දඩබ්ම

 

කිසියම් රටක පාතාල කල්ලියක්, බරපතළ ලෙස සමාජයට බලපෑම් කරමින් ගොඩනැගෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව වන්නේ එරට සමාජ, ආර්ථික පසුබිමය. ඒ හා බැඳුණු ආරක්ෂක අංශවල දියාරුකමය. ඕනෑම කෙනෙකුට ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නම් ඊටත් වඩා අවශ්‍ය නම් ඉපයීමට හැකි ක්ෂේත්‍ර රටේ තිබේ නම් වැරදි මාර්ගවලින් ඉපයීමට තිබෙන සම්භාවිතාව ඉතාමත් අඩුය. එසේ තිබියදීත් වැරදි මාර්ගවලට පෙළඹෙන්නෝ සිටිත් නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මකවීමට රටක ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබිය යුතුය. එලෙස අත්අඩංගුවට ගන්නන් රිමාන්ඩ් කළ හැකි බන්ධනාගාරයක් තිබිය යුතුය. ඔවුන් නැවත ඒ වරදට නොපෙළඹෙන ලෙස පුනරුත්ථාපනය කළ හැකි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවක් තිබිය යුතුය.   


එහෙත් අපේ රටේ මතට තිත කියා රජය කියන විට තිතට මත ක්‍රියාත්මක වන්නේ නම් මතින් තොර රටක් ගැන කතා කරන විට කන්ටේනර් අස්සේ මත්ද්‍රව්‍ය රටට ටොන් ගණනින් ගලා එන්නේ නම් ඊට වගකිව යුත්තන් හිරේ යවාගන්න නීතියට නොහැකි වී තිබේ නම් ඔවුන් නඩත්තු කරන්නට දේශපාලනඥයින් හොර රහසේ කටයුතු කරන්නේ නම් පාතාලය මෙල්ල කරනවා වෙනුවට තැනින් තැනින් අලුත් අලුත් කල්ලි කණ්ඩායම් බිහිවන්නේ නම්, පාතාලයින්ගෙන්, කුඩු ජාවාරම්කරුවන්ගෙන් පොලිසියේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පගා ගන්නේ නම්, එරට පාලකයින් ගැන කිව හැක්කේ කුමක්ද?   


මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ නැගීම හා එහි පැවැත්ම තුළින් නැවත නැවත ප්‍රශ්න කිරීමට ලක්වන්නේද එවන් පොලිස් දෙපාර්තමේන්තුය. එවන් බන්ධනාගාරය. එසේම ඒ සියල්ලට වගකිව යුත්තේ පාලකයින්මය.   


මාලිගාවත්තේ ලිවර්පූල් පාපන්දු සමාජය යනු අනූව දශකයේදී කොළඹ හෙල්ලූ, පාපන්දු කිරුළ හැමවිටම තමන් සතුකරගත් දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලද්දකි. මේ ක්‍රීඩා සමාජය සමග මාලිගාවත්තේ හිටපු ක්‍රියාශීලීම, දක්ෂතම තරුණයින් සියලු දෙනා එකතු වී සිටි නිසා ඔවුන් මතට හුරු වූයේ නැත. ඔවුහු ගමට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වූහ. ඔවුන්ට පාලනය කළ නොහැකි වූ කෙරුමා වූයේ එකල මාලිගාවත්තේ බලය පතුරුවාගෙන සිටි දෙමළ පාතාලයේ ලොක්කා වූ සුදාකරන්ය. සුදාකරන්ටද තිබූ එකම හිසරදය වූයේ මේ ලිවර්පූල් පාපන්දු සමාජය ය.   


ඒ නිසා සුදාකරන් ක්‍රීඩා සමාජයේ තනි තනි ක්‍රීඩකයන් තෝරාගෙන ඔවුන්ට පහර දෙන්නට පටන් ගත්තේය. ඒ සඳහා ඔහු යොදාගත්තේ තමන්ගේ ළඟම ගෝලයා, ගෝලයාටත් වඩා උපදේශකයා, ගමන් සගයා බවට පත්ව සිටි ක්‍රිස්ටෝපර් ය. ඔහුගේ නිවසේ නපුරු බල්ලන් සහිත බලු කූඩු තිබේ. මාලිගාවත්ත පාතාලය ගැන කරන අධ්‍යයනයේ දී පාතාල ක්‍රියාකාරින්ගේ නිවෙස්වල මෙවැනි බලු කූඩු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය අංගයක් දෝයි හැඟීමක් පවා ඇති කරනු දැනේ.   


ක්‍රිස්ටෝපර්, සුදාකරන්ගේ උපදෙස් පරිදි තමන්ට මෙල්ල කිරීමට අපහසු වූ ලිවර්පූල් පාපන්දු සමාජය මෙල්ල කරගැනීමට එහි සාමාජිකයන් තනි තනිව අල්ලාගෙන අවුත් පෙර කී බලු කූඩුවල දමා බල්ලන් සමග පොර බදන්නට ඉඩ හැරියේය. නපුරු බල්ලන් සමග පොර බදා ඇඟේ කෑලි නැතිව පැය කීපයකට පසුව එළියට එන තරුණයන්ට තවදුරටත් පාපන්දු සමාජයේ රැඳෙන්නට දෙමාපියන් ඉඩ දුන්නේ නැත. මේ තත්ත්වය හමුවේ කඩාවැටෙන ක්‍රීඩා සමාජය බේරාගැනීම මෙන්ම තමන්ගේ සාමාජිකයන් බේරාගැනීමද තමන්ගේ වගකීමක් ලෙස එම පාපන්දු සමාජයේ සභාපති වූද කොළඹ නාගරික මන්ත්‍රී වූද බාබර් ඉමිතියාස් කල්පනා කළේය. ඔහු ඒ වෙනුවෙන් පාපන්දු කණ්ඩායමේ දක්ෂයන් සමග එහි නායකයින් සමග සාකච්ඡා කළේය.   


ඔහු සමග වඩාත් සමීපව ඒ ප්‍රශ්නයට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ෂේක් ෆරීම් මොහොමඩ් ෆයිසාල් හෙවත් ෆාජි ඉදිරිපත් විය. මැතිවරණවලදී තමන්ට බලපාන නිසා ඉමිතියාස් කෙළින්ම චණ්ඩිකම් පාන්න ඉදිරිපත් වූයේ නැත. ඔහු වෙනුවෙන් මෙන්ම මාලිගාවත්තේ තම ඥාති පරපුර වෙනුවෙන් යුතුකම් ඉටුකරනු වස් ෆාජි එකසිතින්ම ඒ වගකීම භාරගත්තේය. ඔහු සෘජුවම සුදාකරන්ගේ ගෝලයන් සමග යුද ප්‍රකාශ කළේය. ඒ සඳහා ඔහුට තවත් විශාල පිරිසක් එක්විය. ඒ මොහොමඩ් හනීෆා මොහොමඩ් නූර් හෙවත් නූර් (පසුකලෙක ඔහු කුඩු නූර් නම් විය), ෂේක් ෆරීම් මොහොමඩ් ෆසල් හෙවත් බයියා - ෆාජිගේ සහෝදරයා, මොහොමඩ් මිලාර් මොහොමඩ් අක්‍රම් හෙවත් මංජල් අක්‍රම්- ෆාජිගේ ඥාති සහෝදරයා, මොහොමඩ් හසන් මොහොමඩ් හෙවත් ආනමාලු ඉමිටියාස්, මොහොමඩ් නියාස් අයුම්ඛාන් හෙවත් අයුබ්ඛාන් වැනි දහයක පහළොවක පමණ කණ්ඩායමකි.   
පාර්ලිමේන්තුව නියෝජනය කළ මුස්ලිම් දේශපාලනඥයෙකුගේ සහය ඇතිව ඔවුන්ට අවි පුහුණුවද අවිආයුධද ලබාදීමට බාබර් ඉමිතියාස් කටයුතු කළේය. ඔවුහු ඒ ආයුධ සමග පැමිණ මාලිගාවත්ත වටා සිය අණසක පතුරුවා හරින්නට පටන් ගත්හ. පළමුව ඔවුහු සුදාකරන්ගේ හා ක්‍රිස්ටෝපර්ගේ පහළ මට්ටමේ ගෝලයන්ට පහර දෙන්නට වූහ.   
හිටි ගමන්ම මේ මුස්ලිම් කොල්ලන්ට පණ ආවේ කෙසේදැයි සුදාකරන් සෙව්වේය. ඔවුන්ට බාබර් ඉමිතියාස් සමීප බව දැන සිටියත් මේ තරම් හයියක් ලබාදීමට ඔහුට තනිව කළ නොහැකි බවද සුදාකරන් දැන සිටියේය. එසේ නම් එය සිදුවූයේ කෙසේද? මේ සම්බන්ධයෙන් විපරමින් සිටි ඔහුට නැගෙනහිර පළාතෙන් පණිවුඩයක් ලැබිණ. ඒ කොටි හිතවාදී බුද්ධි අංශවලින් ලැබුණ තොරතුරකි. එයින් කියැවුණේ මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් පිරිසකට නැගෙනහිර දී අවිඅයුධ පුහුණුව දුන් බවය. එය සිදුවූයේ කෙසේදැයි එතැනින් පසු සුදාකරන්ට හිතාගත හැකිය.   

 

මාලිගාවත්තේ ලිවර්පූල් පාපන්දු සමාජය යනු අනූව දශකයේදී කොළඹ හෙල්ලූ, පාපන්දු කිරුළ හැමවිටම තමන් සතුකරගත් දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලද්දකි. මේ ක්‍රීඩා සමාජය සමග මාලිගාවත්තේ හිටපු ක්‍රියාශීලීම, දක්ෂතම තරුණයින් සියලු දෙනා එකතු වී සිටි නිසා ඔවුන් මතට හුරු වූයේ නැත. ඔවුහු ගමට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වූහ. ඔවුන්ට පාලනය කළ නොහැකි වූ කෙරුමා වූයේ එකල මාලිගාවත්තේ බලය පතුරුවාගෙන සිටි දෙමළ පාතාලයේ ලොක්කා වූ සුදාකරන්ය. සුදාකරන්ටද තිබූ එකම හිසරදය වූයේ මේ ලිවර්පූල් පාපන්දු සමාජය ය.  ඒ නිසා සුදාකරන් ක්‍රීඩා සමාජයේ තනි තනි ක්‍රීඩකයන් තෝරාගෙන ඔවුන්ට පහර දෙන්නට පටන් ගත්තේය. ඒ සඳහා ඔහු යොදාගත්තේ තමන්ගේ ළඟම ගෝලයා, ගෝලයාටත් වඩා උපදේශකයා, ගමන් සගයා බවට පත්ව සිටි ක්‍රිස්ටෝපර් ය. ඔහුගේ නිවසේ නපුරු බල්ලන් සහිත බලු කූඩු තිබේ. මාලිගාවත්ත පාතාලය ගැන කරන අධ්‍යයනයේ දී පාතාල ක්‍රියාකාරින්ගේ නිවෙස්වල මෙවැනි බලු කූඩු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය අංගයක් දෝයි හැඟීමක් පවා ඇති කරනු දැනේ.  


‘මේ සේරම කරන්නේ ඉමිතියාස්. මූට ගේම නොදී මේක ඉවරයක් කරන්න බැහැ’ යැයි සුදාකරන් තම සගයන් සමග පැවසීය. ඒ අනුව ඔවුන් පළමුව ඉමිතියාස්ට පහරදීම සැලසුම් කරනු ලැබිණ. ඔවුන්ගේ පහරකෑමට ලක්වූ ඉමිතියාස් ජීවිතය බේරාගත්තද කකුලක් බිඳී ගියෙන් දිර්ඝ කාලයක් කිහිලිකරු වාරුවෙන් ඔහුට අැවිදින්නට සිදුවිය. එහෙත් ඔහුට ඒ ගමනද වැඩිකල් යන්නට සුදාකරන් ඉඩදුන්නේ නැත. කොළඹ ආනන්ද විද්‍යාලය අසල දී බාබර් ඉමිතියාස් නැතහොත් කොළඹ නාගරික මන්ත්‍රී වූ ඉමිතියාස් ඝාතනය කරවීය.   
ඉමිතියාස්ගේ මරණයෙන් වියරු වැටුණ ෆාජිලා ඔහු නැති අඩුව මාලිගාවත්තට දැනෙන්නට ඉඩ තිබ්බේ නැත. ඔහුගේ එකම ප්‍රාර්ථනාව වූ දෙමළ පාතාලයෙන් මාලිගාවත්ත මුදාගැනීමේ සිහිනය ඉටුකරනු වස් ෆාජි නායකත්වය ගත්තේය. මෙහිදී නූර්ද ඉටුකළේ සුළුපටු කාර්යයක් නොවේ. ඒ වනවිටත් කුඩු ජාවාරමේ දැවැන්තයෙකු වූ නූර් තම මුදල් බලයද යොදාගෙන ෆාජිලාට උදව් කළේය.   


මුස්ලිම් මැරවර කල්ලියට නායකත්වය දෙන්නේ ෆාජි ඇතුළු පිරිසක් බව දැනගත් සුදාකරන් තමන්ට කලින් සිටම තිබූ වෙනත් ප්‍රශ්නද මුල්කරගෙන ෆාජිගේ පුංචි අම්මා, බාප්පා, සහෝදරයා ඇතුළු පිරිසක් ඝාතනය කළේය. සුදාකරන් පමණක් නොව පොලිසියද ෆාජිලා පසුපස වැටුණාක් මෙන් විය. තවම ප්‍රසිද්ධියේ එළියට බැස නොතිබූ මාලිගාවත්ත මුස්ලිම් පාතාලයට හිස ඔසවන්නට නොදී එහි පහළම මට්ටමේ ක්‍රියාකාරින්, නැත්නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අත්අඩංගුවට ගන්නට විය. ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබිණ. එසේ සිදුකර ඔවුන් පාතාලයන් ලෙස ලෝකයට හඳුන්වා දෙන්නටද අමතක කළේ නැත.   


එයින් ෆාජි නයා සේ කිපුණේය. සුදාකරන්ගෙන් පළිගැනීමේ චේතනාව වඩාත් වේගයෙන් ඔහු තුළ වැඩෙන්නට විය. සුදාකරන්ට කලින් අවදිවුණ ෆාජි ඉස්සර වුණේය. ඔහු තවදුරටත් සුදාකරන්ගේ ළඟම ගෝලයින්වද සොය සොයා ගොස් පහර දෙන්නට විය. ඉන්පසු ඒ වන විට සුදාකරන් මාලිගාවත්තේ දෙමළ පදිංචිය වැඩි කරන අදහසින් බීසීසී පාලම දෙපස පදිංචි කළ දෙමළ වැසියන්ට ද පහර දී පලවා හරින්නට විය. ඒ පහරදීම් වැළැක්වීමට පොලිසියට පවා නොහැකි විය.   


මේ ප්‍රහාර හමුවේ ක්‍රිස්ටෝපර් කොස්ගස් හංදිය දක්වා පසු බැස්සේය. තෙල්බාලා ග්‍රෑන්ඩ්පාස්හි තමිල්නාඩුව දක්වා පසුබැස්සේය. එහි සිටින තම නැගණියගේ පුතා රොමේෂ් සමග තමන්ගේ කුඩු ව්‍යාපාරය ගෙනයන්නට උත්සාහ කළේය. සුදාකරන්ගේ කල්ලියේ සිටි කිඹුලා ඇළේ ගුණා කිඹුලා ඇළටම පල්ලම් බැස්සේය. අම්බිකා දෙමටගොඩටද, විජේපාලන් කොටහේනටද සුදාකරන් ග්‍රෑන්ඩ්පාස්හි තමිල්නාඩුවටත් ඉන්පසු ඉන්දියාවටත් පලාගියහ. පසු කලෙක කිඹුලා ඇළ ගුණාද, තෙල්බාලාද ඉන්දියාට පලා ගියහ. ගුණා තවමත් ඉන්දියාවේ සිට මෙරටට මත්කුඩු ගෙන ඒමට හා මෙහි ඒ ජාවාරම පවත්වාගෙන හොඳින් හැසිරෙව්වේය.   

 

 


ඉන්දියාවේ සැඟවුණ තෙල්බාලාද මත්කුඩු ජාවාරම හොඳින් පවත්වාගෙන ගෙන ගිය අතර එහිදී අසනීප වූ ඔහු සිදුකළ සැත්කමකින් පසු මරණයට පත් විය. ඔහුගේ සිරුර පසුගිය වසරේ එනම් 2017 දී ලංකාවට ගෙනවිත් අවසන් කටයුතු සිදුකරන ලදී. තෙල්බාලා මෙරටදී මෙන්ම ඉන්දියාවේ සිටද මෙරට කොටි සංවිධානයේ සැලසුම්වලට සහය දුන් බවට එකල චෝදනා එල්ල විය. කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයේදී කොටි සාමාජිකයන්ට ආයුධ සඟවා තබන්නට මාලිගාවත්තෙන් ඉඩ සලසා දුන් බවට චෝදනා නැගිණ. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයට සහය දුන් බවටද ඔහුට චෝදනා එල්ල වී තිබිණ.   


දෙමළ පාතාලය මාලිගාවත්ත වෙලාගෙන සිටි කාලයේ ඔවුන් සිය කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් එක් එක් ගෝලයා වෙන වෙනම තම කැලෑ උසාවි පවත්වාගෙන යද්දී පවා ඒවායෙන් මරණ දණ්ඩනය නියම කරද්දි පවා මුනිවත රැකි පොලිසිය මුස්ලිම් පාතාලයක් නිර්මාණයවීම වැළැක්වීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නට විය. ෆාජිලා සමග සිටි පිරිස් අත්අඩංගුවට ගන්නට විය. ඉමිතියාස් සිටි කාලයේ මෙන් වියහියදම් දරන්නට ෆාජිට නොහැකිය. නූර් එයට යම් දායකත්වයක් ලබාදුන්නද ඔහුට පමණක් මෙය කළ නොහැකි බව ෆාජිගේ අදහස විය. එසේම එයින් කල්ලියේ නායකත්වය නූර්ට හිමි වනු ඇත.   


ඒ නිසා ෆාජි තමන්ගේ කණ්ඩායම මෙහෙයවමින් කප්පම් එකතු කිරීමට පටන් ගත්තේය. සැලකිය යුතු මට්ටමේ ව්‍යාපාර කරගෙන ගිය කිසිවෙකුට ෆාජිගෙන් ගැලවිල්ලක් ලැබුණේ නැත. ඔහු ඒ එකතු කරගත් මුදලින් අත්අඩංගුවට ගන්නා තම හිතවතුන්ගේ තම කල්ලියේ සාමාජිකයන්ගේ ගෙවල් දොරවල් නඩත්තු කළේය. තව තවත් තම කණ්ඩායම ශක්තිමත් කරගත්තේය. එහෙත් ඔහුගේ මේ ක්‍රියාකලාපයට නූර් කැමති වූයේ නැත. කප්පම් අරන් තමන්ගේම අයට කරදර කරන්න එපා කියලා නූර් ෆාජිට කිව්වත් ෆාජිගේ අදහස වුයේ එසේ නොකර මුදල් මේ තරම් මුදලක් එන ප්‍රශ්නවලට උත්තර ලෙස ඉපයිය නොහැකි බවය. ඒ නිසා දෙදෙනා අතර විරසකයක් ගොඩනැගෙන්නට විය.   


නූර් කුඩු නූර් වුණ හැටි හා නූර්- ෆාජි විරසකය කෙළවර වුණ හැටි අපි ලබන කලාපයෙන් කතා කරමු.   

 


මුදිතා දයානන්ද