව පෙනේ. සී.පී. ද සිල්වාට උදරාබාධය හැදුණේ වස දීම නිසා යැයි කසුකුසුවක් රට පුරා පැතිර ගියේය. මේවා මුතුපොටක අැට මෙන් එකට අමුණා ගන්නට ජනතාවට අමුතුවෙන් කියා දෙන්නට වුවමනා නැත. රජයේ නිල ප්‍රකාශයට වඩා යමින් ඇසෙන නොනිල කතා පිළිගන්නට අදත් මිනිස්සු සැදී පැහැදී සිටිති.
නිල ප්‍රවෘත්තිය පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබීම ඊට හේතුව විය යුතුය. මේ සඳහා මෑත කාලීන ප්‍රකට උදාහරණයක් පෙන්වා දිය හැකිය. ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර මහතාගේ මරණය සම්බන්ධව එවකට සිටි ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිල ප්‍රකාශය හඳුන්වා දිය හැකිය. එහි සඳහන් වූයේ අත්අඩංගුවට පත් විජේවීර මහතා කොළඹට නුදුරු රහසිගත මධ්‍යස්ථානයක් පොලීසියට පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ එහි සිට එච්.බී. හේරත් නම් ජ.වි.පෙ. නායකයකු විජේවීර මහතාට වෙඩි තැබීමෙන් ඔහු මරණයට පත් වූ බවය. එහෙත් රටම දන්නා පිළිගත් මතය වන්නේ විජේවීර මහතා අත්අඩංගුවට ගෙන බොරැල්ලෙ ගොල්ෆ් පිටියට ගෙන ගොස් වෙඩි තබා මරණයට පත්කර කනත්තේ ආදාහනාගාරයේදී සිරුර විනාශ කළ බවය.
ප්‍රභාකරන්ගේ අවසානය ගැනද නිල නොවන කතා සමාජගත වී ඇත. අගමැතිවරයාට වෙඩි තැබූ 1959 සැප්. 25 වැනිදා උදේ එතුමා හමුවීම පිණිස භික්‍ෂූන් වහන්සේ දෙනමක් රොස්මිඩ් නිවෙසේ ආලින්දයේ වැඩි සිටි බව සත්‍යයකි. සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්‍ෂියක් වන එන්.ඩබ්ලිව්. විජේසිංහ මහතා කියා තිබෙන්ෙන් උදේ 9.25 ට පමණ ඔහු එම නිවෙසට පැමිණෙන විට භික්‍ෂූන් දෙනමක් ආලින්දයේ අසුන්ගෙන සිටි බවය. එම සාක්‍ෂියේ මෙසේ සඳහන් වේ.
‘‘එක් භික්ෂුවක් නිවෙසේ ප්‍රධාන ගේට්ටුවට පිටුපා වාඩි වී සිටි අතර දෙවැනි භික්ෂුව ඊට මදක් ඈතින් පාරට මුහුණලා වාඩි වී සිටියා. අභිනව ඇමෙරිකානු තානාපති බර්නාඩ් ගල්පර් මහතා සමඟ ඉදිරිපස කාමරයේ සාකච්ඡාවක යෙදී සිටි අගමැතිතුමා ඔහු අමුත්තන් පිළිගන්නා සාලය වෙත කැඳවාගෙන ගියා. කෙටි පිළිසඳරකින් පසු වීරසූරිය මහතා පිටත්ව ගියා.
මේ වන විට මා සිටියේ අගමැතිතුමාගේ පුස්තකාලය අසල හදිසියේ වෙඩි හඬක් ඇසුණා. දොර හරහා ඇද තිබූ රෙදි කඩ ඉවත් කර මා ඒ දෙස බැලුවා. භික්ෂුවක් පිස්තෝලයක් රැගෙන බණ්ඩාරනායක මහතාට ඉලක්ක කොට තවත් වෙඩි දෙකකුත් පිට පිට තබනු මා දැක්කා. අගමැතිතුමා වරක් ඒ පැත්තටත් වරක් මේ පැත්තටත් වරක් මේ පැත්තටත් පැද්දි පැද්දී රවුමට කැරකී වහා දුවගොස් ප්‍රධාන දොරටුවෙන් ගෙට ඇතුළු වුණා. පිස්තෝලය අතින් ගත් භික්ෂුවද අගමැතිවරයා ලුහුබැඳ ගියා. මා ආලින්දයට දුව එන විට ගේ ඇතුළේ තවත් වෙඩි හඬක් ඇසුණා. මා බලන විට විජේබාහු විජේසිංහ මහතා අගමැතිවරයා අල්ලා වත්තම් කරගෙන සිටිනු දැක්කා. එවිට එතැනට පැමිණි කීපදෙනකු විසින් එඩි මඩිනු ලැබූ භික්ෂුවද බිම වැටුණා. එවිට එහි රැස්වූ අය බිම වැටුණු භික්ෂුවට ගුටි බැට දුන්නා. අගමැති නිවෙසේ ආලින්දයේ සිටි අනෙක් භික්ෂුව මා වෙත ආයාචනය කරමින් බිම වැටුණු භික්ෂුවට පහරදීම වළකන්නැයි ඉල්ලා සිටියා.
බිම වැටී තිබූ පිස්තෝලය අසුලා පොලිස් භටයකුට භාර දුන්නා. බිම වැටී සිටි භික්ෂුව අතේ තිබී ඉවතට විසිවූ දිනපොත හා මුදල් පසුම්බිම අනෙක් භික්‍ෂුව අහුලා ගැනීමට තැත් කරනු දුටු මා ඒවා මගේ භාරයට ගත්තා. ටික වේලාවකින් උප පොලිස්පති සිඩ්නි ද සොයිසා එහි පැමිණි විට මා අත වූ මුදල් පසුම්බිය දිනපොත ඒ මහතාට බාර දුන්නා. ‘‘1959 සැප්. 29 දිනමිණ’’ අගමැති මරණ පරීක්‍ෂණ වාර්තාව
බණ්ඩාරානායක ඝාතන නඩුවේදී ප්‍රධාන විත්තිකරුවන් ලෙස චෝදනා ඉදිරිපත් වූයේ 1. මාපිටිගම බුද්ධරක්ඛිත, 2. එච්.පී. ජයවර්ධන, 3. අනුර ද සිල්වා, 4. තල්දූවේ සෝමාරාම, 5. නිව්ටන් පෙරේරා යන අයටය.
පළමු චෝදනාව වූයේ 1958 අගෝස්තු 25 වැනි දිනටත් 1959 සැප්තැම්බර් 26 වැනි දිනටත් අතර කැලණිය, වැල්ලම්පිටිය, රාජගිරිය, කොළඹ සහ තවත් ස්ථානවලදී සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැරීම නම් වූ වරද කිරීමේ හෝ අනුබල දීමේ හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස එම වරද සිදුකරන ලද්දේය. එම මිනීමැරීම නම් වරද සිදු කිරීමට හෝ අනුබල දීමේ වරදට යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි ඡේදය යටතේ වරදක් කර ඇති බවය.
දෙවැනි චෝදනාව 4 වැනි විත්තිකරුට තල්දූවේ සෝමාරාමයට එල්ල විය. 1959 සැප්. 25 දින කොළඹ ෙරාස්මිඩ් පෙදෙසේ අංක 65 දරන ස්ථානයේදී තල්දූවේ ෙසා්මාරාම නම් යුෂ්මතා එකී කටයුත්තේදී සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකගේ මරණය සිදුකිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි ඡේදය යටතේ වරදක් සිදු කර ඇත. නීතිපතිගේ බලය ඇතිව මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේ රාජ නීතිඥ ජේ.ඒ. චිට්ටි මහතා විසිනි.
පළමු සහ දෙවැනි විත්තිකරුවන් වෙනුවෙන් එංගලන්තයේ සුප්‍රකට නීතිඥයකු වූ රාජ නීතිඥ ජිනියස් ක්වාස් ලංකාවට පැමිණියේය. 4 වන විත්තිකරු තල්දූවේ සෝමාරාම වෙනුවෙන් ලූෂන් ජී. වීරමන්ත්‍රී ඇතුළු නීතිඥයෝ පෙනී සිටියහ. මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් ඇම්.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා ඝාතන නඩුවේදී දෙන ලද සාක්ෂියේ මෙසේ සඳහන් වේ. ඔහුගේ මුල් සාක්‍ෂියට වඩා දෙවැනි සාක්ෂියේ වෙනස්කම් ඇත.
‘‘ඉඹුල්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ සංවත්සරික රැස්වීමට අගමැතිතුමාට ආරාධනය කිරීමට මා අගමැති නිවෙසට ගියා. එදා උදේ අගමැතිතුමා ඉස්තෝප්පුවේ සිටි ආනන්ද හිමියන් සමඟ කතාකර සෝමාරාමයට වැඳීමට හැරුණා. සෝමාරාම නැගිට සිටියා. හාමුදුරුනමක් නැගී සිටියේ මන්දයි මා කල්පනා කරද්දී වෙඩි හඬක් ඇසුණා. ඒ දෙස බලද්දී සෝමාරාම දෑතින්ම පිස්තෝලයක් අල්ලාගෙන ඉන්නවා මා දැක්කා. අගමැතිතුමා ගේ ඇතුළට දිව්වා. සෝමාරාමත් පසුපස දිව්වා. තව වෙඩි කීපයක් ගේ ඇතුළෙන් ඇසුණා. ගෙට එබී බලද්දී සෝමාරාම වැටී සිටියා. ඔහු වටකරගෙන මිනිස්සු තැළුවා. පිස්තෝලය බිම වැටී තිබුණා. මා ලේන්සුවක් දමා එය අහුලා පොලිස් භටයකුට දුන්නා. එවිටත් එය රත්වී තිබුණා. එහි වෙඩි බේත් ගඳක් තිබුණා. මා එය අහුලා ගත්තේ පිස්තෝලය නැති වේ යැය සිතූ නිසා. ජාතික ඇඳුමින් සිටි ගුණරත්න නමැත්තාද ලේ පෙරෙමින් සිටියා.’’
4 වැනි විත්තිකරු සෝමාරාම වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ වීරමන්ත්‍රී මෙසේ හරස් ප්‍රශ්න ඇසීය.
‘‘වීරමන්ත්‍රී - භික්ෂු නමක් අගමැතිතුමාට වෙඩි තබා පිස්තෝලය එතැනම දමා පැන ගියා.
සෝමාරාම ඒ පිස්තෝලය ඇහුලා ගත්තා නේද?’’
වික්‍රමසිංහ - නෑ අගමැතිතුමාට වෙඩි තිබ්බේ සෝමාරාම බව මා කියනවා. වීරමන්ත්‍රී සෝමාරාමට පහර දුන්නේ ඔහු අතේ පිස්තෝලය තිබූ නිසයි.
වික්‍රමසිංහ - නෑ. සෝමාරාම පහර දුන්නේ ඔහු අගමැතිතුමාට වෙඩි තැබූ නිසයි.
විනිසුරු- එසේ නම් ඔබ අතේ පිස්තෝලය තිබූ නිසා කිසිවෙක් ඔබට පහර දුන්නාද?
වික්‍රමසිංහ- නැත ස්වාමීනි.
1959 නොවැ. 14 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඇන්.ඒ. ද අැස්. විජේසේකර මහතා ඉදිරියේ ප්‍රකාශයක් කරමින් සෝමාරාම වරද පිළිගෙන තිබුණි. නඩුව විභාගවෙද්දී ඔහු සාක්ෂ කූඩුවේ සිට මෙසේ ප්‍රකාශ කළා.
‘‘අගමැතිතුමාට මා වෙඩි තැබුවේ නැහැ. අගමතිතුමාට වෙඩි තබන ලෙස බුද්ධරක්ඛිත හාමුදුරුවෝ හෝ ජයවර්ධන මට කීවේ නෑ. මේ දෙන්නා උසි ගැන්නුවේ නැහැ. මුලදී මා මහේස්ත්‍රාත්තුමාට කළ ප්‍රකාශය අසත්‍යයක්. බී.ඩබ්ලිව්. පෙරේරා, අයියර්, රාජසූරිය සහ රහස් පොලිසියේ උසස් නිලධාරීන් එවැනි ප්‍රකාශයක් කරන ලෙස මට බල කළා. මා දුර්වල තත්ත්වයක සිටියදී අබිං සහ සිගරැට් නිතර නිතර දී මට කරදර කළා. මරණ දඬුවම දීම නැවැත වලංගු කළ ප්‍රවෘත්තිය පළවූ පත්තර මට පෙන්නා ඔවුන් කියන හැටියට ප්‍රකාශයක් නොකළොත් අනිවාර්යයෙන්ම එල්ලුම්ගහ අත්වෙන බව කීවා. මරණයට ඇති බියෙන් මා ඒ අසත්‍ය ප්‍රකාශ කළා. බොරු ප්‍රකාශයක් කරන්න මා මුලදී බිය වුණා. මහේස්ත්‍රාත්තුමාට ප්‍රකාශයක් කළොත් මා නිදහස් කරන බවට ඔවුන් පොරොන්දු වුණා. පළමු සහ දෙවැනි විත්තිකරුවන් පටලවා ප්‍රකාශයක් කරන ලෙස පොලීසිය මට කීවා. විශේෂඥ වෛද්‍ය ජයසේකර මහතා සහ අනෙක් දොස්තර මහත්වරු ද මට කීවේ රහස් පොලිසිය කියන හැටියට වැඩ කරන ලෙසයි. එසේ කළොත් නිදහස ලැබිය හැකි බව ඔවුන් කීවා. පොලිස් නිලධාරීන් මා ආණ්ඩුවේ සාක්ෂිකාරයෙක් කරන බව කියමින් බොහෝ කරදර කිරීම නිසා මට බොරු ප්‍රකාශයක් කළා.
රඛිත හේමවර්දන
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බණ්ඩාරනායකට වෙඩි තිබ්බේ තල්දුවේ සෝමාරාමද? ඔසී කොරයාද?